ජනාධිපති අරමුදල ඇතුළු රජයේ ඒකාබද්ධ අරමුදලෙන් පිටස්තරව පවත්වාගෙන යන රජයට සම්බන්ධ සියලු අරමුදල් පාර්ලිමේන්තුවේ පාලනයට හා අධීක්ෂෂණයට යටත්වන ආකාරයට ඒකාබද්ධ අරමුදලට ඇතුළත් කරන ලෙසට හිටපු මුදල් ඇමතිවරයෙකු වූ ද පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ ද රොනී ද මැල් මහතා පසුගිය අයවැය විවාදයේදි ඉල්ලා සිටියේය.
මෙය යහපත් රාජ්ය මූල්ය පාලනයක් සඳහා අත්යවශ්ය කොන්දේසියකි. තිබෙන මුදල් නීති අනුව රජයට සම්බන්ධ කිසිම අරමුදලක් ඒකාබද්ධ අරමුදලෙන් පිටස්තරව තැබීම නීති විරෝධීය. මේ නීතිය නොසලකා රජයට සම්බන්ධ විවිධ අරමුදල් ඒකාබද්ධ අරමුදලෙන් පිටස්තරව තබාගෙන යන තත්ත්වයක් දැකිය හැකිය. එක වසරකට කෝටි දහස් ගණනක ගනුදෙනුවක් සිදුවන ජනාධිපති අරමුදල පවත්වාගෙන යන්නේද ඒකාබද්ද අරමුදලට පිටස්තරවය.
මෙය ඉතාමත් නරක තත්ත්වයක් වනවා පමණක් නොව නීති විරෝධී තත්ත්වයකි. එය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ සියලු පිළිගත් මූලධර්මවලට පටහැනිය. රජයට සම්බන්ධ කිසිම අරමුදලක් ඒකාබද්ධ අරමුදලෙන් බැහැරව පාර්ලිමේන්තු පාලනයෙන් හා අධීක්ෂෂණයෙන් බැහැරව තිබෙන්නට ඉඩ නොහැරිය යුතුය.
අනෙක් අතට පාර්ලිමේන්තුව ඒකාබද්ධ අරමුදලට සම්බන්ධ වන සියලු ආයතනවල මූල්ය ක්රියාකාරිත්වය පිළිබඳව මනා සෝදිසියකින් යුතුව ක්රියාකළ යුතුය. සෑම රාජ්ය ආයතනයකම ක්රියාකාරිත්වය විගණකාධිපතිගේ මනා පරික්ෂෂාවට ලක් විය යුතු අතර විගණකාධිපතිවරයා රාජ්ය ආයතනවල සිදුවන වැරදි පිළිබඳව ඉදිරිපත්කරන නිරික්ෂෂණ කෙරෙහි පාර්ලිමේන්තුවද විධිමත් ආකාරයකින් ක්රියා කරන පිළිවෙතක් අනුගමනය කළ යුතුය.
විගණකාධිපතිවරයා, ප්රමුඛ වැදගත්කමක් ඇති බලවත් පුද්ගලයන් යටතේ තිබෙන ආයතන කෙරෙහි මනා සෝදිසියකින් ක්රියාකරන බවක් පෙනෙන්නට නැත. එසේම විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විගණන වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවද මනා සෝදිසියකින් ක්රියාකරන බවක් ද පෙනේනට නැත.
පසුගිය පොදු පෙරමුණු පාලන කාලය තුළ පාර්ලිමේන්තුවේ රාජ්ය ගිණුම්කාරක සභා කාර්යක්ෂෂම ක්රියාකාරිත්වයකින් පවත්වාගෙන යෑමට සමත් වී නැත. අවශ්ය තරම් ඝණපූර්ණයක් නැති කම නිසා බොහොමයක් ගිණුම්කාරක සභා රැස්වීම් පැවැත්වීමට හැකි වී නැති අතර ඒ නිසා පාර්ලිමේන්තුවද විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත්කරන ලද විගණන වාර්තාවලින් වැඩි කොටසක් නිසි පරික්ෂෂාවට ලක්කොට නැත.
මනා රාජ්ය මූල්ය පාලනයක් සඳහා රොනී ද මැල් මහතා කර තිබෙන ඉල්ලීම ප්රමාද නොවී සම්පූර්ණ කිරීම ඉතා වැදගත්ය.