ගුවන් ප්‍රහාර හා දේශපාලන ප්‍රතිසංස්කරණ

October 29, 2026
Publication:
While the country was watching the World Cup final, the LTTE bombed two places in Colombo from the air for the second time. The damage was small and the disorder it caused enormous — the air force could neither stop the flight nor hit the aircraft — and Ivan turns from that to the political reform the government keeps postponing.

මුළු රටේම අවධානය ශ්‍රී ලංකා පිල තරග කළ ලෝක ශූරතා අවසන් මහා තරගය වෙත යොමුවී තිබුණු අවස්ථාවක එල්ටීටීඊය දෙවැනි වරටත් කොළඹ නගරයේ තෝරා ගත් ස්ථාන දෙකකට ගුවනින් පහර දුන්නේය. ඔවුන් ගුවනින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූ විනාශය විශාල නැතත්, ඒ මගින් රටේ ඇති කළ අවුල්සහගත තත්ත්වයෙන් උද්ගතවූ විනාශයේ තරම අතිවිශාලය.

අපි කොතරම් කපීර් හා මිග් ප්‍රහාරක ගුවන් යානාවලින් ඔවුන්ගේ ඉලක්කවලට බෝම්බ හෙළුව ද, ඔවුන්ගේ ගුවන් යානා ගුවන් ගත කරන මාර්ග පථයට හෝ සැහැල්ලු ගුවන් යානාවලට පහරදීමට ගුවන් හමුදාව සමත් වී නැති බව ඉන් පෙනී යයි. එසේම ඔවුන්ගේ ගුවන් ගමන් වැළකීමට හෝ ඒ එන අවස්ථාවලදී ඔවුන්ගේ ගුවන් යානාවලට පහර දී ඒවා විනාශ කිරීමට ආණ්ඩුවේ හමුදා සමත් වූයේ නැත. එල්ටීටීඊ සැහැල්ලු ගුවන් යානා පියාසර කරන්නේ ඉහළ අහසේ නොව, පහළ අහසේය. පොල්ගස්වල කරටියේ ගෑවෙන නොගෑවෙන තරම් උසකිනි. ගුවන් යානාවකට ඉහළ අහසේ පියාසර කරනවාට වඩා පහළ අහසේ පියාසර කිරීම දුෂ්කරය. සාර්ථක ලෙස අවස්ථා දෙකකදී කොළඹට පැමිණ ආපසු යෑමට හැකිවීමෙන් පෙනෙන්නේ ඉතාමත් හොඳ පළපුරුදු ගුවන් නියමුවන් කිහිපදෙනෙකු හෝ ඔවුන්ට ඇති බවය.

ඔවුන් තාමත් ගුවනින් කෙරෙන පහරදීමකට හැර මරාගෙන මැරෙන කාර්යයක් සඳහා ගුවන් යානා යොදාගෙන නැත. මරාගෙන මැරෙන්න සූදානම් මිනිසුන් පළපුරුදු ගුවන් නියමුවන් බවට පත් කිරීම පහසු නැතිවා සේ ම, පළපුරුදු ගුවන් නියමුවන් මරාගෙන මැරෙන තත්ත්වයකට ගැනීම ද පහසු නැත. මහපාරේ දුවන වාහන මෙන් නොව, ගුවන් යානා ඔවුන්ට තිබෙන සීමිත සම්පතක් බැවින් එවැනි සීමිත සම්පතක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රයෝජනයට ගැනීමට තිබෙන හැකියාව ද සීමාසහිතය. එහෙත් ඔවුන්ට තිබෙන මෙම හැකියාවට සාර්ථක ලෙස මුහුණ දීමට හැකියාව ලැබෙන තෙක් ඔවුන් තමන්ට තිබෙන හැකියාව ඔවුන් රට අවුල් කිරීමට දිගින් දිගට ප්‍රයෝජනයට ගනු නොවැළැක්විය හැකිය. ආණ්ඩුව යුද්ධ කිරීමේ අරමුණ එල්ටීටීඊය මුළුමණින් විනාශ කිරීම ද, නැත්නම් සාකච්ඡා කරන තැනකට එන්නට ඔවුන්ට බලකිරීම සඳහා ද යන්න පැහැදිලි නැත. එල්ටීටීඊයට ගුවන් යානා තිබුණ ද, වෙනදා ගුවනින් පහර නුදුන්නේය. එහෙත් ගොඩබිමින් හා මහ මුහුදේ සිට කරන පහරදීම්වලින් ඇති කළ විනාශයේ තරම දැන් ගුවනින් කරන පහරදීම්වලින් ඇති කර තිබෙන විනාශයට වඩා විශාලය. එල්ටීටීඊය තමන්ට තිබෙන ලොකුම තුරුම්පුව පාවිච්චි කරන තැනකට යොමුවී සිටින්නේ අනෙක් තුරුම්පු පාවිච්චි කිරීමට අමාරු තැනකට ඔවුන් තල්ලු වී සිටින නිසා බව ද ඉන් පෙනී යයි.

එල්ටීටීඊය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි වුවත්, එම ත්‍රස්තවාදී ප්‍රශ්නය යට ජනවාර්ගික අර්බුදයක් ද ඇති බව අමතක නොකළ යුතුය.

එල්ටීටීඊය වැනි ව්‍යාපාරයකට බිත්තියට හේත්තු කොට පහර දෙන තැනකට යෑම ප්‍රඥාගෝචර විය නොහැකිය. ඔවුන්ට පහර දිය යුත්තේ පලායන මාර්ගයකට ද ඉඩ ලැබෙන පරිදිය. ත්‍රස්තවාදී ව්‍යාපාර ප්‍රධාන ප්‍රවාහයට එකතු කරගැනීමට බල කිරීම එහි අරමුණ විය යුතුය.

එල්ටීටීඊයෙන් එල්ල වී තිබෙන මෙම නව අභියෝගය සේ ම කලක් තිස්සේ රට මුහුණ දී තිබෙන අවුල්සහගත තත්ත්වය ආණ්ඩු පක්ෂයට පමණක් තනිව ජයගත නොහැකිය. එය ජයගත හැකිවනු ඇත්තේ විරුද්ධ පක්ෂය ද ඇතුළත් සමස්ත ජාතියේ ඒකාබද්ධ උත්සාහයකින් පමණය.

එහෙත් අවාසනාවකට ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය සිටින්නේ අනේ‍යාන්‍ය අවබෝධයකින් ක්‍රියා කරන තැනක නොව එකිනෙකා කෙරෙහි වෛරසහගත ආකල්පයකින් ක්‍රියා කරන තැනකය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රභාකරන් අතින් හෝ ඉක්මණින් මකබෑවී යනු දකින්නට විරුද්ධ පක්ෂය කැමතිය. මෙය වර්තමාන විරුද්ධ පක්ෂයට පමණක් ආවේණික ලක්ෂණයක් නොව, පවතින මෙම දේශපාලන ක්‍රමය තුළ හැමදාමත් හැම විරුද්ධ පක්ෂයක් කෙරෙන්ම ප්‍රකාශ වූ අධම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ජවිපෙ දෙවැනි සන්නද්ධ කැරැල්ල ආරම්භයේදී ඔවුන් ආණ්ඩුවටත්, ආණ්ඩු පක්ෂයටත් එල්ල කරන ලද පහරදීම් නිල විරුද්ධ පක්ෂයේ ආශ්වාදයට හේතුවිය. තවත් කලකට පසු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කෙරුණු අවස්ථාවේදී ද එම ඝාතනය නිල විරුද්ධ පක්ෂයේ ආශ්වාදයට හේතුවිය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩු පාලන යුගයේදී ද එල්ටීටීඊයෙන් එල්ල වන බිහිසුණු පහරදීම් විරුද්ධ පක්ෂයේ ආශ්වාදයට හේතුවිය. දැන් මහින්ද රාජපක්ෂ පාලන යුගය තුළ ද එල්ටීටීඊයෙන් එල්ල වන ගුවන් පහරදීම් නිල විරුද්ධ පක්ෂයේ ආශ්වාදයට හේතුවී තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

එහෙත් මෙය අශෝභන තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. රටක් බලවත් අර්බුදයකට තල්ලු වී යන අවස්ථාවකදී පටු පක්ෂ භේද අමතක කොට සියලු පක්ෂ අන්‍යොන්‍ය අවබෝධයකින් හා සහයෝගයකින් වැඩ කරන තැනකට යා යුතුය. එහෙත් පවතින දේශපාලන ක්‍රමය ගොඩනගා ඇත්තේ එවැනි ගනුදෙනුවකට ඉඩක් නැති ආකාරයකටය. සිරිතක් වශයෙන් බලයට පත්වන පක්ෂ විරුද්ධ පක්ෂයෙන් පලි ගනී. අනුපාතික ක්‍රමය යටතේ ලැබෙන බලය ප්‍රමාණවත් නොවන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්මවලට පටහැනිව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීම් සිදුවේ. මේ ක්‍රියාවලිය අඩුවැඩි වශයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යුගයේ සිට අද දක්වාම සිදුවේ. ජාතික අර්බුදයක් ඇතිවූ විට සහයෝගයෙන් ක්‍රියා නොකිරීමට විරුද්ධ පක්ෂය හේතුවක් කොට ගත්තේ ආණ්ඩු පක්ෂය තමන්ට කළ වැරදිය. ජේ.ආර්. ජයවර්ධනගේ සර්වපාක්ෂික සාකච්ඡාවලින් ඉවත්වීමට බණ්ඩාරනායක මැතිනිය එය තුරුම්පුවක් ලෙස පාවිච්චි කරන ලද අතර, චන්ද්‍රිකා කුමාරතුංග යුගයේදී රනිල් වික්‍රමසිංහ මහතා ද පොදු එකඟතාවකට යාමෙන් වැළකී සිටීමට එය තුරුම්පුවක් කර ගත්තේය. දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. එහිදීද විරුද්ධ පක්ෂය එය මග හැරීමට හා කඩාකප්පල් කිරීමට තමන්ට කරන ලද මදිපුංචිකම් යොදා ගනී නම් එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. දේශපාලන ක්‍රමය ද දේශපාලන ක්‍රීඩාවේ නීති රීති ද වෙනස් විය යුතුය. පැසවමින් තිබෙන ජනවාර්ගික අර්බුදය විසඳීමට සේ ම මහජනයාගේ හාස්‍යයට හේතුවී තිබෙන දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. එහිදී ශ්‍රීලනිපය ඉදිරිපත් කර තිබෙන යෝජනා හෝ ඒ යෝජනා ආශ්‍රයෙන් සර්ව පාක්ෂික සමුළුව ඉදිරිපත් කරන යෝජනාවලට සීමාවිය යුතු නැත. සියලු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දේශපාලන ක්‍රමයක් සඳහා පොදු එකඟතාව නීතිගත කිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී ක්‍රියාකිරීමට සමත් වෙතොත්, ශ්‍රී ලංකාව ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයෙන් ගොඩ ගැනීමට පුළුවන්කම ලැබෙනු නොඅනුමානය. ශ්‍රී ලංකාවට ගැලවීමට ඇත්තේ සමස්ත දේශපාලන ක්‍රමයේ අවංක වෙනසක් ඇති කිරීමෙන් පමණය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමා අතින් රටට සිදුවිය යුතුව තිබෙන ලොකුම සේවය එය බව තේරුම් ගනිමින් එවැනි ක්‍රියාවලියක් ආරම්භ කොට සාර්ථක ලෙස ඉදිරියට ගෙනයා හැකි දේශපාලන වටපිටාවක් ඇති කළ යුතුය. •