යුක්තිය පසිඳලීමේ දී යුක්තිය ඉටු කරන බව පෙනෙන්නට ද තිබිය යුතු ය

October 29, 2026
Publication:
The court acquitted a former deputy defence minister of the bribery commission's charges over forty-six million rupees in a bank safe, on a preliminary objection raised not at the start of the trial but after witnesses had been heard. Ivan sets that beside the Supreme Court's view that it stands above the International Labour Organisation, and beside J.R. Jayewardene's referendum, and asks what such judgments cost the country.

හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයෙකු වූ අනුරුද්ධ රත්වත්ත මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබූ අධි චෝදනාවලින් අධිකරණය ඒ මහතා නිර්දෝෂී කොට නිදහස් කළේ ය. එම නඩුවට නිමිත්ත වී තිබුණේ ඒ මහතා නමින් පෞද්ගලික බැංකුවක ආරක්ෂක සේප්පුවක තිබූ රුපියල් හාර කෝටි හැටහත් ලක්ෂයක මුදල් පිළිබඳ ප්‍රශ්නයකි. නඩුව විභාගයට ගැනුණේ උඩතලවින්න නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ විනිසුරුවරිය ඉදිරියේ ම ය. විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. සාමාන්‍යයෙන් මූලික විරෝධයක් ඉදිරිපත් විය යුත්තේ නඩුව ආරම්භයේදී ම වුවත්, මෙම මූලික විරෝධය ඉදිරිපත් වූයේ නඩුව ආරම්භයේ දී නොව, සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ සාක්ෂි ද ලබාගැනීමෙන් පසුව ය.

මෙම තීන්දුවේ නීත්‍යානුකූලභාවය කුමක් වුවත් එය මහජනයා තුළ බැලූ බැල්මට ඇති කරන හැඟීම යහපත් නැත. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පුද්ගලයන්ගේ තරාතිරම අනුව සිදුවන්නක්ය යන හැඟීම මහජනයා තුළ ඇති කරයි.

සේවකයන්ගේ වැඩ වර්ජන අයිතියට අදාළව අධිකරණය මගින් ප්‍රකාශ කර තිබෙන තීන්දු ද විවාදයට තුඩු දෙන සුළු ය. වෘත්තීය සමිති ගොඩනගා ගැනීමේ හා කේවල් කිරීමේ අයිතිය මූලික අයිතියක් ලෙස සැලකේ. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් ඇඟිලි සලකුණු ලබාගැනීමේ ප්‍රතිපත්තියට එරෙහිව දියත් කර තිබෙන වෘත්තීය අරගලයට එරෙහිව වාරණ නියෝගයක් පනවා තිබෙන අතර, එම වාරණ නියෝගය නොසලකා ක්‍රියා කළේය යන පදනම මත වෘත්තීය සමිති නායකයන් දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට ද පත් කර තිබේ. මීට පෙර වරාය වැඩවර්ජනයක දී වරායේ වෘත්තීය සමිතිවලට එරෙහිව ද ඉන්පසු ගුරු වැඩවර්ජනයේ දී ගුරු වෘත්තීය සමිතිවලට එරෙහිව ද එවැනි වාරණ නියෝග පනවන ලදි.

අධිකරණ වාරණ නියෝග මගින් වෘත්තීය සමිතිවලට වැඩ වර්ජනය කිරීමට තිබෙන අයිතිය අහිමි කිරීමේ පිළිවෙතට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ෂඛධ) වෙත පැමිණිලි කරන ලදුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය එම පැමිණිල්ල විභාගයට ගත්තේ ය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම වෘත්තීය සමිතිවලට එරෙහිව පනවන ලද වාරණ නියෝගය අයි.එල්.ඕ. ප්‍රඥප්තියට පටහැනි බව එය විසින් දෙන ලද තීන්දුව විය. අයි.එල්.ඕ. තීන්දුව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විමර්ශනයට ලක් වූ අතර, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික මට්ටමෙන් (අයි.එල්.ඕ.) ජාත්‍යන්තර කම්කරු උසාවියට වඩා උසස් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.

උසාවි නියෝග මගින් ඕනෑම වැඩ වර්ජනයක් අත්හිටුවිය හැකි නම්, වැඩවර්ජනවලින් තොර රටක් පවත්වාගෙන යා හැකි ය. වැඩවර්ජනාදිය වැරදි ලෙස පාවිච්චි කරන අවස්ථා තිබිය හැකි වුවත්, වැඩ වර්ජන අයිතිය මූලික අයිතියකි. එම අයිතිය අහිමි කරන්නේ නම් වෘත්තීය සමිති ව්‍යාපාර තිබීම ද තේරුමක් නැත.

සමහර ආරාවුල් ජයගැනීම සඳහා සරල විසඳුම් තිබිය හැකි වුවත්, ඒවා යුක්තිසහගත නොවේ නම් හා පිළිගත් මූලධර්මවලට පටහැනි වේ නම්, එම සරල විසඳුම්, ඇති කරන අනාගත ප්‍රතිඵල විනාශකාරී විය හැකි ය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට තමන්ට හයෙන් පහේ බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වූ විට, තවත් අවුරුදු 6ක් එම පාර්ලිමේන්තුවම පවත්වාගෙන යෑමට අවශ්‍ය වූ විට ජනමතවිචාරණයක් මගින් ඒ අරමුණ ඉටුකර ගත්තේ ය. එම වැඩපිළිවෙළ නීතියට පටහැනි වුවත්, අධිකරණය ද ඊට එකඟත්වය දුන්නේ ය. එහෙත් ඒ වෙනුවෙන් අවසානයේ රටට ගෙවන්නට සිදුවූ මිල අතිවිශාල ය. එම ක්‍රියාවලිය රටේ දේශපාලන ක්‍රමය විකෘති කිරීමට හේතුවුණා පමණක් නො ව, කෙළවරක් නැති තරමට ලේ වගුරුවන තැනකට රට ඇද දැම්මේ ය.

වැඩ වර්ජන අයිතිය අධිකරණ නියෝග මගින් වැළැක්වීමේ මෙම ක්‍රියාවලිය ද වඩා විශාල අවුල් ඇති කරන ක්‍රියාවලියක් බවට පත්විය හැකි ය. •