හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තාමත් සිටින්නේ තමන්ට සිදුවූ දේ තේරුම්ගත නොහැකි තේරුම් ගැනීමට කැමති නැති විපරීත මානසික තත්ත්වයක බව පෙනෙන්නට තිබේ. ඇය සිටි ලෝකය හා දැන් සිටින ලෝකය අතර පරතරය අතිවිශාලය. වෙනදා ඇය ජීවත් වූයේ අහංකාර රැජිනක් ලෙසය. ඇයට වන්දනාමාන කරන්නට දේශපාලන ප්‍රවේණිදාසයෝ විශාල පිරිසක් ඇය වටා සිටියහ. අද ඔවුන් තබා ඇයගෙන් ආර්ථික ඵල ප්‍රයෝජන ලැබූ මිතුරන් වැඩි පිරිසක් ද ඇය සමග නැත.
ඇයට රාජ්‍ය බලයේ සිටියදි අයථා ලෙස හරිහම්බ කරගත් අතිවිශාල ධනයක් ඇතත්, රාජ්‍ය බලයේ රස උපරිම ලෙස භුක්ති විඳි පුද්ගලයෙකු වශයෙන් රාජ්‍ය බලයෙන් තොරව ධනයෙන් ලැබෙන බලයෙන් පමණක් තෘප්තිමත් වීමේ හැකියාවක් ඇයට තිබිය නොහැකිය.
ඇය මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ අතර, ධුර කාල දෙක සම්පූර්ණ වීමෙන් පසුත්, හොඳින් හෝ නරකින් තවත් දිර්ඝ කාලයක් මහලු වන තෙක් රාජ්‍ය බලයේ රැඳී සිටීමට තමන්ට හැකිවනු ඇතැයි ඇය විශ්වාස කළ බව ද පෙනෙන්නට තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඇය චෙක්මේට් කරන ලද්දේ විශ්මය ජනක ආකාරයටය. බැහැරින් මිස අභ්‍යන්තරයෙන් එවැන්නක් තමන්ට සිදුවනු ඇතැයි ඇය කිසිවිටෙකත් විශ්වාස නොකළ බව ද පෙනේ. ඇගේ ඇද වැටීම ආරම්භ වූයේ ඇය අධිකරණයේ රඳවා සිටි ආරක්ෂකයා ඇයට ද්රෝහිවීමත් සමගය.
ජනාධිපතිවරණ කාලයේදි ද ඇය ප්‍රකෘති සිහියෙන් ජීවත් වූ බවක් පෙනෙන්නට නැත. සිදුවෙමින් තිබුණු දේවල් හා ඒවා සිදුවෙමින් තිබුණු වේගවත් ආකාරය තේරුම් ගැනීමේ හැකියාවක් ඇයට නොතිබුණි. ජනාධිපතිකම අහිමි වනු ඇතත්, මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී විරුද්ධ පක්ෂය මෙහෙයවන නායිකාව වශයෙන් තවදුරටත් තමන්ට ලංකා දේශපාලනය තුළ බලවත් හා කැපී පෙනෙන භූමිකාවක් රගපාන්නට ඉඩ ලැබෙනු ඇතැයි ඇය විශ්වාස කළ බව ද පෙනේ. දේශපාලනයෙන් තමන් එතෙක් රැස් කළ ධනය ඉදිරි දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සුදුසු නොවන බව තේරුම් ගනිමින් අනාගත භූමිකාව රගපෑම සඳහා අවශ්‍ය ධනය ද එම කෙටි කාලය තුළ රැස් කරන පිළිවෙතක් අනුගමනය කළ බව ද පෙනෙන්නට තිබේ. ඒ සඳහා ඇය සිය අවසාන කාලය තුළ ජාත්‍යන්තර ගිවිසුම් ගණනාවකටම අත්සන් තබන ලදි. අවසාන මොහොතේ තමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු සඳහා වන භාරයක් ඇති කරගනිමින් තමා යටතේ තිබුණු ජනාධිපති අරමුදලෙන් ඒ භාරයේ නමට රුපියල් මිලියන 650ක් වටිනා චෙක්පත් ද ලියවා ගත්තාය. අනාගත රංගනය සඳහා අලුත් මාළිගාවක් අවශ්‍ය වී ඒ සඳහා සුදුසු අක්කර එකහමාරක ඉඩමක් ද සිය නමට ලියවා ගත්තාය. ඒ සියලු ගනුදෙනු නීති විරෝධී බව දැන දැනම ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳව කිසිදු බියකින් තොරව එසේ කරන ලද්දේ ඊළගට බලයට එන්නේ රනිල් වික්‍රමසිංහ බවට ඇය තරයේ විශ්වාස කළ නිසා විය යුතුය.
ඇය අපේක්ෂා කළ ආකාරයට වෙනස්ව රනිල් වික්‍රමසිංහ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා බලයට ආවේය. ඉන්පසු යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකිවී මහින්ද රාජපක්ෂ ආධිපත්‍යය බිඳ වැටී නැවත තමන්ට අතිවිශාල බලයක් ප්‍රදර්ශනය කළ හැකි තත්ත්වයක් ඉක්මනින් උදාවෙනු ඇතැයි ඇය විශ්වාස කළාය. ඒ අහංකාරයෙන් යුතුව ඇය ජනාධිපතිවරයා සමග රණ්ඩු කරන තැනකට ද ගියාය. තමන් බලයේ සිටියදි තමා හා මහින්ද රාජපක්ෂ මහතා අතර තිබූ පරතරයේ විශාලත්වය ඇයට අමතක කළ නොහැකිය. ඒ නිසාම බලය අහිමිවීමෙන් පසුත්, ඇය කල්පනා කළේ තමන් මහින්ද රාජපක්ෂ මහතාටත් වඩා ප්රමුඛ බවය. තමා පක්ෂයේ නායකයා වන බැවින් හා මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය විසින් පත් කරන ලද ජනාධිපති වන නිසා, ජනාධිපතිවරයා තමන්ට අවනතව හා බය පක්ෂපාතව ක්‍රියා කළ යුතුයැයි ඇය විශ්වාස කළාය.
තමන්ට ඇත්තේ බොරුවට ආරූඪ කරගත් බලයක් පමණක් බවත්, තමන් නොවැදගත් දේශපාලන පරඬැලක් බවට පත්වෙමින් සිටින බව ඇය ඉක්මනින් අවබෝධ කරගනු ඇත්තේය.
ඇයට හිතහදා ගත නොහැකි වී තිබෙන්නේ පක්ෂය ගැනය. එය මෙතෙක් පැවතියේ බණ්ඩාරනායක පවුලේ දේශපාලන නින්දගමක් ලෙසය. එය රටේ රාජ්‍ය නායකයා තෝරා ගැනෙන ප්‍රධාන දේශපාලන බල උල්පත් දෙකෙන් එකක් ලෙස ක්‍රියා කළේය. එම බල උල්පතේ අයිතිය තිබුණේ බණ්ඩාරනායක පවුලටය.
මෙම පක්ෂ දෙකේ නායකයින් දෙවැනි වනුයේ රටේ ජනාධිපතිට පමණක් බව ඇය අත්දැකීමෙන් ම දන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වීමේ රසය ඇය ද උරගා බලා තිබුණාය. එය බල උල්පතක් වනවාට අතිරේකව එම උල්පතේ හිමිකරුවන්ට ධනය ලබාදෙන ධන උල්පතක් ලෙස ද ක්‍රියා කළේය. හැම ප්‍රධාන මැතිවරණයකදිම එයට පරිත්‍යාග වශයෙන් මහා ධනස්කන්ධයක් ගලා එයි. ප්‍රධාන කොට ඒ ධනය ලැබෙන්නේ පක්ෂ නායකයාටය. ඒවා පක්ෂයට ලැබෙන ධනයක් වුවත්, ගණන් තැබීමක් හෝ ඒ ලැබෙන මුදල් පක්ෂ භාණ්ඩාගාරයට ලබාදිමක් සිදුවන්නේ නැත. මිටි වශයෙන් ලැබෙන ධනය තැන්පත් කෙරෙන්නේ පක්ෂ නායකයාගේ නිදන කාමරයේ ඇති පෙට්ටගම්වලය. පක්ෂයේ වුවමනාවක් සඳහා කැමති තරමක් දී තමන් කැමති තරමක් තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනය පිණිස යොදාගත හැකිය. ඒ මුදල් ලැබුණේ කාගෙන්ද, කොතරම් ද, වියදම් කළේ කෙසේද යනාදිය ගැන කිසිවකුටත් ප්‍රශ්න කළ නොහැකිය.
ශ්‍රීලනිප, යූඑන්පීය වැනි පක්ෂ, පක්ෂ නායකයාට ධනය ලබාදෙන උල්පත් ලෙස ක්‍රියාකරනවාට අතිරේකව පක්ෂ නායකයාට රාජකීය තත්ත්වයක් ලබාදෙන බල උල්පත් විශේෂයක් ලෙස ද ක්‍රියා කරයි. පක්ෂයේ අවශේෂ නායකයින් පක්ෂ නායකයා රජකු හෝ රැජිනක ලෙස සලකා ඔහුට හෝ ඇයට නිසි ලෙස ගරු බුහුමන් කළ යුතුය. ඔවුන්ගේ අනාගතය රැඳී තිබෙන්නේ පක්ෂ නායකයාගේ නායිකාවගේ අත බැවින් නායකයා හෝ නායිකාව සතුටු කිරීම පිණිස කළයුතු හැම දෙයක්ම කළ යුතුය. නායකයා හෝ නායිකාව ඇමතීමේදි හැමවිටම තුමා හෝ තුමිය යන ගෞරව පද පාවිච්චි කළ යුතු අතර, පක්ෂපාතීබව රැකගැනීම සඳහා කඳ රාජකාරි සේවයේ යෙදිය යුතුය. පක්ෂ නායකයාට හොඳ කිරි පැණි, ඉස්සෝ පොකිරිස්සො, තෝරමාළු, පලතුරු වැනි දේවල් ලැබෙන ප්‍රධාන මාර්ගය ලෙස ක්‍රියාකරන්නේ ප්‍රාදේශීය නායකයන්ය. නායකයා හෝ නායිකාව සිය ප්‍රදේශයට එන විට අඩුපාඩුවලින් තොරව සියලු අවශ්‍යතාවන් සපුරාලීමේ වගකීම පැවරෙන්නේ ද ප්‍රාදේශීය නායකයින්ටය. මීටත් අතිරේකව පක්ෂ නායකයාගේ ආර්ථික අවශ්‍යතාවන් බලාගන්නා ව්‍යාපාරිකයකු හෝ දෙදෙනෙකු ද මේ සෑම ප්‍රධාන පක්ෂ නායකයකුටම සිටින්නේය. ඔවුන් පක්ෂ නායකයා බලා ගැනීම සඳහා කරන මාසික වියදම සමහර විට රුපියල් ලක්ෂ ගණනක් විය හැකිය.
දැන් චන්ද්‍රිකා සිටින්නේ මෙතෙක් පවුලේ නින්දගමක් ලෙස පැවති පක්ෂය වෙනුවෙන් පවුලට ලැබුණු ඒ සියල්ල අහිමි වන තත්ත්වයකය. දැන් ඇය ඉදිරියේ වැඳ වැටෙන්නට, බැලමෙහෙවර කරන්නට හෝ කත් රාජකාරි සේවයේ යෙදෙන්නට දේශපාලන ප්රවේණිදාසයන් නැත. එවැනි වටාපිටාවකින් තොරව ඇයගේ ඉදිරි ජීවිතය රසවත් විය නොහැකිය.
රනිල් වික්‍රමසිංහ මහතා නම් තමන්ගේ නායකත්වයට එරෙහිව මතුවූ කැරැල්ල චාටු කතාවලින් ද සටකපටකමින් ද ජයගනිමින් පක්ෂ නායකයා වශයෙන් තමන්ට හිමි බල උල්පත් සේ ම, ධන උල්පත ද රැකගත්තේය. අවශ්‍ය අවස්ථාවේ නායකයා වෙනස් නොවීම නිසා පක්ෂය වැනසී යා හැකි වුවත්, එතෙක් ඒ සියලු රස උරාබීමේ අයිතිය තවදුරටත් ආරක්ෂා වනු ඇත්තේය. එහෙත් චන්ද්‍රිකාට දැන් තරග කරන්නට සිදුවී තිබෙන්නේ රාජ්‍ය බලය හිමි පුද්ගලයා සමගය.
ඊළග නායකත්වයට එන පුද්ගලයින්ගේ හොඳ නරක කුමක් වුවත්, මෙම පක්ෂ දෙක කෙරෙහි ඇති පවුල් ආධිපත්‍යය අහෝසි විය යුතුය. පවුලකට හෝ සීමිත පවුල් කණ්ඩායමකට රටේ රාජ්‍ය නායකයා තීන්දු කිරීමට ඉඩදිය යුතු නැත. මෙම පක්ෂ දෙක ප්රජාතන්ත්රවාදි පක්ෂ වීමට නම්, එම පක්ෂ කෙරෙහි ඇති වැඩවසම් පවුල් බැමි කඩාබිඳ දැමිය යුතුය. පක්ෂ නායකයා පවුලේ උරුමය අනුව නොව පාක්ෂිකයන්ගේ මනාපය අනුව තීරණය කෙරෙන තත්ත්වයක් ඇති කරගත යුතුය. පක්ෂයට ලැබෙන ආධාර පාක්ෂිකයින්ට විනිවිදව දැකිය හැකි තත්ත්වයක් සහතික විය යුතුය.
ශ්‍රීලනිප පවුලේ පක්ෂයක් බවට හරවා ගැනීමේ අභිලාෂයක් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට තිබුණු බවක් පෙනෙන්නට නැතත්, එම පක්ෂයේ නායකත්වය සිරිමා බණ්ඩාරනායක මැතිනිය අතට පත්වීමෙන් පසුව එය බණ්ඩාරනායක පවුලේ ද රත්වත්ත පවුලේ ද ආධිපත්‍යයට හසුවූ එම පවුලේ පක්ෂයක් බවට පත්විය. ඒ තත්ත්වය අහෝසි කරන කුමන තත්ත්වයේ වෙනසක් වුවත්, ප්රජාතන්ත්රවාදි අර්ථයෙන් යහපත්ය.