ගැටුම් නිරාකරණ විෂයයෙහි ලා වත්මන් ලෝකයේ සිටින හොඳම විද්යාඥයා හා දාර්ශනිකයා ලෙස සැලකෙනුයේ මහාචාර්ය ජෝන් ගල්ටූන්ය. අසූ හැවිරිදි මේ මහාචාර්යවරයා බාහිර පෙනුමෙන් සේ ම ආත්මීය වශයෙන් ද බොහෝ දුරට බර්ට්රම් රසල්ට සමානය. ඔහු ද රසල් මෙන් ගණතඥයෙකු, දාර්ශනිකයෙකු, සමාජ විද්යාඥයෙකු හා තාර්කිකයෙකු වේ. රසල් වඩාත්ම කැමති මිනිසා ගාන්ධි වූවා සේම, ගල්ටූන් වඩාත්ම කැමති මිනිසා වන්නේ ද ගාන්ධිය. මහාචාර්ය ගල්ටූන් මෙතෙක් ලියා පළකොට ඇති පොත් ගණන 105ක් වන අතර, ඉන් තුනක්ම ගාන්ධි ගැනය. ගල්ටූන් 13 හැවිරීදි වියේදි හිට්ලර්ගේ නාසි හමුදා විසින් ඔහුගේ පියා අත්අඩංගුවට ගත්තේය. එම අනුවේදනීය සිද්ධිය ඔහුගේ සමස්ත ජීවිතය කෙරෙහි බලපා ඇති අතර, ඔහු ගැටුම් නිරාකරණ විෂය කෙරෙහි යොමු කිරීමට හේතුවී ඇති ප්රධාන සාධකය වී ඇත්තේ ද එයයි. ඔහු අනිවාර්ය යුද්ධ සේවයට එකතුවීම ප්රතික්ෂේප කරමින් ඒ වෙනුවෙන් ලැබෙන හිරදඬුවම තෝරාගත්තෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගැටුම් නිරාකරණය වෙනුවෙන් ක්රියා කරන ජාත්යන්තර ආයතන රාශියක උපදේශකයකු ලෙස ක්රියා කරයි.
ශ්රී ලංකාවේ ගැටුම පිළිබඳව මහාචාර්යවරයාට තිබුණු සියුම් දැනුම ඔස්ට්රියාවේ පැවති වැඩමුළුවට ශ්රී ලංකාවෙන් සහභාගි වූ දහතුන්දෙනාම විශ්මයට පත් කිරීමට හේතුවූ බව කිව යුතුය.
ශ්රී ලංකාවේ පවත්නා ගැටුම කෙරෙහි භාෂාව, ආගම, සංස්කෘතිය හා භූගෝලය යන කාරණාවලට අතිරේකව ඉතිහාසය ද, ඉතිහාසයට ඇතුළත් ජනප්රවාද ද බලපා ඇති බව ඔහු ප්රකාශ කළේය. ඔහු එහිදි ඒ අළලා කරන ලද සියුම් විමර්ශන මාගේ සිහියට ගෙනාවේ බී.එච්. ෆාමර්ය. ශ්රී ලංකාවේ උගතුන් අතර ෆාමර්ගේ වඩාත්ම ප්රකට කෘතිය වනුයේ වියළි කලාපීය ගොවි ජනපද ව්යාපාර අළලා ඔහු විසින් ලියා ඇති Pioneer Peasant Colonization in Ceylon නමැති කෘතියයි. එහෙත් මා හිතන විදියට ඔහුගේ විශිෂ්ට කෘතිය වනුයේ ශ්රී ලංකාවේ ජාතිභේදවාදි ප්රශ්නයේ අක්මුල් අළලා ඔහු විසින් ලියා ඇති Ceylon-A Divided Nation නමැති කෘතියයි. ඒ වනවිට එනම් 1963 වනවිට වර්ධනය වෙමින් පැවති ජාතිභේදවාදි ආරාවුල කෙරෙහි ඉතිහාසය හා ඉතිහාසය තුළ ඇති ජනප්රවාද බලපා තිබෙන ආකාරය පිළිබඳ කදිම විග්රහයක් ඊට ඇතුළත්ය.
ඊශ්රායල්වරුන් දෙවියන් වහන්සේ විසින් විශේෂයෙන් තෝරාගනු ලැබූ ජන කණ්ඩායමක් බවට පරණ තෙස්තමේන්තුවේ එන සඳහන යුදෙව්වන්ගේ ඉතිහාසය කෙරෙහි බලපා තිබෙන ආකාරයටම සියලුම සිංහලයන් මහා වංශය කියවා නැතත් සිංහල ජාතිය පිළිබඳව මහා වංශයේ එන ආකල්ප සිංහල සමාජ ආකල්ප කෙරෙහි බලපා තිබෙන බව පෙනේ.
තමන් ඉතාමත් සුවිශේෂ භාෂාවක් කතා කරන, සුවිශේෂ ප්රභවයකින් පැවත එන මනුෂ්ය වර්ගයක් ලෙස සිංහලයන් සිතනවා සේ ම, සිය වර්ගයා හා ඔවුන් අදහන ආගම අතර වෙනත් කිසිම මනුෂ්ය වර්ගයකට නැති ඓතිහාසික සම්බන්ධයක් ඇතැයි කියන සියුම් හැගීමක් සිංහල ජනයා අතර ඇති අතර, ඒ කෙරෙහි ප්රධාන කොට බලපා ඇත්තේ මහා වංශයේ එන කතාය.
මහා වංශයට අනුව සිංහල වර්ගයා පැවත එන්නේ සිංහයකුට දාව භාරත කුමාරිකාවකට ලැබෙන දරුවන්ගේ පුතකු වන විජය කුමාරයාගෙනි. විජය කුමාරයා සිය පිරිස සමග ලංකාවට එන්නේ ද බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේය. පිරිණවන් මංචකයෙහි වැඩ විසූ බුදුන් වහන්සේ සක්රයා අමතා “සිංහ නරිඳුගේ පුත්ර විජය කුමරු හත්සියයක පිරිසක් සමග ලාව රටින් ලක්දිවට පැමිණ ඇති බව පවසා අනාගතයේ තමාගේ ශාසනය ලක්දිව පිහිටුවන බැවින් විජය ඇතුළු පිරිස ද ලක්දිව ද මනා ලෙස ආරක්ෂා කරන ලෙසට බුදුන් වහන්සේ සක්රයාට දැනුම් දෙන ලද බව මහා වංශයේ සඳහන් වේ.
ලක්දිවට බට විජය කුමාරයා උපාය මාර්ගික අරමුණින් දිවයිනේ සිටි යක්ෂ රාජිණිය සරණ පාවා ගනිමින් සිය සිංහල රාජධානිය ගොඩ නගා ගත්ත ද, පසුව තමාට දාව දරු දෙදෙනෙකු වැදූ එම යක්ෂණිය අතහැර දඹදිවින් ගෙන්වා ගත් කුමාරිකාවක් සරණ පාවා ගත්තේය.
විජය හා ඔහු ඇවෑමෙන් රජ පැමිණි පුද්ගලයින් පිළිබඳ කතාන්තරයෙන් පසුව මහා වංශයේ එන ඊළග වැදගත්ම කතා පුවත වන්නේ අශෝක රජතුමාගේ පුත් මිහිඳු මහා තෙරුන් පිළිබඳ කතා පුවතය. “ඉන්දියාවේ සිට සෘද්ධි බලයෙන් අහසින් වැඩම කළ උන්වහන්සේ අනුරාධපුරයට නැගෙනහිරින් පිහිටි මිහින්තලා පර්වතයට බැස දඩ කෙළියේ යෙදි සිටි දේවානම්පියතිස්ස රජතුමා මුණගැසී ඒ රජුන් බුදු සමයට හරවා ගත් සේක. ප්රාතිහාර්ය බලය හේතු කොටගෙන මිහිඳු මහ තෙරුන්ගේ ධර්ම දේශනය මුළු දිවයින පුරාම ඇසිය හැකි විය.”
සිංහල ජාතිය, සිංහල ආගම හා සිංහල බුද්ධාගම යන අංශ තුන ශක්තිමත් ලෙස එකට සම්බන්ධ කර තමන් විශේෂ ප්රභවයකින් යුතු විශේෂ භාෂාවක් කතා කරන හා විශේෂ ආගමක් අදහන විශේෂ මනුෂ්ය වර්ගයක් වේය යන හැගීම ලබාදිමෙන් නොනැවතී සිංහල ජාතිය කෙරෙහි විනාශකාරි ලෙස බලපෑ ඓතිහාසික හතුරකු පිළිබඳ හැගීමක් ද මහාවංශය විසින් සිංහල සිත් සතන් තුළ පැලපැදියම් කිරීමට හේතුවී තිබේ.
ඉන්පසු මෙම සුවිශේෂ වර්ගයා ගොඩ නගන ශුද්ධ වූ දේශය වනසන්නට උත්සාහ කරන පරසතුරා ලෙස චිත්රනය කෙරෙනුයේ ඉන්දියාවේ සිට ලංකාව ආක්රමණය කරන ද්රවිඩයින්ය. මහා වංශයෙන් වැඩි කොටසක් වෙන් කොට ඇත්තේ ද දෙමළ එළාර රජුට එරෙහිව සිංහල දුටුගැමුණු දියත් කෙරුණු විමුක්ති යුද්ධය වර්ණනාත්මකව විස්තර කිරීම සඳහාය. දුටුගැමුණු එළාර පරාජය කිරීමට සමත් වුවත් එහිදි ඇතිවූ මනුෂ්ය ඝාතනය පිළිබඳව දුටුගැමුණු රජු තුළ කණස්සල්ලක් ඇතිවේ. ඒ නිසා රජුට සුවසේ නිදන්නට බැරි තත්ත්වයක් ඇතිවේ. රජු අස්වැසීම පිණිස පුවගු දිවයිනේ රහතන් වහන්සේලා අට නමක් දිවයිනට එවූහ. රජු අතින් මරණයට පත්ව ඇත්තේ පුද්ගලයින් එකහමාරක් පමණක් බවත්, සෙසු සියල්ලෝ මිථ්යාදෘෂ්ඨික දුශ්ශීලයන් බැවින් ඔවුන් සිවුපාවුන් හා සමාන බැවින් කණගාටු වීමට තරම් හේතුවක් නැති බවත් එම රහතන් වහන්සේලා රජුට පෙන්වා දුන්හ.
මහා වංශය නතර කළ තැන් පටන් ලංකා ඉතිහාසය විස්තර කරන චූල වංශය ද පළමුවැනි පරාක්රමබාහු රජුට දි තිබෙන තැන මහා වංශය දුටුගැමුණු රජුට දි තිබෙන තැනට සමානය. අභ්යන්තර අවුල් වියවුල් වලින් දිවයින මුදාගත් පරාක්රමබාහු රජු ද්රවිඩයින් අනුරාධපුරයෙන් පළවා හැරියේය. සොලී සේනාවක් විසින් නගරය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබුණි. පරාක්රමබාහු රජතුමා නගරය ප්රතිසංස්කරණය කිරීම සඳහා ද්රවිඩ සිරකරුවන් යෙදවීය.
එකල මෙහි පැමිණි සියලු ආක්රමණකයන් ද්රවිඩයන් නොවූවද, වංශ කතාවල ආක්රමණකයින් සියලු දෙනා හඳුන්වා තිබෙන්නේ ද්රවිඩයන් ලෙසිනි. එකල ලෝකයේ පැවති ධර්මතාව අනුව හැමවිටම රාජ්යයන් බලවත් වූවිට එම බලවත් රාජ්ය අවට තිබෙන දුබල රාජ්යයන් අල්ලා ගැනීම සඳහා යුද්ධ කළේය. එම පොදු ධර්මතාව ලංකාව කෙරෙහි ද බලපෑවේය. ලංකාව ද තමන් ශක්තිමත් තත්ත්වයක සිටි අවස්ථාවල අවට රටවල් ආක්රමණය කළේය. එහෙත් වංශ කතාවල මේ ආක්රමණික ඉතිහාස විග්රහ කොට ඇත්තේ ඒ යුගයේ ක්රියාත්මක වූ පොදු ධර්මතාවට අනුකූලව නොව, අතිවිශේෂ ජාතියක් වූ සිංහල ජාතිය විනාශ කිරිමේ අරමුණින්ම කරන ලද රුදුරු ආක්රමණ ලෙසය.
සිංහල රාජධානියට වියළි කලාපය අතහැර තෙත් කලාපයට මාරුවීමට සිදුවීම කෙරෙහි පිටතින් පැමිණ ආක්රමණික යුද්ධ ද බලපෑවා විය හැකිය. සමහර විට වෙනත් හේතු නිසා එසේ සිදුවූවාද විය හැකිය. එය කවර ආකාරයකට සිදුවුවත් තමන්ගේ පැරණි සිංහල ශිෂ්ටාචාරය ද්රවිඩයන් විසින් හිතාමතා විනාශ කළේය කියන හැගීමක් වර්තමානයේ පවා සිංහල අධ්යාත්මය තුළ පවතී.
යටත් විජිත යුගයට පෙරත්, ඉන් පසුත් සිංහලයන් ද්රවිඩයන් සමග එකට සහයෝගයෙන් ජීවත් වී ඇතත්, එම සහයෝගය තුළ හැමදාමත් දෙබිඩි මුහුණුවරක් තිබී ඇති බව ද දැකිය හැකිය. ඒ දෙබිඩි මුහුණුවරට ප්රධාන හේතුව සිංහල වර්ගයාගේ විශේෂ ප්රභවයයි. ඒ ප්රභවය හා බුද්ධාගම අතර ඇති සම්බන්ධය හා ශත වර්ෂ ගණනාවක ඉතිහාසය තුළ සිංහල, දෙමළ ගැටුම් පිළිබඳව ඉතිහාසයට ඇතුළත් ජනප්රවාද මගින් සිංහල අධ්යාත්මයේ ද්රවිඩයන් පිළිබඳව තැන්පත්ව තිබෙන සැක සංකාය. කොතරම් සහයෝගයෙන් එකට ජීවත් වුවත්, ඉතිහාසයෙන් උරුම කරගත් මෙම සැක සංකා ද්රවිඩයන්ට එරෙහිව මතුකර ගැනීමේ විභවයක් හැමදාමත් තිබුණේය.
බෞද්ධ පුනර්ජීවන ව්යාපාරයේදි අනගාරික ධර්මපාලතුමා අමතන ලද්දේ සිංහල අධ්යාත්මය තුළ සැගවී තිබුණු එම විභවයටය. 1956 මැතිවරණයේදි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඇමතුවේ ද එම විභවයටය. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමෙන් පසුව ජේ.ආර්. ජයවර්ධන අමතන්නට උත්සාහ කළේ ද එම විභවයටය. ඉන්පසු 1960දි ශ්රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට්, සමගි පෙරමුණ විසින් ද, 1971දි ජනතා විමුක්ති පෙරමුණ විසින් ද, 1983දි සිරිල් මැතිව් විසින් ද ඇමතීමට උත්සාහ කළේ ද වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අමතන්නට උත්සාහ ගනිමින් සිටින්නේ ද සිංහල අධ්යාත්මය තුළ සැගවී තිබෙන එම විභවයටය.
තමන් සුවිශේෂ වර්ගයක් කොට සලකමින් හා දෙමළ වර්ගයා තම වර්ගයාගේ විනාශය පිණිස බලා සිටින සතුරු බලවේගයක් වශයෙන් සලකන මේ ආකල්පය පරම්පරා ගණනාවක් තිස්සේ සිංහල අධ්යාත්මය තුළ පැළපදියම් වී තිබෙන දෙයක් වන නිසාම ඒ හැගීම් සිංහල අධ්යාත්මයෙන් මුළුමණින් සෝදා හැරිම ද ඉතා දුෂ්කරය. ප්රභාකරන්ට එරෙහිව සටන් කරන සිංහල නායකයා දුටුගැමුණු කෙනෙකු ලෙස හෝ සපුමල් කුමාරයකු ලෙස සිංහලයින්ට පෙනෙන්නේ ද ඒ නිසාය. ආචාර්ය නලින් ද සිල්වාට ජනාධිපති චන්ද්රිකා දෝන කතරිනා කෙනෙකු ලෙස පෙනෙන්නට ඇත්තේ ද ඒ නිසාය.
මහාචාර්ට ගල්ටූන් මේ සාධකය (අප දන්නා ඉතිහාසයට හා ඒ ඉතිහාසයේ එන ජනප්රවාද අප කෙරෙහි ඇති කර තිබෙන මතවාදි බලපෑම) මේ අර්බුදය කෙරෙහි ඉතා වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව ප්රකාශ කරමින් අපේ අවධානය ඒ සඳහා යොමු කළා මිස ඒ ගැන දිර්ඝ විග්රහයකට ගියේ නැත. එහෙත් එය අප අවශ්යයෙන්ම සාකච්ඡාවට ලක් කළ යුතු මාතෘකාවකි. සිංහල අධ්යාත්මය තුළ දෙමළ කතා කරන ජනයා පිළිබඳව (දෙමළ හා මුස්ලිම්) සැගවුණු දෙබිඩි ආකල්පයක් පවතී. ඒ ආකල්පය කෙරෙහි බලපා ඇත්තේ ඉතිහාසය හා ඉතිහාසයේ එන ජනප්රවාදයන්ය. රටේ මහ ජාතියව සිටියත්, සිංහලයන් තුළ සුළු ජාතික හැගීමක් පවත්නේ ද තමන් විනාශ කිරීම සඳහා ජාත්යන්තර මට්ටමෙන් ක්රියාත්මක වන කුමන්ත්රණයක් ඇතැයි සිතන්නේ ද ඔවුන්ගේ අධ්යාත්මය තුළ පවත්නා තමන්ගේ සම්භවය හා පැවැත්ම පිළිබඳව පවත්නා විශ්වාසයන් නිසාය.
බී.එච්. ෆාමර් සිය කෘතියට ඇතුළත් විශ්ලේෂණයෙන් ප්රධාන කොට අවධානය යොමුකර ඇත්තේ ද තමන්ගේ අපූරු සම්භවය හා දෛවය පිළිබඳව ජනප්රවාදයන්ගෙන් එන විශ්වාසයන් හා එම විශ්වාසයන් පෙරළා සිංහලයන් හා ද්රවිඩයන් අතර පවත්නා පරස්පර පැවැත්ම කෙරෙහි බලපා තිබෙන ආකාරය පිළිබඳවය.
ෆාමර්ගේ එම කෘතියට පෙර වදනක් ලියමින් ලංකාවට පළමු ආණ්ඩු ක්රම ව්යවස්ථාව ලබාදුන් සෝල්බරි සාමිවරයා, ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ යෝජනා පරික්ෂා කර බැලීම සඳහා කොමිෂන් සභාවක් ලෙස ලංකාවට පැමිණි අවස්ථාවේදි රටේ තිබෙන විසඳිය යුතු ප්රධාන ආරාවුල් අතර සිංහල, දෙමළ ප්රශ්නය ප්රධාන ප්රශ්නයක් බව තේරුම් ගෙන තිබුණත්, මේ දෙජාතිය අතර කාලාන්තරයක් තිස්සේ පැවති විරුද්ධතා පිළිබඳව කොමිෂන් සභාව සතුවූයේ අල්ප දැනුමක් බව ප්රකාශ කරමින් තවදුරටත් මෙසේ ප්රකාශ කර තිබේ.
“එහෙත් අවුල් වියවුල් වලින් ගහණ වූ ශත වර්ෂ ගණනාවක ඉතිහාසය නූතන ලාංකිකයන් කෙරෙහි දක්වන අවාසනාවන්ත බලපෑම විස්තර කෙරෙන ෆාමර් මහතාගේ මේ පොත කියවන්නට කොමිෂන් සභාවට ලැබුණේ නම් ජාතිභේද ප්රශ්න විසඳගත් හැකිවේ යැයි කොමිෂන් සභිකයින් එතරම් විශ්වාස නොකරන්නට ඉඩ තිබුණි.”
සෝල්බරි සාමිවරයාගේ එම නිරික්ෂණයෙන් පෙන්නුම් කෙරෙන්නේ ශ්රී ලංකාවේ ජනවාර්ගික අවුල ලිහාගැනීම එතරම් සරල නොවන බවය. මහාචාර්ය ගල්ටූන් ප්රකාශ කර ඇති ආකාරයට බාහිර තුවාල හඳුනා ගැනීම හා ඒවාට ප්රතිකාර කිරීම ද පහසුය. එහෙත් බාහිර තුවාලවලට ප්රතිකාර කිරිමෙන් පමණක් පළක්වන්නේ නැත. අභ්යන්තර තුවාල ද හඳුනා ගනිමින් ඒවාට ද සුදුසු ප්රතිකාර සොයාගත යුතුය.