මුහුණ සමග තරහට නහය කපා ගැනීම

October 29, 2026
Publication:
The donor countries may reduce their dealings with Sri Lanka or drop them altogether, and nothing about that would be good for the country. Ivan understands why a guerrilla movement wants the state destabilised; what he cannot understand is southern parties working, knowingly or not, to the same end — the protest marches against foreign countries included.

ලංකාවට ආධාර කරන ආධාර කණ්ඩායමේ රටවල් ශ්‍රී ලංකාව සමග පවත්වන සම්බන්ධකම් අවම කිරීමේ හෝ මුළුමනින් අත්හැරීමේ අනතුරක් පවතී. එවැනි තත්ත්වයක් ඇතිවන්නට ඉඩ හැරීම කවර මට්ටමකින්වත් ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන්නේ නැත.

නැවත රටවල් සමග තිබෙන සම්බන්ධකම් ඉක්මණින් යහපත් තත්ත්වයකට පත්කිරීමේ උත්සාහයකට ශ්‍රී ලංකාව යොමුවිය යුතු ය.

ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව යුද්ධ කරන ගරිල්ලා ව්‍යාපාරයක් වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය හා එහි ආර්ථිකය අස්ථාවර තත්ත්වයක තැබීමට කොටි සංවිධානය දක්වන උනන්දුව තේරුම් ගත හැකි ය. එහෙත් දැන හෝ නොදැන ශ්‍රී ලංකාවේ දකුණේ දේශපාලන පක්ෂ ක්‍රියාකරමින් තිබෙන්නේ ඔවුන්ගේ අරමුණට අනුකූල වන ආකාරයට ය.

විදේශ රටවලට එරෙහිව ගෙන යන විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාර රටේ අයහපතට මිස යහපතට හේතුවී නැත. අපට ආධාර කරන රටවල අපට බලපෑමේ අයිතියක් පවතී. කෙනෙකු තවත් පුද්ගලයෙකුගේ අධ්‍යාපනය සඳහා වියදම් දරයි නම් එකී පුද්ගලයා ලබන ආධාර සිය අධ්‍යාපනික කටයුතු සඳහා හරියාකාරව පාවිච්චි කරයි ද යන්න සොයා බැලීමේ අයිතිය අනුග්‍රාහකයා සතු ය. අප ආධාර ලබන රටවල සුවච අතවැසියන්ගේ තත්ත්වයකට පත්විය යුතු නැත. තේරුමක් නැති දේවලට ඔවුන් සමග රණ්ඩු කරන තැනකට ද යා යුතු නැත.

කොටි සංවිධානය ගුවනින් බෝම්බ දැමීමේ සිද්ධිය රටේ ආර්ථිකය කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබේ. සමහර ගුවන් සමාගම් තාවකාලික ලෙස හෝ ශ්‍රී ලංකාවට යන එන ගුවන් ගමන් නවතා තිබෙන අතර, ගුවන් තොටුපළ ද රාත්‍රී කාලයේදී වසා දමන තත්ත්වයකට පත්වී තිබේ. පක්ෂ භේදයකින් තොරව සමස්ත ජාතියේ ම අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ ඒ තත්ත්වය ජයගැනීම කෙරෙහි ය. නැවත ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ය. ඒ වෙනුවට ඒ නිසා ආර්ථිකයේ ඇතිවී තිබෙන අවුල්සහගත තත්ත්වය තව තව වර්ධනය කරන පිළිවෙතක් රටේ යහපතට හේතුවන්නේ නැත. උද්ඝෝෂණ ක්‍රියාමාර්ග නිසා දැන හෝ නො දැන සිදුවෙමින් තිබෙන්නේ ද එයයි.

මේ සියලු දෙනා එකට එකතු වී එල්ල වී තිබෙන අභියෝගය ජයගත යුතු ආකාරය සිහි නුවණින් සලකා බැලිය යුතු අවස්ථාවක මෙම ආරාවුල උග්‍ර කිරීම මගින් රාජපක්ෂ ජනාධිපති පරාජය කළ යුතු යැයි මහින්ද විරෝධී බලවේග කල්පනා කරන්නේ නම් මුහුණ සමග තිබෙන තරහට නහය කපා ගැනීම වැනි මෝඩ ක්‍රියාවකි. පවතින ව්‍යවස්ථාව අනුව ඉදිරි ජනාධිපතිවරණයක දී හැර ජනාධිපතිවරයා වෙනස් කිරීමේ ප්‍රායෝගික ක්‍රමයක් නැත. එහෙත් රට වළපල්ලට තල්ලු කරන පිළිවෙතක් රටේ යහපතට හේතුවන්නේ නැත.

රට මුහුණ දී සිටිනුයේ බරපතළ ජාතික අර්බුදයකට බව හා එයට ආණ්ඩුවක් වශයෙන් තනිව විසඳුම් සොයන තැනකට යනවා වෙනුවට විරුද්ධ පක්ෂයේ ද සහාය ලබාගනිමින් පොදුවේ විසඳුම් සොයන තැනකට යායුතු බව ආණ්ඩුව ද තේරුම් ගත යුතු ය. අනෙක් අතට රටේ පවතින අර්බුදය උග්‍ර කරන පිළිවෙතක් අනුගමනය කිරීම වගකිවයුතු විරුද්ධ පක්ෂයක යුතුකම නොවන බව ද ඔවුන් තේරුම් ගත යුතු ය. ජාතියේ ගෞරවය ආරක්ෂා කිරීමේ නාමයෙන් ජවිපෙ වැනි පක්ෂ ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාර අවසානයේ ඇති කරන ප්‍රතිඵල මොනවාද යන්න ගැන ඔවුන් ද නැවත වරක් වගකීමකින් යුතුව සලකා බැලිය යුතු ය.

අපට රටක් වශයෙන් තනිව ජීවත් විය නො හැකි ය. ජාත්‍යන්තර ප්‍රජාව සමග විශ්වාසයෙන් ක්‍රියා කරන තැනකට අප යා යුතු ය. ඒ සමග එල්ටීටීඊයෙන් එල්ල වී තිබෙන අභියෝග ඉක්මනින් ජයගත හැකි සුදුසු මාවතකට අප යොමුවිය යුතු ය. •