තමාට ජවිපෙ සමඟ ඉදිරියට යෑමේ හැකියාවක් නැති බව ජනාධිපතිවරයා සිය අත්දැකීමෙන්ම තේරුම් ගෙන තිබුණේය. ජවිපෙ අත්හරින්නේ නම් එක්කෝ මැතිවරණයකට යා යුතුය. නැතිනම් මුස්ලිම් කොංග්‍රසය, වතු කම්කරු කොංග්‍රසය වැනි පක්ෂ සමඟ එජාපයෙන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීම හෝ එම පක්ෂ සමඟ එජාප සමඟ ජාතික ආණ්ඩුවකට යායුතු විය.
එජාප දුර්වල තත්ත්වයක සිටියත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමකින් තොරව හා ජවි පෙරමුණෙන් වෙන්ව තනිව මැතිවරණයකට යෑමෙන් ලැබෙන ප්‍රතිඵල සමහරවිට තමන්ගේ අවාසියට හේතුවිය හැකි බව ජනාධිපතිවරයා දනී. එසේම දැන් පවතින තත්ත්වය තුළ විරුද්ධ පක්ෂයෙන් සැලකිය යුතු තරම් විශාල පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීමේ හැකියාවක් ද නොපවතී. අනෙක් අතට ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර බලවේගයන්ගේ අපේක්ෂාව ප්‍රධාන විරුද්ධ පක්ෂය සමඟ ඇති කරගන්නා ජාතික ආණ්ඩුවක් වුවත් එවැනි ආණ්ඩුවක් තමන්ගේ පැවැත්ම දුර්වල කිරීමට හේතුවිය හැකි බව ද ජනාධිපතිවරයා දනී.
එම තත්ත්වයන් යටතේ තමන් ඉදිරියේ තිබෙන අන් සියලු දුෂ්කර විකල්ප අතහැර ජවිපෙ ආණ්ඩුව තුළට එකතු කරගන්නා ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඉදිරියට යාමට ජනාධිපතිවරයා හිත හදාගෙන සිටිමින් සිටින බව පෙනෙන්නට තිබේ.
එහෙත් එවැනි වැඩපිළිවෙළකට එක එල්ලේ ජවිපෙ කැමති බවක් ද පෙනෙන්නට නැත. ඔවුන් කියන්නේ රටේ තත්ත්වය හොඳින් පරීක්ෂා කර බලා රට ඉදිරියට ගෙනයාම සඳහා තමන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළට එකඟ නම් පමණක් තමන් ආණ්ඩුවට එකතු වන්නට කැමති බවය. එහෙත් එය ද වහාම සිදුවන්නක් නොවේ. ආණ්ඩුවට එකතු වනවාද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාව තමන්ට ලැබෙනු ඇත්තේ සැප්තැම්බර්වලදී බව ජවිපෙ මතය වී තිබේ. ජනාධිපතිවරයාට සහාය දෙන බවක් පෙන්වා ජනාධිපතිවරයාට අනාගන්නට ඉඩ හැර බලා සිටීම ජවිපෙ උපාය මාර්ගය වී තිබෙන බව පෙනේ.
අමාරුවෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එකතු කරගත්තද ජනාධිපතිවරයාගේ පැවැත්ම වඩ වඩාත් දුෂ්කර කිරීමට මිස ලිහිල් කිරීමට හේතු නොවනු ඇත. ජවිපෙ නිකම්ම ආණ්ඩුවේ කොටස්කරුවකු වන්නට සූදානම් නැත. ජවිපෙ ආණ්ඩුව තුළට එන්න යන්නේ තමන්ගේම කොන්දේසි මාලාවක් ද ඇතිවය.
එවැනි එකතුවක් ජනාධිපතිවරයාගේ වාසියට හේතු නොවනු ඇතත්, මේ මොහොතේ ජවි පෙරමුණට වාසිදායකය. ජවි පෙරමුණට මැතිවරණයට මුහුණ දීමේ හැකියාවක් නැත. තනිව මුහුණ දෙන මැතිවරණයක් ජවිපෙ අඟුටුමිටි තත්ත්වයකට පත්විය හැකිය. එහෙත් නැවත රාජ්‍ය බලය දරන තත්ත්වයකට ආ හැකි නම් තමන්ගෙන් වෙන්වී සිටි කිසියම් පිරිසක් හෝ තමන් වෙත ආකර්ෂණය කරගැනීමේ හැකියාව ජවිපෙට ලැබෙනු ඇත්තේය.
ජවිපෙ සමඟ ඇති කරගන්නා එකඟතාවක් පවතින වාර්ගික අර්බුදය තව තව උග්‍ර කිරීමට මිස සමනය කිරීමට හේතුවිය නොහැකිය. ඒ සමඟ ආයෝජකයින් ද අධෛර්යමත් කොට ආර්ථික තලයද අවුල් කිරීමට හේතුවනු ඇත්තේය. ආණ්ඩු පක්ෂය තුළ ද ගොඩනැගෙමින් තිබෙන බෙදීම් වර්ධනය කිරීමට හේතුවනු ඇත්තේය.
මීට පෙර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද ජවිපෙ සමඟ පරිවාස ආණ්ඩුවක් ඇති කරගත්තේය. මෙම පරිවාස ආණ්ඩුව වෙනුවෙන් අවසානයේදී තමන්ට තිබුණු පාර්ලිමේන්තු බලය අත්හැරීමට ඇයට සිදුවිය.
එජාප බලයට පත්වී තවත් කලක් ගිය පසු නැවත ජවිපෙ සමඟ සන්ධානයක් ඇති කරගනිමින් එජාපයට බහුතර බලයක් තිබුණු පාර්ලිමේන්තුව විසුරුවාහැර පවත්වන ලද මැතිවරණයෙන් එජාප පරාජය කොට නැවත තමන්ගේ පාර්ලිමේන්තු ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමත් විය. එහෙත් ඒ ආණ්ඩුව නිදහසේ ඉදිරියට ගෙනයන්නට ජවිපෙ ඇයට ඉඩ දුන්නේ නැත. ජවිපෙ සමඟ පැවති සන්ධානය බිඳ වැටුණා පමණක් නොව ඒ නිසා ඇතිවූ අවුල්සහගත තත්ත්වය නිසා ඇයට සිය පදවිය අත්හැරීමටද සිදුවූයේය.
මහින්ද රාජපක්ෂ, ශ්‍රීලනිප තුළ ජවිපෙට සිටි හොඳම හිතවතා නොවූවත්, ජනාධිපතිවරණයේදී ජවිපෙ මහින්දට ආධාර කළේය. මහින්ද බලයට පත්වීමෙන් පසු ජවිපෙ අලුත් ආණ්ඩුවේ නිල පංගුකාරයෙකු බවට පත් නොවූවත්, ආණ්ඩුවෙන් පිටස්තරව ඉඳිමින් රාජපක්ෂ මහතාගේ ගමන් මග බොහෝ දුරට පාලනය කළේය. ඉන්පසු ඔවුන් ආණ්ඩුවේ නිල හවුල්කරුවන් පිරිසක් බවට පත්වන්නේ නම් ජනාධිපතිවරයාට ජවිපෙ ගසන බෙරපදවලට නටන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.
එම තත්ත්වය රටේ පවතින අවුල්සහගත තත්ත්වය උග්‍ර කිරීමට මිස, ලිහිල් කිරීමට හේතු නොවනු ඇත.
චන්ද්‍රිකාගේ හොරගල් ඇහිඳිල්ල
සිය පවුලේ බූදලයක්ව පැවති පක්ෂය අහිමිවීමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් එංගලන්තය බලා ගිය චන්ද්‍රිකා දැන් එංගලන්තයට වී බලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා අනාගන්නා තෙක්ය. අන් කිසිම දෙයක් නැතත් තමන්ට අහිමි වූ පක්ෂය නමැති බූදලය නැවත හිමිකර ගැනීම ඇගේ අපේක්ෂාව වී තිබෙන බව ද පෙනේ.
ඇය හිතන ආකාරය වැරදි නැත. ජනාධිපතිවරයා අනාගන්නා තැනකට ගියහොත් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සේ ම පාක්ෂිකයින්ගේ ද අවධානය ඇය වෙත යොමුවිය හැකිය. ඇගේ සියලු වැරදි අමතක වී ඇය එකම ගැලවුම්කාරයා ලෙස පෙනෙන තත්ත්වයක් ඇතිවිය හැකිය. අනෙක් අතට ජනාධිපතිවරයා කෙරෙහි අතෘප්තියකින් පසුවන ඇමතිවරුන් ද ඇගේ සාරි පොටේ එල්ලෙන තත්ත්වයක් ද ඇතිවිය හැකිය.
එහෙත් මේ තරගයේදී ඇය සිටින්නේ ද ශක්තිමත් විකට්ටුවක නොව දුර්වල විකට්ටුවකය. අවශ්‍ය වෙතොත් ඇයට එරෙහිව පාවිච්චි කළ හැකි තුරුම්පු බොහෝ ගණනක් ජනාධිපතිවරයා අත තිබෙන්නේය. ඇය අයථා ලෙස ධනය ඉපයීය. සිය ළඟ හිතවතුන්ට ද අයථා ලෙස මුදල් උපයන මාර්ග ඇතිකර දුන්නේය. මිනිසුන් කිහිප දෙනෙකු හෝ ඇගේ මාෆියාව අතින් ඝාතනයට ලක්විය. තවත් පිරිසක් එම මාෆියාව අතින් වද හිංසාවන්ට ලක් කෙරිණ.
රෝහණ කුමාර ඝාතනය සිදුවූයේ ඇය දැනුවත්ය. වෙඩි තැබීමේ සිද්ධිය ඇගේ සුපිරි වීඩියෝ කැමරාවෙන් වීඩියෝ ගත කෙරුණු බව කියන කතාවක්ද පවතී. කුමාර් පොන්නම්බලම් ඝාතනය ආරම්භයේ ඇය නොදැන සිදුවූවක් විය හැකි වුවත්, ඊට වගකිවයුතු අය කව්දැයි ඇය පසුව දැනගත්තාය. රූකාන්ත චන්ද්‍රලේඛා හිංසාවට ලක් කිරීමේ ක්‍රියාවලිය සිදුවී තිබෙන්නේ ද ඇගේ අනුදැනුම ඇතිවය. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංගට පහර දුන්නේ ද ඇගේ අනුදැනුම ඇතිවය.
දැන් එදා ඇගේ පෙම්වතාගේ ජවනිකාව රඟපෑ සනත් ගුණතිලක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මිත්‍රය. ඔහු ඇගේ සැඟවුණු රහස් දන්නා එක් පුද්ගලයෙකි. දයා සඳගිරි පරීක්ෂණයේ ඉලක්කය වී තිබෙන බව පෙනෙන්නේද චන්ද්‍රිකාය. නැවත දේශපාලන පොර පිටියට පැමිණ පක්ෂය නැමති බූදලය තමන් වෙත හිමිකර ගැනීමේ ආසාවක් තිබෙනවා විය හැකි වුවත් එහිදී ඇය ඉන්නේ ශක්තිමක් තැනක නොව දුර්වල තැනකය. මහින්දගෙන් ගැලවෙනවාටත් වඩා අගවිනිසුරුගෙන් ගැලවීම අමාරුය.
රට තිබෙන්නේ මහා විනාශයක මුව විට ද?
ඉක්මන් යුද්ධයක් ඇතිවීම නො වැළැක්විය හැකි තැනකට රට ගමන් කරමින් සිටී. සටන් විරාම ගිවිසුම, සටන් විරාම නිරීක්ෂණ කමිටුව වැනි කාරණා කිසිම තේරුමක් නැති හිස් වචන ගොඩක් බවට පත්වෙමින් තිබේ.
එල්ටීටීඊයට අමතක නොවන පාඩමක් ඉගැන්වීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන අතර, ශ්‍රී ලංකා ආණ්ඩුවට අමතක නොවන පාඩමක් ඉගැන්වීම එල්ටීටීඊයේ අපේක්ෂාව වී තිබේ. දෙපාර්ශ්වයම ජාත්‍යන්තර ප්‍රජාවට පෙනෙන්නේ කුමන්ත්‍රණකාරයන් ලෙස ය. මහා විනාශයක් ඇතිවන්නට ඉඩදී ආණ්ඩු බලය සියතට ගැනීමට විපක්ෂය පෙර මගා බලා සිටින බව ද පෙනේ.
සාමාන්‍ය යුද්ධයක දී හැම සටන් අදියරයක් ම ඉදිරියට එන්නේ පෙර සටන් අදියරයට වඩා වේගවත් හා විනාශකාරී ආකාරයට ය. ඉදිරියේ ඇතිවන්නට යන යුද්ධය මෙතෙක් ඇතිවූ සියලු යුද්ධයන්ට වඩා විශාල විනාශයක් ඇති කිරීමට හේතුවනු ඇතැයි උපකල්පනය කිරීම අමාරු නැත. එය ඉක්මන් විනාශකාරී තාක්ෂණයට බර යුද්ධයක් වනු ඇති අතර, දෙපාර්ශ්වයට ම බරපතළ හානි ඇති කරන යුද්ධයක් වනු ඇතැයි ද සිතිය හැකි ය.
යුද්ධය මෙතෙක් රටට අතිවිශාල හානියක් කර තිබියදීත්, එය නො සලකා රට යුද්ධයක් අපේක්ෂා කරන්නේ නම්, අපි ඥානාන්විත ජාතියක් ලෙස සැලකිය නො හැකි ය.
යුද්ධය ගැටුම් නිරාකරණය කරගැනීමට තිබෙන එක ම මාර්ගය වුවත්, එය ඒ සඳහා තිබෙන මාර්ග අතරින් නරක ම මාර්ගය ලෙස ද සැලකිය හැකි ය. ප්රචණ්ඩ අරගල නිසා පසුගිය 20 වසර තුළ ඝාතනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට වැඩිවිය හැකි ය. අනාථභාවයට පත් ජනයාගේ සංඛ්‍යාව දශ ලක්ෂයකටත් වැඩි ය. ඒ නිසා ආර්ථික වශයෙන් රටට සිදුවී ඇති විනාශය මැනිය යුත්තේ මිලියනවලින් නො ව, බිලියනවලිනි. රට දේශපාලන ප්රචණ්ඩත්වයේ සිරකරුවකු බවට පත්ව තිබෙන අතර, ඒ නිසා සමාජ මනස ද රෝගී තත්ත්වයකට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව තමන් වැටී සිටින ප්රචණ්ඩත්වයේ විෂම චක්‍රයෙන් ගැලවීමට උත්සාහ නො ගනී. ඒ වෙනුවට ඒ තුළ කැමැත්තෙන් ජීවත් වන ජාතියක් බවට පත්වී තිබේ.
රටක් වශයෙන් අප සිටිනුයේ විනාශයක මුව විට ය. මහා ප්රාතිහාර්යයක් වැනි දෙයකින් මිස, විනාශයක් ඇතිවීම වැළකීමේ හැකියාවක් ඇති බවක් ද පෙනෙන්නට නැත.
පාලකයින්ට මොළේ තිබිය යුතු ය. නොඑසේ නම්, පාලිතයන්ට මොළේ තිබිය යුතු ය. ඒ දෙපිරිස ම අවිචාරවත් වූ විට රටක් විනාශයට පත්වීම නො වැළැක්විය හැකි ය.