ප්‍රභාකරන් එන්න යන්නේ මොකාටද?

April 28, 2002
Publication:
Ivan rejects the JVP-led reading that Prabhakaran's press conference shows he still wants Eelam, arguing he had to address the international community, the government and his own followers at once. Facing hostile journalists was itself an achievement, and his regretful tone about past violence contrasted with the JVP's justifications. Drawing on the JVP's own history, the ANC and the IRA, he predicts the LTTE's barracks culture will fade only slowly and that Prabhakaran's real test will be governing.

ප්‍රභාකරන්ගේ පුවත් පත් සාකච්ඡාවට ඇතුළත් කාරණා සමස්තයක් වශයෙන් නොගෙන එහි එන එක් කරුණක් හෝ දෙකක් තෝරාගෙන දැනටමත් ප්‍රභාකරන්ට ඊළම දි අවසන් යැයි කියන අන්තවාදි මතවාදයක් ප්‍රකාශ වෙමින් පවතී. මේ මතවාදි ව්‍යාපාරයේ ආධිපත්‍යය දරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. සිංහල අන්තවාදි විචාරකයෝ ද එම මතවාදය පෝෂණය කරමින් සිටිති.

දිර්ඝ කලක් වනාන්තරගත වී වෙනම රාජ්‍යයක් වෙනුවෙන් බිහිසුණු ආයුධ සන්නද්ධ අරගලයක නිරත වී සිටි ව්‍යාපාරයක් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට එකග වූ පමණකින් තමන් අපේක්ෂෂිත ඉලක්ක වෙනුවෙන් පෙනී සිටීම වහාම අත්හරිනු ඇතැයි අපේක්ෂෂා කළ නොහැකි ය. ප්‍රභාකරන්ට එම පුවත් පත් සාකච්ඡාවේ දි එකවිට පරස්පර විරෝධී බලවේගයන් තුනකට කථා කරන්නට සිදු විය. තමා එහි දි පළ කරන අදහස් කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව, ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතුළු සිංහල ජනතාව සේ ම, සිය අනුගාමිකයන් ඇතුළත් දෙමළ ජනතාව ද බලා සිටින බව ප්‍රභාකරන් දන්නේ ය. තමන් එතෙක් පෙනී සිටි අරමුණ පාවාදෙන දේශ ද්‍රෝහියෙකු ලෙස තම අනුගාමිකයන් හා දෙමළ ජනයා ඉදිරියේ පෙනී සිටීමේ හැකියාවක් ප්‍රභාකරන්ට නැත. අනෙක් අතට තමන් සාමකාමී විසඳුමකට සූදානම් නැති ආයුධ සන්නද්ධ අරගලය කෙරෙහි පමණක් විශ්වාසය තබා ක්‍රියාකරන දරදඬු පුද්ගලයකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව, ලංකා ආණ්ඩුව හා සිංහල ජනතාව ඉදිරියේ පෙනී සිටීමේ හැකියාවක් ද ප්‍රභාකරන්ට නොවී ය. ඒ නිසා එක් අතකින් සිය අනුගාමිකයින් හා වර්ගයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලය අත් නොහරින පුද්ගලයකු ලෙසිනුත්, අනෙක් අතට ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම් තුළ සාමකාමී විසඳුමකට සූදානම් පුද්ගලයකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව, ලංකා ආණ්ඩුව හා සිංහල ජනතාව ඉදිරියෙහි පෙනී සිටීමට ඔහුට සිදුවූයේ ය. මේ පරස්පරයේ එක් පැත්තක් දකින සිංහල අන්තවාදි බලවේගයන්ට ප්‍රභාකරන් ඊළාම් අරමුණ අතහැර නැති දරදඬු පුද්ගලයකු ලෙසත් පෙනිය හැකි අතර එම පරස්පරයේ අනෙක් පැත්ත දකිනා දෙමළ අන්තවාදි බලවේගයන්ට ඔහු ඊළාම් අරමුණ පාවා දෙමින් සිටින ද්‍රෝහියෙකු ලෙස පෙනිය හැකි ය.

අවෘත තත්ත්වයක සිටි ප්‍රභාකරන් විවෘත ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වීම පමණක් සාධන ලක්ෂෂණයක් කොට සැලකිය හැකි ය. එය තමන්ට හිතවත් තෝරාගත් ජනමාධ්‍යවේදින් පිරිසක් සඳහා පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් නොවීය. එල්ටිටීඊ විරෝධී දැඩි මතයක පිහිටා ලියන ජනමාධ්‍යවේදින් විශාල පිරිසක් ද එහි සිටියහ. එහි දි අසනු ලැබූ බොහෝ ප්‍රශ්න ද සරල හා මටසිළුටු ප්‍රශ්න ලෙස සැලකිය නොහැකි ය.

ඒ ප්‍රශ්නවලට ප්‍රභාකරන් දෙන ලද පිළිතුරුවල හොඳ නරක කුමක් වුවත් ඒ මට්ටමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට රෝහණ විජේවීර, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හෝ අගමැති රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් පවා සහභාගී වී නැත.

සෝමවංශ අමරසිංහ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දි කොළඹ නිපොන් හෝටලයේ පවත්වන්නට නියමිතව තිබූ ජවිපෙ ප්‍රවෘත්ති සාකච්ඡාවකට තමන් අකමැති මාධ්‍යවේදින් පිරිසක් සහභාගී වීම නිසා ජවිපෙ කළේ අකමැති ජනමාධ්‍යවේදින් අතහැර අන් සියලු දෙනා සංචාරක බස් රථයක නංවාගෙන ප්‍රවෘත්ති සාකච්ඡාව ඒ අවස්ථාවේ ම පිළියෙළ කරගත් අන් ස්ථානයක පැවැත්වීම ය. පසුගිය කාලයේ ජනාධිපතිනිය පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවලට ද ජනාධිපතිනිය දැඩි ප්‍රශ්න කිරීමකට ලක්කරනු ඇතැයි සැලකෙන මාධ්‍යවේදින්ට සහභාගී වීමට ඉඩ දුන්නේ නැත.

ඒ අර්ථයෙන් ප්‍රභාකරන්ගේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ප්‍රභාකරන් නමැති චරිතය දැඩි උරගා බැලීමකට ලක් කෙරුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. ඔහු එහි දි තමාගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය ඉතා විශිෂ්ට නැත. එහෙත් ඔහු එම අවස්ථාවට මුහුණ දිමම ඔහු ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය.

එය ප්‍රභාකරන්ට සේ ම ඔහුගේ අනුගාමිකයන්ට ද නවමු අත්දැකීමක් වන්නට ඇති බවට සැකයක් තිබිය නොහැකි ය. ප්‍රභාකරන් ගොඩනගාගෙන තිබූ දේශපාලන සංස්කෘතිය තුළ ඔහුගේ අනුගාමිකයින් කිසිවකුට නොබියව ඔහු ඉදිරියේ ප්‍රශ්න කිරිමේ හැකියාවක් නොතිබුණ. ජනමාධ්‍යවේදින් සිය නායකයා කෙරෙහි ඇති කරගත් ගරුසරු බවකින් තොරව ඇගිල්ල දිගුකොට දිගින් දිගට ප්‍රශ්න කිරීම ඔහුගේ අනුගාමිකයන්ට පමණක් නොව ඔහුට ද අලුත් අත්දැකීමක් වන්නට ඇත. එම ප්‍රවෘත්ති සාකච්ඡාව ප්‍රභාකරන්ගේ ප්‍රතිරූපය පිළිබඳ අලුත් මාන අප තුළ ඇති කිරීමට හේතු වී තිබෙන ආකාරයටම ඔහුගේ අනුගාමිකයන් හා දෙමළ ජනතාව අතර ද ඔහු පිළිබඳ හොඳ නරක හා දක්ෂෂ අදක්ෂෂතා පිළිබඳ අලුත් මාන ඇති කිරීමට ද හේතු වූවා විය හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පළමු පාඩම එනම් කැළෑ වැදි ආයුධ සන්නද්ධ අරගලයක නිරත වනවාට වඩා ශිෂ්ටාචාරයට එකතුවීම එනම් ප්‍රධාන ප්‍රවාහයට එකතු වීම හා එහි ජීවත්වීම කොතරම් දුෂ්කර හා සංකීර්ණ ද යන්න ඒ මගින් ප්‍රභාකරන් සේ ම ඔහුගේ අනුගාමිකයන් ද එක්තරා ප්‍රමාණයකට හෝ ඉගෙන ගන්නට ඇති බවට සැකයක් නැත.

බොහෝ විට ඕනෑම ආයුධ සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් තමන් අතින් සිදු වූ සාහසිකකම් යුක්ති සහගත කිරීමට තර්ක කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කරයි. ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ප්‍රවාහයට එකතු වීමෙන් පසුත් ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැරැල්ලේ දි සිදු වූ සාහසිකකම් යුක්ති සහගත කරනවා මිස ඒ ගැන කණගාටු වන්නේ නැත. සෝමවංශ අමරසිංහ කීවේ අපේ අය හැට දාහක් මැරූ නිසා අපට ද හයදාහක් පමණ මරන්නට සිදුවූ බවය. එහෙත් ප්‍රභාකරන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දි තමන් අතින් සිදු වූ සාහසිකකම් යුක්ති සහගත කිරීමට තර්ක කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට ඒවා ඛේදවාචකයන් ලෙස සලකා ඒ ගැන කණගාටුවෙන් කථා කරන මුදු ස්වරූපයක් පෙන්නුම් කළේ ය. එය එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දි ප්‍රභාකරන් කෙරෙන් පළ වූ සාධනීය ම ලක්ෂෂණය ලෙස සැලකිය හැකි ය.

ජනතා විමුක්ති පෙරමුණ හිතන්නේ රජීව් ගාන්ධි ඝාතනයට ප්‍රභාකරන් වගකිවයුතු බැවින් කවදාවත් ඉන්දියාවෙන් නම් ප්‍රභාකරන්ට සමාවක් නොලැබෙනු ඇති බව ය. එහෙත් හැමවිටම ඒ දේවල් ඒ ආකාරයෙන් ම සිදු වන්නේ නැත. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සැමියා වන විජය කුමාරතුංග ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ වුවත් ඒ නිසා මේ දෙපිරිස සදාකාලික වෛරකාරයන් බවට පත් වූයේ නැත. දැන් ඒ දෙපාර්ශව ම එම කාරණය අමතක කොට එකිනෙකා කෙරෙහි සහයෝගයෙන් ක්‍රියා කරන තත්ත්වයකට පත්ව සිටිති. ඒ ධර්මතාව වෙනත් අයට ද අදාළ ය.

එසේ ම කොටි සංවිධානය අතින් රජීව් ගාන්ධි ඝාතනය වන්නට ප්‍රථම මතවාදි වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග සිටි පුද්ගලයකු අතින් රයිෆල් බටයෙන් පහර දි රජීව් ගාන්ධි මරා දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වූ බව අමතක කළ නොහැකි ය. ඒ උත්සාහයේ යෙදුණු පුද්ගලයා ජාතික වීරයෙකු ලෙස සලකා ජනතා විමුක්ති පෙරමුණ ඒ අවස්ථාවේ දි ඔහුට ප්‍රණාමය පුදකළේ ය. රයිෆල් බඳෙන් එල්ල කළ ප්‍රහාරය වැදි ඒ අවස්ථාවේ දි රජීව් ගාන්ධි මිය ගියේ නම් රජීව් ගාන්ධි ඝාතනය කිරිමේ චෝදනාව එල්ලවන්නට ඉඩ තිබුණේ කොටි සංවිධානයට නොව ජනතා විමුක්ති පෙරමුණටය.

ඕනෑම සන්නද්ධ ව්‍යාපාරයක් යුද්ධයෙන් අවසාන වශයෙන් පරාජය නොකර සාකච්ඡාමය මේසයකට කැඳවන ලද අවස්ථාවල දි ඔවුන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි කොන්දේසි පනවන තත්ත්වයකින් ක්‍රියාකිරීම නොවැළැක්විය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ කොන්දේසි රහිතව ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ප්‍රවාහයට එකතු වූයේ ඔවුන් දියත් කර තිබුණු ආයුධ සන්නද්ධ කැරැල්ල යුධමය වශයෙන් පරාජය කරනු ලැබූ තත්ත්වයක් ඉදිරියේ ය. ඊට පෙර 88 ජනාධිපතිවරණයේ දි ඔවුන් ද ආයුධ බිම නොතබා, මැතිවරණයට තමන්ගේ සහභාගිත්වයක් අවශ්‍ය නම් ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කරන ලෙසත් පාර්ලිමේන්තුව විසුරුවා තමන් ද ඇතුළත් භාරකාර ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරණය පවත්වන ලෙසත් ඉල්ලා සිටියේ ය. මේ ලක්ෂෂණය කොටි සංවිධානය කෙරෙන් ද බලාපොරොත්තු විය යුතුය.

අනෙක් අතට යුදමය වශයෙන් පරාජය කරනු නොලැබූ ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වූ පමණකින් වහාම තමන් සතු ආයුධ බාර දෙන තත්ත්වයකට යන්නේ නැත. දකුණු අප්‍රිකාවේ ජාතික කොංග්‍රසය සිය ආයුධ බාර දෙනු ලැබුවේ මැතිවරණයට ගොස් තමන්ට වාසිදායක ආණ්ඩුවක් ද ගොඩනගා ගැනීමෙන් පසුව ය. අයර්ලන්ත රතු හමුදාව ද ආයුධ බාර දුන්නේ සාමකාමී විසඳුමකට එකග වී එම විසඳුම් ක්‍රියාවලියේදි ඇතිකරගත් එකගතාවන්ට අනුකූලව ගමන් කරන්නේද යන්න බලා සිට ඒ ගැන සෑහීමට පත් වූ පසු මේ මෑතක දි ය.

ඕනෑම රාජ්‍ය විරෝධී ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ඒ රටේ බලපවත්නා ව්‍යවස්ථාව පිළි නොගන්නා තැනක සිට ක්‍රියා කරන ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි ය. ඕනෑම ව්‍යාපාරයක් ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ගයකට යොමු වන්නේ තිබෙන ව්‍යවස්ථානුකූල රාමුව තුළ දුක්ගැනවිලි විසඳ ගැනීමට තිබෙන ඉඩකඩ ප්‍රතික්ෂෙෂ්ප කරමින් තමන්ට අභිමත නව රාජ්‍ය රාමුවක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිව ය. එවැනි ක්‍රියාවලියකට යොමු වූ ව්‍යාපාරයක් ව්‍යවස්ථානුකූල අගමැති හා ජනාධිපති හෝ තම රාජ්‍ය නායකයින් ලෙස සලකන්නේ නැත. තමන්ගේ අගමැති හා ජනපති ලෙස සලකන්නේ සිය නායකයා ය. ජනතා විමුක්ති පෙරමුණ ද කැරැල්ලක නිරත වී සිටි අවස්ථාවේ තම රාජ්‍ය නායකයා ලෙස සැලකුවේ ජේ.ආර්. ජයවර්ධන නොව රෝහණ විජේවීරය. දෙමළ ඊළාම් රාජ්‍යයේ අගමැති හා ජනාධිපති ලෙස සැලකෙන්නේ ප්‍රභාකරන් බවට ඇන්ටන් බාලසිංහම් කරන ලද ප්‍රකාශය සලකා බැලිය යුත්තේ ඒ සන්දර්භය යටතේ ය. දැන් ඔවුන් ඉන්නේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවෙන් පිටස්තරව ය. ඔවුන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවසථාව පිළිගන්නා තත්ත්වයකට එන තෙක් හෝ ඔවුන්ට ද එකගවිය හැකි නව ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා තෙක් ඔවුන් සිය රාජ්‍ය නායකයා ලෙස සලකන්නේ ප්‍රභාකරන් ය. මෙතෙක් ඔවුන් පිළිපැද්දේ ද රටේ මූලික නීතිය නොව කොටි සංවිධානයේ මූලික නීතිය යි.

ආයුධ සන්නද්ධ අරගලයක නිරත වන ව්‍යාපාරයක් කෙරෙන් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහය තුළ ජීවත් වන දේශපාලන ව්‍යාපාරයක් තුළ දැකිය නොහැකි විශේෂ දේශපාලන සංස්කෘතියක් ද විද්‍යමාන වේ. දේශපාලන සාහිත්‍යයේ දි එය විස්තර කෙරෙන්නේ බැරැක්ක සංස්කෘතියක් ලෙස ය. ප්‍රජාතන්ත්‍රවාදි අදහස් පළ කිරිමේ ක්‍රියාවලියකින් තොරව ඉහළින් ලැබෙන අණ ප්‍රශ්න කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීම එවැනි ව්‍යාපාරයකට ආවේණක ප්‍රධාන ලක්ෂෂණයකි. ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ලෙස දිර්ඝ කලක් ජීවත් වී ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වන ව්‍යාපාරයක් එතෙක් තමන් උරුම කරගෙන සිටි බැරැක්ක ගති ලක්ෂෂණ වහාම අත්හරින්නේ නැත. එය සිදුවිය හැක්කේ හෙමින් හෙමින් හා ක්‍රමයෙනි. මෙය කොටි සංවිධානය කෙරෙන් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙන් ද ප්‍රකාශ වූ ධර්මතාවකි.

ජනතා විමුක්ති පෙරමුණ ද ආයුධ සන්නද්ධ කැරැල්ලක නිරත වී සිටින අවස්ථාවක 88 ජනාධිපතිවරණය අබිමුවේ තිබිය දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෂය ප්‍රමුඛ විරුද්ධ පක්ෂෂ දේශපාලන පක්ෂෂ ගණනාවක් සමග සන්ධාන දේශපාලනයකට ද යොමු වී සිටියේ ය. ජනතා විමුක්ති පෙරමුණ සමග ඇතිකරගනිමින් තිබෙන මේ සන්ධානය නිසා ජනාධිපතිවරණයේ දි තමන්ට බාධාවකින් තොරව ක්‍රියාකළ හැකි තත්ත්වයක් ලබාගැනීම ශ්‍රීලනිපයේ අපේක්ෂෂාව වනවිට ඉන් ජවිපෙ අපේක්ෂෂා කළේ ශ්‍රීලනිප මැතිවරණයට තරග නොකරන තත්ත්වයක තබාගැනීමට ය. ජනතා විමුක්ති පෙරමුණ පනවන ලද තහනම නොසලකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෂය තරග කරන තත්ත්වයකට ගිය විට ජනතා විමුක්ති පෙරමුණ එතෙක් එජාපය හා වාමාංශික පක්ෂෂවලට එරෙහිව පවත්වාගෙන ගිය යුද්ධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෂයට එරෙහිව කෙරෙන යුද්ධයක් බවට පරිවර්තනය කළේ ය. විමුක්ති අරගලය මෙහෙයවන්නේ අප වන නිසා අප කියන ආකාරයට පමණක් අපට සම්බන්ධ අනෙක් දේශපාලන පක්ෂෂ ක්‍රියාකළ යුතුයයි කියන ධර්මතාව හැම ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකටම ආවේණික පොදු ලක්ෂෂණයකි. ඒ අධිකාරවාදි ලක්ෂෂණය එවැනි ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වූ වහාම අත්හරින්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණට ද තවමත් එම ලක්ෂෂණය මුළුමණන් අත්හැරිමට හැකි වී නැත. කොටි සංවිධානය ද ප්‍රධාන ප්‍රවාහයට එකතු වූ පමණකින් ඒ ලක්ෂෂණ වහා අත්හරිනු ඇතැයි අපේක්ෂෂා කළ නොහැකි ය.

එහෙත් ආයුධ සන්නද්ධ අරගලයක නිරත වූ ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වීමෙන් පසුව ඔවුන්ට දිගින් දිගට සිය බැරැක්ක ගති ලක්ෂෂණ පවත්වාගෙන යා නොහැකි අලුත් ප්‍රශ්නවලට මුහුණ දිමට සිදුවන්නේ ය. ජනතා විමුක්ති පෙරමුණ ද ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වීමෙන් පසුව තමන්ට හුරු පුරුදු පැරණි බැරැක්ක සංස්කෘතියට ගැළපෙන ලෙස මැතිවරණයෙන් මහජනයා තෝරාපත් කරන නියෝජිතයන් වෙනුවට ඒ සියලු දෙනා ඉවත් කොට තමන් කැමති පිරිසක් ඒ තනතුරුවලට පත්කරන ක්‍රමයක් පවත්වාගෙන ගියේ ය. එහෙත් ඒ ක්‍රමය පිළිගත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්මවලට පටහැනි වීම හේතුකොටගෙන ජනතා විමුක්ති පෙරමුණේ එම ක්‍රියාමාර්ගයට එරෙහිව විවිධ විවේචන එල්ල විය. ඒ විවේචන නිසා ම තමන්ගේ ඒ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයට ගැළපෙන ක්‍රමයක් නොවන බව තේරුම් ගනිමින් ක්‍රම ක්‍රමයෙන් ඒ පිළිවෙත අත්හරිමින් ජනතාව තෝරා පත්කරන නියෝජිතයන්ට ම ඒ තනතුරු දැරිමට ඉඩ හරින ප්‍රතිපත්තියකට මාරු වීමට ජවිපෙට සිදු වූයේ ය. කොටි සංවිධානය ද ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වෙතොත් තමන්ට හුරු පුරුදු බැරැක්ක ගති ලක්ෂෂණ වහා අත් හරිනු ඇතැයි සිතිය නොහැකි ය. එහෙත් ඒවා බොහෝ කලක් පවත්වාගෙන යාමට පුළුවන් වනු ඇතැයි ද සිතිය නොහැකි ය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වූයේ තමන් ඉදිරියට ගෙනා ආයුධ සන්නද්ධ කැරැල්ල අවසාන වශයෙන් පරාජය කරනු ලැබූ තත්ත්වයක් ඉදිරියේ පරාජිත බලවේගයක් ලෙස ය. එහෙත් ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වනවා නම් එසේ එකතු වනු ඇත්තේ සිය කැරැල්ල පරාජය කරනු නොලැබූ අපරාජිත බලවේගයක් ලෙස ය. ඒ නිසාම ජනතා විමුක්ති පෙරමුණ කෙරෙන් ආරම්භයේ දි ප්‍රකාශ නොවූ තරම් අධිකාරිවාදි බලයක් එම සංවිධානය කෙරෙන් ප්‍රකාශ වීම ද නොවැළැක්විය හැකි ය.

තිබෙන යථාර්ථය අනුව මේ අර්බුදය තවදුරටත් යුදමය ආකාරයකින් ඉදිරියට ගෙනයාමේ හැකියාවක් අපට ද ප්‍රතිපක්ෂෂය නියෝජනය කරන ප්‍රභාකරන්ට ද නැත. යුදමය ගමන් මාර්ගය අනුමත නොකරන බලවත් ලෝක වාතාවණයක් පවතී. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මුහුණ දි තිබෙන ආර්ථික ගැටලු නිසාත්, කොටි සංවිධානයට ලෝක මට්ටමෙන් පැන වී තිබෙන තහනම් තත්ත්වය නිසාත් යුද්ධ කිරීමට අවශ්‍ය වුවත් ඒ සඳහා මුදල් නැතිකමේ ප්‍රශ්නයකට ද දෙපක්ෂෂයම මුහුණ දිමට සිදු වී තිබේ.

යුද්ධය අතහැර ප්‍රධාන ප්‍රවාහයට එකතු වීමට අවශ්‍ය නම්‍යශීලීභාවයක් ප්‍රභාකරන්ට ඇතොත් එක්තරා කාල සීමාවක් සඳහා දෙමළ ජනතාව අතර ඉතා බලවත් තත්ත්වයක් ඔහුට හිමිවීම නොවැළැක්විය හැකි ය. එහෙත් ඉක්මණන් ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්මවලට ගැළපෙන දේශපාලන භාවිතයකට මාරුවීමට ඔහු අසමත් වෙතොත් ප්‍රජාතන්ත්‍රවාදි නිදහස දිනාගැනීම සඳහා ප්‍රභාකරන්ට එරෙහිව අරගල කරන තත්ත්වයකට ක්‍රම ක්‍රමයෙන් දෙමළ ජනතාව යොමුවන තත්ත්වයක් ඇතිවීම ද නොවැළැක්විය හැකි ය.

නිමක් නොපෙනෙන කුරිරු යුදධයකට වඩා දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවල ප්‍රභාකරන්ට බර තබන අධිකාරිවාදි පාලනයක් වුවද රටට පලදායකය. ප්‍රභාකරන් අවසාන වශයෙන් උරගා බැලීමකට ලක් වනු ඇත්තේ ද යුදමය රාමුවක් තුළ නොව පාලන රාමුවක් තුළ ය. යුද්ධ කරනවාට වඩා විනාශයට පත්ව සිටින ජනතාවක් නගා සිටුවීම දුෂ්කර ය. විශේෂයෙන් ම මූලික අයිතිවාසිකම් ආරක්ෂෂා කර දෙන ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළ ජනතාව නගා සිටුවීම ඉතා දුෂ්කර හා සංකීර්ණ කාරියකි. ඒ කාර්යය සම්පූර්ණ කිරීමට ප්‍රභාකරන් අසමත් වෙතොත් ප්‍රභාකරන් කවදා හෝ අවසාන වශයෙන් පරාජය වනවා ඇත්තේ සිංහල ජනතාව අතින් නොව දෙමළ ජනතාව අතිනි.