එල්.ටී.ටී.ඊ.ය සමග ආණ්ඩුව ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමට අවුරුද්දක් සැපිරිමට නියමිතය. මේ කාලය තුළ කිසිම ලේ වැගිරිමක් ඇති වී නැතත් හදිසියේ යුද්ධයකට මාරුවීම අවශ්ය වෙතොත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඒ සඳහා වන සූදානම ද අතහැර නැති බව ගුවන් යානා නාශක අවි සමග බෝට්ටුවක් අල්ලා ගැනීම හා ඊට සම්බන්ධ තිදෙනෙකු ඒ අවස්ථාවේදි සිය දිවි නසා ගැනීමේ සිද්ධියෙන් පෙනී යයි.
දැන් කෙරෙන සාම කථා පිළිබඳව ඔවුන් තුළ අවිනිශ්චිත හැගීමක් ඇති කිරීම කෙරෙහි වහා මැතිවරණයක් සඳහා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් පිළිබඳව කෙරෙන කථා බහ බලපා තිබෙනවා විය යුතුය. ඒ ගැන ඇන්ටන් බාලසිංහම් ද මීට පෙර අවස්ථා කිහිපයකදිම සිය මතය ප්රකාශ කර තිබුණි. ඔවුන් ජනාධිපතිනිය විශ්වාස කරන්නේ නැත. ජනවාර්ගික ප්රශ්නයේදි දැඩි ජාතිවාදි හා දෙමළ විරෝධී ස්ථාවරයක පිහිටා ක්රියාකරන ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධානයක් සමග ජනාධිපතිනිය ඇති කරගනිමින් තිබෙන පොදු එකගතා වැඩ පිළිවෙලද ඔවුන් තුළ තිබෙන අවිනිශ්චිත හැගීම් තීව්ර කිරීමට හේතු වී තිබෙනවා විය හැකිය. සාම කථාවල යෙදෙන අතර හදිසි මැතිවරණයකින් පොදු පෙරමුණ බලයට පත්වී තමන්ට එරෙහිව යුද්ධ කරන තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දිම සඳහා තමන් සීරුවෙන් සිටිය යුතු යැයි ඔවුන් කල්පනා කිරීම තර්කානුකූලය.
මොන හේතුවක් නිසා හෝ නැවත යුද්ධයක් ඇති වේ නම් ඒ යුද්ධය වෙන කවරදාවත් නැති තරම් විනාශකාරි ප්රතිඵල ගෙන දිමට හේතු වනු නොවැළැක්විය හැකිය. අනෙක් අතට මේ අවස්ථාවේදි පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයක් සාමකාමී හා නීතිගරුක මැතිවරණයක් වනවාට වඩා ප්රධාන තරග කරුවන් දෙදෙනා අතර නීතිය නොසලකා කෙරෙන මාර යුද්ධයක් වැනි ඡන්දයක් බවට පත්වීමද නොවැළක්විය හැකිය. මේ නිසා මැතිවරණයක් පැවැත්වුවහොත් ප්රභාකරන්ගේ යුද්ධය ආරම්භ වනු ඇත්තේ ජනාධිපති චන්ද්රිකාගේ හා අගමැති රනිල්ගේ දේශපාලන සේනාංක දෙක අතර කෙරෙන වියරු අරගලයක් තුළ බොහෝ දුරකට රට හෙම්බත් වී අරාජික තත්ත්වයකට ඇද වැටීමෙන් පසුවය.
පවත්නා ද්වන්ද්ව බලය තුළ විධායක බලය ඇත්තේ විරුද්ධ පක්ෂෂ ව්යාපාරයේ නායිකාව වන ජනාධිපතිනියටය. ආණ්ඩු පාලන බලය ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති එජාපයේ රනිල් වික්රමසිංහටය. ඒ නිසා අගමැති රනිල් වික්රමසිංහ මැතිවරණයකට නොයා සිටීමට කැමැත්තක් දැක්වීම ස්වාභාවිකය. අනෙක මැතිවරණයක් නොවැළැක්විය හැකි නම් එය කෙසේ හෝ තමා ජය ගත යුතුයි කියා සිතන තැනකට අගමැතිවරයා තල්ලු වීම ද ස්වාභාවිකය. චන්ද්රිකා කුමාරතුංග මහත්මිය විධායක ජනාධිපතිනිය වුවත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති තත්ත්වයක් තුළ වෙනදා ඇයට රට ආණ්ඩු කිරීමට තිබුණු බලය දැන් අහිමි වී තිබේ. නැවත ඒ බලය ලබා ගත හැකි නම් මොන යකා සමග එකතු වී හෝ ඒ බලය ලබා ගැනීම සඳහා ක්රියා කරන තැනකට යාමද ස්වාභාවිකය.
එහෙත් මේ තරගය සාමකාමී හා නිදහස් පරිසරයක් තුළ සිදුවීමට ඉඩක් ඇත්තේම නැති තරම් ය. භාරකාර ආණ්ඩු බලය එජාපය අත තබාගැනීමට ඉඩ දෙතොත් මේ මැතිවරණය ජය ගැනීමට ඔවුන් ද එදා තමන් කළාක් මෙන් උපරිම ලෙස රාජ්ය බලය පාවිච්චි කරනු ඇති බව ජනාධිපතිනිය දනී. ඒ නිසා විධායක ජනාධිපතිනිය ඡන්දයකට යන්නේ නම් භාරකාර ආණ්ඩු බලය තම පක්ෂෂය අත තබා ගැනීම පිණිස ඕනෑම උප්පරවැට්ටියක් කරනු නොවැළැක්විය හැකි අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන් අත තිබෙන තත්ත්වයක් තුළ තමන්ට තිබිය යුතු බාරකාර ආණ්ඩු බලය පැහැර ගැනීමට ජනාධිපතිනිය දරන ඕනෑම ප්රයත්නයකට එරෙහිව විෂකුරු ලෙස නැගී සිටින තත්ත්වයකට අගමැතිවරයා තල්ලු වීයාමද නොවැළැක්විය හැකිය. මැතිවරණය ආරම්භ වනු ඇත්තේ ඒ සඳහා මේ දෙපක්ෂෂය අතර කෙරෙන වියරු අරගලයකිනි. ස්වාධීන කොමිෂන් සභා නීතිගත කොට බොහෝ කලක් ගත වී ඇතත් ස්වාධීන මැතිවරණ කොමිසම හා ස්වාධීන අධිකරණ සේවා කොමිසම තවමත් ස්ථාපිත කොට නැත. ඒ තත්ත්වය යටතේ පවත්වනු ලබන මැතිවරණය කැලේ නීතිය රජ කරන මැතිවරණයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.
එවැනි බිහිසුණු පරිසරයක් මැද පවත්වනු ලබන මැතිවරණයකින් කවර පක්ෂෂයක් ජය ලැබුවත් ජය ලබන පක්ෂෂය සිය ජයග්රහණය ලබාගන්නවා ඇත්තේ ඡන්ද බලයෙන් නොව බාහු බලයෙනි. එවැනි තත්ත්වයක් යටතේ බිහිවන කවර ආණ්ඩුවකටවත් ප්රජාතන්ත්රවාදි ආණ්ඩුවක් ලෙස පෙනී සිටීමේ හැකියාවක් තිබිය නොහැකිය.
මේ තීරණාත්මක මොහොතේ දි මිනිස් නිදහසට හා සාමයට ලැදි සිවිල් සංවිධානවල හා ව්යාපාරික ප්රජාවගේත් ශ්රී ලංකාවේ සාමය ගැන උනන්දුවක් දක්වන ජාත්යන්තර ප්රජාවගේත් ගැඹුරු අවධානය යොමුවිය යුතුව තිබෙන කේන්ද්රීය ප්රශ්නය වනුයේ තරගයක් නොවැළැක්විය හැකි නම් ඒ තරගය ප්රචණ්ඩ තරගයක් බවට පත්වීම හා තරගයෙන් කවුරු ජය ලැබූවත් ඉන්පසු නැවත මහා පරිමාණයේ විනාශකාරි යුද්ධයක් ඇති වීම වළකන්නේ කෙසේද යන ප්රශ්නය කෙරෙහිය.
මැතිවරණයක් සඳහා කාල නියමයක් ද ඇතිව පොදු එකගතාවක් ඇති කරගනිමින් මැතිවරණ තරගය සාමකාමී හා නීතිගරුක තත්ත්වයක තබා ගැනීමට හා ජය ලබන්නේ කවුරුන් වුවද ජය ලැබීමෙන් පසුව ජනවාර්ගික අර්බුදය පිළිබඳව අනුගමනය කළ යුතු ප්රතිපත්තියක් පිළිබඳව පොදු එකගතාවක් ඇති කර ගැනීම මගින් මේ තරගයට ආවේණක විනාශකාරි බව නැති කළ හැකිය.
එජාපයට පාර්ලිමේන්තු බලය ඇතත් ලැබී තිබෙන ආසන සංඛ්යාවේ සීමිත බව පිළිබඳව අතෘප්තියක් එම පක්ෂෂය තුළද පවතී. පොදු පෙරමුණ හා ජවිපෙ තුළ ඇත්තේ බහුතර බලයක් නැතිකම පිළිබඳ අතෘප්තියකි. දෙපක්ෂෂයම බලය උරගා බලන තරගයකට කැමති නම් ඒ තරගය ශිෂ්ට සම්පන්න රාමුවක කෙරෙන තරගයක් බවට පත්කිරීමට හේතුවන කොන්දේසි සඳහා පොදු එකගතාවක් ඇති කර ගත හැකිය. එවැනි එකගතාවක් සඳහා දේශීය වශයෙන් සේම ජාත්යන්තර වශයෙන්ද මේ දෙපක්ෂෂයට බලකළ යුතුය.
එවැනි තත්ත්වයක් සහතික කිරීම සඳහා ඇති කරගත යුතු එකගතාවන් මේවා ය.
1. පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා කාල නියමයක්.
2. මැතිවරණ ක්රමයේ සංශෝධනයක් (කේවල ක්රමය හා අනුපාත ක්රම මිශ්ර කොට තනන ජර්මන් ක්රමය වැනි ක්රමයක්) සඳහා පොදු එකගතාවක් ඇති කරගනිමින් ඒ සඳහා අවශ්ය නීති සම්මත කර ගැනීම.
3. ජනවාර්ගික ප්ර්රශ්නයට යුදමය නොවන විසඳුමක් සඳහා තිබිය යුතු මූලික මූලධර්ම හඳුනා ගනිමින් එම මූලධර්ම මතපිහිටා කවර පක්ෂෂයක් බලයට ආවත් දැන් ආරම්භ වී ඇති සාකච්ඡාමය වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට පොදු එකගතාවකට ඒම.
4. මැතිවරණ තරගය සඳහා පමණක් නොව ඉන් පසු කෙරෙන සාම සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා සාධාරණ හා අපක්ෂෂපාතීව ක්රියා කරන විනිශ්චයකාර ආයතනයක් අත්යවශ්ය වන බැවින් අධිකරණයේ දැන් ඇති වී තිබෙන අවුල් සහගත තත්ත්වය නිරාකරණය කොට සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතු වන අධිකරණයක් ඇති කිරීම සඳහා වහාම ක්රියාත්මක කළ යුතු ප්රතිසංස්කරණ සඳහා පොදු එකගතාවක් ඇති කර ගැනීම.
5. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කොට ඔවුන් සමග ඇති කරගන්නා එකගතාවන් ද ඇතුළත් කරගත හැකි ආකාරයට රටේ ජනවාර්ගික අර්බුදයටත්, ප්රජාතන්ත්රවාදය පිළිබඳ අර්බුදයටත් විසඳුම් ලබා ගත හැකි නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සඳහා තිබිය යුතු මූලධර්ම හඳුනා ගනිමින් එම මූලධර්ම සඳහා පොදු එකගතාවක් ඇති කර ගැනීම.
6. 17 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ තිබෙන වැරදි හා අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා පොදු එකගතාවක් ඇති කර ගනිමින් නොපමාව ස්වාධීන මැතිවරණ කොමිසම හා ස්වාධීන අධිකරණ සේවා කොමිසම ප්රතිශ්ඨාපනය කිරීම.
7. මැතිවරණය සඳහා කිසිම පක්ෂෂයකට රාජ්ය බලය යොදා ගැනීමට ඉඩක් නොලැබෙන ආකාරයේ භාරකාර ආණ්ඩු ව්යුහයක් සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීම.
8. මැතිවරණයෙන් කවර පක්ෂෂයක් බලය ලැබූවද තේරි පත්වන පක්ෂෂ අතර සාධාරණ ලෙස බලය බෙදා හැරෙන ක්රමයක් තුළ නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කර ගැනීම, ජනවාර්ගික ප්රශ්නයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම, රට නැවත ශක්තිමත් ලෙස ප්රතිසංවිධානය කිරීම යන සීමිත අරමුණු ජය ගැනීම සඳහා 5 අවුරුදු කාලයක් සඳහා සියලු පක්ෂෂවලින් සමන්විත ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමට පොදු එකගතාවක් ඇති කර ගැනීමය.
මැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂෂ අතර එවැනි පොදු එකගතාවක් ඇති කරගත හැකි නම් අතිවිශාල විනාශයක් ඇති කිරීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය රටට විශාල යහපතක් ඇති කිරීමට හේතුවන ගමනක ආරම්භයක් බවට පත් කළ හැකිය. එහි අවසාන තේරුම වනවා ඇත්තේ ප්රභාකරන්ගේ කොටි සංවිධානය හා ආණ්ඩු පක්ෂෂය අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම වැනි ගිවිසුමක් ආණ්ඩු පක්ෂෂය හා විරුද්ධ පක්ෂෂ අතර ද ඇති කරගත යුතුව තිබෙන බවය. එහෙත් එවැන්නත් ඉබේ ඇතිවීමට ඉඩක් නැත. එසේ සිදුවනු ඇත්තේ දේශීය වශයෙන් සේම ජාත්යන්තර වශයෙන්ද විශාල බලපෑමක් මේ දෙපක්ෂෂය වෙතම එල්ල වේ නම් පමණය.