අවසානයක් නොදුටු ඝාතන සංස්කෘතිය

June 25, 2000
Publication:
Ivan details the political crime network behind the killings of Satana editor Rohana Kumara and Kumar Ponnambalam: gunman 'Moratuwa Saman', associates sheltered by a cabinet minister's residence and an Urban Development Authority flat, and links to Beddagane Sanjeewa of the Presidential Security Division. He describes police interference, the reversal by investigator Shaw Wickramasinghe, a failed first attempt on Rohana Kumara, and the car and pistol used, concluding that small-scale state-backed killing continues.

එජාප පාලන කාලය තුළ දේශපාලන අරමුණු මත පිහිටා කරන ලද අභිරහස් මනුෂ්‍ය ඝාතන රාශියක් ම පිළිබඳ අපි දනිමු. පොදු පෙරමුණු ආණ්ඩුවක් බිහිවීමෙන් පසු නැවත එවැනි නින්දා සහගත මනුෂ්‍ය ඝාතන සිදු නොවනු ඇතැයි සමාජයේ විශ්වාසය වී තිබුණත් ඉන් පසුත් සැකයට හේතු වන මනුෂ්‍ය ඝාතන දෙකක් රටේ සිදුවිය

ඉන් එකක් සිදුවූයේ 99 සැප්තැම්බර් 13 වන දා ය. ඒ සටන කර්තෘ රෝහණ කුමාරගේ ය. දෙවැන්න සිදුවූයේ 2000 ජනවාරි 5 වැනි දා ය. ඒ කුමාර් පොන්නම්බලම්ගේ ය.

දින කිහිපයක් තුළ කුමාර් පොන්නම්බලම් ඝාතකයන් සමග එම ඝාතනයට වගකිවයුතු පුද්ගලයින් කව්දැයි පොලිසියේ සමහර අංශ නිල නොවන ලෙස හඳුනාගෙන තිබුණි. එහි දි කුමාර් පොන්නම්බලම් මහතාට වෙඩි තැබූ පුද්ගලයා මොරටුවේ සමන් හෙවත් මධුරප්පෙරුම අප්පුහාමිලාගේ නිමල් කාලිංගවංශ බව ඔවුහූ දැන සිටියහ. මොරටුවේ සමන් රටේ නමගිය අපරාධකරුවෙකි. මිනීමැරුම් 20කට මංකොල්ල කෑමේ සිද්ධීන් 15කට හා පුද්ගලයන් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් 10කට ද ඔහු පොලිසියට අවශ්‍ය වී තිබුණිි. ඔහු ජීවත්වන තැන් හා යන එන තැන් පොලිසිය දැන සිටියේ ය. එහෙත් ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිසිය කැමැත්තක් නොදැක්වීය. ඊට හේතුව දේශපාලන රැකවරණ මත ජීවත් වූ අපරාධකරුවකු වීම නිසා ය. දේශපාලන රැකවරණය ඔහුගේ පැවැත්මට අත්‍යවශය වූ අතර ඔහු තමන්ට දේශපාලන රැකවරණය ලබාදුන් දේශපාලකයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් අපරාධ කරන අතරතුර ඒ රැකවරණය ආයුධයක් කරගනිමින් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ද අපරාධවල යෙදුණේ ය.

පසුගිය මාර්තු 23 දින පන්නල දි කිසියම් පිරිසක් විසින් කපා කොටා මරා දමන ලද බුලත්සිංහලගේ සංජීව පෝල් නමැති පුද්ගලයා ද මොරටු සමන් ඇතුළත්ව සිටි දේශපාලන අපරාධ කල්ලියේ උද්‍යෝගිමත් සාමාජිකයෙකි. මිනීමැරුම්. පැහැර ගැනීම්. මංකොල්ල කෑම්. වැනි අපරාධ සඳහා ඔහුට එරෙහිව විවෘත වරෙන්තු 10ක් තිබුණි. ගිරිඋල්ල පොලිසිය විසින් මේ පුද්ගලයා 1998 අගෝස්තුවල දි අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් දෙන ලද කටඋත්තරයට ඔවුන් විසින් කරන ලද සමහර අපරාධ පිටුපස ඇති දේශපාලනය ගැන ඉතා වැදගත් කරුණු රාශියක් ඇතුළත් ය. ඔහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දි ඔහු ළග තිබූ පිස්තෝලය ඔහුට ලැබී තිබුණේ ධම්මික පෙරේරාගෙනි. ධම්මික පෙරේරා අදටත් පොලිසියට වැඩියෙන් ම අවශ්‍යව තිබෙන ප්‍රධාන පෙලේ අපරාධකරුවෙකි. සංජීවගේ කටඋත්තරයේ එන තොරතුරුවලට අනුව ධම්මික පෙරේරා තමන්ගේ ප්‍රධාන නැවතුම් තිප්පොළක් බවට පත්කොටගෙන තිබුණේ ප්‍රධාන පෙලේ කැබිනට් ඇමතිවරයකුගේ නිල නිවස ය. ආයුධ සන්නද්ධව එහි යන එන ධම්මික පරීක්ෂෂා නොකරන ලෙසට ඇමතිවරයා මුර කඩුල්ලේ සිටින ආරක්ෂෂකයින්ට ලබා දි තිබූ උපදෙස් නිසා පරීක්ෂෂාවට ලක්වීමෙන් තොරව එහි යන එන අවසරය ඔහුට ලැබී තිබුණි.

කිත්සිරී ප්‍රදිප් ද සිල්වා හෙවත් කැප්ටන් රංජිත් ද මේ දේශපාලන අපරාධ කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයෙකි. ඔහු කලක් ටයිටස් ගෘප් නමින් ප්‍රකට කටුනායක අපරාධ කල්ලියක දෙවැනියාව සිටියේ ය. පසුව එම අපරාධ කල්ලියේ ප්‍රධානියා වන ටයිටස් සමග ඇති කරගත් බේදයක් මත කැප්ටන් රංජිත් කුමාර් පොන්නම්බලම් ඝාතකයා ලෙස හඳුනාගෙන ඇති මොරටුවේ සමන් ලවා ඔහු වෙඩිතබා ඝාතනය කළේ ය. පසුගිය පෙබරවාරි වල දි පෑලියගොඩ පොලිස් පරික්ෂෂක එච්. සමුද්‍රජීව විසින් ජනාධිපති ආරක්ෂෂක අංශයේ සේවයේ නියුතු නමගිය පුද්ගලයකු වන බැද්දගානේ සංජීවගේ (අමරසිංහ විතාන ඉරේෂන් ධනුෂ්ක පෙරේරා) නිවස වටලා කැප්ටන් රංජිත් අත් අඩංගුවට ගත්තේ ය. මේ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමට ජනාධිපති ආරක්ෂෂක අංශයේ ප්‍රධානියා මැදිහත් වුවත් ඔහු කරන ලද තර්ජනය නොසලකා කැප්ටන් රංජිත් අත්අඩංගුවට ගැනීමට තරම් පොලිස් පරීක්ෂෂකවරයා නිර්භීත විය. ඔහුගේ පරීක්ෂෂණ ක්‍රියාවලිය නිසා ආණ්ඩුවේ රැකවරණය ඇතිව ක්‍රියාත්මක වන මේ අපරාධ කල්ලිය හෙළිවනු ඇතැයි කල්පනා කළ දේශපාලන බලවතෙක් කැප්ටන් රංජිත්ට අදාළව කෙරෙන පරීක්ෂෂණ කටයුතු පොලිස් පරීක්ෂෂක සමුද්‍රජීවගෙන් ඉවත් කොට එය අපරාධ පරීක්ෂෂණ දෙපාර්තමේන්තුව අතට පත් කළේ ය.

ආණ්ඩුව මේ අපරාධ කල්ලියට ආරක්ෂෂිතව ජීවත් වීම පිණිස නාගරික සංවර්ධන අධිකාරියට අයත් බම්බලපිටියේ ඇති ටවර් ගොඩනැගිල්ලේ පහත මාලෙය් ඇති 1බී කොටස ද වෙන්කොට දි තිබුණි. නාගරික සංවර්ධන අධිකාරිය එය ඔවුන්ගේ පරිහරණයට ලබාදි තිබුණේ ය. එම කොටස ආරක්ෂෂක අමාත්‍යාංශයේ කටයුතු වෙනුවෙන් වෙන් කරන බව පොත් පත්වල සටහන් කරමිනි. එසේ කර තිබුණේ මේ පිළිබඳව විස්තර රාවය හෙළිදරව් කිරීම නිසා එම ගොඩනැගිල්ලෙන් ඔවුන් වහාම ඉවත් කරන ලද අතර එම තොරතුරු රාවයට ලබා දෙන්නට ඇත්තේ අපරාධ පරීක්ෂෂණ දෙපාර්තමේන්තුවේ කිසියම් පුද්ගලයකු විය යුතුය යන සැකය මත ඒ පුද්ගලයා සොයාගැනීම පිණිස අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවේ බලධාරිහු විශේෂ පරීක්ෂෂණයක් ද කළහ.

කුමාර් පොන්නම්බලම් මහතාට වෙඩි තබා ඝාතනය කරන ලද මොරටුවේ සමන් ඇතුළු තවත් පුද්ගලයින් හත් දෙනෙකු මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවසක සැගවී සිටිය දි කෙසෙල්වත්ත පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය අප්‍රේල් 06 වන දා ය. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා තෙක්ම ඔවුන් අතර මොරටුවේ සමන් සිටින බව පොලිසිය දැන සිටියේ නැත.

සමන් අත්අඩංගුවේ සිටින බව දැනගන්නට ලැබුණු වහාම ඔහුට සම්බන්ධ දේශපාලකයෝ කලබලයට පත් වූහ. පරීක්ෂෂණයකට ඉඩ නොතැබීම පිණිස ඔහු වහාම අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද මේ දේශපාලකයෝ පොලිසියට බල කළහ. කුමාර් පොන්නම්බලම් ඝාතනයට සේ ම වෙනත් ප්‍රධාන පෙලේ අපරාධ රාශියකට ඔහු සම්බන්ධ බව පොලිසියේ ඇතැම් අය ද හොඳකාරවම දැන සිටිය. දේශපාලන බලපෑම් මත සියල්ල සගවනවා දකින්නට කැමති නැති කිහිප දෙනෙකු වෙත එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පරීක්ෂෂණයකින් තොරව මේ අපරාධකරුවා රිමාන්ඩ් භාරයට පත් කිරීමට තිබුණු ඉඩ ඇහිරුණි.

මොරටුවේ සමන් අත්අඩංගුවට ගත් වහාම ඔහු කුමාර් පොන්නම්බලම් මහතාට වෙඩි තැබූ පුද්ගලයා වන බව සේම ඒ ක්‍රියාවට උප පොලිස් සේවයේ කොස්තාපල්වරයකු (නානායක්කාර වසම්ගේ රණසිංහ) ද සම්බන්ධ බවත් කුමාර් පොන්නම්බලම් මහතා ළග තිබී පැහැරගත් සෙලියුලර් දුරකථනය මේ පොලිස් කොස්තාපල්වරයා තමන් වෙත මතක සටහනක් ලෙස තබාගෙන සිටින බවත් අපි හෙළිදරව් කළෙමු.

මේ පුවත පළ වීමෙන් පසුව පොන්නම්බලම් මහත්මිය පොන්නම්බලම් ඝාතනයේ පරික්ෂෂණය මෙහෙයවන ජේ‍යෂ්ඨ පොලිස් පරීක්ෂෂක ෂෝ වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් කථා කොට අත්අඩංගුවේ සිටින මොරටුවේ සමන් හඳුනාගැනීමට තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. වික්‍රමසිංහ මහතා ඇයට කියා ඇත්තේ පොන්නම්බලම් ඝාතනයට මොරටුවේ සමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එය කොටි සංවිධානය විසින් කරන ලදදක් බවට අවශ්‍ය තරම් තොරතුරු හෙළිදරව් වී ඇති බවත් ය.

එහෙත් පුදුමයට මෙන් ඉන් මාස දෙකකට පසුව දැන් ෂෝ වික්‍රමසිංහ මහතා කියන්නේ පොන්නම්බලම් ඝාතනය උපසේවා පොලිස් කොස්තාපල්වරයකුගේ වුවමනාව මත අත්අඩංගුවේ සිටින මොටුවේ සමන් විසින් කරන ලද්දක් බව ය. ඒ බව උප සේවා පොලිස් කොස්තාපල්වරයා තමන්ට දුරකථනයෙන් කථා කොට සිදු වූ සියල්ල හෙළිදරව් කරන ලද බවත් ඔහු විසින් ඇලකට දමා තිබූ ජංගම දුරකථනය ද සොයා ගන්නා ලද බවත් ය.

සිද්ධිය යටපත් කළ නොහැකි තරමට හෙළිදරව් වූ පසු ඒ පිටුපස ඇති දේශපාලනය වසන් කිරිමේ අරමුණ ඇතිව දැන් සියලු කටයුතු සිදුවෙමින් තිබෙන බවත් ඉන් පැහැදිලිව පෙනී යයි. දැන් ඒ ගැන ආණ්ඩුවේ ජනමාධ්‍ය පුන පුනා ප්‍රකාශ කරන්නේ ජාතිවාදි ආකල්ප ඇති එක්තරා පොලිස් කොස්තාපල්වරයෙක් මව්බිමේ ආරක්ෂෂාව වෙනුවෙන් කියන හැගීම ඇතිව ඒ සාහසික ක්‍රියාව කර ඇති බව ය. මේ පොලිස් කොස්තාපල්වරයාගේ ආකල්ප හා හෙළ උරුමය සංවිධානයේ ආකල්ප අතර තර්කානුකූල සම්බන්ධයක් ඇති බව ද දිනමිණේ ඒ ගැන පළ වූ විමර්ශනයක සඳහන් වී තිබුණි.

එහෙත් දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව කුමාර් පොන්නම්බලම් ඝාතනය සේ ම රෝහණ කුමාර ඝාතනය ද එකම අපරාධ කල්ලියක් විසින් දේශපාලන අරමුණු මත කරන ලද ඝාතන බව පෙනී යයි.

රෝහණ කුමාර ඝාතනය ගැන ආරම්භයේ කෙරුණු පොලිස් පරික්ෂෂණවල දි එම ඝාතනය සිදුකරන්නට සතියකට පමණ පෙර රෝහණ කුමාර ඝාතනය කිරීම සඳහා වෙනත් ආකාරයක උත්සාහයක යෙදි එය ව්‍යාර්ථ වී ඇති බව සොයා ගැනිණ. රෝහණ කුමාරට කිසියම් දිනක තම බිරිඳ නොවන වෙනත් හිතවතියක් සමග තනි පංගලමේ ගත කිරීමට අවශ්‍ය වී ඒ සඳහා සුදුසු ස්ථානයක් ගැන සිය අවධානය යොමුකර සිටි අවස්ථාවක එම පුවත් පතේම වැඩ කරන තවත් පුද්ගලයකු එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ වෙනත් මහලක ඇති සිය කාමරය පාවිච්චි කිරීමට ඔහුට ඉඩ දුන්නේ ය. ඒ අවස්ථාවේ දි රෝහණ කුමාරගේ කාර්යාලයට පැමිණ රෝහණ කුමාරගේ පැරණි ස්වාමියකු නිසා මිතුරිය සමග කාමරයට යන ගමන තාවකාලිකව කල් දැමීමට රෝහණ කුමාරට සිදුවිය. ඒ අතරතුර කාලයේ දි ජනාධිපති ආරක්ෂෂක අංශයේ බැද්දගාන සංජීව සමග පැමිණ පිරිසක් රෝහණ කුමාර යන්නට නියමිතව සිටි කාමරයට ආයුධ සන්නද්ධව කඩා වැදුණේ ය. ඔහු එහි නැතිවීම නිසා කෝපයෙන් කාමර වීදුරු කඩා බිඳ දමා ඔවහු ඒ ස්ථානයෙන් පළා ගියහ. රෝහණ කුමාර බලන්නට පැමිණ ඒ අමුත්තා නොවන්නට රෝහණ කුමාර එදා මරණයට පත්වන්නට තිබුණේ තවත් කාන්තාවක් සමග එකම ඇඳක සිටින අවස්ථාවක ය.

පළමු ප්‍රයත්නය අසාර්ථක වුවත් දෙවැනි ප්‍රයත්නය සාර්ථක විය. ඝාතනයට සම්බන්ධ ඉතා වැදගත් මූලික තොරතුරු සියල්ල හෙළිදරව් කර ඇතත් පොලිසිය නිහඬ ය. රෝහණ කුමාර ඝාතනයේ ප්‍රමුඛම පුද්ගලයා වනුයේ යූ.ඩී. දිලන්ත සමන් කුමාර ය. ඔහු කුමාර් පොන්නම්බලම් ඝාතනය කළ අපරාධ කල්ලියට සම්බන්ධ පුද්ගලයකු වන අතර බලවත් නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ආරක්ෂෂකයකු සේ ම ජනාධිපති ආරක්ෂෂක අංශයේ බැද්දගාන සංජීවගේ ද සමීප හිතවතෙකු විය. 99 සැප්තැම්බර් 25 වැන දින දෙල්කඳ හන්දයේ සිදු වූ සය පුද්ගල ඝාතනයේ දි සමන් කුමාර ද මරණයට පත්විය. රෝහණ කුමාර ඝාතනය සඳහා යොදාගෙන තිබුණේ දෙල්කඳ හන්දියේ දි ඝාතනයට ලක් වූ අය අත තිබූ රිවෝල්වර හා පිස්තෝල පහෙන් එක් පිස්තෝලයකි. එය දැන් තිබෙන්නේ ගංගොඩවිල අධිකරණය බාරයේ ය. රෝහණ කුමාර ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ අංක 19-1169 දරන වෙට්ලික් බ්ලු පැහැයෙන් යුතු ටර්සල් වර්ගයේ මෝටර් රථයකි. මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ කරුණු දන්නා පුද්ගලයෙක් දැනට රිමාන්ඩ් භාරයේ සිටින්නේ ය. ඒ දෙල්කඳ හන්දියේ සිදු වූ සය පුද්ගල ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරුවා වී සිටින පාමක්කඩ අශෝකා හෙවත් අශෝකා පෙරේරා ය.

යූ.ඇන්.පී. යුගයේ මෙන් දැන් මහා පරිමාණයේ ඝාතන සංස්කෘතියක් නොපවති. ඒ වෙනුවට ඇත්තේ සුලු පරිමාණයෙන් පවතින ඝාතන සංස්කෘතියකි. එය මහා පරිමාණයේ දෙයක් බවට පත්වන්නට ඉඩ නොහැරිමේ වගකීම පැවරෙන්නේ සමාජයට ය.