ප්රභාකරන් සමග ප්රශ්න විසඳගත් යුතුව ඇත්තේ කෙසේද යන ප්රශ්නයට රටට සාර්ථක පිළිතුරක් සොයාගත හැකිවනු ඇත්තේ සමස්ත දේශපාලන ක්රමයේම ඇතිවී තිබෙන ගරා වැටීම වළකා සාර්ථක ප්රතිසංස්කරණයක් මගින් රටේ දේශපාලන අධ්යාත්මය ප්රාණවත් කරගත හැකි නම් පමණය.
සමස්ත දේශපාලන ක්රමයම තිබෙන්නේ අන්ත පරිහානියකට ගිය තැනකය. පාලිතයින් තුළ පාලකයින් කෙරෙහි කිසිදු විශ්වාසයක් හෝ ගෞරවයක් නොපවතී. මහජනයාගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවී සිටින විකල්ප නායකයින් පිරිසක් ද රටේ නැත. ජනයා තිබෙන දේශපාලන පක්ෂ සමග ගනුදෙනු කරන්නේ මුළු මහත් සමාජයම දැඩි දේශපාලනකරණයකට ලක්වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ ආරක්ෂාව පිණිස එක් පක්ෂයකට හෝ තවත් පක්ෂයකට සම්බන්ධ වී සිටීම අවශ්ය නිසා පමණය.
දේශපාලන තලයේ දක්නට ලැබෙන පිරිහීම වෙනත් හැම ආයතන ක්රමයක් තුළ ද පවතී. හමුදා සෙබළු ඉහළ නිලධාරීහු විශ්වාස නොකරති. පොලිසියේ පහළ අය ඉහළින් සිටින අය විශ්වාස නොකරති. සේවකයෝ දෙපාර්තමේන්තු ප්රධානීන් විශ්වාස නොකරති. හැම කෙනෙකුටම මිලක් ඇත්තේය කියන විශ්වාසයත් පොදු යහපත පිණිස කෙරෙන වැඩකටයුතුවල පවා සැගවුණු මිලක් ඇත්තේය කියන විශ්වාසයත් සමාජයේ පවතී. අධිකරණය, පන්සල. පල්ලිය වැනි ගරු කටයුතු ආයතනවලට පවා මේ පිරිහීමෙන් පිටස්තරව සිටීමට හැකිවී නැත.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ ව්යවස්ථාදායක බලය, විධායක බලය හා අධිකරණ බලය යන බලයන් එකිනෙකට ස්වාධීනව තිබිය යුතු බව පිළිගැනීමක් ඇතත්, දැන් එම ත්රිත්ව බලය විධායක බලයේ දෑඩි ග්රහණයට හසුවූ තත්ත්වයකට පත්ව තිබෙන්නේය. විධායකය හා ව්යවස්ථාදායකය කරන හැම ක්රියාවක්ම හැමවිටමත් අධිකරණයේ පරික්ෂාවට ලක්වීම අවශ්ය වේ යයි කියන මූලධර්මය ද දැන් කණපිට හැරි තිබෙන බවක් පෙනේ. මැතිවරණ කොමසාරිස්වරයා ද සිය වගකීම නීතියට අනුකූලවත්, හිතට එකගවත් කරන බවක් පෙනෙන්නට නැත. විගණකාධිපතිවරයා රාජ්යයේ සියලු ගනුදෙනු පරික්ෂාවට ලක් කරන බවක් පෙනෙන්නට නැත. ව්යවස්ථාවට අනුකූලව රාජ්යයේ සියලු මුදල් කටයුතු පාලනය විය යුත්තේ පාර්ලිමේන්තුවෙනි. එහෙත් ගෑස් සමාගමට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව වැඩිවන මිල සඳහා විශාල වන්දියක් ගෙවා ඇති සිද්ධියෙන් පෙන්නුම් කෙරෙන්නේ දැන් මුදල් පාලනය ද යම් පමණකට විධායකයේ අතට පත්ව තිබෙන බවය. ඉහළ තනතුරු සඳහා කෙරෙන සියලු පත්කිරිම් පාර්ලිමේන්තුවේ පරික්ෂාවට ලක්වීම අත්යවශ්ය වුවත් ඒ සඳහා වන විශේෂ වගකීමක් තමන්ට ඇති බවත් පාර්ලිමේන්තුව දන්නා බවක්වත් එහි පෙනෙන්නට නැත.
රටේ ජාතික දේශපාලන අධ්යාත්මයෙහි ඇතිවී තිබෙන මෙම අතිවිශාල පරිහානියෙන් ගොඩ එන ඉක්මන් ක්රමයක් අපට සොයාගත නොහැකි වේ නම්, ප්රභාකරන් කෙනෙකු වෙතින් එල්ල වන යුද්ධ තර්ජනයක් නැති වුවත්, රට විනාශවීම නොවැළැක්විය හැකිය.
ද්විපාර්ශවික මට්ටමෙන් කල් ලබාගැනීමේ අරමුණින් කෙරෙන බොරු සාකච්ඡාවලට වඩා මැතිවරණයකට යන්නට පෙර අඩුම වශයෙන් ප්රතිසංස්කරණයක් මගින් දේශපාලන ක්රමය ශක්තිමත් කිරීමට හේතුවන මූලධර්ම මොනවාදෑයි හඳුනාගනිමින් ඒ මූලධර්ම සඳහා පොදු එකගතාවක් ඇතිකර ගැනීම සඳහා වන සර්වපාක්ෂික සාකච්ඡාවකට යා හැකි නම්ණී වඩා හොඳ ප්රතිඵල ලබාගත හැකිවනු නොඅනුමානය. ප්රභාකරන් සමග කෙරෙන සාකච්ඡාවක් වහාම ආරම්භ කිරිමේ හැකියාවක් ගැනත් ප්රජාතන්ත්රවාදී ප්රවාහයේ සිටින සියලු පක්ෂවලට එකට එකතු වී දේශපාලන ක්රමයේ ඇතිවී තිබෙන ගරා වැටීම වැළකීම පිණිස කුමක් කළයුතුද යන්න සාකච්ඡා කළ හැකිය. ඒ සඳහා අවශ්ය මූලධර්ම හඳුනාගැනීමෙන් පසු ඉදිරි මැතිවරණයෙන් කවුරුන් බලයට ආවත් සියලුදෙනා එක්ව හෝ වෙන් වෙන්ව ඒ හඳුනාගත් එම මූලධර්ම මත පිහිටා නවීන ප්රතිසංස්කරණයට පොදු එකගතාවක් ඇති කරගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැකිය.
මැතිවරණයකින් පසු පොදු එකගතාවක් ඇතිකර ගැනීම අපහසුය. එහෙත් මැතිවරණයට පෙර මූලධර්ම සඳහා පොදු එකගතාවක් ඇති කරගනිමින් සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන පිරිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකට යාහැකි නම්, පවතින වර්ගාන්තර අර්බුදයට පමණක් නොව, වෙනත් ගැටලුද විසඳ ගැන්මට දෑක්මක් හා ආත්ම විශ්වාසයක් ඇති දේශපාලන අවශ්යතාවක් රට තුළ ඇති කරගත හැකිය. රට දේශපාලන වශයෙන් යළි ප්රබෝධමත් තැනකට ගෙන ආ හැකිවනු ඇත්තේ එවැනි ක්රියාවලියක යෙදිමේ හැකියාවක් ඇත්නම් පමණය.