රාවයේ 25 වැනි සංවත්සරය අපේක්ෂා කළ ආකාරයටම අර්ථවත් හා ආකර්ෂණීය ආකාරයකට පැවැත්වීමට සමත්වීයැ”යි කිවහැකිය. නිල උත්සවය පැවති දිනයේ දුරස්ත ප්රදේශයකින් පැමිණි රාවය පාඨකයකු උත්සවය ආරම්භ කිරීමට පෙර මා හමුවී රාවයට තිබෙන බැඳීම නිසා එහි පැමිණියද කරන්නට යන දේ ගැන තමාගේ එකඟත්වයක් නැති බව කියා සිටියේය. ජනාධිපති ඇතුළු දේශපාලන නායකයන් උත්සවයට සම්බන්ධ කරගැනීම ඔහුගේ නොඑකඟත්වය කෙරෙහි බලපා තිබුණු හේතුව වී තිබුණි. උත්සවය අවසන් වී ඔහු ආපසු යන්නට පෙරද නැවත ඔහු මා හමුවිය. ඔහු එහිදී කීවේ තමා වැරදි බවත් මා නිවැරදි බවත්ය. ඔහු කියන ලද එම කතාව ඇසූවිට මා තුළ සතුටක් ඇතිවීයැ“යි කිව හැකිය.
මෙවැනි ව්යාකූලතා හා පාඨකයන් සුළු පිරිසක් අතර පමණක් නොව, රාවයේ කාර්ය මණ්ඩලයේද කිහිපදෙනකු අතරද තිබුණේය. එහෙත් ව්යාකූලතා තිබුණු අයගේ ප්රමාණය ඉතාමත් සුළුවීයැ”යි කිව හැකිය. තවත් සමහරකු තුළ කරන්නට යන දේ ගැන කුතුහලයක් තිබුණද හොඳ දෙයක් කරනු ඇතැ”යි යන විශ්වාසයද තිබුණේය.
අපගේ අරමුණ වූයේ රාවයට 25 වසරක් පිරීමේ අවස්ථාව ජාතික වැදගත්කමක් ලැබෙන සංසිද්ධියක් බවට පත්කරන අතර රාවයේ අනන්යතාවද ආරක්ෂා කරගනිමින් එය රාවයේ දැක්ම බලවත් ලෙස රටට ප්රකාශ කරන අවස්ථාවක් බවට පත්කර ගැනීමය. රාවය පාඨකයන් අතර විශ්වාසයක් හා ප්රබෝධයක් ඇති කරන අතර අලුත් පාඨක පිරිසක් අතට ප්රවේශවීමද එහි තවත් අරමුණක් විය.
රාවය දේශපාලන පක්ෂයක් නොව විශේෂ ස්වභාවයකින් ක්රියාකරන පුවත්පතකි. එය කියවන පාඨකයන්ද එක සමාන අදහස් දරන්නන් නොවෙති. එය විවිධ දේශපාලන පක්ෂවලට අයත් නායකයන් සේ ම එම පක්ෂවල සමහර පාක්ෂිකයන්ද කියවන්නේය. ඔවුන් අතර ආණ්ඩු විරෝධී අය සිටිනවා සේ ම ආණ්ඩුවට පක්ෂපාත අයද සිටිති. කිසිම පක්ෂ දේශපාලනයකට සම්බන්ධයක් නැති නිදහස්ව සිතන්නට මතන්නට උත්සාහ කරන විශාල පිරිසක්ද ඒ අතර සිටින්නේය. පාඨකයන්ගේ ස්වභාවය විස්තීර්ණ වනවිට රාවය යන ගමන ගැන පාඨකයන් අතර එකම අදහසක් නොතිබීමද ස්වාභාවිකය.
රාවය එකවිට මහජනයාට උගන්වන හා මහජනයාගෙන් ඉගෙනගන්නා පුවතපතක් ලෙස සැලකිය හැකිය. පුවත්පතේ කර්තෘ දරන අදහස් ප්රබල වුවත් කර්තෘ මණ්ඩලය දරන අදහස් එක සමාන නොවීය. ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී කර්තෘ මණ්ඩලය කිහිපදෙනකුට සීමාවීම නිසා වෙනස්කම් මතුවීමට වැඩි අවකාශයක් නොතිබුණි. එහෙත් සඟරාව කියවන පාඨකයන් එක සමාන අදහස් දරන්නන් නොවීය. ඒ අතර කැරැල්ල ජයගත යුතුයැ”යි සිතන අය සේ ම කැරැල්ල පරාජය වියයුතුයැ”යි සිතන පිරිසක් ද සිටියේය. ඉතාම වැදගත් දේ පරස්පර විරෝධී අදහස් දරන පාඨක පිරිසක් අතර රැඳී සිටීමට රාවය සමත්වීමය. එකල රාවයේ දර්ශනය දීර්ඝ කාලයක් එක දිගට බලයේ සිටි එජාප ආණ්ඩුව පරාජය කිරීම වුවද ආණ්ඩුවට එරෙහිව මතුවූ කැරැල්ල ඒ අරමුණ සඳහා යොදාගත යුතුයැ”යි රාවය කල්පනා නොකළේය. රාවය ආණ්ඩුව පරාජය කරන ක්රියාකාරී වැඩසටහනක් වෙත යොමුවන්නේ ජේවීපී කැරැල්ල තීරණාත්මක ලෙස පරාජයවීමෙන් පසුවය. රාවය ඒ අවස්ථාවේදී වඩා හොඳ ආණ්ඩුවක් ගැන සිහින දැක්කා වුවද තමන් නරකයැ”යි සිතන ආණ්ඩුව පරාජය කිරීම වෙනුවෙන් අරාජිකත්වයක් ඇති කිරීමට උත්සාහ නොකළේය. ඉන්පසු 1994 දක්වා වන කාලය රටේ ආණ්ඩු විරෝධී බලවේගයන්ගේ හඬ ලෙස ක්රියා කළේය. ඒ කාලයේ රාවය පාඨකයන්ගෙන් විශාල වැඩි පිරිසක් ආණ්ඩු වෙනසක් ගැන සිහින දකින අයගෙන් සමන්විතවීයැ”යි කිව හැකිය. රාවය ඒ මොහොතේ ආණ්ඩු විරෝධී බලවේගයන්ගේ හඬ ලෙස ක්රියාකිරීමෙන් නොනැවතී ආණ්ඩුව පරාජය කරන ව්යාපාරයේ නිර්මාණශීලී ක්රියාකරුවකු ලෙසද ක්රියා කළේය.
ආණ්ඩුව පරාජය කිරීමෙන් පසුව ආණ්ඩුව පරාජය කිරීමේ ගෞරවයෙන් කිසියම් කොටසක් රාවයට හිමිව තිබියදී ගොඩනැගෙන පොදු පෙරමුණු ආණ්ඩුවේ නායකයන් සමග විශ්වාසදායක හා සමීප සම්බන්ධයක් ඇතිව තිබියදීත් ආණ්ඩුවේ කොටස්කරුවකු බවට පත්වෙමින් අයුතු ලාභ උපයන තත්ත්වයකට රාවය නොගියේය. දේශපාලන අරගලය තුළ ගොඩනැගී මතුව සිටි මතධාරීන් තනතුරු ලබාගනිමින් සාධාරණත්වය සඳහා පෙනී සිටීම අත්හරිනු ලැබුවත් රාවය තමන්ට ළඟ ලේ නෑකමක් තිබුණු ආණ්ඩුව දෙස විවේචනාත්මකව කරුණු සලකා බලන ස්ථාවරයක පිහිටා ක්රියා කළේය. සරල ආණ්ඩු පෙරළියක් ක්රමයේ මූලික වෙනසක් ඇති නොකරන්නේ යන පාඩම රාවය ඉගෙන ගත්තේ එම අත්දැකීම ඔස්සේය. එය එක දිනකින් ක්ෂණිකව ඉගෙන ගත් දෙයක් නොව, කිසියම් කාලවකවානුවක් තුළ ක්රම ක්රමයෙන් ඉගෙන ගත් දෙයක් විය.
රාවය පොදු පෙරමුණු ආණ්ඩුව සමග කරන ගනුදෙනුවේදීද රාවයේ අභ්යන්තරයේ සේ ම පාඨකයන් අතරද ව්යාකූලතා තිබුණි. කර්තෘ මණ්ඩලයේ සමහරෙක් උග්ර ආණ්ඩු පාක්ෂිකයන් විය. ඉන් සමහරෙක් යූඑන්පී ආණ්ඩුවෙන් බැටකෑ අයගේ ගණයට අයත් විය. තවත් සමහරෙක් ආණ්ඩුව සමග රාවය ඇති කරගන්නා ගැටුමක් රාවයේ පැවැත්ම අහෝසි කිරීමට හේතුවී කරන රක්ෂාවල්ද නැතිවනු ඇතැ”යි කියන බියක්ද ඔවුන් අතර තිබුණේය. රාවය ආණ්ඩුව සමග ඇති කරගෙන තිබුණු ගැටුම ආණ්ඩුවෙන් වඩා හොඳ රක්ෂා ලබාගැනීමට ඔවුන් අවස්ථාවක් කරගත්තේය. අනෙක් අතට ආණ්ඩු විරෝධී බලවේගයන් තිබුණු ආණ්ඩුව පරාජය කොට තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පසුව තවදුරටත් රාවය වැනි පුවත්පතක් අවශ්ය නොවේයැ”යි කියා සිතන පිරිසක්ද රාවය පාඨකයන් අතර සිටියේය. ඔවුන්ගේ අභිලාෂයන් සම්මිශ්රණ වී තිබුණු බැවින් තවදුරටත් ඔවුන්ට රාවයක් අවශ්ය නොවීය. සමහරවිට ඔවුන්ගේ ආණ්ඩුවට එල්ල කරන විවේචන ඔවුන් දැක්කේ තමන් අමාරුවෙන් බලයට පත්කරන ආණ්ඩුවත් දුෂ්කර තත්ත්වයකට පත්කරන්නට දරන දුෂ්ඨ උත්සාහයක් ලෙසය. මෙවැනි ව්යාකූල තත්ත්වයක් තිබියදීත් රාවය සිය ප්රතිපත්ති මත පිහිටා ඉදිරියටම ගියේය. ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග ආණ්ඩුව සමග කරන හැඟීම්බර අරගලය නිසා රාවයට තවදුරටත් ආණ්ඩු විරෝධී පුවත්පතක පෙනුම ලැබී තිබුණද දෘෂ්ටිමය වශයෙන් රාවය සිටියේ සරල ආණ්ඩු පෙරළියක් දේශපාලන ක්රමයේ වෙනසක් ඇති නොකරන්නේ යන මතයේ පිහිටාය. එසේ තිබියදීත් නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග දේශපාලන චිත්රයෙන් ඉවත් වනවා දකින්නට රාවයට විශේෂ උනන්දුවක් තිබුණේයැ”යි කිව හැකිය.
රාවයට තිබුණු ආණ්ඩු විරෝධී පෙනුම නැතිවී රාවය දේශපාලන ක්රමයේ මූලික වෙනසක් සඳහා ක්රියාකරන පුවත්පතක පෙනුම මතුවන්නට වූයේ චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිනිය දේශපාලන චිත්රයෙන් ඉවත්වීමත් සමගය.
2005 ජනාධිපතිවරණයේදී 1994දී මෙන් රාවය එම බලඅරගලයට ක්රියාකාරී ලෙස පැත්තක් ගෙන වැඩ කරන තැනකට නොගියේය. නැවත කර්තෘ මණ්ඩලය තුළත් පාඨකයන් අතරත් ව්යාකූලතාවක් ඇතිවන්නට වූයේ ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව තීරණාත්මක යුද්ධයකට අවතීර්ණ වූ කාලයේ සිටය. එල්ටීටීඊය සමග සාකච්ඡා කොට දේශපාලන විසඳුමක් ඇතිකර ගැනීම එම අර්බුදයට තිබෙන හොඳම විසඳුම වේය කියා මා කල්පනා කළද කවදාවත් එල්ටීටීඊය අභිලාෂයන් පිළිබඳව මා තුළ සැකයක් තිබුණි. ඔවුන්ගේ ව්යාපාරය තුළ ඔවුන් වැඩි වැදගත්කමක් ලබාදී තිබුණේ දේශපාලනයට නොව තුවක්කුවටය. ප්රභාකරන් හොඳ යුද නායකයකු වුවද හොඳ දේශපාලන නායකයකු නොවීය. රනිල් වික්රමසිංහ ආණ්ඩුව එල්ටීටීඊය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම නිර්භීත අත්හදා බැලීමක් ලෙස පෙනුණද එහි අත්දැකීම් ආශ්රයෙන් කරුණු සලකා බලන විට පෙනී ගියේ එය ප්රතිපක්ෂ නායකයන් දෙදෙනා විසින් ආත්මාර්ථකාමී සැඟවුණු අරමුණු ඇතිව ඇතිකරගන්නා ලද අවස්ථාවාදී එකඟත්වයක් වන බවය. අගමැති රනිල් වික්රමසිංහ එයින් අපේක්ෂා කළේ එම ගිවිසුමේ පිහිටෙන් ඊළඟ ජනාධිපතිවරණය තෙක් අගවිනිසුරු ධුරයේ එල්ලී සිටීමය. එම ගිවිසුම නිසා ඔහුගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හැරීමක් කිරීමට ජාත්යන්තර ප්රජාව ඉඩ නොදෙනු ඇතැ”යි ඔහු විශ්වාස කළ බව පෙනේ. ඉන් ප්රභාකරන් ප්රකාශ කළේ තමන්ගේ තත්ත්වාකාර රාජ්යයට ශක්තිමත් නෛතික පදනමක් ලබාගනිමින් වඩා ශක්තිමත් අරගගයක් සඳහා සූදානම්වීමට කාලවේලාව ලබාගැනීමය. ප්රභාකරන් දේශපාලන වශයෙන් කල්පනා කරන්නට ශක්තිය තිබුණු ප්රඥාවන්ත නායකයකු වී නම් සටන් විරාම ගිවිසුමත් සමග ප්රතිපක්ෂයෙන් කරන බලවත් ඉල්ලීමක් නැතිව පවා සිය ව්යාපාරය නිරායුධ කොට ආයුධ සන්නද්ධ අරගලය මුළුමනින් අත්හැරිය යුතුව තිබුණි. එසේ කළේ නම් ඔහු සේම ඔහුගේ ව්යාපාරයද අපරාජිත වන්නට ඉඩ තිබුණි. විජේවීරද 1988දී ජේ.ආර්. ජයවර්ධන දෙන ලද අවස්ථාව ප්රයෝජනයට ගනිමින් ආයුධ සන්නද්ධ අරගලය අත්හරින්නට සමත් වී නම් ඔහුද අපරාජිත නායකයකු බවට පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් එම දේශපාලන ප්රඥාව ඔහුටද නොපෙනුණේය. දෙදෙනාම කල්පනා කළේ මෙතරම් දුරක් ජයග්රාහී ලෙස ඉදිරියට පැමිණ තිබුණු තත්ත්වයක් තුළ එම සටන තවදුරටත් ඉදිරියටම ගෙනියනවා විනා ආයුධ සන්නද්ධ අරගලය අත්හැරිය යුත්තේ ඇයිද කියාය. දකුණු අප්රිකානු කොංග්රසය නියම මොහොතේදී ආයුධ සටන් අත් නොහැරියේ නම් ඔවුන්ට ජයග්රාහීවීමට හැකියාව නොතිබුණේය.
විජේවීරට සේ ම ප්රභාකරන්ටද හරි දේශපාලන තක්සේරුවක් කිරීමේ හැකියාව නොතිබුණි. ඔවුන් දෙදෙනාම මහජන බලය වෙනුවට වැදගත් කොට සලකන ලද්දේ තුවක්කුවේ බලයයි. ඔවුන්ගේ විනාශකාරී පරාජයන් කෙරෙහි බලපෑ ලොකුම සාධකය එය විය.
1988 ජනාධිපතිවරණයේදී විජේවීරගේ කියවීම වූයේ මහජන අප්රසාදයට පත්ව තිබුණු ආණ්ඩුවක් තවදුරටත් බලයට පත්වන අවස්ථාවක් බවට පත්කරමින් එම පරාජය නිසා යන එන මං නැති තත්ත්වයකට පත්වන විපක්ෂයේ ජනතාවගේද සහාය ඇතිව කැරැල්ල ජයග්රාහී තැනකට ගැනීමය. එහෙත් එම අවස්ථාවේදී සිදුවිය යුතුව තිබුණු ආණ්ඩු පෙරළියකට බාධා කිරීම නිසා විරුද්ධ පක්ෂවලට සම්බන්ධ ජනයා තමන්ට ආණ්ඩු වෙනසක් ඇති කරගැනීමට තිබුණු අවස්ථාව නැති කළ පුද්ගලයකු ලෙස සලකා විජේවීරගේ කැරැල්ල මර්දනය කිරීමට තමන් අකමැති ආණ්ඩුවට අනුබල දෙන පිරිසක් බවට පත්විය. ඒ තැන් සිට විජේවීරගේ කැරැල්ල පරාජය කළ යුතුයි කියන අදහස ආණ්ඩු පක්ෂයට පමණක් සීමා නොවූ විරුද්ධ පක්ෂයද පිළිගන්නා පොදු අදහසක් බවට පත්විය. එම තත්ත්වය විජේවීරගේ ව්යාපාරයේ පරාජය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේය.
2005 ජනාධිපතිවරණයේදී ප්රභාකරන් කළේද ඊට සමාන මෝඩකමකි. ඔහු රනිල් වික්රමසිංහ පරාජය කිරීමට දායක වූයේ ඒ නිසා බලයට පත්වන මහින්ද රාජපක්ෂ පරාජය කිරීම වඩා පහසු වනු ඇතැ”යි කල්පනා කිරීම නිසාය. එම වැරදි තක්සේරුව නිසා සිදුවූයේ ඔහු ඔහුගේ ව්යාපාරය මුළුමනින් විනාශයට පත්වීමය.
ප්රභාකරන් සමග තීරණාත්මක යුද්ධයකට අවතීර්ණ වන අවස්ථාව වනවිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්රභාකරන්ට එරෙහිව තීරණාත්මක යුද්ධයකට අවතීර්ණ වනවා හැර තෝරා ගැනීමට අන් සාධාරණ විකල්පයක් නොතිබුණි. ප්රභාකරන්ගේ ඉලක්කය වී තිබුණේ ඊලමක් නොවේ නම් කොන්ෆෙඩරේෂනයන් තත්ත්වයකි. ඉන් මෙපිට කිසිවකට එකඟ නොවන තත්ත්වයකය.
එහෙත් ප්රභාකරන්ගේ ව්යාපාරයට එරෙහිව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබූ යුද්ධය සමහර අය තුළ ව්යාකූලභාවයක් ඇති කොට තිබුණි. එජාපයේ උපාය මාර්ගික අරමුණ වී තිබුණේ යුද්ධය නිසා ඇතිවන ව්යාකූල තත්ත්වය ප්රයෝජනයට ගෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කොට තමන්ගේ ආණ්ඩුවක් ඇති කරගැනීමය. එම පක්ෂයට යුද්ධය පිළිබඳ යතා තක්සේරුවක් නොතිබුණි. ආරම්භ කොට තිබුණු යුද්ධයට පරාජය වනවා මිස ජයග්රාහී වීමේ හැකියාවක් ඇතැ”යි එම පක්ෂය විශ්වාස නොකළේය. යුද්ධය අතරමැද ජාත්යන්තර මැදිහත්වීමක් ඇතිවීමද නොවැළැක්විය හැකිවනු ඇතැ”යි ඔවුන්ගේ විශ්වාසය වී තිබුණි. ඇතිවන මේ ඕනෑම තත්ත්වයක් ප්රයොජනයට ගෙන ඉක්මනින් බලයට පත්වීම එම පක්ෂයේ දේශපාලන අභිලාෂය විය. ඔවුන්ගේ ගණන් බැලීම් අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් තීරණාත්මක අවස්ථාවකදී විරුද්ධ පක්ෂයට ගැනීමේ හැකියාව චන්ද්රිකාට තිබුණි. ඒ තත්ත්වය තුළ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු ආණ්ඩුවක් ඇති කරගැනීමේ ඇත්ත හැකියාවක් එජාපයට තිබෙන්නේය.
එය යථා තක්සේරුවක් නොවූවද අත ළඟ සිදුවන ආණ්ඩු පෙරළියක් ගැන ඔවුන් සිහින දැක්කේය. යුද්ධය එම සිහිනය සැබෑ කරන වැදගත් සාධකයක් ලෙසද ඔවුන් සැලකුවේය. ඒ නිසා යුද්ධයට එරෙහිව හඬ නැගීම ඒ අරමුණ දිනාගැනීම සඳහා අත්යවශ්ය වැදගත් කොන්දේසියක් ලෙසද ඔවුන් සැලකුවේය. විවිධ හේතු නිසා යුද්ධයට එකඟ නැති විවිධ පුද්ගලයන් හා සංවිධාන ගණනාවක්ද මෙම යුද්ධ විරෝධී ව්යාපාරය තුළ එකතු වී සිටියේය.
මෙය තීරණාත්මක යුද්ධයක් පවතින අවස්ථාවක මොනම රටකවත් සාමාන්යයෙන් දක්නට නොලැබෙන විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. යුද්ධයක් ප්රකාශ කැරුණු අවස්ථාවකදී රීතියක් ලෙස විරුද්ධ පක්ෂ හෝ ජනමාධ්ය පැත්තකට වී එහි හොඳ නරක කතා කරනවා මිස එම යුද්ධයට එරෙහිව ක්රියාකාරී ලෙස හඬ නගන තැනකට යන්නේ නැත. ජේවීපී දෙවැනි කැරැල්ලේදී 1998 ජනාධිපතිවරණයෙන් පසුව ආරක්ෂක හමුදා ජේවීපීයට එරෙහිව කරන සටනට බාධා කරන ප්රතිපත්තියක් කවර දේශපාලන පක්ෂයක්වත් අනුගමනය කළේය. ජනමාධ්යවේදීන් අනුගමනය කළ ප්රතිපත්තිය එයම විය.
ඊට පෙර එල්ටීටීඊයට එරෙහිව දියත් කැරුණු වඩමරච්චි මෙහෙයුමේදීද කිසිදු දේශපාලන පක්ෂයක් ඊට එරෙහිව ක්රියාකාරී ලෙස හඬ නගන තැනකට ගියේ නැත. ජනමාධ්යවේදීන් අනුගමනය කළ ප්රතිපත්තිය එය විය.
ඉන්පසු චන්ද්රිකා පාලන කාලයේදී දියත් කැරුණු මෙහෙයුම්වලදීද දේශපාලන පක්ෂ හා ජනමාධ්යවේදීන් අනුගමනය කළ ප්රතිපත්තිය එය විය.
යුද්ධයක් පවතින අවස්ථාවක එවැනි සම්මුතිවාදී ප්රවේශයක් අවශ්යවන්නේ රටක සිදුවන යුද්ධයකට අවහිර කරන ප්රතිපත්තියක් එම යුද්ධය අවුල් කිරීමට හේතුවී රටද අවුල් ජාලයකට ඇද වැටෙන තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසාය. අනෙක් අතට යුද්ධයකට යන යුද හමුදාවක් ප්රකෝප කරන තත්ත්වයක් ඇති වුවහොත් ඒ නිසා ඇතිවිය හැකි ප්රතිචාරද විනාශකාරී ප්රතිඵල ඇති කිරීමට හේතුවන නිසාය.
යුද විරෝධී මෙම ව්යාපාරයේ මෙම ප්රවේශය රටේ දේශපාලන චිත්රය වඩා උද්වේග කිරීමටත්, සංකීර්ණ කිරීමටත් හේතුවිය. ආණ්ඩුව යුද්ධ කරන අතර විරුද්ධ පක්ෂයට ආණ්ඩුව පෙරළීමට තිබෙන හැකියාව නැති කිරීම සඳහා විරුද්ධ පක්ෂයේ මන්ත්රීන් විශාල පිරිසක් ආණ්ඩුවට එකතු කරගන්නා පිළිවෙතක් අනුගමනය කළේය. මෙම ප්රතිපක්ෂ දෙකේ ප්රතිවිරුද්ධ ප්රවේශයන් දෙක එකිනෙකා කෙරෙහි වෛරයෙන් හා ක්රෝධයෙන් බලන තත්ත්වයක් ඇති කළේය. විරුද්ධ පක්ෂයද මෙම විශේෂ මොහොතෙහිදී ආණ්ඩුවේ ප්රතිරූපය ජාත්යන්තර වශයෙන් කෙළසන විට ආණ්ඩුවද ඔවුන් සම්බන්ධයෙන් සිත්පිත් නැතිව ක්රියාකරන තත්ත්වයක් පවත්වාගෙන ගියේය.
මෙම ව්යාකූලභාවය රාවයට රාවයේ පාඨකයන්ටද බලපෑවේය. රාවයද යුද්ධයකදී සාමාන්යයෙන් අනුගමනය කැරෙන පිළිගත් ප්රතිපත්තියට පටහැනිව දැඩි යුද්ධ විරෝධී හා ආණ්ඩු විරෝධී ප්රතිපත්තියක පිහිටා ක්රියා කළේය. සමහර වාර්තා කිරීම් හා විග්රහ කිරීම් සාධාරණ නොවූ අතර ඉතාමත් අන්තවාදී වීයැ”යි කිව හැකිය. එහිදී මාගේ ස්ථාවරය රාවය ජනප්රිය ස්ථාවරයට වඩා වෙනස් විය. මා ඒ මොහොතේ යුද්ධය දැක්කේ යුක්තිසහගත යුද්ධයක් ලෙසය. එල්ටීටීඊය පරාජය කළ හැකි පරාජය වන යුද්ධයක් ලෙසය. රාවය අනුගමනය කරන ප්රතිපත්තිය ගැන මට විවේචනයක් තිබුණු අතර ඒ ගැන වන අභ්යන්තර සාකච්ඡා හා සංවාදද තිබුණි. යුද විරෝධී ආණ්ඩු විරෝධී දැඩි ස්ථාවරයක පිහිටා ක්රියාකරන අය සිය ස්ථාවරය අත්හැරීමට කැමති නොවූ අතර එය බලයෙන් යටපත් කිරීමේ වුවමනාවක්ද මෙම නොතිබුණි. මා ඒ වෙනුවට කළේ එම මතවාදයන්ට එරෙහිව මාගේ පෑන හැසිරවීමය.
යුද්ධය අවසන් වන විට දේශපාලන තලයේ යුද්ධයට පක්ෂ හා යුද්ධයට විපක්ෂ යන පිල් දෙකටම බොහෝ හානි සිදුවී තිබුණි. යුද විරෝධී ව්යාපාරයේ ක්රියාකාරීත්වය ආණ්ඩුවේ ප්රතිරූපය දුර්වර්ණ කොට ජාත්යන්තර අතපෙවීම් උග්රකිරීමට හේතුවී තිබුණි. යුද විරෝධී ව්යාපාරයටද බරපතළ හානි සිදුවී තිබුණේය. එක ජනමාධ්යවේදියෙක් මරණයට පත්ව තිබුණු අතර තවත් ගණනාවක් පහරදීම්වලට ලක්ව තිබුණි. තවත් පිරිසක් රට අතහැර පලා ගොස් තිබුණි. මෙම උද්වේගකර තත්ත්වය මෙම දෙපක්ෂය එකිනෙකා කෙරෙහි දැඩි වෛරයකින් බලන තත්ත්වයක් නිර්මාණය කර තිබුණි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය සඳහා වන ජනාධිපතිවරණය පැවතෙන්නේ මෙම වෛරසහගත බෙදීම ගල්ගැසුණු තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවකදීය. මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට ඒ සියලුදෙනාට අවශ්ය වී තිබුණු අතර සමහර ජාත්යන්තර බලවතුන්ටද අවශ්යව තිබුණේය. ජනාධිපතිවරණය එකවිට එම දෙපක්ෂය හොඳින් එකට එකතු වී වැඩ කරන තත්ත්වයක් ගොඩනැගී තිබුණි.
අපේක්ෂා කරළියට ගැනීම ජවිපෙ විසින් කරන ලද දෙපක්ෂය බව බැලූ බැල්මට පෙනෙන තත්ත්වයක් තිබුණද ඒ තුළ ජාත්යන්තර බලවේගයන්ගේ අදිසි අතක්ද තිබුණි. එජාප නායක රනිල් වික්රමසිංහට මහින්ද පරාජය කළ නොහැකි බව ඒ සියලුදෙනා පොදුවේ දරන ලද මතය විය. ඔවුන් ඒ සඳහා තෝරාගන්නා ලද්දේ මහින්ද රාජපක්ෂගේ ජනප්රිය පදනමට අභියෝග කළ හැකි යුද වීරයෙකි.
යුද්ධය විජයග්රාහී ලෙස අවසන් කිරීමෙන් පසු හමුදාවේ ශක්තියෙන් බලයට පත්වීමේ අදහසක් මෙම ජනරාල්වරයාටද තිබුණේය. ඒ බව පෙනෙන්නට වූ විට මහින්ද ඔහුට එම අරමුණ කරා යන්නට ඉඩ නුදුන්නේය. ඉන්පසු ඔහු ඒ අරමුණ වෙනස් ආකාරයකින් ඉටුකර ගැනීමට උත්සාහ කළේය.
ජෙනරාල් ෆොන්සේකා මහින්දට විරුද්ධව තරග කරන අපේක්ෂකයා වීම නිසා මෙම ප්රතිපක්ෂය අතර තිබෙන වෛරය තීව්ර කළේය. එක්සත් ජාතික පක්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය දක්වා වන සියලුම විරුද්ධ පක්ෂ බලවේගයන් තමන් වටා ඒකරාශී කරගැනීමට ජෙනරාල් සමත්වුවත් ජෙනරාල්ට හෝ විරුද්ධ පක්ෂ නායකයන්ට මහජන මතය පිළිබඳව යථා තක්සේරුවක් නොතිබුණි. ලැබුණු දැවැන්ත ඒ කිසිවකුටත් අදහාගත නොහැකි විය. ඔවුන් හිත හදාගත්තේ මැතිවරණ ප්රතිඵලය පරිගණක වංචාවක් ලෙස ප්රකාශ කිරීමෙනි.
ජනාධිපතිවරණයේදීද මෙම බෙදීම රාවය කෙරෙහි සේ ම රාවය පාඨකයන් කෙරෙහිද බලපෑවේය. මා ක්රියාකාරී ලෙස මෙම බල අරගලයට සම්බන්ධ නොවූවද මෙම උද්වේගකර තරගයෙන් මහින්ද පහසු ජයක් ලබාගනු ඇති බව මගේ තක්සේරුව විය. යුද බිමේ සිට උණු උණුවේ තරග බිමට එන ජෙනරාල්වරයකු ජයගන්නවාට වඩා මහින්ද රාජපක්ෂ ජයගැනීමට සාපේක්ෂ වශයෙන් රටේ යහපතට හේතුවනු ඇති බව මගේ මතය විය.
මෙම ප්රතිපක්ෂ දෙක අතර සිදුවූ උද්වේගකර සටන් නිසා මෙම දෙපක්ෂය අතර ඇතිවී තිබෙන වෛරය රටේ ඉදිරි ගමනට තිබෙන ලොකු බාධාවක් ලෙස සැලකිය හැකිය. එය අවශ්ය වෙනස්කම් දිනාගැනීමට තිබෙන ලොකුම බාධකය ලෙසද සැලකිය හැකිය. මෙම දෙපක්ෂය එකිනෙකා කෙරෙහි වෛරයෙන් තොරව සාධාරණ ලෙස කරුණු සලකා බලන තැනකට ගන්නේ කෙසේද යන ප්රශ්නයද විසඳාගත යුතුව තිබෙන ලොකු ප්රශ්නයක් ලෙස සැලකිය හැකිය. දේශපාලන ක්රමයේ වෙනසක් දිනාගත හැකි ඓතිහාසික තත්ත්වයක් රටේ ඇතත් මෙම දෙපක්ෂය අතර තිබෙන සැකය හා වෛරය ඊට බාධා කරන වැදගත් කොන්දේසියක් ලෙස ක්රියා කරයි. මෙම තත්ත්වය එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට රාවය කෙරෙහි සේ ම රාවය පාඨකයන් කෙරෙහිද බලපා තිබේ. රාවයේ දක්නට තිබෙන විශේෂත්වය වන්නේ වෙනස්කම් තිබියදී එක පොදියක් ලෙස ක්රියාකිරීමට රාවයට තිබෙන හැකියාවය.
දේශපාලන තලයේ ප්රධාන මාර්ගවල නායකයන් එක වේදිකාවකට ගෙන ශ්රී ලංකාව මුහුණ දී තිබෙන අබියෝගයන් ගැන කතා කරන තැනකට ගිය එක හේතුවක් වන්නේද වෛරයෙන් තොරව සාධාරණව කරුණු සලකා බලන තැනකට යන්නට ඔවුන් පොළඹවාලීම සඳහාය. රටේ ඇත්ත යථාර්ථය ඔවුන්ට පෙනෙනු ඇත්තේ වෛරයේ කණ්ණාඩිවලින් තොරව පියවි ඇසකින් කරුණු සලකා බලන තත්ත්වයකට යෑමෙන් පමණය.
සරල ආණ්ඩු පෙරළි දේශපාලනයකට වැඩි වැදගත්කමක් මෙම ඓතිහාසික මොහොතේදී ක්රමය වෙනස් කරන දේශපාලනයකට ලබාදීමේ වැදගත්කම දේශපාලන නායකයන්ට සේ ම රටටද අවධාරණය කිරීම 25 වැනි සැමරුමේ එක් වැදගත් පරමාර්ථයක් විය. එය රටේ එක තැනක පල්වෙමින් තිබෙන දේශපාලන විවාදය අලුත් තැනකට ගැනීමට දරන ලද උත්සාහයක් ලෙසද සැලකිය හැකිය. ඒ අරමුණ වෙනුවෙන් තර්කානුකූල අවසානයක් දක්වා ක්රියාකිරීම රාවයේ අධිෂ්ඨානයයි.