දේශපාලන මතභේද තිබියදි වාර්ගික අර්බුදය පිළිබඳ ප්‍රශ්නයේදි දේශපාලන පක්ෂ පොදු එකගතාවකින් ක්‍රියා කරන තැනකට ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලවත් උත්සාහයක යෙදි සිටින බව පෙනෙන්නට තිබේ. පරස්පර විරෝධී මත දරන පක්ෂ මෙම සංකීර්ණ ප්‍රශ්නයේදි එක මතයක සිට ක්‍රියා කරන තැනකට ගැනීම පහසු නැතත්, එවැනි උත්සාහයක් දැරිම යහපත්ය.
එහෙත් ප්රජාතන්ත්රවාදි ආයතන ක්‍රමය ගරා වැටීම පිළිබඳ ප්රශ්නය කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය තවමත් යොමුවී තිබෙන බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කෙරෙන උත්සවයේදි මැතිවරණ කොමසාරිස්වරයා නව ජනාධිපතිවරයාගෙන් තමන්ට අදාළ විශේෂ ඉල්ලීමක් කළේය. මැතිවරණ කොමිසම නොපිහිටුවීම නිසා තමන්ට විශ්‍රාම යා නොහැකි තත්ත්වයක් පවත්නා නිසා තමන්ට එම තනතුරෙන් විශ්‍රාම යා හැකි තත්ත්වයක් ඇති කර දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර, තමන් එම ප්රශ්නය විසරෑා දෙන බව ජනාධිපතිවරයා එහිදි සහතික විය. එහෙත් මැතිවරණ කොමිසම අද දක්වා පිහිටුවා නැති අතර, එය පිහිටුවන තෙක් මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්රශ්නය ද විසඳිය නොහැකිය.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරන ලද ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය මුළුමනින් නොසලකා ක්‍රියා කරන තත්ත්වයක් ස්ථාපිත වී තිබෙන බව පෙනේ. පොලිස් කොමිසමේ හා රාජ්‍ය සේවා කොමිසමේ බලතල විෂය භාර ඇමතිවරුන් වෙත පවරාගෙන තිබෙන අතර, එය මුළුමනින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අමුතුවෙන් කිවයුතු නැත. ව්‍යවස්ථා සභාව පත් කිරීම පිළිබඳ අර්බුදය මතුවී තිබියදි තමන්ගේ හිතට එකගව ක්‍රියාකිරීමට ඉඩක් නැති බව ප්‍රකාශ කරමින් අධිකරණ සේවා කොමිසම නියෝජනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු එම කොමිසමෙන් ඉල්ලා අස්විය. එම විනිසුරුවරුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම කෙරෙහි බලපෑ හේතු සොයා බලන ලෙස නීතිඥ සංගමය හා විවිධ සිවිල් සංවිධාන ද බලවත් ලෙස ඉල්ලා සිටියත්, තාමත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. මේ අතර අගවිනිසුරුවරයා විනිසුරුවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වීමෙන් අධිකරණ සේවා සංගමයේ ඇතිවී තිබෙන පුරප්පාඩු පිරවීමට වෙනත් විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් තොරව අධිකරණ සේවා කොමිසමට සාමාජිකයන් පත්කිරීමේ බලයක් ජනාධිපතිවරයාට පවා නැත.
ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම හා අර්ථ නිරූපණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරි තිබෙන ප්‍රධාන වගකීමකි. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සිටින ශ්‍රේෂ්ඨාධිකරණයම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් එය ඉතාමත් නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
තාමත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියා කරන තැනක සිටියත්, ඔවුන් පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ ස්වාධීනවය. රට බලාගැනීමේ වගකීම මහින්දට දුන්නා සේ ම ගම බලාගැනීමේ වගකීම තමන්ට බාරදෙන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම තුන් කොන් තරගයෙන් ශක්තිමත් ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට ඔවුන් සමත් වෙතොත්, ඔවුන්ගේ තත්ත්වය ඉදිරියේ වඩා ශක්තිමත් වනු ඇතැයි කිව හැකිය. එහෙත් තාමත් ජනාධිපතිවරයා ඉන්නේ ජනප්‍රියත්වයේ ඉහළම හිනි පෙත්තක නිසා ජවිපෙට එම අරමුණ සපුරා ගැනීම පහසු නැත.
තුන්කොන් තරගයක වාසිය ලබාගැනීමේ වැඩි හැකියාව තිබුණේ එජාපයට වුවත්, එජාපය සිටින්නේ ආත්ම විශ්වාසයෙන් සටන් කරන තැනක නොව ගරා හැලෙන තැනකය. පාක්ෂිකයන් තුළ විශ්වාසයක් හෝ ප්රබෝධයක් ඇති කිරීමට එම පක්ෂය සමත් වී නැත.
ආණ්ඩුව දක්වන සහයෝගය පිළිබඳව ජවි පෙරමුණ තුළ ද පොදු එකගතාවක් නොපවතී. සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ, නන්දන ගුණතිලක වැනි අය තවදුරටත් ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියාකළ යුතුයි කියන ස්ථාවරයේ සිටියත්, ටිල්වින් සිල්වා ප්රමුඛ තවත් පිරිසක් ඊට ප්‍රති පක්ෂ මතයක් දරන බව පෙනේ. ආණ්ඩුවේ කුණු සේදිම නවත්වා ස්වාධීනව ඉදිරියට යායුතුය යන්න ඔවුන් දරන මතය වී තිබේ.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ලැබෙන ප්‍රතිඵල අනුව මැයි, ජූනි වලදි පමණ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තත්ත්වයක් ඇතිවිය හැකිය. පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපයෙන් තවත් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වන්නට යන බව පෙනෙන්නට තිබෙන අතර, වතු කම්කරු කොංග්‍රසය හා මුස්ලිම් කොංග්‍රසය ද ආණ්ඩුවේ කොටස්කරුවන් වන තැනකට යමින් තිබේ.
ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් එජාපයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ වාසියට හේතුවිය නොහැකිය. මෙම මැතිවරණ ක්‍රමය යටතේ අතිවිශාල බලයක් ලබාගැනීමේ හැකියාවක් මොනම පක්ෂයකටවත් නැතත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරයාගේ පක්ෂයේ පාර්ලිමේන්තු බලය ශක්තිමත් කිරීමට හේතුවනු ඇතැයි සිතිය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයක් එජාපයට තීරණාත්මක නැතත්, ආණ්ඩුවට හා ජවිපෙට තීරණාත්මකය. තනිව තරග කොට ලබන ප්රතිඵලවල හොඳ නරක ජවිපෙ අනාගතය කෙරෙහි බලපායි.
ජනාධිපතිවරයා සමග හැප්පෙන්නට යෑම ඇගට ගුණ නැති බව තේරුම් ගත් හිටපු ජනාධිපතිනිය පක්ෂ සභාපති ධුරය තාවකාලිකව අතහැර රටින් පලා ගියාය. එහෙත් එම තනතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන ආකාරයට තමන් හෙබවූ තනතුරු ඇය රත්නසිරි වික්‍රමනායක මහතාට බාර දුන්නාය. රත්නසිරි වික්‍රමනායක මහතා එය පෙරළා ජනාධිපතිවරයාට බාර දෙයිද නැත්නම් එය හිටපු ජනාධිපතිනියගෙන් තමන්ට ලැබුණු තෑග්ගක් ලෙස සලකා තමා වෙතම තබාගෙන සිටියිද යන්න පැහැදිලි නැත.