පටිසෝතගාමී හා විප්ලවකාරී ළදරු වලිප්පුව

March 11, 2012
Publication:
Replying to Gamini Viyangoda's criticism of Ravaya's anniversary, Ivan apologises to guests, including Chitrasena's widow Vajira, who were distressed by the security checks, which he says could not be avoided once the President was invited. The real objection, he argues, is to the President's presence and to Ravaya's call for reform under this government. Rajapaksa's regime, like its predecessors, is corrupt, wasteful and arbitrary, but it is not a dictatorship: it can be changed at elections, and a reorganisation of the political system needs the consent of both government and opposition. The critics' insistence on waiting until the regime falls looks radical but is extreme and reactionary, and he asks why such a group has been pushed to that position.

රාවය 25 වැනි සංවත්සරය ගැන ගාමිණී ලියා තිබූ විවේචනයට ඇතුළත් අවසාන කරුණ ගැන මට ඔහු සමග එකඟ විය හැකිය. උත්සව පරිශ්‍රයට ඇතුළු වන අප පරීක්ෂාවට ලක්කිරීමේදී කිසියම් පුද්ගල පිරිසක් පීඩාවට ලක්වී ඇත්නම් ඒ ගැන ඔවුන්ට මාගේ අවංක කනගාටුව පළකරමි. ගාමිණී ඒ ගැන දන්නා දේවල් එහි ලියා තිබුණි. ඔහුගේ සටහනට ඇතුළත් නොවන කරුණක්ද මට අසන්නට ලැබුණි. ශ්‍රී ලංකාව බිහිකළ ශ්‍රේෂ්ඨතම නර්තනවේදියා ලෙස සැලකිය හැකි චිත්‍රසේන ශූරීන්ගේ බිරිඳ වජිරාටද සිත්වේදනා ඇති කරන අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවී තිබුණු බව මට අසන්නට ලැබුණි. එහෙත් එම තත්ත්වය කලාතුරකින් කිහිපදෙනකුට හැර පොදුවේ හැම කෙනකුටම මුහුණ දෙන්නට සිදුවූ තත්ත්වයක් ලෙසද සැලකිය නොහැකිය. පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය මෘදු තත්ත්වයක තබාගැනීම සඳහා රාවයේ නියෝජිතයන් දෙදෙනකද එම ස්ථානයට යොදන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය අප වෙත දන්වා එවා තිබුණි. එම කාර්යය මෘදු තත්ත්වයක තබාගැනීම ඔවුන්ගේද අපේක්ෂාව වූ බව ඉන් පෙනීයයි. එහෙත් කිසියම් අවස්ථා කිහිපයකදී හෝ සිත්වේදනා ගෙන දෙන දේවල් සිදුවී තිබෙන බව පෙනේ.

ඔවුන් පරීක්ෂාවට ලක්කරන්නට සිදුවී තිබුණේ කිහිපදෙනකු නොව විශාල පිරිසකි. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දක්වා තිබෙන ගාන්ධිග්‍රාමී නිදර්ශනය 70 දශකයට වලංගු වුවත් නයින් ඉලෙවන් සිද්ධියෙන් පසු එය නූතන ලෝකයට වලංගු නැත. ඉන්දියාවේ සංචාරක හෝටල්වලට ඇතුළුවීමේදී පවා ඇතුළුවන්නන්ගේ ශරීර පරීක්ෂා කරන ක්‍රමයක් ඉන්දියාවේ ක්‍රියාත්මක වේ. මෙම උත්සවයට ජනාධිපතිවරයා සහභාගි කරවා ගැනීමට අවශ්‍ය වූයේ අපටය. උත්සවයට සහභාගිවන්නන් පරීක්ෂාවට ලක් නොකළ යුතුයි කියන දැඩි ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් අපට නොතිබුණි. දැන් යුද්ධය අවසන් වී ඇති නිසා ජනාධිපතිවරයාට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නැතැ”යි කිව නොහැකිය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සහභාගි වන වෙනත් උත්සවවලදී ජංගම දුරකතන රැගෙන යෑමට ඉඩ දෙන්නේ නැතත්, මෙම උත්සවය සඳහා එම අයිතිය ලබාදී තිබුණි. පීඩාකාරී හැඟීම් ඇති කරන සිද්ධීන් කිසියම් පුද්ගල පිරිසකට මිස පොදුවේ සියලුදෙනා කෙරෙහි බලනොපෑවේය. පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන් සියලුදෙනාට නැවත අප අපගේ අවංක කනගාටුව පළ කරමු.

රාවයේ ප්‍රවේශය

ගාමිණී වියන්ගොඩ කෙරෙන් පළවී තිබෙන විරෝධය කෙරෙහි සේ ම උත්සවයට සහභාගිවීමෙන් වැළකී ආපසු ගිය කිහිපදෙනාගේද විරෝධයට බලපා තිබෙන ඇත්ත හේතුව ලෙස සැලකිය හැක්කේ රාවය එම උත්සවයට ජනාධිපතිවරයා සහභාගි කරවා ගැනීමය. සමහරවිට ඔවුන්ට ජනාධිපතිවරයා නරකම වර්ගයේ ඒකාධිපති නායකයකු ලෙස පෙනෙන නිසා එසේ කළා විය හැකිය. ජනාධිපතිවරයාට හා ඔහුගේ පාලනයට එල්ල කළ හැකි බරපතළ චෝදනා හා විවේචන ඇතත් ඔහු ඒකාධිපති පාලකයකු ලෙස සලකා ක්‍රියාකිරීමේ හැකියාවක් අපට නැත. එවැනි ප්‍රවේශයක් රටේ පවතින අර්බුදයට වැරදි මානයක් ලබාදෙයි. රටේ තිබෙන්නේ ඒකාධිපති පාලනයක් නම් දේශපාලන ප්‍රතිසංවිධාන වැඩසටහනට මේ රටේ ඉඩක් තිබිය නොහැකිය. දේශපාලන ප්‍රතිසංවිධාන වැඩසටහනකට ආණ්ඩුවේ අනුමැතිය සේ ම විරුද්ධ පක්ෂවල අනුමැතියද තිබිය යුතුය. එය මහජනයා සමග එකතු වී දේශපාලන නායකයන් පොළඹවා ගනිමින් දිනාගත යුතු විශේෂ තත්ත්වයකි. රටේ පවතින්නේ ඒකාධිපති පාලනයක් නම් එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනකට ඉඩක් තිබිය නොහැකිය. එවැනි වැඩසටහනක් දිනාගැනීමට සිදුවන්නේ ඒකාධිපති පාලනය පරාජය කිරීමෙන් පසුවය.

තිබෙන දේශපාලන ක්‍රමය දූෂිත හා අවුල්සහගත වුවද එය ඒකාධිපති ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. රාජ්‍ය නායකයා තෝරාගන්නේ මහජන ඡන්දයෙනි. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය තීරණය කරන්නේද මහජනයාය. ජනාධිපතිවරයාගේ හොඳ නරක කුමක් වුවත් ඔහු මහජන ඡන්දයෙන් තේරී පත්වූ මහජන නායකයකු ලෙස මිස ඒකාධිපති නායකයකු ලෙස සැලකිය නොහැකිය. ඒකාධිපතිත්වය හා ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය එකක් නොව වෙනස් දෙකකි.

රටේ තිබෙන්නේ ඒකාධිපති පාලනයක් නම් එය පරාජය කළයුත්තේ මහජන විප්ලවයකිනි. එහෙත් රටේ පවත්නා ආණ්ඩුක්‍රමය තුළ ජනාධිපතිවරයා පරාජය කළහැක්කේ ජනාධිපතිවරණයකදී පමණය. එසේ නැතිනම් එය දෝෂාභියෝගයකින් කළ යුතුය. නීති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේද නායකයාද වන නිසා නීති සම්පාදන ක්‍රියාවලිය කෙරෙහි ඔහුද බලපායි. ඒ නිසා දේශපාලන ප්‍රතිසංවිධානයක් සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්තද තීරණාත්මක වැදගත්කමකින් යුතුය.

රාජ්‍ය විරෝධී කැරලි තිබෙන අවස්ථාවක දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කළ නොහැකිය. ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග දේශපාලන ක්‍රමයේ මූලික ප්‍රතිසංවිධානයක් සඳහා අවශ්‍ය ඓතිහාසික අවස්ථාව දැන් එළඹ තිබේය යන්න අපේ තක්සේරුවයි. දේශපාලන ක්‍රමයද ඉදිරියට යා නොහැකි තරමට ගරාහැලෙන තත්ත්වයකට පත්ව තිබෙන අතර ආයතන ක්‍රමය කෙරෙහි වන මහජන විශ්වාසයද විශාල ලෙස බිඳ වැටෙ තත්ත්වයකට පත්ව තිබේ යන්න අපේ විශ්වාසයයි. උදාවී තිබෙන මෙම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කුණුවී තිබෙන දේශපාලන ක්‍රමය මුළු එකක් වශයෙන් ගෙන ප්‍රතිසංවිධානය කරන අතර එම ක්‍රියාවලිය තුළ ජනවර්ග ප්‍රශ්නයටද සියලුදෙනාගේ විශ්වාසයට හේතුවන ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතුය යන්න අප දරන මතයයි. එය ශ්‍රී ලංකාව නැවත ප්‍රතිනිර්මාණය කැරෙන සංකීර්ණ දේශපාලන ක්‍රියාවලියකි.

එවැනි ප්‍රතිසංවිධාන වැඩසටහනක අවශ්‍යතාව රටේ නායකයන්ට ඒත්තු ගන්වන අතර එවැනි වැඩසටහනක අවශ්‍යතාව මහජනතාවද ඒත්තු ගන්වමින් එවැනි සටහනක් සඳහා මහජන බලපෑම් ඇති කරන මහජන මතයක් වෙනුවෙන් ක්‍රියාකිරීම අපගේ අරමුණ වීයැ”යි කිව හැකිය. එවැනි වැඩසටහනක් සාර්ථක කරගත හැක්කේ ඒ සඳහා වන බලවත් මහජන මතයක්ද ඇති කරමින් ඒ සඳහා දේශපාලන නායකයන්ද පොළඹවා ගැනීමට සමත් වේ නම් පමණය. එවැනි වැඩසටහනකට යොමුවීම මගින් දේශීය ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නව ශ්‍රී ලංකාවක් ප්‍රතිනිර්මාණය කළහැකි වන අතර ජාත්‍යන්තර වශයෙන් එල්ල වී තිබෙන බාධා ඒ මගින් ජයගත හැකිය.

එවැනි වැඩසටහනකට මුල්ගල තැබීම සංවත්සර වැඩසටහනේ ප්‍රධාන අරමුණවීයැ”යි කිව හැකිය. ජනාධිපති ඇතුළු ප්‍රතිපක්ෂ නායකයන් එම උත්සවයට සම්බන්ධ කරගැනීමට අපට අවශ්‍ය වූයේ එවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ඔවුන්ගේ සහභාගිත්වය වැදගත් වූ නිසාය. එවැනි පුංචි දෙයකින් පමණක් ඊට සහභාගි වන සියලු නායකයන් ඊට වහාම පොළඹවා ගතහැකිවේයැ”යි සිතන තරම් මනෝරාජික තත්ත්වයක අප නොසිටි බවද කිව යුතුය. අප එහිදී බලාපොරොත්තු වූයේ සංකේතාත්මක වැදගත්කමක් ඇති ආරම්භයක් පමණය.

ඒ සියල්ල එසේ තිබියදීත් එහි සුළු ප්‍රමාණයකින් වුවත් නිහඬ ආකාරයකින් හෝ සිදුවූ විරෝධය පළකිරීම් එම උත්සවය කඩාකප්පල් කිරීමට දරන ලද උත්සාහයක් ලෙස අප සලකන්නේ නැත. හිතට එකඟ නොවන දෙයක් නිහඬව ඉවසාගෙන සිටින ප්‍රතිපත්තියකට වඩා විරෝධය පළකරන ප්‍රතිපත්තියක් යහපත්ය. ඒ අර්ථයෙන් ඒ සියලුදෙනා එම උත්සවය වර්ණවත් කළේයැ”යි කිව හැකිය. විරුද්ධ වූවන් කවුද, ඔවුන් එසේ විරුද්ධ වූයේ ඇයිද කියන ප්‍රශ්නය දැන් සාකච්ඡාවට ලක් කරන තැනකට අපට යා හැකිය. ඔවුන් පළ කරන ලද විරෝධය ආරම්භ කළ සංවාදයට අලුත් මානයක් ලබාදී තිබෙන්නේයැ”යි කිව හැකිය. දැන් අපට එම සංවාදය සියලුදෙනාගේ හදවත්වලට දැනෙන සජීවී තැනකින් ආරම්භ කළ හැකිය.

විරෝධයේ අත්තිවාරම්

ගාමිණී වියන්ගොඩට සේ ම සංවත්සරය වර්ජනය කළ කිහිපදෙනාගේද ජනාධිපතිවරයාගේ සහභාගිත්වය පමණක් නොව, මෙම අර්බුදය ජයගැනීම සඳහා රාවය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිසංවිධාන ප්‍රවේශයද විරෝධයට හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. ඔවුන් කල්පනා කරන බව පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය තිබෙන තාක් එවැනි දේකට අත නොගැසිය යුතු බවය. එවැනි දේකට අතගසනවා නම් අතගැසිය යුත්තේ රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙන් පසුව පමණක් බවය.

ඔවුන්ගේ එම ප්‍රවේශය බැලූ බැල්මට සටන්කාමී හා විප්ලවකාරී ලෙස පෙනී යාහැකි වුවත්, එය අන්තගාමී වනවා සේ ම ප්‍රතිගාමීය. මෙම රෙජීමයේ ගති ලක්ෂණ අඩු වැඩි වශයෙන් මෙම දේශපාලන ක්‍රමය යටතේ මීට පෙර පැවති රෙජීමයන්ගේ ගතිලක්ෂණවලට සමානය. හොඳ පැත්තක් තිබෙනවා සේ ම නරක පැත්තක්ද තිබෙන්නේය. වඩා වැදගත් නරක ගති ලක්ෂණ නම් මෙම රෙජීමය මීට පෙර පැවති හැම රෙජීමයක් සේ ම දූෂිතය. නාස්තිකාරය. අත්තනෝමතිකය. පීඩාකාරීය. එහෙත් එය ඒකාධිපති රෙජීමයක් ලෙස සැලකිය නොහැකිය. එය වෙනස් කිරීමට මහජනයාට අවශ්‍ය නම් ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී එය වෙනස් කළ හැකිය. සිදුවන වැරදිවලට විරෝධය පළකිරීම් අවශ්‍ය වුවත් රෙජීමයේ වෙනසක් අවශ්‍ය නම් එය වියයුත්තේ මහපාරේ කැරෙන අරගලවලින් නොව මැතිවරණවලදී මහජන ඡන්දයෙනි. මෙම විරෝධයේ සිටින කණ්ඩායම සංඛ්‍යාවෙන් කුඩා විය හැකි වුවත්, ඔවුන් අයත් විශේෂිත සමාජ වටාපිටාව, දේශපාලන තලය කෙරෙහි ඔවුන්ට බලපෑ හැකි ප්‍රමාණය පුංචි නැත. රටේ පවතින අර්බුදයට ඔවුන් දෙන මානය විනාශකාරීය. ඒ මානය රටේ පවතින ඇත්ත දේශපාලන චිත්‍රය විකෘති කරයි. ඒ නිසා අපේ ප්‍රවේශය ඉදිරියට ගැනීම සඳහා ඔවුන් දෙන මානයට ලැබෙන වැදගත්කම බිඳ දැමීම අත්‍යවශ්‍යය. එසේම මෙම පුද්ගල කණ්ඩායම ප්‍රකෘති සිහියෙන් ක්‍රියාකරන තැනකට ගැනීමද වැදගත්ය. සමහරවිට එම අවශ්‍යතා දෙකම ජයගැනීමට හැකිවනු ඇත්තේ මෙම විරෝධතා කණ්ඩායමක් අන්තවාදී තැනකට තල්ලු කිරීමට බලපා තිබෙන හේතු සාධාරණව සලකා බලන තැනකට යෑමෙනි.