වෙනදා අපට පාතාල ලෝකයෙන් අසන්නට ලැබෙන බිහිසුණු කතා දැන් අපට අසන්නට ලැබෙන්නේ අධිකරණයෙනි. අගවිනිසුරුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළ දිසා විනිසුරුවරුන් දෙදෙනාට ද, දිසා විනිසුරුවරුන් දෙදෙනා ගත් මග නිවැරදි බවට ජනමාධ්ය අමතා ප්රකාශ කළ ජනාධිපති නීතිඥ ඩෙස්මන්ඩ් ප්රනාන්දු මහතාට ද මරණ තර්ජන එල්ල විය.
ඉන්පසු අගවිනිසුරුවරයාට එරෙහිව නඩුමගට ගිය දිසා විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණ භූමියේ පෝස්ටර් ඇලවිණි. ඉන්පසු අගවිනිසුරුවරයා වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ පුරවැසියකුට අගවිනිසුරුවරයා ද ඇතුළත් විනිසුරු මඬුල්ලක් මගින් වසරක සිරදඬුවමක් නියම කෙරිණි. ඉන්පසු සිරගත කරනු ලැබූ එම පුරවැසියාට සිරගෙදරදි දරුණු පහරදිමකට මුහුණදිමට සිදුවිය.
ඩෙස්මන්ඩ් ප්රනාන්දු මහතාට එල්ල කෙරුණු මරණ තර්ජන පිළිබඳව ආරම්භ කෙරුණු පොලිස් පරික්ෂණයේදි එම මරණ තර්ජන වැඩපිළිවෙළ පිටුපස සිටින එක් ප්රධාන පුද්ගලයෙකු වශයෙන් හඳුනාගෙන ඇත්තේ රෝහණ කුමාර ය. ඔහු නමගිය අපරාධකරුවෙකි. පේරාදෙණය උද්භිද උද්යානයේ සිදුවූ මනුෂ්ය ඝාතනය පිටුපස සිටින ප්රධාන මොළකාරයා ලෙස සැලකෙන්නේ ද රෝහණ කුමාර ය. ඔහු අගවිනිසුරුවරයාගේ සමීප හිතවතකු වන අතර, ඔහුම පොලිසියට ප්රකාශ කර ඇති පරිදි විවෘත වරෙන්තුකරුවකු වශයෙන් උසාවියට ඉදිරිපත් නොවී කිසියම් කලක් සැගවී සිටීමට ඔහුට උපදෙස් දි ඇත්තේ අගවිනිසුරුවරයා ය.
අගවිනිසුරුවරයාට එරෙහිව නඩු පවරනු ලැබූ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණ භූමියේ දියත් කෙරුණු පෝස්ටර් ව්යාපාරය මෙහෙයවන ලද පුද්ගලයන් කිහිපදෙනා අතර, මේ මෑතක් වනතුරු බන්ධනාගාර කොමසාරිස් ධුරය හෙබවූ පුද්ගලයා ද වූයේය. ඔහු ද ඊට පෙර අධිකරණ සේවයේ නිරත පුද්ගලයෙකි. අගවිනිසුරුවරයා විසින් සිරගත කරනු ලැබූ පුද්ගලයා බන්ධනාගාරයේදි අමානුෂික පහරදිමට ලක්වූයේ කෙසේද යන ප්රශ්නය තේරුම් ගැනීම ඒ අනුව අමාරු විය නො හැකි ය.
මෙය ඉතාමත් නින්දාසහගත හා තුච්ඡ තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. තුවාලය පැසවා කුණුවී මජර ගලන තත්ත්වයකට පැමිණ ඇතත්, සියලුදෙනාටම එය තව තවත් කුණුවන්නට ඉඩ හැර බකන් නිලාගෙන බලා සිටිනවා විනා ඊට ප්රතිකාර කිරීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. කිහිපදෙනෙකු හැර මුළු මහත් නීතිඥ සංහතියම නිහඬ ය. මානව හිමිකම් සඳහා වන සංවිධාන සිය ගණනක් ඇතත්, ඔවුන් ද නිහඬ ය. ආණ්ඩු කරන අය ඉන්නේ ද අඳ ගොළු බිහිරි තත්ත්වයක ය.