මානව හිමිකම් වාෂ්ප කිරීම

October 29, 2026
Publication:
In a fundamental rights case about a work-to-rule at the port, the Supreme Court has ruled on the domestic validity of the international agreements Sri Lanka has made with the International Labour Organisation — that governments may enter such agreements but that the agreements are not valid until parliament legislates. That ruling belittles the standing of every international human rights agreement the country has signed.

වරායේ පැවති හෙමින් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයකදී ජාත්‍යන්තර කම්කරු සංගමය සමඟ ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන අන්තර් ජාතික ගිවිසුම්වලට දේශීය වලංගුභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුව මානව හිමිකම් විෂයයට අදාළව ඇති කරගෙන තිබෙන සියලු අන්තර්ජාතික ගිවිසුම්වල තත්ත්වය හෑල්ලු කිරීමට හේතුවන බව කිව යුතු ය. ඒ ගැන අගවිනිසුරුවරයා දී තිබෙන තීරණය වී ඇත්තේ අන්තර්ජාතික ගිවිසුම් ඇති කරගැනීමට ආණ්ඩුවලට හැකියාවක් ඇතත්, එම ගිවිසුම්වල එන කාරණා ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්ව නැතිනම් ඒවා පිළිගන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැති බව ය.

ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම්වලට අදාළ ඉතා වැදගත් අන්තර් ජාතික ගිවිසුම් ගණනාවකට අත්සන් තබා තිබෙන අතර, එම ගිවිසුම් මගින් එම ගිවිසුම්වලට අදාළ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ජනතාවට එම ගිවිසුම්වලින් දැක්වෙන අයිතිවාසිකම් බුක්ති විඳීමේ අයිතිය ලබාදෙන බවට ද සහතික වී තිබේ. දේශීය නීතිවල කුමක් සඳහන් වුවද එම අන්තර් ජාතික ගිවිසුම්වල එන මූලධර්ම ශ්‍රී ලංකාවට අදාළ බවට ද ශ්‍රී ලංකා ආණ්ඩුව එම ගිවිසුම් මගින් පිළිගෙන තිබේ. එවැනි ගිවිසුම් ඇති කරගැනීමෙන් පසුත් දේශීය වශයෙන් නීති පනවා නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයක් කළ යුත්තේ එම ගිවිසුම්වල එන මූලධර්ම සලකා ක්‍රියා කරමින් අදාළ නීති ඇතිකරගන්නා ලෙස ආණ්ඩුවට නිර්දේශ කිරීම මිස එම ගිවිසුම්වල එන මූලධර්ම නොසලකා ක්‍රියා කිරීම නොවන බව ද කිව යුතු ය.

මෙවැනි ප්‍රවේශයක් වාසිදායක වනු ඇත්තේ රටට නොව ප්‍රභාකරන්ට ය. එක්සත් ජාතික සංවිධානය වැනි ලෝක සංවිධාන සමඟ ඇති කරගෙන තිබෙන අන්තර්ජාතික ගිවිසුම් පවා නොසලකා ක්‍රියාකරන ආණ්ඩුවක් සමඟ අප එකඟත්වයක් ඇතිකර ගන්නේ කෙසේදැයි ඔහුට තර්ක කළ හැකි ය.

මානව හිමිකම් විෂයට අදාළව ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන අන්තර්ජාතික ගිවිසුම් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විෂයයට නව මානයක් ලබාදීමට හේතුවිය. මානව හිමිකම් මුළුමනින් නො සලකා ක්‍රියා කරන යුගයක් තිබුණි. මානව හිමිකම් සංවේදී විෂයයක් බවට පත්වූයේ එසේ ඇති කරගත් අන්තර්ජාතික ගිවිසුම් නිසා ය. දැන් අපි එසේ ඇති කරගත් ගිවිසුම් නීති පනවන තෙක් වලංගු නොවන්නේ යැයි කියන්නේ නම්, එය රටක් වශයෙන් ශීලාචාර තත්ත්වයක සිට අශීලාචාර තත්ත්වයකට ගමන් ගැනීමක් ලෙස සැලකිය හැකිය. එම තත්ත්වය ජනතාවගේ මානව අයිතිවාසිකම් කෙරෙහි ඉතාමත් විනාශකාරී ලෙස බලපානු නො වැළැක්විය හැකි ය.

දේශීය වශයෙන් යුක්තිය ඉටුකරවා ගත නොහැකි අවස්ථාවලදී අන්තර්ජාතික වශයෙන් හෝ යුක්තිය ඉටුකර ගන්නා මාර්ග තිබිය යුතු ය. වර්තමානයේ ජනාධිපති ධුරය හොබවන මහින්ද රාජපක්ෂ මහතාටද ඒ කියන යුගයේ දී ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යන්නට සිදුවූයේ ය. එදා එවැනි වීර වාර්තාවක යෙදුණු පුද්ගලයෙකු රටේ රාජ්‍ය නායකයාව සිටින යුගයක ශ්‍රී ලංකාව මානව හිමිකම් විෂයෙහි ඇති කරගෙන තිබෙන අන්තර්ජාතික හිමිකම් ශ්‍රී ලංකාවට අදාළ නොවේ යැයි කියන තැනකට යන්නේ නම් එය ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

මානව හිමිකම් විෂයේදී අන්තර්ජාතික ආයතනවල සහාය පතන්නට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොවේ. 71 අප්‍රේල් කැරැල්ලේදී රෝහණ විජේවීර මහතාට ද ඇට්බරි සාමිවරයාගේ පිහිට පතන්නට සිදුවූයේය. ඉන්පසු දෙවැනි කැරැල්ලේදී ජවිපෙට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ සහාය පතන්නට සිදුවිය. සෝමවංශ අමරසිංහ වැනි අයට පමණක් නොව, ආචාර්ය සුසන්ත ගුණතිලක වැනි අයටද ජීවිත ආරක්ෂාව සඳහා මව්බිම අතහැර යුරෝපයට පලා යන්නට සිදුවූයේ ය.

ඇඟලුම් කෝටා අහිමිවීම නිසා ඇඟලුම් කර්මාන්තය අර්බුදයට යමින් තිබුණු අවස්ථාවක ශ්‍රී ලංකාවේ අපනයනයට යුරෝපා සංගමයේ රටවලට නිදහස් වෙළෙඳ තත්ත්වයක් ලබාදුන්නේ ද මානව හිමිකම්වලට අදාළ අන්තර් ජාතික ගිවිසුම් ආරක්ෂා කරන බවට සහතික වන අන්තර් ජාතික ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබන ලද නිසාය.

දැන් අප ගමන් ගනිමින් තිබෙන්නේ ඒ සියලු ජයග්‍රහණයන් කණපිට හරවන තැනකටද? ශීලාචාර තත්ත්වයක සිට අශීලාචාර තත්ත්වයකට මාරුවීම ඉදිරි පියවරක් ලෙස සැලකිය නො හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණයක් තිබිය යුත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මිස මානව හිමිකම් වාෂ්ප කිරීමට නොවන බව ද කිව යුතු ය.