රට කොයිබටද?

October 29, 2026
Publication:
Sri Lanka is a prisoner in the hands of extremist forces, Ivan writes — the LTTE's terrorism and the extremism of the south both. The JVP gave up the armed struggle without giving up the outlook, and pushed the country into an abyss with weapons in hand; now it pushes it into the same abyss without them. From there he works through the flood of unreason, the conspiracy theory, the criticism coming from abroad, the war and human rights, and the choice between more war and a political settlement.

ශ්‍රී ලංකාව අන්තවාදී බලවේගයන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවකුගේ තත්ත්වයට පත්ව සිටින්නේය. ශ්‍රී ලංකාවේ අස්ථාවරභාවය කෙරෙහි එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පමණක් නොව, දකුණේ අන්තවාදීන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් ද බලපා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලය අතහැර ප්‍රධාන ධාරාවට පැමිණ ඇතත්, එසේ එකතු වී ඇත්තේ පැරණි දෘෂ්ටිය අත්නොහරිමිනි. ඉතා අවංක හැඟීමකින් විය හැකි වුවත්, ආයුධ අත ඇතිව ඔවුන් රට තල්ලු කළේ අගාධයකටය. දැන් ආයුධ අත නැතිව රට තල්ලු කරමින් සිටින්නේ ද අගාධයකටය.

ආණ්ඩුව රට පාලනය කෙරෙමින් තිබෙන්නේ ද නැවත ආණ්ඩු විරෝධී බලවේග ආණ්ඩු බලය ඩැහැ ගැනීමට උත්සාහ කරමින් තිබෙන්නේ ද රට තව තවත් අගාධයට තල්ලු කෙරෙන ආකාරයටය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය අවිචාරවත් සේ ම, සමාජය ද අවිචාරවත්ය. දේශපාලන තලය තුළ රට පිළිබඳ දැක්ම ඇති පුද්ගලයින් හෝ ව්‍යාපාර ඇත්තේම නැති තරම්ය. ඒ සියලු දෙනාගේ දේශපාලනය බවට පත්ව ඇත්තේ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීම හෝ ආණ්ඩු බලය ලබා ගැනීමය. රට ආරක්ෂා කර ගනිමින් හා රට දියුණු කරමින් ඒ තරගයේ යෙදිය යුතු ආකාරය ගැන ඒ කිසිවකුට මෙලෝ හසරක් තේරෙන බවක් පෙනෙන්නට නැත.

සමාජය සිටින්නේ ද අවිචාරයේ මෝහයෙන් ඇස් අන්ධ කරගත් තැනකය. රටේ සාක්ෂරතා අනුපාතිකය ඉහළ මට්ටමක තිබුණ ද, මුග්ධභාවයේ අනුපාතිකය ද ඉහළම මට්ටමක පවතී. රට අකුරු උගත්කමකින් යුතු මුග්ධයින්ගේ රටක් බවට පත්වී තිබේ.

අවිචාරය දෝරෙ ගැලීම

ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව හැර අන් සියලු කණ්ඩායම් අතරින් දක්ෂම කණ්ඩායම වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එහෙත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග සැසඳීමේදී අපේ කණ්ඩායම සිටියේ ඔවුන්ට වඩා ශක්තිමත් තැනක නොව දුර්වල තැනකය. විචාරාත්මකව දේවල් දැකීමේ හැකියාව සමාජයට තිබුණේ නම් ඒ තරගයේදී අපට හිමි තැන පළමු තැන නොව, දෙවැනි තැන බව තේරුම් ගැනීම අමාරු නැත. එහෙත් අවාසනාවකට සාමාන්‍ය ක්‍රීඩාලෝලීන් පමණක් නොව නාමධාර ක්‍රිකට් විචාරකයින් පවා ජයග්‍රහණයේ වැඩි වාසි ඇත්තේ ශ්‍රී ලංකාවට බව කියමින් මුළු රටම මුලා කළේය. මේ තරගයේ දෙවැනි තැන හිමිකර ගැනීම ද ශ්‍රී ලංකාව ලැබූ වැදගත් ජයග්‍රහණයක් වූයේය. එහෙත් පළමු තැන සඳහා අනවශ්‍ය බලාපොරොත්තු දැල්වීමෙන් ලැබූ ජයග්‍රහණයේ වටිනාකම පවා හීන කළේය. ඒ නිසා අවසානයේ ජයග්‍රාහකයින් බවට පත්වූයේ රේස් බුකිකාරයෝය.

මෙය ක්‍රිකට්වලදී පමණක් නොව, හැම දෙයකදීම දැකිය හැකි පොදු ලක්ෂණයකි. එය ශ්‍රී ලංකාවේ සමාජ මනසට ආවේණික ජාතික ගතිලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

ඉන්දු-ලංකා ගිවිසුමට පෙර සහනාධාර රැගෙන පැමිණි ඉන්දියානු බෝට්ටු ආපසු හරවා යවනු ලැබූ අවස්ථාවේදී දකුණේ සිංහල සමාජය උද්දාමයෙන් ඔල්වරසන් දුන්නේය. ඊළඟට වෙන්නට යන්නේ කුමක්දැයි ඔවුන්ට නොපෙනෙුණේය. ශ්‍රී ලංකා සමාජයේ රජ කරන මෙම අවිචාරවත් බව කපටි දේශපාලකයින් විසින් ද මනා ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේය. ජනතාව පහසුවෙන් ගොනාට ඇන්ද විය හැකි බව ඔවුන් දනී.

කුමන්ත්‍රණවාදී න්‍යාය

ඉතිහාස පොත්පත් විසින් අප පුරුදු පුහුණු කර තිබෙන්නේ සියලු ජාතීන් අතර අප අතිවිශේෂ ජාතියක් වන්නා සේ ම ඒ සියලුම ජාතීන් අතර සිටින ශ්‍රේෂ්ඨතම ජාතිය ලෙසය. එම ශ්‍රේෂ්ඨ ජාතිය ද එම ශ්‍රේෂ්ඨ ජාතියේ රට ද අස්ථාවර කිරීම සඳහා ලෝක මට්ටමේ කුමන්ත්‍රණයක් ඇතැයි අපි විශ්වාස කරමු. විවිධ බලවේග ඒ විශ්වාසය පෝෂණය කරමින් සිටී.

රටේ දැන් පවත්නා සියලු ප්‍රශ්නවලට මුල අධිරාජ්‍යවාදය වේ යැයි අපි විශ්වාස කරමු. ඔවුන් විසින් අප යටත්විජිත තත්ත්වයක තබාගෙන සිටියදී ඇති කරන ලද ප්‍රශ්නවල අඟු කොන් වේ යැයි අපි විශ්වාස කරමු. ඔවුන්ගේ ආධිපත්‍යයට යටත් වන්නට පෙර අපට අපේම ලස්සන, කාටවත් නොදෙවෙනි තරම් කදිම සමාජයක් ද ජීවන ක්‍රමයක් හා දේශපාලන ක්‍රමයක් ද තිබුණේ යැයි අපි විශ්වාස කරමු. ඒ කදිම සමාජ ක්‍රමය තුළ උසස් පහත් බවක් පැවති බව හා තමා අයත් කුලය අනුව ජීවිතයේ හැම දෙයක්ම තීරණය කළ බව අපට අමතකය.

මේ චින්තන ක්‍රමය නිසා එක් පිරිසක් විදේශ වන හැම දෙයකටම විරුද්ධය. තවත් පිරිසක් රුසියාවෙන්, ජපානයෙන් හෝ කියුබාවෙන් හැර වෙනත් ඕනෑම රටකින් එන දේවල් දකින්නේ අප විනාශ කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් මතුපිට පැණි තවරා එවන උණ්ඩ ලෙසය. ඔවුන් ක්‍රිකට්වලට හැර අධිරාජ්‍යවාදයෙන් ලැබී තිබෙන අන් සියලු දායාදයන්ට විරුද්ධය. විරුද්ධ වන්නේ ද කලිසන් ඇඳගෙනය. අමාරුවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් හා දරුවන්ට ද ඉංග්‍රීසි උගන්වමිනි. හැට ගණන් අවසානයේදී ලංකාව අල්ලා ගැනීමේ බිහිසුණු ඇමරිකන් කුමන්ත්‍රණයක් ඇති බව කියන්නට රෝහණ විජේවීර උදාහරණයට ගත්තේ ඉදිකෙරෙමින් තිබුණ බෙන්තොට හෝටලයයි. එය ඇත්තටම හෝටලයක් නම් ගලින් බඳින ලද මෙතරම් විශාල තාප්පයක් අවශ්‍ය වන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් ඔහු කීවේ එය හෝටලයක් බව කියමින් ගොඩ නගන ඇමරිකන් බලකොටුවක් බවය. සංචාරක හෝටල් ගැන අත්දැකීමක් නැති රැඩිකල්වාදී අඳ බාල තරුණ තරුණියන් ද බෙන්තොට හෝටලය පිළිබඳව ඔහු කරනු ලබන අර්ථකථනය හිස් මුදුනින් පිළිගත්තේය. දක්ෂිණාංශික හමුදා ආණ්ඩුවක් ඇතිවී ඉන්දුනීසියාවේ මෙන් දශ ලක්ෂ ගණනින් මිනිසුන් ඝාතනය වීම වැළකීම සඳහා එක් දින පහරදීමකින් බලය අල්ලා ගැනීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කරගැනීම සඳහා මහත් කැපවීමකින් ක්‍රියා කළේය.

පළමු කැරැල්ලෙන් අවුරුදු 17කට පසුව ඔවුන් කීවේ ඉන්දියානු ආක්‍රමණිකයාගෙන් පීතෘ භූමිය නිදහස් කරගැනීම සඳහා තමන් දේශප්‍රේමී යුද්ධයක යෙදී සිටින බවය. වැඩේ අවසන් වන විට ඔවුන් එක ඉන්දියානු සෙබළෙක්වත් මරා තිබුණේ නැත. මරා තිබූ හයදහසම මේ රටේ පුරවැසියන්ය.

ආයුධ අතහැර ප්‍රධාන ප්‍රවාහයට එකතුවීමෙන් පසුත්, ඔවුන් රටට බලකරමින් සිටින්නේ ඔවුන් නොකැමති සියලු රටවල් සමග කරන ගනුදෙනු අතහැර ඔවුන් කැමති සමාජවාදී ලෝකය ලෙස දකින චීනය, රුසියාව හා කියුබාව සමග පමණක් ගනුදෙනු කරන ලෙසය. ජනගහනයේ විශාලත්වය හා රටේ විශාලත්වය නිසා චීනය බලවත්ය. එහෙත් ඒක පුද්ගල ආදායම අනුව චීනය තවමත් දුප්පත් හා නොදියුණු රටකි. රුසියාව තිබෙන්නේ අවුල් ජාලාවකය. කියුබාව තවමත් පාලනය කරන්නේ විශ්‍රාම යා යුතු වයස ඉක්මවා මහලු බවට පත්ව සිටින පිදෙල් කස්ත්‍රෝය. ඔහුගේ ඇවෑමෙන් පාලකයා වීමට නියමිතව සිටින්නේ ද ඔහුගේ සහෝදරයාය. කියුබාව ජීවත්වන්නේ ශ්‍රී ලංකාව මෙන් විදේශ සේවාවල නිරත වී සිටින විශාල ජනතාවක් රටට එවන විදේශ සංක්‍රාමවල ශක්තියෙනි. කියුබාවේ ප්‍රමාණවත් තරම් රක්ෂා නැත. නැතිනම් තිබෙන රක්ෂාවලින් ලැබෙන වැටුප්වලින් ජීවත් විය නොහැකිය. ඒ නිසා විදේශ රැකියා කියුබාවේ ද ජනප්‍රියම රක්ෂා මාර්ගය බවට පත්වී තිබේ.

ජවිපෙ රට තල්ලු කරමින් සිටින්නේ පොල්පොට් පන්නයේ පාලනයකටය. පොල්පොට් පාලකයන් ද විදේශ හැමදෙයක්ම සැක කළේය. අවසානයේ පළමුවෙන් විදේශ භාෂා කතා කරන ස්වදේශිකයන් මරා දමන තැනකට ගියේය. ඉන්පසු විදේශ ඇඳුම් අඳින මිනිසුන් ද විදේශ නම් ඇති මිනිසුන් ද මරා දමන තැනකට ගියේය. විදේශ ගති ලක්ෂණ ඇති සියලු දෙනා මරා අවසන් වූ පසු අව් කණ්ණාඩි පැළඳීම විදේශ දෙයක් ලෙස සලකා ඔවුන් ද මරා දමන තැනකට ගියේය. ජවිපෙ ද දැන හෝ නොදැන රට තල්ලු කරමින් සිටින්නේ එවැනි තැනකටය.

විදේශ රටවලින් එල්ල වන විවේචන

අප අපට ආධාර කරන විදේශ රටවලින් එල්ල වන විවේචන නොඉවසන එවැනි රටවල් සමග අනවශ්‍ය ලෙස රණ්ඩු කරන්නට යන රටක් බවට පත්ව සිටිමු.

බටහිර රටවල් පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන පවා අප දකින්නට අපේ රට ග්‍රහණයට ගැනීමට දත් විළිස්සාගෙන සිටින රුදුරු ආයතනයක් ලෙසය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ජාතීන් එකට එකතු වී ඇති කරගත් හා පවත්වාගෙන යන සංවිධානයකි. ශ්‍රී ලංකාව ද එම ලෝක සංවිධානයේ සාමාජික රටකි. ජවිපෙ ගෞරවයෙන් කතා කරන චීනය, රුසියාව හා කියුබාව ද එහි සාමාජිකයෝය. ලෝක ජාතීන් නියෝජනය කරන ආයතනයක් වශයෙන් සාමාජික රටවල් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති හා සම්මුතීන් පවතී. එම ප්‍රතිපත්ති හා සම්මුතීන්ට පටහැනිව ක්‍රියා කරන සාමාජික රටවලට එරෙහිව ක්‍රියාකිරීමේ බලය එම ලෝක සංවිධානය සතුය. එක්කෝ අපි එහි සාමාජික රටක් වශයෙන් ඇති කරගෙන තිබෙන ප්‍රතිපත්ති පිළිපැදිය යුතුය. නැතිනම් එහි සාමාජිකත්වයෙන් ඉවත් විය යුතුය.

බටහිර රටවල් ඔවුන්ගේ පාර්ලිමේන්තුවල ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙය නොවන බව ද කිව යුතුය. 71 කැරැල්ල කාලයේදී ද බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සාකච්ඡාවට ලක්විය.

ඉන්පසු කළු ජූලියෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පමණක් නොව ඉන්දීය ලොක් සභාවේදී, ඇමරිකානු සෙනට් මණ්ඩලයේ ද ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සාකච්ඡාවට ලක්විය.

රටවල් විදේශ ආධාර ලෙස දෙන්නේ ඒ රටවල්වල බදු ගෙවන ජනයාගේ බදු මුදල්වලිනි. ඒ නිසා ආධාර ලබන රටවල ඇතිවන විශේෂ තත්ත්වයක් සාකච්ඡාවට ලක්කිරීමේ අයිතිය තහනම් කිරීමේ හැකියාවක් අපට නැත.

අපට ඒ රටවල්වලින් තවදුරටත් විදේශ ආධාර අවශ්‍ය නම් අප ඒ රටවල්වලට රළු ලෙස ප්‍රතිචාර දක්වන තැනකට යායුතු නැත. ඒ වෙනුවට සිදුවිය යුතුව තිබෙන්නේ වරදක් සිදුවී ඇත්නම් තිබෙන මිත්‍රත්වයට හානියක් ඇති නොවන ආකාරයට සන්සුන්ව කරුණු පැහැදිලි කරන තැනකට යාමය.

විදේශ සම්බන්ධකම්වලදී දේශීය වශයෙන් කෙරෙන රළු ප්‍රකාශ ඉතාමත් විනාශකාරී ලෙස බලපා හැකිය. ඉන්දිරා ගාන්ධි දේශායි අතින් පරාජයට පත්වූ අවස්ථාවේදී එවකට එජාපයේ දෙවැනි නායකයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන වේදිකාවේ තබාගෙන ඇය වැස්සියක් ලෙස හඳුන්වාදෙමින් කරන ලද රළු ප්‍රකාශය පසු අවස්ථාවකදී ශ්‍රී ලංකාව කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවේය. නැවත බලයට පත්වූ පසු ඇය ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් පළිගත්තාය.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ශ්‍රී ලංකාවේ පළ කර තිබෙන වාර්තා නිසා එම සංවිධානයට පෙරළා පහර දෙන තැනකට යාම ඥාණාන්විත නැත. ලෝකයේ විවිධ රටවල පවතින මානව හිමිකම් පිළිබඳ තත්ත්වයන් පරීක්ෂා කොට වාර්තා කිරීම එම සංවිධානයට පැවරී තිබෙන වගකීමයි. එම සංවිධානය එම විෂයේදී ශ්‍රී ලංකාව පිළිබඳව පමණක් නොව, ඇමරිකා එක්සත් ජනපදය, චීනය හා රුසියාව වැනි බලවත් රටවල් පිළිබඳව පවා දැඩි විවේචනාත්මක වාර්තා පළ කර ඇති බව අමතක නොකළ යුතුය. අනෙක් අතට එම සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව විවේචනාත්මක විග්‍රයක් කර ඇත්තේ අද පමණක් නොවේ. 71 අප්‍රේල් කාලයේ සිටම ඔවුන් එවැනි විවේචනාත්මක වාර්තා පළ කර තිබේ. 71 කැරැල්ලෙන් පසු සිරගෙදර සිටියදී රෝහණ විජේවීරගේ විශ්වාසවන්තම විදේශ මිතුරා වී සිටියේ ද ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ පාලන මණ්ඩලයේ සාමාජිකයකු වූ ඇවබරි සාමිවරයාය. ඇවබරි සාමිවරයාට ඔහු සිය දුක්ගැනවිලි ලිව්වේය. දෙවැනි කැරැල්ලේදී ද ජවිපෙ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සමග සමීපව ක්‍රියා කළ අතර, එම ආයතනය සමග සහයෝගයෙන් වැඩ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආශ්‍රයෙන් වෙනම සංවිධානයක් ද ගොඩනගා ගෙන තිබුණි. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ මානව හිතවාදී භික්ෂු පෙරමුණ පළ කළ විනිවිද සඟරාව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය උපුටා දැක්වූයේ මහත් උජාරුවකිනි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් ලෙස විග්‍රහ කිරීම ද විකාරයකි. එල්ටීටීඊය ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳ ප්‍රශ්නය බලවත් ලෙස ලෝකය අතරට ගෙනයෑමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔවුන්ටය. නීතියට අනුව ක්‍රීඩා කරනු යන තේමාව යටතේම එල්ටීටීඊයේ ළමා සොල්දාදුවන් දෙදෙනෙකුගේ ඡායාරූපය මුල් කවරයට ඇතුළත් කොට එම සංවිධානය 1988 වසරේ පළ කළ වාර්තාව විශාල ලෙස ලෝක ප්‍රජාවගේ අවධානය දිනාගත් වාර්තාවක් ලෙස සැලකිය හැකිය.

රටේ අවාසියට හේතුවන මෙම අවුල්සහගත තත්ත්වය කෙරෙහි විදේශ ඇමතිවරයාගේ දුර්වලතාව සේ ම විදේශ අමාත්‍යාංශයේ ඇතැම් උසස් නිලධාරීන්ගේ දුර්වල තත්ත්වය ද බලපා තිබෙන බව පෙනී යයි.

විවිධ සීමාසහිතකම් තිබියදීත්, ඒ.සී.එස්. හමීඩ්, ලක්ෂ්මන් කදිරගාමර්, මිලින්ද මොරගොඩ, මංගල සමරවීර යන විදේශ ඇමතිවරුන් එම විෂයෙහිලා ඵලදායි කාර්ය භාරයක් ඉටු කළේය. රට අනවශ්‍ය ලෙස විදේශ රටවල් සමග ආරාවුල් ඇති නොකර ගන්නා තත්ත්වයක තබාගැනීම විදේශ ඇමතිගේ වගකීමකි.

යුද්ධය හා මානව හිමිකම්

යුද්ධයක අරමුණ තමන්ට එරෙහිව යුද්ධ කරන ප්‍රතිපක්ෂය ඝාතනය කොට හෝ නිරායුධ කොට හෝ ජය ලැබීමය. ඒ අර්ථයෙන් යුද්ධයක් ප්‍රතිපක්ෂ දෙකක් අතර මිනීමරා ගැනීම සඳහා කෙරෙන තරගයක් ලෙස ද සැලකිය හැකිය. එවැනි තත්ත්වයක් තුළ සාමකාමී කාලවකවානුවක මානව හිමිකම් විෂයෙහිලා තිබිය හැකි ප්‍රශස්ථ තත්ත්වයක් තිබිය නොහැකිය. යථාර්ථය එය වුවත්, එවැනි අවස්ථාවකදී පවා මානව හිමිකම් උපරිම ලෙස ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වන ආචාර ධර්ම පවතී. යුද්ධයක් පවතින අවස්ථාවකදී වුවත්, මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් හඬ නගන තත්ත්වයක් රටක තිබීම යහපත්ය. එවැනි බලවත් හඬක් තිබෙන විටෙක ඒ හඬ මතු කරන ප්‍රශ්න යම් පමණකට හෝ සැලකිල්ලට ගැනීමට යුද්ධ කරන දෙපාර්ශ්වයටම සිදුවන්නේය. එවැනි හඬනගන්නන් ද්‍රෝහීන් ලෙස සලකන ප්‍රතිපත්තියක් රටේ ගෞරවයට හෝ යහපතට හේතුවන්නේ නැත.

අපට යුද්ධ කරන්නට සිදුවී තිබෙන්නේ පරසතුරු හමුදාවකට එරෙහිව හෝ විදේශීය රටකට එරෙහිව නොවේ. අපේම රටේ වාර්ගික අයිතිවාසිකම් වෙනුවෙන් ආයුධ අතට ගත් ව්‍යාපාරයකට එරෙහිවය. එවැනි යුද්ධයකදී ප්‍රශ්නයට මැදිවී සිටින ජනවර්ගයේ ගෞරවයට හේතුවන ලෙස ඒ දේ කරන්නට අප අසමත් වෙතොත්, යුද්ධය ජයගත්ත ද රටට ලැබෙන ප්‍රතිඵලය අයහපත්ය.

මුලදී යුද හමුදාව මේ ආරාවුලේ ස්වභාවය තේරුම් නොගෙන යුද්ධ කළා විය හැකි වුවත්, පසුව එය තේරුම් ගනිමින් දෙමළ ජනයාට වන හානිය අවම කරන ප්‍රතිපත්තියක පිහිටා ඔවුන් ක්‍රියා කළේය. යුද්ධ හමුදාවේ සමහර නිලධාරීන් එකල දෙමළ ජනයාගේ ගෞරවයට හේතුවී සිටියේය. ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි අය පමණක් නොව, යුද්ධ හමුදාවේ ඉහළ නිලතල දරන නිලධාරීන් බොහෝ දෙනෙක් මෙම යුද්ධ ව්‍යාපාරයේ ඇති සංකීර්ණභාවය තේරුම් ගෙන සිටියේය. යුද්ධයෙන් තමන්ට කළ හැක්කේ දේශපාලන විසඳුමක් ඇති කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම පමණක් බව ඔවුන් දැන සිටි අතර, ඒ බව ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ද මැලි නොවීය. යුද්ධය නොවැළැක්විය හැකි නම් එය සිදුවිය යුතුව තිබෙන්නේ එම දර්ශනය මත පිහිටාය.

මෙවැනි යුද්ධයකදී රටේ ආර්ථිකය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑමේ හැකියාව හැමවිටම ප්‍රතිපක්ෂය සතුව පවතී. කෆීර්වලින් ඔවුන් වෙත එල්ල කෙරෙන ප්‍රහාරයකින් ඇති කරන විනාශයට වැඩි විනාශයක් සමහර විට ඔවුන් කොළඹට එල්ල කරන සුළු පහරදීමකින් රටේ ආර්ථිකයට ඇති කළ හැකිය. ගොඩබිමින් හා මුහුදෙන් පහරදීමට තිබෙන හැකියාව සීමිත වූ විට ඔවුන් තමන් ළඟ තිබුණු අවසාන තුරුම්පුව ලෙස සැලකිය හැකි ගුවනින් පහර දුන්නේය. ගුවනින් එල්ල කරන ලද පහරදීම්වලින් සිදුවූ ද්‍රව්‍යමය විනාශය ඔවුන් ත්‍රීවිලරයකින් එල්ල කරන පහරදීමකින් තරම්වත් විශාල නොවූවත්, එය රටේ ආර්ථිකය කෙරෙහි ඇති කරන ලද බලපෑමේ ප්‍රමාණය අතිවිශාලය.

ඒ නිසා කටුනායක ගුවන් තොටුපල රාත්‍රී කාලයට වහන්න සිදුවූයේය. ශ්‍රී ලංකාවට එන ගුවන් යානාවලට හා නැව්වලට අධිභාර පනවන තත්ත්වයක් ද ඇතිවිය හැකිය. සංචාරක ව්‍යාපාරයට මරණය ගෙන දෙන තත්ත්වයක් ඇතිවී තිබේ.

යුද්ධයද? දේශපාලන විසඳුමක්ද?

දැන් අප සිටින තත්ත්වය යටතේ එල්ටීටීඊයෙන් එල්ල වී තිබෙන නව අභියෝගය ජයගැනීම සඳහා ඔවුන්ට සීිමිත වශයෙන් හෝ තිබෙන ගුවන් බලය පොඩි පට්ටම් කරන තැනකට යා යුතුය. ඔවුන්ට තිබෙන්නේ ද සැහැල්ලු ගුවන් යානා වුවත්, ඒවා විනාශ කරන උපකරණ අප සතුව නැත. ඒවා අලුතෙන් මිලදී ගත යුතුය. මිලදී ගැනීමට මුදල් තිබුණ ද, ඒ සඳහා කාලයක් බලා සිටීමට සිදුවනු ඇතිවා සේ ම, බිලියන ගණනක වියදමක් ද දරන්නට සිදුවනු ඇත්තේය. රට ආර්ථික වශයෙන් තිබෙන්නේ බිලියන ගණනක් ගෙවා අලුත් ආරක්ෂක උපකරණ මිලදී ගත හැකි තත්ත්වයක නොව, එදිනෙදා කටයුතු පවා පවත්වාගෙන යෑම අමාරු තත්ත්වයකය.

ත්‍රිමාණ ගුවන් නාශක මිසයිල් පද්ධතියක් මිලදී ගෙන තවදුරටත් යුද්ධය ඉදිරියට ගෙනයෑම රට ඉදිරියේ තිබෙන එක විකල්පයකි. ඊළඟ විකල්පය වනුයේ දිගින් දිගට යුද්ධ කරන තැනකට යනවා වෙනුවට ඔවුන්ට තවදුරටත් යුද්ධය ඉදිරියට ගෙනයෑමට සදාචාරමය අයිතියක් නැති තත්ත්වයක් ඇති කිරීමය.

ඒ සඳහා දෙමළ ජනතාවගේ පිළිගැනීමට හේතුවන දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතුය. එම දේශපාලන විසඳුම මුස්ලිම් හා සිංහල ජනතාවගේ ද පිළිගැනීමට හේතුවිය යුතු අතර, ලෝක ජනතාවගේ ද පිළිගැනීමට හේතුවිය යුතුය. එල්ටීටීඊය එම දේශපාලන විසඳුම පිළිගන්නේ නම් ඔවුන් ආයුධ අත්හරින තැනකට යා යුතුය. ඔවුන් එම දේශපාලන විසඳුම පිළිනොගන්නේ නම් දෙමළ ජනතාවගේ ද සහාය ඇතිව ඔවුන් යුදමය වශයෙන් පරාජය කරන තැනකට යා හැකිය. ජනතාවගේ හා ලෝකයාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමය.

එහෙත් ආණ්ඩුව ශ්‍රීලනිප වශයෙන් ඉදිරිපත් කර තිබෙන විසඳුම එවැනි විසඳුමක් ලෙස සැලකිය නොහැකිය. එය සකස් කර ඇත්තේ ජේවීපීයට හා හෙළ උරුමයට මිස, දෙමළ ජනතාවට හෝ එල්ටීටීඊයට නොවේ.

ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හොඳය. ව්‍යවස්ථා සභාව ඇති කොට ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම ද හොඳය. දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ගනුදෙනු කළ හැකි තත්ත්වයක් ඇති කිරීම ද හොඳය. එහෙත් දෙමළ ජනතාවට ලබාදී තිබෙන මූලික දේවල් ඉතා දුර්වලය.

බලය බෙදාහැරීමේ ඒකකය දිස්ත්‍රික්කයක් විය යුතුයි කියන සූත්‍රය සිංහල ප්‍රදේශවලට ගැලපෙනවා විය හැකි වුවත්, උතුරු නැගෙනහිරට ගැලපෙන්නේ නැත. තිබෙන ප්‍රශ්නයේ ස්වභාවය අනුව වඩා යථාර්ථවාදී වන්නේ දිස්ත්‍රික්කය නොව පළාතයි. එහෙත් උතුරු නැගෙනහිර පළාත් දෙක යා කිරීමක් වනවා නම් විය යුත්තේ නැගෙනහිර ජනතාවගේ කැමැත්ත ඇතිවය. ජන සංයුතියේ වෙනස් වන ස්වභාවයන් අනුව ශ්‍රී ලංකාවට වඩා යෝග්‍ය වනු ඇත්තේ උතුරු නැගෙනහිර යන පළාත් දෙකට එක ඒකකයක් වෙනුවට ඒකක දෙකකි. එවිට උතුර අතිවිශාල දෙමළ බහුතරයක් සහිත කලාපයක් ලෙස ද නැගෙනහිර දෙමළ මුස්ලිම් හා සිංහල මිශ්‍ර කලාපයක් ලෙස ද ගොඩ ගැසිය හැකිය.

සෙනට් සභාවේ සාමාජිකයන් තෝරා ගැනීමේ ක්‍රමය හා එහි සාමාජික සංයුතිය ද මෙම අවුල ඇතුළුව රටේ අවුල් විසඳා ගැනීමට ආධාර වන ක්‍රමයටක සකස් විය යුතුය. ඇති කරන වෙනස්කම් ජනවාර්ගික අර්බුදයට පමණක් සීමා නොකොට අනෙක් ප්‍රධාන ප්‍රශ්න ද සැලකිල්ලකට ගෙන කරන්නක් විය යුතුය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ලෝකයේ විවිධ රටවල්වලට යමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව පැමිණිලි කරන තැනකට නොගොස් පළමුවෙන්ම අභ්‍යන්තරික වශයෙන් මේ ප්‍රශ්න සාකච්ඡා කරන තැනකට ගියේ නම් එය ඔහුගේ සේ ම රටේ ද යහපතට හේතුවන්නට ඉඩ තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක විපක්ෂ නායකයා යන්නෙහි තේරුම විකල්ප නායකයා යන්නයි. ඔහු රටේ සිටින විකල්ප නායකයා වේ නම් බලයේ සිටින රාජ්‍ය නායකයා සමග තිබෙන ප්‍රශ්න බැ?රුම් ලෙස සාකච්ඡා කිරීමේ හැකියාවක් හා ශක්තියක් ඔහුට තිබිය යුතුය. රනිල් වික්‍රමසිංහගේ මාමා විසින් ඇති කරන තිබෙන මෙම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකදී හැර ජනාධිපතිවරයා පරාජය කළ හැකි ක්‍රමයක් නැත. විපක්ෂ නායකයා ඒ බව ද අමතක නොකළ යුතුය. •