පසුගිය අප්රේල් 6 වැනිදා මොරටුවේ සමන් නමැති අපරාධකාරයා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදි ඔහු කුමාර් පොන්නම්බලම් ඝාතකයා බව “රාවය” ප්රසිද්ධියේ ප්රකාශ කර සිටියේ ය. එම ඝාතනයට උප සේවා පොලිස් කොස්තාපල්වරයෙක් ද සම්බන්ධ බවත්, කුමාර් පොන්නම්බලම් මහතා පරිහරණය කළ සෙලියුලර් දුරකතනය එම පොලිස් කොස්තාපල්වරයා ළග තිබෙන බවත් අපි ප්රකාශ කළෙමු.
ඒ විස්තර රාවයේ පළවූ පසුව පොන්නම්බලම් මහත්මිය ඒ ගැන ජේයෂ්ඨ පොලිස් අධිකාරි බන්දුල වික්රමසිංහ මහතාගෙන් ප්රශ්න කළවිට ඒ මහතා ප්රකාශ කර ඇත්තේ ඝාතකයා සමන් නොවන බවත්, ඝාතනය සිදුකර ඇත්තේ කොටි සංවිධානය බවත් ය.
එහෙත් ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැන් කියන්නේ උප සේවා පොලිස් කොස්තාපල්වරයා දුරකතනයෙන් තමා අමතා ඝාතනයේ වගකීම බාරගත් බවත්, ඝාතනයට සම්බන්ධ සියලු විස්තර හෙළිදරව් කරන ලද බවත් ඔහුගේ වුවමනාව මත වෙඩි තැබූ පුද්ගලයා මොරටුවේ සමන් බවත් ය. සියලු පරික්ෂණ එතනින් අවසන් කිරීමට පොලිසියට අවශ්ය වී තිබෙන බව බැලු බැල්මට පෙනී යන්නේ ය.
උප සේවා පොලිස් කොස්තාපල්වරයකු කිසිම හේතුවක් නැතිව කුමාර් පොන්නම්බලම් වැනි පුද්ගලයකු ඝාතනය කිරීම පිණිස තමන් දන්නා අපරාධකරුවන් පිරිසකට ඒ සඳහා ඇණවුමක් දෙනු ඇතැයි විශ්වාස කළහැක්කේ මෝඩයින්ට පමණ ය. පොලිස් කොස්තාපල්වරයා මේ ඝාතනයට සම්බන්ධ වගකිවයුතු පුද්ගලයකු බව සැබෑ ය. එහෙත් ඝාතනය ඔවුන්ගේ ස්වාධීන ක්රියාවක් විය නොහැකි ය. ඒ පිටුපස සිටින දේශපාලන හස්තය හඳුනාගැනීම පොලිසියේ වගකීමකි.
රටේ නමගිය අපරාධකරුවකු වී සිටියදි මොරටුවේ සමන්ට රැකවරණය ලබාදුන් දේශපාලනඥයන් කවුද යන්න සොයා බැලීම මගින් ඒ පිටුපස ඇති කුමන්ත්රණය හඳුනාගත හැකි ය. මිනීමැරුම් 20කට අවශ්ය පුද්ගලයකු වී සිටියදි, පොලිසිය ඔහු අත්අඩංගුවට නොගත්තේ ඔහු ඉන්නා තැන් නොදෑන සිටි නිසා නොව, ඔහුට ලැබී තිබුණු දේශපාලන රැකවරණය නිසා ය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේද හිතාමතා නොව අහම්බෙනි. ඔහු නිදහස් කරගැනීමට බලපෑම් ආවත්, එසේ කළ නොහැකි වූයේ ඔහුගේ පසුබිම් කතාව වහාම ්රාවය” ප්රසිද්ධ කළ නිසා ය.
රෝහණ කුමාර ඝාතනය සම්බන්ධයෙන් ද සැබෑ පොලිස් පරික්ෂණයක් සිදුවන්නේ නැත. පොලිස් පරික්ෂණයක් ආරම්භ කෙරුණු අවස්ථාවේදි එය දුර දිග යන තත්ත්වයක් ඉදිරියේ ඉහළින් ලැබුණු බලපෑම් මත පොලිස් පරීක්ෂණ අත්හිටවූවේ ය. ඒ ඝාතනයේ සියලු තතු දන්නා පුද්ගලයෙක් රීමාන්ඩ් භාරයේ සිටින බව සේ ම ඝාතනයට යොදාගත් වාහනය, ඝාතනය සඳහා යොදාගත් පිස්තෝලය දැන් තිබෙන්නේ කොහේද යන්න ද අපි අනාවරණය කර ඇත්තෙමු. පොලිසියට ඇත්ත පරික්ෂණයක් අවශ්ය නම් ඇත්ත සොයාගැනීමට ඒ හෝඩුවාවන් පමණක් වුවත් ප්රමාණවත් ය. එහෙත් ඒ පිටුපස දේශපාලන කතාන්තරයක් ඇති බව පරික්ෂණය මෙහෙයවන පොලිස් ප්රධානීහු දනිති.
මහජනතාව, බලයේ සිටි එජාප ආණ්ඩුව පරදා පොදු පෙරමුණු ආණ්ඩුවක් බලයට ගෙනාවේ එකල සිදුවූ නින්දාසහගත සිදුවීම් නැවත ඇති නොවනු පිණිස වුවත්, රාජ්ය අනුග්රහය ඇතිව මනුෂ්යයින් ඝාතනය කිරිමේ ක්රියාවලිය අවසන් වී නැති බව කුමාර් පොන්නම්බලම් ඝාතනයෙනුත්, රෝහණ කුමාර ඝාතනයෙනුත් මනා ලෙස පෙන්නුම් කරයි. මේ ඝාතනවලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැත්නම්, ඒ සිද්ධීන් දෙක පිළිබඳ සාධාරණ හා විවෘත පරික්ෂණයකට ඉඩ හැරිම ආණ්ඩුවේ වගකීමකි.