මහා වීර දිනයේ ප්‍රභාකරන්ගේ කතාව

October 29, 2026
Publication:
The LTTE has a heroes' day and so does the JVP, and no other party has one. Ivan reads Prabhakaran's speech against the year's losses — the two failed assassinations, of the army commander and the defence secretary, which he says became the driving force of the war — and ends on the economy, where the GSP+ concession holds up the garment industry and losing it would push the country from tangle to tangle.

එල්ටීටීඊයට සේ ම, ජේවීපීයට ද මහා වීර දිනයක් ඇත්තේ ය. එහෙත් රටේ අනෙක් පක්ෂවලට තම පක්ෂය වෙනුවෙන් මියගිය වීරයන් සමරණ දිනයක් නැත්තේය.

එල්ටීටීඊය වීරයන් ලෙස සලකනුයේ සිය ඊළාම් අරමුණ වෙනුවෙන් සයනයිඩ් කා මියගිය, සටන් බිමේදී මරණයට පත් හා ප්‍රතිපක්ෂය අතින් මරණයට පත් සියලු දෙනාය. විජේවීර මියගොස් ඇතත්, තාමත් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින නිසා ජවිපෙට වෙනස්ව එල්ටීටීඊයට සිය වීරයන් සමරන්නට සිදුවී තිබෙන්නේ සිය නායකයාගේ නම නැතිව ය. එහෙත් ජවි පෙරමුණේ වීරයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ විජේවීරය. විජේවීර සටන් බිමෙන් පිටස්තරව ඉඳිමින් සටන් කරන අයට අතදුන්නා විනා සටන්බිමේ සටන් කළේ නැත. එහෙත් ප්‍රභාකරන් අතදෙනවාට අතිරේකව සටන්බිමේ සටන් කරන අවස්ථා ගැන ද අසන්නට ලැබේ. ජවිපෙ වීරයන්ගේ ස්වභාවය ද බොහෝදුරට එල්ටීටීඊය සමරන වීරයන්ගේ ස්වභාවයට සමානය. පක්ෂ දර්ශනය අනුව අනුකම්පා විරහිතව අනුන් මරා දමන සිත් පිත් නැති අරගලයේදී තමන් අතින්, සටන් බිමේදී හෝ සතුරා අතින් මියගිය සියලු දෙනා වීරයෝය. ඔවුන් අතින් මරණයට පත් සියලු දෙනා ද්‍රෝහියෝය. ප්‍රභාකරන්ට තාමත් සිය වීරයන් සමරන්නට සිදුවී තිබෙන්නේ කැලේ ඉඳිමිනි. එහෙත් ජවිපෙ දැන් සිය වීරයන් සමරන්නේ කැලේ ඉඳිමින් නොව, පාර්ලිමේන්තුවේ ඉඳිමිනි. සන්නද්ධ අරගලය අතහැර ඇතත්, අතීත ප්‍රචණ්ඩත්වයේ ආස්වාදයෙන් තවමත් අත්මිදී නැත.

විජේවීරගේ අවසානය අතිශයෝක්තියට නගන ලද රසකතා විවිධ පුවත්පත්වල පළවී තිබුණි. ඔහු මරා දමන ලද ආකාරය ඉතාමත් සාහසික වන බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් ඔහු අහිංසක මිනිසකු නොවීය. ඔහුගේ අණින් ද විශාල සංඛ්‍යාවක් මරණයට පත්විය. ඔහු සිය දේශපාලන සතුරන් අනුකම්පා විරහිතව ඝාතනය කෙරෙව්වේය. එවැනි අයට සාධාරණ අවමංගල්‍යය උත්සවයකටවත් ඉඩ නොතැබීය. අවසානයේදී ඔහුගේ සතුරන් ඊට සමාන ආකාරයකින් ඔහු ද ඝාතනය කළේය. ප්‍රභාකරන්ගේ සංවිධානය මෙන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී දිවිතොර කරගන්නා සංචිතයක් ඇතිකර ගැනීමට විජේවීර සමත් වී නම්, සතුරා අතින් වෙනුවට තමා අතින් මරණයට පත්වීමේ වාසනාව භුක්ති විඳීමේ හැකියාව විජේවීරට ද හිමිවන්නට තිබුණි.

අව වරප්‍රසාදිත සිංහල ගැමි තරුණ පරපුර ජයගැනීමට විජේවීර සමත් වුවත්, සිය දරුවන් ජයගැනීමට ඔහු සමත් නොවීය. විජේවීර හා බිරිය ඇසුරු කරන අයගේ මතය වී ඇත්තේ දරුවන් කිසිවකු තුළ විජේවීර පිළිබඳව ගෞරවයක් නොපවත්නා බවය. ජවිපෙ තරුණ තරුණියන් දිනාගැනීමට සමත් වී ඇතත්, සිය නායකයාගේ එක දරුවකු හෝ දිනාගැනීමට සමත් වී නැත. ප්‍රභාකරන්ගේ දරුවන් වර්තමානයේ දී හා අනාගතයේදී සිය පියා දකින්නේ හා දකිනු ඇත්තේ කෙසේද යන්න අපි නොදනිමු.

පාර්ලිමේන්තුවේ වෙනුවට කැලේ සිටියේ නම්, වීර දිනයේදී සෝමවංශ අමරසිංහ කරන කතාව ද ප්‍රභාකරන් කරන කතාව තරම්ම වැදගත් වන්නට ඉඩ තිබුණි. එහෙත් දැන් ඔවුන් සිටින්නේ කැලේ නොවන නිසා අතීතයේදී ඔවුන්ගේ කෝපයට හා පිළිකුලට හේතුවී තිබුණු පාර්ලිමේන්තුවේ වන නිසා වීර දිනයේදී අද අපට වැදගත්වන්නේ සෝමවංශගේ කතාව නොව ප්‍රභාකරන්ගේ කතාවය.

සාහසිකත්වයට හා ප්‍රචණ්ඩත්වයට ආයුබෝවන් කියා නැතත්, දැන් ප්‍රභාකරන් සිටින්නේ තරුණ වයසේ නොව, විශ්‍රාම යන වයසට ආසන්න තත්ත්වයකය. ප්‍රභාකරන්ගේ ඊළාම් අරගලයට ආධාර කරන බවට ජවිපෙ ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයට චෝදනා කරන විට මෙවර වීර දින කතාවේදී ප්‍රභාකරන් කළේ ද දෙමළ ජනතාවට එරෙහිව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දියත් කර තිබෙන යුද්ධ ව්‍යාපාරයට ආධාර කිරීම ගැන ඇමරිකාව ප්‍රධාන බටහිර ලෝකයට චෝදනා කිරීමය. දෙපිරිස ඉන්නේ අන්ත දෙකක වුවත්, දේවල් දකින ආකාරය එක සමාන බව ඉන් පෙනේ.

නුගේගොඩ ඛේදවාචකය

ප්‍රභාකරන්ගේ වීර දින කතාවට පසුදින බෝම්බ පිපිරීමක් නිසා නුගේගොඩ මහා විනාශයක් සිදුවිය. නැවත යුද්ධ බිය අගනුවර ජනයා අතර පැතිර යමින් තිබෙන බවක් ද පෙනී යයි. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුදවාදී පිළිවෙතේ නොවැළැක්විය හැකි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් විග්‍රහ කරනු දැකිය හැකිය. ආණ්ඩුව කිළිනොච්චියට ගුවනින් පහර දේ. එම පහරදීම් නිසා සාමාන්‍ය වැසියන් ද මරණයට පත්වේ. දැන් ප්‍රභාකරන් ද එකට එක කරන තැනකට තල්ලු වී සිටී. එය අසන්නට ලැබෙන ජනප්‍රිය විග්‍රහයකි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළ යුතුව තිබුණේ කුමක්ද? ඊට දිය හැකි සරල පිළිතුරක් තිබේද? රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ආරම්භ කොට එම ආණ්ඩුවේ අවසානයට පෙර හිරවී තිබූ සාම සාකච්ඡා ඉදිරියට ගෙන යන පිළිවෙතක් මගින් මෙම ප්‍රශ්නයට වඩා හොඳ පිළිතුරක් ලබාගැනීමට හැකියාවක් තිබුණේ ද?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට ආවේ පැවති සාම කතාවලට පක්ෂපාත ස්ථාවරයක පිහිටා නොව, විරුද්ධ ස්ථාවරයක පිහිටාය. ජවිපෙ හා ජාතික හෙළ උරුමය නව ආණ්ඩුවේ උද්යෝගිමත් ආධාරකරුවන් බවට පත්ව සිටියේය.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සටන් විරාමයකට යමින් සාම සාකච්ඡා වට කිහිපයක් සාර්ථකව ඉදිරියට ගෙනයෑමට සමත්ව තිබුණ ද එම ආණ්ඩුව බලයේ සිටියදීම සාමාන්‍ය වැඩපිළිවෙළ බිඳ වැටෙන තැනකට පත්ව තිබුණි. මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ බලයට ආව ද නැවත සාම කතා වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නොවීය. ආණ්ඩුව පමණක් නොව, එල්ටීටීඊය ද පුල්ලි මාරු කොට තිබුණි. සාම කතා තවදුරටත් ඉදිරියට ගෙනයෑමට නම් එල්ටීටීඊය ඉල්ලා සිටින මස් රාත්තලම දීම අත්‍යවශ්‍ය පූර්ණ කොන්දේසියක් බවට පත්ව තිබුණි. එසේම මොන මොන හේතු නිසා හෝ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම එල්ටීටීඊයේ ද පරම අභිලාෂය වී තිබුණි.

රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම වැළකී මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමෙන් පසු ද නව පාලකයාට සීමිත කාලයක් හෝ නිදහසේ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් එල්ටීටීඊය අනුගමනය කළේ නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ට එරෙහිව යුද්ධ කරන තැනකට ගැනීම එල්ටීටීඊයේ ද අභිලාෂය වූ අතර, එම අභිලාෂය සම්පූර්ණ කරගැනීම සඳහා තමන්ට කළ හැකි හැම දෙයක්ම එල්ටීටීඊය කළේය. ඒ අර්ථයෙන් දැන් පවත්නා යුද්ධය ආණ්ඩුවේ අභිලාෂය අනුව පමණක් නොව, එල්ටීටීඊයේ අභිලාෂයට අනුකූලව ද ඇතිවූවක් ලෙස සැලකිය හැකිය.

එහිදී එල්ටීටීඊයේ අවාසියට හේතුවන සාධක දෙකක් ක්‍රියාත්මක විය. යුද්ධය ආරම්භයේ දීම යුද හමුදාපතිවරයා බිලිගැනීම එල්ටීටීඊයේ අභිලාෂය විය. එම කුරුමාණම හරිගියේ නම් එය එල්ටීටීඊය යුදබිමේ ලබන අතිවිශාල ජයග්‍රහණයක් වන්නට ඉඩ තිබුණි. මරාගෙන මැරෙන එල්ටීටීඊ සෙබළියක් එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මැරෙන්න ආසන්න තත්ත්වයකට පත්කිරීමට එල්ටීටීඊය සමත් වුවත්, ඔහු මරණයට පත් කිරීමට සමත් වූයේ නැත. අවසානයේදී එම මාරාන්තික ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් හමුදාපතිවරයාම දැන් එල්ටීටීඊ විරෝධී යුද්ධයේදී යුද හමුදාවට අණදෙන පුද්ගලයා ලෙස ක්‍රියා කරයි. ඔවුන්ගේ ඊළඟ ප්‍රධාන ඉලක්කය වූයේ ආරක්ෂක ලේකම්වරයාය. ආරක්ෂක ලේකම්වරයා ගමන් ගත් රථයට පහරදීමට එල්ටීටීඊය සමත් වුවත්, ආරක්ෂක ලේකම්වරයා මරණයට පත්කිරීමට ඔවුන් සමත් වූයේ නැත. එල්ටීටීඊයේ මෙම අසාර්ථක ඝාතන ප්‍රයත්න දෙක යුද්ධයේ ධාවන බලය තීරණය කරන වැදගත් සාධක දෙකක් ලෙස ක්‍රියා කළේය. එල්ටීටීඊ විරෝධී යුද්ධය මෙහෙයවන ප්‍රධාන නායකයන් දෙදෙනාම ඝාතන ප්‍රයත්න දෙකකින් නූලෙන් දිවි ගලවා ගත් අය වන අතර, එම අත්දැකීම් ඔවුන් දෙදෙනා එල්ටීටීඊයට එරෙහිව අනුකම්පා විරහිතව යුද්ධ කරන තැනකට තල්ලු කර තිබෙන්නේය.

එල්ටීටීඊය හා ආණ්ඩුව අතර කෙරෙන යුද්ධය සම්ප්‍රදායික අර්ථයෙන් කරන යුද්ධයක් ලෙස සැලකිය නොහැකිය. එල්ටීටීඊය දෘශ්‍යමාන ආකාරයකින් පමණක් නොව, අදෘශ්‍යමාන ආකාරයකින් ද ක්‍රියා කරයි. එවැනි යුද්ධයක් තුළ ඕනෑම රටක මානව හිමිකම් අර්බුදයක් ද ඇතිවිය හැකිය.

යුද්ධයක් යන්නෙහි තේරුම ප්‍රතිපක්ෂ දෙකක් අතර කෙරෙන ප්‍රචණ්ඩ අරගලයකි. එහි දී ප්‍රතිපක්ෂය වෙනුවෙන් සටන් කරන අය එක්කෝ පණ පිටින් අල්ලා ගත යුතුය. නැත්නම් මරා දැමිය යුතුය. හැම මරා දැමීමක්ම මනුෂ්‍යත්වයට එරෙහිව කෙරෙන අපරාධයක් ලෙස සැලකිය හැකි වුවත්, යුද්ධයක ප්‍රධාන ඉලක්කය වනුයේ ද එයයි. එය පෙනෙන හා නොපෙනෙන ලෙස කෙරෙන යුද්ධයක් ලෙස පවතින තාක් නිල ඇඳුමෙන් පෙනී සිටින සතුරන්ට අතිරේකව සිවිල් වැසියන් අතර සිවිල් වැසියන් ලෙස සැඟවී සිටින සතුරන් සොයා යෑම ද නොවැළැක්විය හැකිය. මෙම දුෂ්ට චක්‍රය මේ සමාන ආකාරයකින් දකුණේ කැරකුණු යුගයක් ද තිබුණි. ඒ යුගයේදී සිවිල් වැසියන් අතර සිටින දෙමළ තරුණ තරුණියන් සැකයට හේතු නොවූ අතර, සිංහල තරුණයන් සැකයට හේතුවිය. ජවි පෙරමුණ ද ආරක්ෂක හමුදාවල සාමාජිකයන් පමණක් නොව, සිය සතුරන් ලෙස පෙනෙන හා සැකයට හේතුවන පුද්ගලයන් ඝාතනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළා සේ ම, ආරක්ෂක හමුදාවන් ද ජවිපෙ තරුණ තරුණියන් පමණක් නොව, ජවිපෙ ආධාරකරුවන් ලෙස පෙනුණු හා සැකයට හේතුවන පුද්ගලයන් ද ඝාතනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

ආරාවුල් බේරා ගැනීමට අන් ප්‍රශස්ත මාර්ග තිබුණා විය හැකි වුවත්, රටේ ක්‍රියාත්මක වූ පිළිවෙත එය විය. මේ ක්‍රියාවලියේදී ජවිපෙ අතින් අහිංසක මිනිසුන් මරණයට පත්වූවා සේ ම, ආරක්ෂක හමුදා අතින් ද අහිංසක මිනිසුන් මරණයට පත්විය. නැවත ශිෂ්ටාචාරය ඇතිවූයේ මෙම බිහිසුණු ක්‍රියාදාමය කළ එක පක්ෂයක් අභිබවා අනෙක් පක්ෂය ජයගැනීමෙනි. වඩා ප්‍රශස්ත ලෙස හා කෘෘර ලෙස සිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට ආරක්ෂක හමුදා සමත්වීම නිසා ජවිපෙ තීරණාත්මක ලෙස පරාජයට පත්විය. නැවත රට ගොඩ ආවේ එම බිහිසුණු අඳුරු කාලපරිච්ඡේදය අවසන්වීමෙන් පසුවය. විජේවීර, ගමනායක ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අත්අඩංගුවට ගෙන මරා දැමීමෙන් පසු ජවිපෙ දෙවැනි කැරැල්ල ද තීරණාත්මක ලෙස පරාජයට පත්විය. එම කැරැල්ලේදී හා කැරැල්ල මර්දනයේදී මියගිය කිසිවෙක් වීරයන් වන්නේවත්, ද්‍රෝහී වන්නේවත් නැත. ඔවුන් සියලු දෙනා ඉතිහාසය විසින් නියම කළ රංගනයක යෙදුණු අවසානයේ ඉතිහාසය විසින් සිය ගොදුරු බවට පත් කරගත් මිනිසුන් පිරිසක් ලෙස සැලකිය හැකිය. දැන් නැවත රට ගමන් කරමින් තිබෙන්නේ එම මතයේය. වෙනසකට ඇත්තේ මතය කැරකෙන දිසාව වෙනස්වීම පමණය.

පෙරදිගට බටහිර

හින්ද රාජපක්ෂ ආණ්ඩුව මීට පෙර බලයට පැමිණි ආණ්ඩුවලට වෙනස්ව එල්ටීටීඊයට එරෙහිව අනුකම්පා විරහිත යුද්ධයක් කරන අතර, බටහිර ලෝකයෙන් එල්ල වන බලපෑම් නොසලකා චීනය, රුසියාව, ඉරානය, වෙනිසියුලාව යන රටවල් ආශ්‍රයෙන් අභිනවයෙන් ගොඩනැගෙමින් තිබෙන බටහිර විරෝධී කඳවුරට බර තබා ක්‍රියා කරන පිළිවෙතකට යොමුවී සිටී. බටහිර රටවල් මානව හිමිකම් අරබයා එල්ල කරන බලපෑම් ආණ්ඩුව ගණන් ගන්නේම නැති තරම්ය. බටහිරින් එල්ල වන විවේචන නිශ්ශබ්දව අසාගෙන සිටින පිළිවෙතක් වෙනුවට එල්ල වන විවේචනයන්ට ප්‍රති විවේචන එල්ල කරන ප්‍රතිපත්තියක් ද අනුගමනය කරයි. මෙය ඉතාමත් අවදානම් සහගත හා අසම්මත ගමනක් වුවත්, ඉරාන චාරිකාවෙන් ලබා ගත් ප්‍රතිඵලවලින් පෙනෙන්නේ ඒ අසම්මත ගමනින් ද කැපී පෙනෙන ප්‍රතිඵල අත්පත් කරගැනීමට ජනාධිපතිවරයා සමත් වී තිබෙන බවය. ඉරානයෙන් සහතික වී තිබෙන ණය හා ආධාරවල වටිනාකම ඩොලර් බිලියන 1.7ක් වේ නම්, එය සාමාන්‍ය දෙයකට වඩා විශ්මයජනක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ ආධාර කණ්ඩායමට පවා සාම සාකච්ඡා කොන්දේසියක් බවට පත්කරමින් වසර 04ක් සඳහා වෙන් කළ මුදල ඩොලර් බිලියන 4.5ක් විය. ඒ ප්‍රමාණයෙන් 35%ක් තරම් ප්‍රමාණයක් එක රටකින් ලබාගැනීමට සමත් වී නම් එය කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. බටහිර රටවලින් ලැබෙන ණය ආධාර විශ්ලේෂණය කිරීමේදී ඔවුන්ගෙන් ලැබෙන පංගුව කැපී පෙනෙන තත්ත්වයක නොපවතී. ව්‍යාපෘතිවලදී අපට ලොකුම පංගුව ලැබෙන්නේ ජපානයෙනි. ඇමරිකාව ඇතුළු සියලු යුරෝපීය රටවල් එකට ගත්ත ද ජපානයෙන් ලැබෙන පංගුව වඩා විශාලය. ව්‍යාපෘති නොවන ණයවලදී ලොකුම පංගුව ලැබෙන්නේ කැනඩාවෙනි. ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයෙනි.

ණය ආධාර විෂයේදී බටහිර රටවල් නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට ඇතත්, ඇඟලුම් අංශයේදී අපගේ ලොකුම ගැනුම්කරුවා වී ඇත්තේ බටහිර ලෝකයයි. බටහිර ලෝකය සමග හිතවත්කමින් හා අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියා කිරීමට අපි අසමත් වෙතොත්, ඔවුන්ට අපට රිදවීමට අවශ්‍ය නම්, රිදවිය හැකි ලොකුම තැන වන්නේ ද එයයි. ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ වර්තමාන ගාම බලවේගය වන්නේ ඇඟලුම් කර්මාන්තයයි. විනිමය ආදායමේදී ඇඟලුම් කර්මාන්තයෙන් උපයන ආදායම දෙවැනි වන්නේ සංක්‍රාම ආදායමට පමණය. ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් දශ ලක්ෂ 3000ක පමණ වාර්ෂික ආදායමක් අප උපයන විට, තේ, පොල්, රබර් ඇතුළු සියලු කෘෂිකාර්මික අපනයනයන්ගෙන් අප උපයන්නේ රුපියල් දශලක්ෂ 1000කට ආසන්න වාර්ෂික ආදායමක් පමණය. ඇඟලුම් කර්මාන්තය ප්‍රධාන කොට රඳා පවතින්නේ යුරෝපීය රටවල වෙළෙඳපොළ මතය. යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සඳහා ලබාදී තිබෙන නිදහස් වෙළඳපොළ තත්ත්වය (GSP+) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවී තිබෙන අතර, එම තත්ත්වය ආරක්ෂා කරගැනීමට අපි අසමත් වෙතොත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවුලෙන් අවුලට යන තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මේ නිසා ආධාරවලදී යුරෝපය නොවැදගත් වුවත්, වෙළෙඳාමේදී ඉතා වැදගත් බව අමතක නොකරමින් යුරෝපය සම්බන්ධයෙන් සංවේදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම රටේ ආර්ථිකයේ පැවැත්ම සඳහා අවශ්‍යය. •