රෝහණ කුමාර නමින් ප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනෙක් සිටියේය. එක් අයගේ වනුයේ “සටන” කර්තෘ රෝහණ කුමාරය. ඔහු චැනල් නයින් ගනුදෙනුවට අදාළව ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා සනත් ගුණතිලක ගැන ලිවීමෙන් නොනැවතී ““කොමිසනා”” නමින් කැසට් පටයක් නිෂ්පාදනය කොට බෙදාහැරීම නිසා චන්ද්‍රිකාගේ මාෆියාව අතින් ඔහුට මැරුම් කන්නට සිදුවූයේය.
ඊළඟ රෝහණ කුමාර ප්‍රසිද්ධ වූයේ රාවය නිසාය. අගවිනිසුරු පිළිබඳව කරන ලද හෙළිදරව්වලදී අගවිනිසුරුට ඔහු සමඟ තිබූ සමීප සම්බන්ධය ගැනත්, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනනයට ඔහුට තිබූ සම්බන්ධය ගැනත් කතා කිරීමට රාවයට සිදුවිය.
දැන් මේ රෝහණ කුමාර ග්රන්ථ කතුවරයෙකු වී සිටින්නේය. ඔහු මා ගැනත්, රාවය ගැනත් ඔයැ Funeral දෙ ඍ්ඩ්හ් නමින් වන කෘතියක් 2005 වසරේදී පළ කළේය. එහි මුල් කෘතිය තමන් සිංහලෙන් ලියා කතාවට ලැබිය යුතු ජාත්‍යන්තර වැදගත්කම සලකා පරිවර්තකයකු ලවා ඉංග්‍රීසියට පරිවර්තනය කොට ප්‍රසිද්ධ කළ බව එම කෘතියේ සඳහන්ය. එහි පරිවර්තකයාගේ නම කොතැනකවත් සඳහන් වන්නේ නැත.
මෙම කෘතියෙන් රෝහණ කුමාර කියන ආකාරයට ඔහුට එය ලියන්නට අවශ්‍ය වූයේ මා විසින් ලියා පළ කොට ඇති “නොනිමි අරගලයේ” ඔහු පිළිබඳව ලියැවී ඇති කරුණුවල ඇති අසත්‍යභාවය හෙළිදරව් කිරීම සඳහාත් වික්ටර් අයිවන්ගේ දූෂණයෙන් හා වංචාවෙන් පිරි ජීවිතයේ ඇති අඳුරු පැත්ත හෙළිදරව් කිරීම සඳහාත්ය. ඉංග්‍රීසියෙන් පළ කරන ලද කෘතියේ පිටු ගණන 169 කි. මිල රුපියල් 750කි. ඩොලර්වලින් මිල ඩොලර් 15 කි. පොත නීතීඥ නාමාවලියේ නම් ඇතුළත් නීතිඥයින් විශාල පිරිසකටත්, තානාපති කාර්යාලවලට හා ජනමාධ්‍යවේදීන්ට නොමිලේ බෙදාහරින ලදි. එම ව්‍යාපෘතිය සඳහා වන සමස්ත වියදම රුපියල් දශ ලක්ෂයක් පමණ විය හැකිය.
පිටු 169ක පොතෙන් පිටු 20ක් ම වෙන් කර ඇත්තේ ඔහු පිළිබඳව “නොනිමි අරගලයේ” එන කතාව උපුටා දැක්වීම සඳහාය.
එම කතාව බොරුබව කියන්නට ඔහු වැය කර තිබෙන පිටු ගණන 16කි. තවත් පිටු 8ක් 1971 කැරැල්ල ගැනත්, කැරැල්ල ගැන ඒ.සී. අලස් විසින් ලියා ඇති පොතෙන් ලබාගත් උපුටා ගැනීම් සඳහාත් වෙන් කර තිබේ. තවත් පොතෙන් පිටු 56ක් වෙන්කර ඇත්තේ රාවයේ ඡායාරූප ශිල්පියෙකු වශයෙන් වැඩ කළ චන්ද්‍රගුප්ත අමරසිංහ රාවයට එරෙහිව කම්කරු උසාවියේ පවරන ලද නඩුවේ නඩු වාර්තා පළ කිරීම සඳහාය.
රෝහණ කුමාර කියන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිදුවූ රංජිත් බණ්ඩාර විජේකෝන් ගොඩගම ඝාතනයට තමන්ගේ මොනම සම්බන්ධයක්වත් නැති බවය. රංජිත් ගොඩගමට වෙඩි තැබූ පුද්ගලයාගේ ජංගම දුරකතනයට තමා කතා කර නැති බවත්, පරීක්ෂණය මෙහෙයවූ පොලිස් නිලධාරියා රාවය කර්තෘගේ ද සහාය ඇතිව තමාට සම්බන්ධයක් තිබූ එළවලු වෙළෙන්දෙකුගේ ජංගම දුරකතනයේ තිබූ මෘදුකාංගය (Chip) වෙඩික්කාරයාගේ දුරකතනයට මාරු කිරීම මගින් තමා හා වෙඩික්කාරයා අතර ව්‍යාජ දුරකතන සම්බන්ධයක් මවා පා තිබෙන බවත්ය.
එහෙත් නුපුල් කුමාරට රෝහණ කුමාරට තිබුණු සම්බන්ධය තහවුරු කිරීම සඳහා පොතේ ඉදිරිපත් කර තිබෙන එකම සාක්ෂිය දුරකතන සාක්ෂිය පමණක් නොවීය. කොළඹ සිදුවූ බැංකු මංකොල්ලයකට එම පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම පරීක්ෂණය මෙහෙයවූ මිරිහාන පොලිස් නිලධාරියාට රෝහණ කුමාර බලපෑම් කළේය. රෝහණ කුමාර එම පොලිස් නිලධාරියා අගවිනිසුරුගේ නිල නිවසට කැඳවා ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් සිය යෝජනාවලට පොලිස් නිලධාරියා එකඟ කරගැනීමට ඔහු සමත් නොවීය. ඒ ගැන එම පොලිස් නිලධාරියා වංචා විමර්ශන අංශයට කර තිබූ පැමිණිල්ල පිළිබඳ විස්තරයක් ද පොතට ඇතුළත්ව තිබුණි. ඊටත් අතිරේකව තමන්ට අවනත නොවන එම පොලිස් නිලධාරියාට පාඩමක් ඉගැන්වීම පිණිස නුපුල් කුමාර ඇතුළු බැංකු මංකොල්ලයට අත්අඩංගුවට ගන්නා ලද පිරිස වෙනුවෙන් පොලිස් නිලධාරියාට එරෙහිව ඉදිරියට ගෙනා මූලික අයිතිවාසිකම් පෙත්සමකදී සිදුවී තිබුණු වංචාවක් පිළිබඳ විස්තර ද පොතට ඇතුළත්ව තිබුණි.
රෝහණ කුමාර හා අගවිනිසුරු අතර පැවති සමීප සම්බන්ධය ගැන විවිධ විස්තරද නොනිමි අරගලයේ පොතට ඇතුළත්ව තිබුණි. අගවිනිසුරුගේ නිල නිවසේ පවත්වාගෙන ගිය විනිශ්චයකරුවන් පුහුණු කරන ආයතනයේ භාරකරුවා ලෙස රෝහණ කුමාර වැන්නකු පත් කරගනු ලැබුවේ කෙසේද යන ප්‍රශ්නයද එම පොත මතු කොට තිබුණි. එසේම උද්භිද උද්‍යාන ඝාතනයෙන් පසුව අධිකරණය රෝහණ කුමාර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණු අවස්ථාවක රෝහණ කුමාර කිසියම් දීර්ඝ කාලයක් සැඟවී සිටියේය. ඔහු කැස්බෑව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසියට අණ දෙන ලද්දේ එවකට පොලිසියේ දෙවැනියා ලෙස ක්‍රියා කළ කොටකදෙණිය මහතාය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අගවිනිසුරුවරයාට කතා කිරීමට උත්සාහ කළ බවත්, ඊට ඉඩ නොලැබුණු විට ඔහු සමග සිටි ලක්ෂ්මී කුසුමලතා සිය ජංගම දුරකතනයෙන් අගවිනිසුරු අමතා ““සර් රෝහණව අත්අඩංගුවට ගත්තා”” යි කියා සිටි බවත් පොලිස් සටහන් පොතේ ලියවී තිබුණි. රෝහණ කුමාරට රංජිත් ගොඩගම ඝාතනයට කිසිම සම්බන්ධයක් නොතිබුණේ නම්, අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබියදී සැඟවී සිටියේ ඇයි? ටික කලක් සැඟවී සිටින ලෙසට අගවිනිසුරුගෙන් ලැබුණු උපදෙස් නිසා සැඟවී සිටි බව පොලිසියට ප්‍රකාශ කළේ ඇයි? සැඟවී සිටි නිවසේ අගවිනිසුරු සමඟ ගත් ඡායාරූපයක් එල්ලාගෙන සිටියේ ඇයි?
රෝහණ කුමාරගේ ස්වභාවය හා ඔහු අගවිනිසුරු සමග තිබූ සමීප සම්බන්ධය මහජනතාවට රහසක් වුවත්, අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට රහසක් නොවීය. රෝහණ කුමාර සිද්ධිය හෙළා දැක ඔහු වැනි පුද්ගලයෙකු විනිශ්චයකරුවන් පුහුණු කරන ආයතනයේ භාරකරු වූයේ කෙසේද යන්න ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටීමට අධිකරණ නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය වූයේ ඇයි? එම යෝජනාව සම්මත කරගැනීමෙන් පසුව එම යෝජනාව අධිකරණ සේවා සංගමයට යවන පිටපතට අත්සන් තබා තිබුණේ එවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් ක්‍රියා කළ ජී.ඩී. කුලතිලක මහතා හා වත්මනයේ මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ක්‍රියා කරන සුනිල් පෙරේරා මහතාය. එම යෝජනාව සම්මත වන අවස්ථාව වන විට “නොනිමි අරගලයක්” පළවී නොතිබුණි. එසේ තිබියදී ඔහු පිළිබඳව විනිශ්චයකාරවරුන් අතරින් එවැනි ආකල්පයක් ප්‍රකාශ වූයේ කෙසේද?
“රාවයේ මළගම” පිළිබඳව පළ කරන දැන්වීමේ මෙම රෝහණ කුමාර පෙනී සිටින්නේ මහනුවර “ප්‍රජා නීති ආධාර මධ්‍යස්ථාන” යේ සභාපති වශයෙනි. පොතේ පිටුපසට යොදා ඇති කරේ ටයි පටියක් බැඳි රෝහණ කුමාරගේ පසුබිමේ ඇත්තේ ලොකු නීති පොත්වලින් පිරුණු රාක්කයකි. ඔහු එදා රහසේ කරගෙන ගිය ජාවාරම අද ප්‍රසිද්ධියේ කරගෙන යන බව පෙනේ. ලක්ෂ්මි කුසුමලතා රෝහණ කුමාරට හමුවන්නේ ද තම දේපළ නඩුව තමන්ගේ වාසියට හේතුවන ලෙස බේරුමක් කරගැනීමටය. ඇය ඇගේ කටඋත්තරයේ රෝහණ කුමාරගේ පළමු හමුවීම ගැන විස්තර කර තිබේ. ඇය රෝහණ කුමාර විස්තර කොට ඇත්තේ “අගවිනිසුරුතුමාගේ ලේකම්” වශයෙනි. රෝහණ කුමාරට එල්ල වී තිබුණු එක් ප්‍රසිද්ධ චෝදනාවක් වූයේ විනිසුරුවන් සමග තිබෙන දැන හැඳුනුම්කම හා අගවිනිසුරුට තිබුණු දැන හැඳුනුම්කම ප්‍රයෝජනයට ගනිමින් නඩු කටයුතුවලට අයථා ලෙස මැදිහත් වී මුදල් ඉපයූ බවය. දැන් ඔහු නීති ආධාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. ඊට ආධාර ලැබෙන්නේ කොහෙන්ද? පැරණි ජාවාරමට වඩා අලුත් ආකරයකින් කරගෙන යමින් සිටින බව පෙනේ.
රෝහණ කුමාරගේ දැන්වීම ජවිපෙ ලංකා පුවත් පතේ පළකර ඇත්තේ වෙනත් සියලු පුවත්පත් පළ කර තිබූ ආකාරයට වෙනස්වය. එය මහත් ආශ්වාදයකින් යුතුව පළ කරන ලද දැන්වීමක ස්වරූපය ගෙන තිබුණේය. ලංකා බැංකුවේ සභාපති රෝහණ කුමාරගේ ගජ යාලුවෙකි. ලංකා පුවත්පතේ කර්තෘ ලංකා බැංකුවේ සභාපතිගේ සහෝදරයාය. රෝහණ කුමාරට චෝදනා එල්ල කරන ලද අය අතර, ජවිපෙද සිටි බව දැන් ලංකා පත්තරයට අමතකය. අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වූ පළමු දෝෂාභියෝගයට ඇතුළත් චෝදනා අතර රෝහණ කුමාරගේ ප්රශ්නය ද ඇතුළත්ව තිබුණි. ජනාධිපති නීතිඥ කේ.එන්. චොක්සි කෙටුම්පත් කළ එම දෝෂාභියෝග යෝජනාවට විමල් වීරවංශ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අත්සන් තැබුවේය. එදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට භයානක මිනිසකු ලෙස පෙනුණු රෝහණ කුමාර අද “ලංකා” පුවත්පතට පෙනෙන්නේ වීරයෙකු ලෙසය.