රට අවුලට යවා බලය අල්ලා ගැනීමට සිහින දැකීම

January 27, 2008
Publication:
The JVP is once again pushing the country towards ruin, Ivan writes, and it is using the formula of 1971 — frighten the villages with an invasion that is coming, then offer an armed movement as the answer. Only the enemy has changed: where once it was an American-backed coup, it is now the United Nations and the West preparing to hand Prabhakaran a state.

ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් රට විනාශයේ මාවතට තල්ලු කිරීමේ බලවත් උත්සාහයක නිරත වී සිටින බව පෙනේ. 71 යුගයේදී ජනතා විමුක්ති පෙරමුණට ගම්බද තරුණ තරුණියන් බිය ගන්වා ඔවුන් තමන් වෙත එකතු කරගැනීමට විශේෂ සූත්‍රයක් තිබුණේය. ඇමරිකාවට ලංකාව අල්ලා ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත්, ඒ අරමුණ වෙනුවෙන් හමුදා ආණ්ඩුවක් ඇතිවීමේ ඇත්ත තර්ජනයක් පවත්නා බවත්, එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දුනීසියාවේ සිදුවූවා මෙන් විශාල මනුෂ්‍ය සංහාරයක් ඇතිවිය හැකි බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ආයුධ සන්නද්ධ විමුක්ති ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වී තිබෙන බව එහිදී කියා සිටියේය. මෙම තර්ජනය ඇත්ත තර්ජනයක් බව සනාථ කිරීම සඳහා ඔවුන් පාවිච්චි කළ ලස්සන කතා වැලක් තිබුණේය. බෙන්තොට ඉදිවෙමින් තිබූ සංචාරක හෝටලය පවා ඔවුන් විග්‍රහ කළේ එය හෝටලයක නාමයෙන් ඉදිකෙරෙමින් තිබෙන ඇමරිකනු බලකොටුවක් බවය.

එය සංචාරක හෝටලයක් නම් සංචාරක හෝටලයකට ඒ තරම් විශාල ගල් තාප්පයක් අවශ්‍ය වන්නේ ඇයි දැයි විජේවීර සිය අනුගාමිකයන්ගෙන් ප්‍රශ්න කළේය. පරසතුරු ආක්‍රමණයක් පිළිබඳ බියක් ඇති කොට එම පරසතුරාට එරෙහිව සටන් කරන්නට සිටින එකම විමුක්ති දායක ව්‍යාපාරය තම ව්‍යාපාරය බව පෙන්වා තරුණ තරුණියන් ඒකරාශී කරන අතර, ඒ මගින් ඔවුන් බලය අල්ලා ගැනීමේ අරමුණ සඳහා යොදා ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ උපාය මාර්ගය විය. ඔවුන් පරසතුරු ආක්‍රමණයක් මවාපෑව ද පළමු කැරැල්ලේ පහරදීම් ඉලක්ක වූයේ පරසතුරන්ට නොව ඔවුන්ගේ දේශීය සතුරන්ටය. සම්ප්‍රදායික වාමාංශික නායකයන් දේශපාලන සතුරන් ලෙස සලකා ඔවුන් ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක් එම පක්ෂයට තිබුණ ද 71 කැරැල්ලේ දී එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාවට නැගීමට ජනතා විමුක්ති පෙරමුණට හැකිවූයේ නැත. ඔවුන් ඔවුන්ගේ දෙවැනි කැරැල්ල සූදානම් කළේ ද ඇතිවන්නට යන පරසතුරු ආක්‍රමණයකට එරෙහිවය.

එහිදී ඇමරිකාව වෙනුවට ආක්‍රමණිකයා වූයේ ඉන්දියාවය. ඉන්දියානු අත පෙවීමක් ඇතිවන්නට යන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු තත්ත්වයක් ඉදිරියේ ඉන්දියානු විරෝධී දේශප්‍රේමී යුද්ධයක් සඳහා සිය අනුගාමිකයන් සූදානම් කළේය. එහෙත් එහිදී ඔවුන්ගේ ඇත්ත ඉලක්කය වූයේ ඉන්දීය සාම සාධක හමුදාව නොව, ඔවුන්ගේ දේශීය දේශපාලන සතුරන්ය. ඔවුන් දේශපාලන සතුරන් ලෙස දැක්කේ තමන්ගේ දේශපාලනය අනුමත නොකරන සියලු දෙනාය. පළමු කැරැල්ලේ දී මෙන් නොව, දෙවැනි කැරැල්ලේදී මහා විනාශයක් ඇති කිරීමට ඔවුන් සමත් විය. ඔවුන් පළමු වටයේදී ජනතාව මුසපත් කළේය. ඉන්පසු මුසපත් වූ ජනතාව බිය ගන්වා, බලය අල්ලා ගැනීමට උත්සාහ කළේය. සිය සාහසික ඉලක්කය ජයගැනීමට ඔවුන් ඔන්න මෙන්න කියන තැනකට පැමිණීමට සමත් වුවත්, රටේ වාසනාවකට මෙන් ඔවුන්ට බලය අල්ලා ගැනීමට හැකිවූයේ නැත. දෙවැනි කැරැල්ලේ පරාජයෙන් පසු ඔවුන් ආයුධ මාවත අතහැර පාර්ලිමේන්තු මාවතට රිංගා ගත්තේය.

දැන් ඔවුන් පාර්ලිමේන්තු මාවත තුළ ද බලය අල්ලා ගැනීමේ අරමුණ ජයගන්නට උත්සාහ දරමින් සිටින්නේ පැරණි ආකාරයටමය. දැන් නැවත වරක් ඔවුන් ඇතිවිය හැකි පරසතුරු ආක්‍රමණයක් පිළිබඳව මහජනතාව බිය ගන්වමින් සිටින්නේය. ඔවුන්ගේ අලුත්ම ආක්‍රමණික පරසතුරා වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ බටහිර රටවල්ය. ජනතා විමුක්ති පෙරමුණ දේශනා කරන මතය අනුව මෙම බලවතුන් එකතුවට ශ්‍රී ලංකාව අල්ලාගෙන ප්‍රභාකරන්ට වෙනම රාජ්‍යයක් ලබාදීමට අවශ්‍ය වී තිබේ. රටට තිබෙන විදේශ සම්බන්ධතා කපාහැර රට අවුලට යවා බලය අල්ලා ගැනීම ජවිපෙ උපාය මාර්ගික අරමුණ වී තිබෙන බව පෙනේ. අසංවිධානාත්මක ලක්ෂයකට වඩා සංවිධානාත්මක දාහක් බලවත්ය. ප්‍රධාන පක්ෂ දෙකට මහජන බලයක් ඇතත්, සංවිධානාත්මක බලයක් ඇත්තේ තමන්ට යැයි ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරයි. රට අවුලට තල්ලු කරන ප්‍රතිපත්තියක් මගින් බලය අල්ලා ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ උපාය මාර්ගික අරමුණ වී තිබේ.

රට බලවත් අවුලකට ගිය අවස්ථාවක තමන්ට තිබෙන සංවිධානාත්මක බලයෙන් බලයට පත්විය හැකි යැයි ඔවුන්ගේ විශ්වාසය වී තිබෙන බව පෙනේ. ඒ අරමුණ වෙනුවෙන් ඔවුන් රටේ කටයුතු අවුල් කරමින් සිටී. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්ත ආයතනවලට හා බටහිර රටවලට පහර දෙන තැනකට යොමුවී සිටින්නේය. ඔවුන් ප්‍රකෝප කොට ශ්‍රී ලංකාව සමග සම්බන්ධකම් අත්හරවා ශ්‍රී ලංකාවට එරෙහිව තහංචි පනවන තත්ත්වයක් ඇති කරවා ගැනීම හා ඒ මගින් ආණ්ඩුවේ පැවැත්ම අවුලකට තල්ලු කොට බලය අල්ලා ගැනීම ඔවුන්ගේ උපාය මාර්ගික ඉලක්කය වී තිබෙන බව පෙනේ. ඔවුන් චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තු ආණ්ඩුව අර්බුදයට ගිය අවස්ථාවක එම ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩුවකට ගියේ කඩා වැටෙන්නට යන ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වූ නිසා නොව, අනාගත දේශපාලන භූමිකාවක් සඳහා මග හෙළිකර ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූ නිසාය.

ඉන්පසු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අවුල් කළේය. ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් ඇති කරගත්තේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව අවුලකට යවා තම පැවැත්ම ශක්තිමත් කරගැනීම සඳහාය. ඊළඟ වටය වූ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂට ආධාර කළේ ද මහින්ද රාජපක්ෂ කෙනෙකු බලයට පත් කොට, ඔහුගේ පැවැත්ම ශක්තිමත් කිරීමේ අරමුණින් නොව, තමන්ගේ බලය මත යැපෙන ජනාධිපතිවරයෙකු පත් කොට ඔහුගේ පාලනය අවුලට යවා බලයට පත්වීමේ අරමුණ ඇතිවය. දැන් ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස මහින්ද රාජපක්ෂ පාලනය අවුලට යවමින් සිටින්නේය. ශ්‍රී ලංකාව ලෝකය සමග තිබෙන සම්බන්ධකම්වලින් ඈත් කොට රටක් වශයෙන් තනි කොට රටට තහංචි පනවන තත්ත්වයක් නිර්මාණය කොට ඇතිවන අවුල් සහගත තත්ත්වය තුළ තම සංවිධානාත්මක බලයෙන් බලය අල්ලා ගැනීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා බටහිර රටවල්වලට එරෙහිව ඔවුන් කරන පහරදීම්වලදී බැලූ බැල්මට ඒවා පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සඳහා කරන ක්‍රියා ලෙසය.

එහෙත් ඇත්තටම ඒ මගින් සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරීම නොව විනාශ කිරීමය. ජනතා විමුක්ති පෙරමුණ නටන්න හදන නැටිල්ලේ සැඟවුණු අරමුණු තේරුම් ගැනීමට රට අසමත් වෙතොත් විය හැකි විනාශයේ ප්‍රමාණය අතිවිශාලය.