ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කරන නාමයෙන් සියලු දේශපාලකයන් රට විනාශ මුඛයට තල්ලු කරමින් සිටින බව පෙනේ. එක් අතකින් එල්ටීටීඊය රට අස්ථාවර කරන විට දකුණේ දේශපාලකයන් ද දැන හෝ නොදැන රට අස්ථාවර කරමින් සිටින බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිදුවූ විවාදයට එරෙහිව කෙරෙන කෑගැසීම් ද, සිදුවූ විවාදය ගැන අවබෝධයකින් තොරව කෙරෙන කෑගැසීම් බව ද කිව යුතු ය.
දේශපාලන පක්ෂ රටේ ගෞරවයට හේතුවන ලෙස හැසිරීම වැදගත් ය. අපේ රටේ ගින්නක් ඇති විට ඒ ගින්න කෙරෙහි අවට රටවල අවධානය යොමුවීම නො වැළැක්විය හැකි ය. අපි ඉරාක පුරවැසියන් නො වූව ද ඉරාකයේ සිදුවන දේවල් අපට ද වැදගත් ය. ඒ ආකාරයට අපේ රටේ සිදුවන දේවල් ද වෙනත් රටවලට වැදගත් විය හැකි ය. රටක් වශයෙන් විදේශීය වශයෙන් සිදු කෙරෙන මත පළකිරීම් හෝ විවේචනවලට අප කෝපයෙන් ප්‍රතික්‍රියා කරන තැනකට යායුතු නැත. ඒ කියන දේවල වරදක් ඇතොත් අප කළ යුත්තේ සන්සුන්ව කරුණු පෙන්වා දෙන තැනකට යාම ය.
ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු හමුදා උත්තමාචාරයේ දී රජීව් ගාන්ධිට පහර දෙන ලද නාවික සෙබළා රටේ ජනතාව සැලකුවේ වීරයකු ලෙස ය. ඔහු ඒ දේ කළේ කුමන අදහසකින් වුවත්, ඒ ක්‍රියාව රටේ ගෞරවයට හේතුවන ක්‍රියාවක් ලෙස සැලකිය නො හැකි ය. එවැනි දේවලට ඔල්වරසන් දීම රටේ ගෞරවයට හේතුවන්නේ නැත.
ශ්‍රී ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාදයේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙතින් පළවී තිබෙන ස්ථාවරය වී ඇත්තේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතත්, අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එල්ටීටීඊය විසින් අනුගමනය කරමින් තිබෙන හිංසාකාරී හා සාහසික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ හැකියාවක් නැති බව ය. විදේශ රටක් වශයෙන් මෙම ප්‍රශ්නය විසඳා දීමේ හැකියාවක් තමන්ට නැතත්, සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී විසඳුමක් සොයා යන වැඩපිළිවෙළකට ආධාර කිරීමේ හැකියාව තමන්ට තිබෙන බව ය.
අනවශ්‍ය තරමට විදේශ ඇඟිලි ගැසීම් ඇතිවන්නේ අපේ අභ්‍යන්තර ප්‍රශ්න අප විසින් ම විසඳා ගැනීමට අසමත් වන විට ය. ගෙවල් පේළියක තිබෙන එක ගෙයක් ගිනිගත් විට ඒ නිවසේ ජීවත් වන අය ගින්න නිවීමට උනන්දු නොවේ නම්, අවට ගෙවල්වල මිනිසුන් සිය ආරක්ෂාව සඳහා ගින්න නිවීමට උත්සාහ දරන තැනකට තල්ලු විය හැකි ය. මොළේ තිබෙන ජාතියක් නම් අප මේ මොහොතේ කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳව තිබෙන ලෝක උනන්දුව ද ප්‍රයෝජනයට ගනිමින් අභ්‍යන්තරික වශයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අවංක උත්සාහයක යෙදෙන තැනකට යාම ය.
ජනවාර්ගික ප්‍රශ්නය විසඳනවා යන්නෙහි තේරුම ප්‍රභාකරන් ඉල්ලා සිටින හැම දෙයක් ම දීම නොවේ. එසේ ම ජවිපෙ කියන ආකාරයට කිසිවක් නොදී ඉඳීම ද නොවේ. දෙමළ ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් ඔවුන්ට ලබාදීම දේශපාලන විසඳුමක එක් ප්‍රධාන ඉලක්කයක් වන විට එල්ටීටීඊය නිරායුධ කිරීම එහි තවත් ප්‍රධාන ඉලක්කයක් විය යුතු ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට මොනතරම් සීමා තිබුණ ද, එය නො සලකා තිබෙන ආරාවුල් විසඳා ගැනීමට සර්ව පාක්ෂික සම්මේලනය ප්‍රයෝජනයට ගැනීම සියලුම දේශපාලන පක්ෂවලට වගකීමකි. රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, විකල්ප රාජ්‍ය නායකයා ව සිටින විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් මේ තීරණාත්මක මොහොතේ එකට එකතු වී දේශපාලන විසඳුමක් සඳහා පොදු එකඟතාවක් ඇති කරගැනීමේ ක්‍රියාවලියට නායකත්වය දිය යුතුය. අන්තවාදී සුළු පිරිසකගෙන් එල්ල වන විරෝධතා නො සලකා මෙම තීරණාත්මක මොහොතේදීවත් දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා පොදු එකඟතාවකින් ක්‍රියාකිරීමට අසමත් වෙතොත්, රට අලුත් වටයකින් වඩා විශාල අර්බුදයකට තල්ලු වනු නො වැළැක්විය හැකි ය.•