හොංකොංවල සිදුවූ නිහඬ විප්ලවය

January 27, 2008
Publication:
The second part of the Hong Kong argument, and the practical half: Godber's flight, the independent commission set up in answer to it, the cleaning of the police, the construction industry and the attorney general's department. A deputy director of prosecutions fled the country and the senior lawyer who helped him got four years. Today complaints against public servants are almost unheard of.

අල්ලස් හෝ දූෂණයේදී 1974ට පෙර හොංකොං රටේ පැවති තත්ත්වය අපේ රටේ පවතින තත්ත්වයටත් වඩා අයහපත් වී යැයි කිවහැකිය. ඕනෑම රජයේ ආයතනයකින් සේවාවක් ලබාගැනීම සඳහා අල්ලස් දීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව තිබුණි. හදිසි ගින්නක් නිවා ගැනීම සඳහා ගිනි නිවන හමුදාව කැඳවන අවස්ථාවකදී පවා අල්ලසක් දීම අත්‍යවශ්‍ය වී තිබුණි. අල්ලස් හෝ දූෂණය මුළු සමාජ දේහය පුරා ඔඩු දිවගිය පිළිකාවක් බවට පත්ව එම පිළිකාවෙන් මහජනතාව මහත් පීඩාවට පත්ව සිටියදී ඉන් ගැලවීමට මගක් නැතිව හොංකොං ජනතාව එය ඉවසා ගෙන සිටීමට පුරුදු වී සිටියේය. එය රටේ ප්‍රගතිය අඩාල කිරීමට හේතුවී තිබුණු අතර, රට නීතියක් නැති මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගේ, සූදුකරුවන්ගේ හා හොරබඩු ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණි

ගොඩ්බර් පලායාම

සමස්ත චිත්‍රයේ මහා වෙනසක් ඇති කිරීමට හේතුවන සිද්ධියක් 1973 වසරේදී සිදුවිය. හොංකොං ඩොලර් මිලියන 4.3කට වැඩි වටිනාකමකින් යුතු අයථා ලෙස වස්තුව උපයා ගත් ඉංග්‍රීසි ජාතික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ඔහු එම වස්තුව උපයාගත් ආකාරය දින ගණනක් තුළ ඇටර්නි ජනරාල්වරයාට හෙළිදරව් කළයුතු බවට පනවන ලද නියෝගයක් තිබියදී රටින් පලායෑමට එම දූෂිත පොලිස් නිලධාරියා සමත් විය. දූෂණ චෝදනා එල්ල වී තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගොඩ්බර් රටින් පලායාමේ සිද්ධිය හොංකොං ජනතාව විශ්මයට පත්කිරීමට හේතුවිය. ගොඩ්බර් අත්අඩංගුවට ගෙන ඔහු නීතිය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලා පෙළපාලි යන ජනතාවගෙන් හොංකොං රට ඇළලී ගියේය. මෙම මහජන උද්ඝෝෂණවලට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් ගොඩ්බර් සිද්ධිය සොයා බැලීම හා හොංකොං හි පවතින දූෂණය මර්දනය කිරීම සඳහා කුමක් කළ යුතු ද යන ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීම සඳහා ඒක පුද්ගල කොමිසමක් පත් කිරීමට හොංකොං ආණ්ඩුකාරයට සිදුවිය.

ඒක පුද්ගල කොමිසම ගොඩ්බර් සිද්ධිය විශ්ලේෂණය කරන අතර, හොංකොං දේහය වෙළාගත් අල්ලස් හෝ දූෂණය මර්දනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග විග්‍රහ කරන වාර්තාවක් ආණ්ඩුකාරවරයාට බාර දුන්නේය. දූෂණය මර්දනය කිරීම සඳහා අවංක අභිලාෂයක් ආණ්ඩුවට තිබෙන බව පෙන්නුම් කිරීමේ වැදගත්කම අවධාරණය කරන අතර, දූෂණ මර්දනය සඳහා පොලිසියෙන් මුළුමණින් වෙන්වූ ඒ සඳහා කැපවීමකින් ක්‍රියා කරන ස්වාධීන ආයතනයක් ගොඩනැගීමේ අවශ්‍යතාව එම කොමිෂන් සභා වාර්තාවෙන් අවධාරණය කළේය.

ස්වාධීන කොමිසමක් ඇති කිරීම

මෙම කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීමෙන් පසු 1973 ඔක්තෝබර්වලදී ආණ්ඩුකාරවරයා මෙම විෂය පිළිබඳව පාර්ලිමේන්තුව අමතා විශේෂ කතාවක් කළේය. අල්ලස් හෝ දූෂණය බිහිසුණු පිළිකාවක් ලෙස රාජ්‍ය අංශය වෙලාගෙන තිබෙන ආකාරය විස්තර කරමින් මෙම තත්ත්වය ජයගැනීම සඳහා ආණ්ඩුවේ සිවිල් සේවයට හෝ පොලිස් සේවයට අනුයුක්ත නැති තමන්ගේ සම්පූර්ණ කාලය දූෂණය මර්දනය සඳහා යොදන, මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ස්වාධීන හා බලවත් ආයතනයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ආණ්ඩුකාරවරයා එහිදී අවධාරණය කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1974 පෙබරවාරිවලදී දූෂණයට එරෙහිව ස්වාධීන කොමිසම පිහිටුවන ලදි. කොමිසමේ සංයුතිය ගැන කතා කිරීම පසුවට තබා කොමිසම තමන් වෙත පවරන ලද වගකීම ඉටු කරන ලද ආකාරය පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරමි. කොමිසම වෙත පැවරුණු පළමු වගකීම වූයේ හොංකොං මහජනයාගේ විරෝධයට හේතුවී තිබූ එක්සත් රාජධානියට පලා ගොස් සිටි පීටර් ගොඩ්බර් නැවත හොංකොං රටට ගෙනවිත් නීතිය ඉදිරියට පමුණුවාලීමය.

දෙවැනි වගකීම වූයේ ඉන්පසු දූෂණයෙන් කුණුවී තිබූ හොංකොං පොලිසිය පිරිසිදු කිරීමය. තුන්වැනි වගකීම වූයේ දෙවැනි අරමුණ සැපිරීමෙන් පසු රාජ්‍ය සේවය අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් බවට පත්කිරිමය. කොමිසම එතෙක් පොලිසිය බාරේ පැවති ගොඩ්බර් සිද්ධියට අදාළ සියලු පරීක්ෂණ වාර්තා සිය භාරයට ගනිමින් සිය පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන ගියේය. තමන්ගේ වැටුප් ආදායමෙන් උපයාගත නොහැකි තරම් අතිවිශාල ධනයක් ගොඩ්බර් උපයාගෙන ඇති බව ඔහු නමට තිබූ හොංකොං හා විදේශ බැංකු ගිණුම් හා දේපළ ආශ්‍රයෙන් සනාථ කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි කොමිසමට තිබුණ ද එම ධනය දූෂිත ලෙස උපයාගෙන ඇති බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂිකරුවන් කොමිසම සතු නොවීය. එහෙත් දූෂණ චෝදනා මත සිරදඬුවම් විඳිමින් සිටි උසස් පොලිස් නිලධාරියෙකු අයථා ලෙස මුදල් උපයා ගත හැකි පොලිස් බලප්‍රදේශයක් භාරව ක්‍රියාකිරීමට කරනු ලබන පත්කිරීමක් සඳහා ගොඩ්බර්ට හොංකොං ඩොලර් 25,000ක අල්ලසක් ලබාදීමේ සිද්ධියක් පිළිබඳ විස්තර කොමිසමට ලබා දුන්නේය.

ඒ ගැන කොමිසම සිය පරීක්ෂණ කළේ බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ පොලිසියේ ද සහාය ඇතිවය. අවසානයේදී ගොඩ්බර් පිටුවහල් කිරීමේ නියෝගයක් බ්‍රිතාන්‍ය අධිකරණය මගින් ලබාගැනීමට කොමිසම සමත් විය. පිටුවහල් කරන ලද ගොඩ්බර් හොංකොං ගුවන් තොටුපලට ගෙන්වන ලද්දේ 1975 ජනවාරි 7 වැනිදාය. ගොඩ්බර් නඩු විභාගයේ පැමිණිල්ල මෙහෙයවීම සඳහා හොංකොං ආණ්ඩුව බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ නීතිවේදියකු යොදා ගන්නා ලදි. එසේ කළේ දූෂණය මර්දනය කිරීම සඳහා තිබෙන අවංක වුවමනාව සංකේතාත්මකව මහජනතාවට පෙන්නුම් කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වූ නිසාය. එක දිගට අසන ලද දින හයක නඩු විභාගයකින් පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගොඩ්බර්ට අවුරුදු හතරහමාරක සිරදඬුවමක් නියම විය.

හොංකොං පොලිසිය පිරිසිදු කිරීම

ඉන්පසු කොමිසම දූෂණයෙන් හොඳටම කුණුවී තිබුණු හොංකොං පොලිසිය එම තත්ත්වයෙන් මුදා ගැනීමේ වඩා දුෂ්කර මෙහෙයුම දියත් කරන ලදි. හොංකොං පොලිසියේ සේවා නියුක්තිය 3000කි. ඉන්පසු 1974-1977 කාලය තුළ කොමිසම දූෂණ චෝදනා මත අධිකරණය ඉදිරියට පමුණුවාලූ විවිධ තරාතිරම්වලට අයත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 260කි. 1977 වසරේ පමණක් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද විවිධ තරාතිරම්වලට අයත් පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව 200ක් වන විට එක වැටලීමකින් පමණක් අත්අඩංගුවට ගන්නා ලද විවිධ තරාතිරම්වලට අයත් පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 140ක් විය. දුෂණයෙන් කුණුවී තිබුණු හොංකොං පොලිසියට එරෙහිව කොමිසම අනුගමනය කළ මෙම දැඩි ප්‍රතිපත්තිය කොමිසමට එරෙහිව පොලිසියෙන් ප්‍රචණ්ඩ නැගිටීමක් ඇති කිරීමට හේතුවිය. 1978 ඔක්තෝබර් 28 වැනි දින දූෂණයට එරෙහි ස්වාධීන කොමිසමට එරෙහිව සටන් පාඨ කියමින් එම කොමිසමේ මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදුණු පොලිස් නිලධාරීන් 120 දෙනෙකු ගොඩනැගිල්ලේ වීදුරු ජනෙල්වලට පහරදීමෙන් නොනැවතී කොමිසමේ සේවය කළ නිලධාරීන් පස්දෙනෙකුට පහර දුන්නේය.

ජනමාධ්‍ය එම සිද්ධිය වාර්තා කළේ දූෂණයට එරෙහිව ස්වාධීන කොමිසමට විරුද්ධව හොංකොං පොලිසිය විසින් කරන ලද කැරැල්ලක් ලෙසය. මෙම පොලිස් නැගිටීම සිදුවූ දිනට පසුදිනම ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා හොංකොං ආණ්ඩුකාරවරයා වැරදි කළ පොලිස් නිලධාරීන් සඳහා පොදු සමාවක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. ඒ අනුව 1977ට පෙර කරන ලද ඉතාමත් බරපතළ නොවන දූෂණ වැරදි සඳහා පොදු සමාවක් ලබාදෙනු ලැබීය. ඉතාමත් බරපතළ වැරදිවලදී ප්‍රධාන විධායකයාගෙන් අනුමැතිය ලැබෙන අවස්ථාවලදී 1977ට පෙර සිදුවූ වැරදි සඳහා ද කොමිසමට පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරවීමේ බලය හිමිවිය. කොමිසම අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ වැරදිවලදී පොලිසියට එරෙහිව පවත්වාගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය හා දූෂණ චෝදනා එල්ල වූ විවිධ තරාතිරම්වලට අයත් පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවකට දඬුවම් ලබාදීම නිසා හොංකොං පොලිසිය ලෝකයේ තිබෙන හොඳම හා දූෂණයෙන් තොර පොලිසි සේවාවන්ගෙන් එකක් බවට පරිවර්තනය කිරීමට හේතුවිය.

අද හොංකොං පොලිසිය ලෝකය ගෞරවයට හේතු වූ පොලිස් සේවාවන් කිහිපයෙන් එකක් බවට පත්වී තිබේ.

ඉදිකිරීම් අංශය

පොලිස් සේවාව පිරිසිදු කිරීමෙන් පසුව කොමිසම රාජ්‍ය අංශයේ අනෙකුත් සේවාවන් පිරිසිදු කිරීම සඳහා පොලිස් සේවාව පිරිසිදු කිරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. කොමිසම රාජ්‍ය සේවයේ හැම අංශයකටම අතගැසුවේය. මෙහිදී මම අප රටට වැදගත් වන නිදර්ශන දෙකකට පමණක් සීමාවෙමි. හොංකොං රට අහස උසට ගොඩනැගුණු තට්ටු නිවාසවලින් යුතු රටකි. මහජනයා ජීවත්වන තට්ටු නිවාසවලින් වැඩි හරියක් ආණ්ඩුවේ නිවාස අමාත්‍යාංශය විසින් ඉදිකරන ලද ඒවාය. තට්ටු නිවාසයක කොන්ක්‍රීට් අඟලක තිබිය යුතු ශක්තිය 20MPa වුවත්, විටින් විට 1985 දක්වා ඉදි කළ එම තට්ටු නිවාසවල සැබෑ කොන්ක්‍රීට් ශක්තිය 15MPa හෝ ඊට වඩා අඩු තත්ත්වයක තිබෙන බව සොයා ගන්නා ලදි. එක තට්ටු නිවාස යෝජනා ක්‍රමයක තිබු කොන්ක්‍රීට් ශක්තිය 5.9MPa ක් බව සොයා ගන්නා ලදි. මෙම ඛේදජනක තත්ත්වයට වගකිවයුතු කොන්ත්‍රාත්කරුවන්ට හා රාජ්‍ය නිලධාරීන් පිළිබඳව කොමිසම දීර්ඝ විමර්ශනයක නිරත විය.

එය අවුරුදු 20කටත් වැඩි කාලයක් තුළ සිදුවී ඇති දූෂණයක් නිසා වගකිවයුත්තන් සොයා ගැනීම පහසු නොවූවත්, සිදුකළ විමර්ශනයේදී සියලු කොන්ත්‍රාත්කරුවන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතීන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ට ලැබෙන මාසික වැටුපට සමාන මුදලක් අල්ලස් වශයෙන් මාසිකව ගෙවා තිබෙන බව සොයා ගන්නා ලදි. තට්ටු නිවාස කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකු දූෂණ චෝදනා මත අධිකරණය ඉදිරියට පුමුණුවා දඬුවම් කරන ලද අතර, රාජකාරිය නිසියාකාරව ඉටු නොකළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලදි. මෙම වැරදි සිදුවී තිබුණේ අවුරුදු 20කටත් වැඩි කාලයක් තුළ බැවින් ඔප්පු කළ හැකි නඩු ගණන විශාල නොවූවත් කොමිසම එහිදී ක්‍රියාවට නගන ලද දැවැන්ත විමර්ශන ක්‍රියාවලිය ඉදිකිරීම් ව්‍යාපාර සංස්කෘතියට කාවැදී තිබුණු දූෂණය ඉවත් කරන වටපිටාවක් ඇති කිරීමට හේතුවිය.

ඉන්පසු කොන්ත්‍රාත්කරුවන් සේ ම රජයේ නිලධාරීන් ද මහජනයා සඳහා තට්ටු නිවාස ඉදිකිරීමේදී ඉහළම මට්ටමේ ප්‍රමිති තත්ත්වයක් පවත්වා ගැනීමට වග බලා ගන්නා තත්ත්වයක් ඇතිවිය. වර්තමානයේ කොන්ත්‍රාත්කරුවන් රජයේ නිලධාරීන්ට අල්ලස් දීමට උනන්දු නොවනවා සේ ම රජයේ නිලධාරීන් ද කොන්ත්‍රාත්කරුවන්ගෙන් අල්ලස් ලබාගැනීමට හීනෙන් හෝ අපේක්ෂා නොකරති.

නීතිපති දෙපාර්තමේන්තුව

කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගෙන හැර දක්වන අවසාන නිදර්ශනය ඒ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට හා නීතිඥ ක්ෂේත්‍රට අදාළය. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අපරාධ නඩු අධ්‍යක්ෂවරයා සමග පෞද්ගලික සේවයේ යෙදෙන නීතිඥයන් දෙදෙනෙකු 1989 ජූනි 27 වැනිදා අත්අඩංගුවට ගෙන එදිනම කොමිසම ඔවුන් ඇප මත මුදා හැරියේය. නියෝජ්‍ය අපරාධ නඩු අධ්‍යක්ෂවරයා තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයකුගේ සහාය ඇතිව 1989 දෙසැම්බර් 29 වැනි දින පිලිපීනයට පලා ගියේය. කොමිසම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේය. නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂවරයාට එල්ල වී තිබූ චෝදනාව වූයේ ව්‍යාපාරික අපරාධ නඩුවලදී වාසිදායක නඩු සකස් කිරීම සඳහා ඔහු සමග අත්අඩංගුවට ගන්නා ලද නීතිඥයන්ගෙන් අල්ලස් ලබාගෙන ඇති බවය. පිලිපීනයට පලා ගිය නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂවරයා 1990 මාර්තු 29 වැනිදා හොංකොං රටට පිටුවහල් කරවා ගැනීමට කොමිසම සමත් වූ අතර, තමන් සන්තකයේ ඇති ධනය උපයා ගත් ආකාරය පැහැදිලි කරන ලෙස නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලදි.

නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂවරයා උපයාගෙන තිබූ වත්කම්වල වටිනාකම හොංකොං ඩොලර් මිලියන 16කි. ඔහුට නවසීලන්තයේ ඉඩම් තුනක් ද, පලතුරු ව්‍යාපාරයක් ද තිබුණි. නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂවරයා දූෂිත පුද්ගලයෙකු වේ යැයි නීති ක්ෂේත්‍රයේ කිසිවකු ඒ මොහොතේ විශ්වාස නොකළේය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිටි දක්ෂතම හා වර්ණවත්ම පුද්ගලයා විය. නවසීලන්තයේ තිබුණු ඔහුගේ මවගේ නිවස නවසීලන්ත පොලිසියේ ද සහාය ඇතිව කොමිසමේ පරීක්ෂකයන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔහුගේ මව විසින් ඇගේ සන්තකයේ තිබුණු සියලු ලියවිලි පුළුස්සා තිබෙන බව වත්තේ කොණක තිබුණු අළු ගොඩින් ඔවුන් හඳුනා ගත්තේය. එහෙත් නිවස පරීක්ෂා කිරීමේදී එක් වැදගත් ලියවිල්ලක් සොයාගැනීමට පරීක්ෂකයන් සමත් විය. එතෙක් පරීක්ෂකයන් අසන ප්‍රශ්නවලට පිළිතුරුදීමෙන් වැළකී නිශ්ශබ්දව සිටින තත්ත්වයක සිටි (දූෂණ පරීක්ෂණයකදී පිළිතුරු නොදී නිශ්ශබ්දව සිටීමේ අයිතිය හොංකොංවලදී චූදිතයන් සතුය.) අපරාධ නඩු අධ්‍යක්ෂවරයා කතා කිරීම ආරම්භ කළේ ඉන්පසුවය.

තමාට තිබූ නිල බලය අයථා ලෙස වස්තුව උපයා ගැනීමට යොදා ගැනීමට බලපෑ හේතු ඔහු පරීක්ෂකයන්ට පාපෝච්චාරණය කළේය. අධිකරණය ඔහුට අවුරුදු 8ක සිරදඬුවමක් නියම කොට හොංකොං ඩොලර් මිලියන 12ක වන්දියක් රජයට ගෙවන ලෙස නියම කළේය. තමන්ට නියම කරන ලද සිරදඬුවම ලිහිල් කරගැනීම සඳහා ඔහු සමග දූෂණ ක්‍රියාවන්ට පැටලුණු අනෙකුත් නීතිඥයන්ට එරෙහිව පවරන ලද නඩුවලදී රජයේ සාක්ෂිකරුවකු බවට පත්වූයේය. ව්‍යාපාරික අපරාධ නඩුවලදී වාසිදායක නඩු ලබාගැනීම සඳහා නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂවරයා සමග අතරමැදියන් ලෙස ක්‍රියා කළ බැරිස්ටර්වරායට හා සොලිසිටර්වරයාට ද අවුරුදු 7ක සිරදඬුවමක් පමුණුවන ලද අතර, එම තීන්දුවට එරෙහිව ඔවුන් දෙදෙනා ඉදිරිපත් කළ අභියාචනයෙන් පසුව බැරිස්ටර්වරායාගේ සිරදඬුවමට තවත් අවුරුදු 2කින් දීර්ඝ කරන ලද අතර, සොලිසිටර්වරයාගේ සිරදඬුවම අවුරුදු දෙකකින් අඩු කරන ලදි.

නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂවරයාට රටින් පලායාමට ආධාර කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයාට ද අවුරුදු හතරක සිරදඬුවමක් නියම විය. දැන් හොංකොං රටේ රාජ්‍ය අංශය පිරිසිදුය. රජයේ සේවාවන් ලබාගැනීම සඳහා අල්ලස් දීමක් අවශ්‍යවන්නේ නැත. තමන් වෙත පැවරෙන වගකීම් හරියාකාරව ඉටු නොකිරීම ද දූෂණ ගණයේ වරදක් බවට පත්ව තිබෙන තත්ත්වයක් තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂම වී තිබේ. දැන් රාජ්‍ය සේවකයන්ට එරෙහිව පැමිණිලි ලැබෙන්නේ ම නැති තරම්ය. හොංකොංවල තිබෙන දූෂණයට එරෙහි ස්වාධීන කොමිසම වැනි කොමිසමක් ශ්‍රී ලංකාවේ තිබුණේ නම් දේශපාලන තලයේ, නිලධර තලයේ හා අධිකරණ තලයේ විශාල පිරිසකට සිරබත් කන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. සමහරවිට දඬුවම් ලබන අයගේ අනුපාතය 50%ක් තරම් විශාල විය හැකිය. (එම කොමිසමේ සංයුතිය, ස්වභාවය පිළිබඳ විස්තරයක් ලබන සතියේ)