2009 වසර හා දේශපාලන අංක ගණිතය

January 4, 2009
Publication:
Ivan opens 2009 expecting the global collapse to hit Sri Lanka hard. The year begins with the Golden Key crisis dragging the rest of Ceylinco's finance companies down, tea, cinnamon and rubber in unprecedented difficulty, and smallholders who once earned well unable to live. War spending for 2009 is 177 billion rupees, and the country must fight through an economic crisis it cannot abandon the war to escape. At Kilinochchi the army advances slowly through bunds, trenches and traps, its target the LTTE's war machine rather than territory. Meanwhile a run of court rulings against the government, above all on fuel prices, had trapped it politically — until it escaped by cutting fuel, gas and official expenses in one package worth 16 billion rupees, and put the opposition on the defensive instead. Ranil is the better mathematician; Mahinda is the better political arithmetician.

2009 වසර, ලෝකයේ ඇතිවී තිබෙන ආර්ථික බිඳ වැටීම ශ්‍රී ලංකාව කෙරෙහි වඩාත් නරක ලෙස බලපෑ හැකි වසරක් ලෙස සැලකිය හැකිය. නව වසර එළැඹුණේ ද රටේ ප්‍රමුඛ හා විශාලතම ව්‍යාපාරික ආයතනයක් වන සෙලින්කෝ ව්‍යාපාරය අතිවිශාල අර්බුදයකට තල්ලු කරමිනි. ගෝල්ඩන් කී සමාගමෙන් ආරම්භ වූ අර්බුදය දැන් සෙලින්කෝ ව්‍යාපාරයට අයත් වෙනත් මූල්‍ය සමාගම් ද අර්බුදයට යවන තත්ත්වයක් නිර්මාණය කොට තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීමට අසමත් වෙතොත්, මෙම රැල්ල සෙලින්කෝ ව්‍යාපාරයෙන් පිටස්තර වෙනත් මූල්‍ය සමාගම් කෙරෙහි ද බලපෑ හැකිය. තේ, කුරුඳු, රබර් යන අපනයන වගාවන් තිබෙන්නේ වෙන කවරදාවත් නොවූ තරම් අතිවිශාල අර්බුදයකය. කලක් සරු ආදායම් ඉපැයූ කුඩා තේ වතු හිමියන් තමන්ගේ එදිනෙදා ජීවිත පවත්වාගෙන යා නොහැකි අසරණ තත්ත්වයකට පත්ව සිටිති. GSP+ සහනය තාවකාලික වශයෙන් හෝ ආරක්ෂා වී ඇතත්, ලෝක ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම ඇඟලුම් අපනයනයෙන් උපයන ආදායම් කිසියම් විශාල ප්‍රමාණයකට හීන කිරීමට හේතුවිය හැකිය.

තෙල් මිල පහත වැටීමේ ප්‍රවණතාව නොකඩවා ඉදිරියට ගියහොත් මැදපෙරදිගින් ලැබෙන සංක්‍රාම ආදායම් ද හීන කිරීමට හේතුවිය හැකිය. රටේ විදේශ වත්කම් වාෂ්ප වන තත්ත්වයක් ඇතිවුවහොත් රටේ ආර්ථිකය වඩා අවුල්සහගත තත්ත්වයකට පත්විය හැකිය. එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන්නට සිදුවී තිබෙන්නේ අවාසිදායක ආර්ථික වටාපිටාවක් මැද්දේය. නැතිනම් රටට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ එල්ටීටීඊයට එරෙහිව කෙරෙන මහා යුද්ධයක බර ද කරගසාගෙනය. 2009 වසරේ යුද වියදම රුපියල් කෝටි 17,710 කි. රටේ ආර්ථික අර්බුදයක් තිබුණ ද ඒ නිසා යුද්ධය අතරමග අත්හැරීමේ හැකියාවක් රටට නැත. කිලිනොච්චියේ කෙරෙමින් තිබෙන යුද්ධය ද රටට තීරණාත්මකය. 2008 වසර අවසන් වන විටත් කිලිනොච්චිය හා මුලතිව් අල්ලා ගනිමින් එල්ටීටීඊ විරෝධී යුද්ධය අවසන් කිරීමට නොහැකි වී තිබීම ගැන විවිධ විවේචන හා විග්‍රහ පළවෙමින් තිබුණ ද, එල්ටීටීඊයට තිබූ විශාල ආධිපත්‍යය විශාල ප්‍රමාණයකට හකුළුවාලමින් එල්ටීටීඊය බිත්තියට හේත්තු කරන තැනකට තල්ලු කිරීමට ආරක්ෂක හමුදා සමත් වී තිබේ.

කිලිනොච්චියේදී කරන්නට සිදුවී තිබෙන සටන මෙතෙක් කරන ලද අන් හැම සටනකටම වඩා දෙපක්ෂයටම තීරණාත්මකය. එහෙත් යුද්ධය තාමත් ගමන් ගනිමින් තිබෙන්නේ එල්ටීටීඊයේ වාසියට හේතුවන ලෙස නොව, ආරක්ෂක හමුදාවල වාසියට හේතුවන ලෙසය. දැන් භූමියේ වාසිය ඇත්තේ එල්ටීටීඊයටය. ආරක්ෂක හමුදාවන්ට සටන් කරන්නට සිදුවී තිබෙන්නේ එල්ටීටීඊය තමන්ගේ ආරක්ෂාව සඳහා තනන ලද දැවැන්ත පස් තාප්ප, යුද අගල් හා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව අටවන ලද මර උගුල් මැද්දේය. ඉදිරියට යන ගමනේ වේගයේ අඩුවක් හා සිදුවන හානිවල ප්‍රමාණයේ වර්ධනයක් ඇතත්, ආරක්ෂක හමුදා හෙමින් හෙමින් වුවත් ඉදිරියට ඇදී යනවා මිස ආපසු හැරී පලායන තත්ත්වයක් ඇතිවී නැත. ආරක්ෂක හමුදා එල්ටීටීඊ ආධිපත්‍යය යටතේ තිබූ භූමියෙන් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ඇතත්, ඔවුන්ගේ ඉලක්කය භූමිය නොව එල්ටීටීඊයේ යුද යාන්ත්‍රණයයි. එල්ටීටීඊයේ පිටකොන්ද කැඩීම යුද්ධයේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.

එහි සාර්ථක අසාර්ථකභාවය තීරණය කෙරෙනු ඇත්තේ ප්‍රධාන කොට කිලිනොච්චියේදීය. එල්ටීටීඊය හා එහි හිතවාදීන් තමිල්නාඩු සාධකය කෙරෙහි ඇති කරගෙන තිබූ බලාපොරොත්තු සඵල වූයේ නැත. අනෙක් අතට මෝසම් වැසි නිසා යුද්ධයේ මුහුණුවර තමන්ගේ වාසියට හේතුවන ලෙස වෙනස් වනු ඇති බවට එල්ටීටීඊය ඇති කරගෙන තිබූ බලාපොරොත්තුව ද සඵල නොවීය. ආර්ථික අර්බුද මැද යුද්ධ කරන අතර, ඒ සමග ආණ්ඩුවට ප්‍රතිපක්ෂ සමග ඡන්ද අරගලයක ද නිරතවන්නට සිදුවී ඇත්තේය. ඊට අතිරේකව අධිකරණය හා විධායකය අතර පවතින ගැටුම ද සමස්ත චිත්‍රය වඩා සංකීර්ණ කිරීමට හේතුවී තිබුණි. ප්‍රතිපක්ෂ පළාත් සභා ඡන්ද සටනට අවතීර්ණ වූයේ ආණ්ඩුව ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට තල්ලු කරමිනි. එය විරුද්ධ පක්ෂ සිය ශක්තියෙන් දිනාගන්නා ලද දෙයකට වඩා අධිකරණය විසින් විරුද්ධ පක්ෂයට ලබාදෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

අධිකරණය විසින් ආණ්ඩුවට එරෙහිව දිගින් දිගට දෙන ලද තීන්දු නිසා ආණ්ඩුව ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකටත්, විරුද්ධ පක්ෂ පහර දෙන තත්ත්වයකටත් තල්ලු කර තිබිණි. අධිකරණය ආණ්ඩුවට එරෙහිව දෙන ලද තීන්දු අතරින් දේශපාලන අර්ථයෙන් ආණ්ඩුවට ඉතාමත් විනාශකාරී බලපෑමක් ඇති කිරීමට හේතුවී තිබුණේ පෙට්‍රල් මිල පිළිබඳව දෙන ලද තීන්දුවයි. එහිදී අධිකරණය විසින් දෙන ලද තීන්දුව යම් දේශපාලන අරමුණක් ඇතිව දෙන ලද තීන්දුවක් ලෙස සලකා එයට අවනත නොවී ඉඳීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබුණ ද එය ජනතාවට සහන ලබාදෙන තීන්දුවක් වීම හේතු කොටගෙන තීන්දුවට එරෙහිව යන ප්‍රතිපත්තියක් ජනතාව අතර ආණ්ඩු විරෝධී හැඟීම් උත්සන්න කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබුණි. මෙසේ ආණ්ඩුව පහසුවෙන් ගැලවිය නොහැකි දේශපාලන උගුලකට හසුවී සිටියේය. එහෙත් සියලුදෙනාගේ විස්මයට හේතුවන ලෙස ආණ්ඩුව තමන් අසුවී සිටි උගුලෙන් ගැලවී තමන් උගුලට අසු කළ සියලුදෙනා හසුවන ප්‍රතිඋගුලක් ඇටෙව්වේය.

ඒ මගින් ප්‍රතිපක්ෂ නැවත ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලු කරමින් ආණ්ඩුව පහර දෙන තත්ත්වය අත්පත් කරගත්තේය. ආණ්ඩුව අධිකරණය දෙන ලද නියෝගයට අවනත නොවී පොදුවේ පෙට්‍රල් මිල සොච්චමකින් (රුපියල් දෙකකින්) අඩු කොට ත්‍රීරෝද සඳහා පමණක් ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කළේය. ඊට අතිරේකව අධිකරණ නියෝගයක් නැතිවම ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කළේය. ඊටත් අතිරේකව ලාෆ් ගෑස් මිල රුපියල් 276 කින් ද, ෂෙල් ගෑස් මිල රුපියල් 166 කින් ද අඩු කොට ආණ්ඩුවේ තනතුරුලාභීන්ට දරන වියදම් ද 25% ක් පමණ කපා හැරියේය. මේ සහන පොදිය වෙනුවෙන් දරන්නට සිදුවන වියදම රුපියල් බිලියන 16 කි. වයඹ හා මධ්‍යම යන පළාත් සභා දෙක ජයගන්නවාට අතිරේකව ඉක්මන් මහඡන්දයක් ඉදිරියට ගෙන එය ජයගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගික ඉලක්කය වී තිබෙන බව පෙනේ. ශුද්ධ ගණිතයේදී රනිල් විශාරදයෙකි.

එහිදී මහින්දගේ දැනුම ඉතා දුප්පත්ය. එහෙත් දේශපාලන ගණිතයේදී රනිල්ගේ දැනුම දුප්පත්ය. එහිදී මහින්ද විශාරදයෙකි. දෙසැම්බර් 29 වැනිදා තෙක් ආණ්ඩුව සිටියේ ආරක්ෂාව සඳහා සටන් කළයුතු තත්ත්වයකය. විරුද්ධ පක්ෂ සිටියේ අවසානයේ ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත්, ආත්ම විශ්වාසයකින් යුතුව ඡන්ද සටන ආරම්භ කළ හැකි තැනකය. එහෙත් දැන් ආණ්ඩුව සිටින්නේ වාසිදායක තැනකය. විරුද්ධ පක්ෂ සිටින්නේ ආරක්ෂාව සඳහා සටන් කළයුතු තැනකය. මෙම පළාත් සභා ඡන්ද දෙකේ ප්‍රතිඵල ඊළඟට පැවැත්වෙන මහ ඡන්දය කෙරෙහි ද බලපායි. ආණ්ඩුව පසුගිය ජනාධිපතිවරණයේදී ද මධ්‍යම පළාත පරාජය විය. මෙම පළාත් සභා මැතිවරණයේදී එම ජය රැක ගැනීමට එජාපයට හැකිවේද? එස්.බී. දිසානායක මධ්‍යම පළාතේ මහ ඇමති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට එජාපයට සිටි හොඳම පුද්ගලයාය. එස්.බී. ඡන්දයට ආවේ අහම්බෙනි. ඔහු අවලංගු කාසියක් බවට පත් කර තිබුණු අධිකරණය විසින්ම ඔහු වලංගු කාසියක් බවට පත් කළේය.

ඔහු මධ්‍යම පළාත ජයගැනීමට සමත් වෙතොත්, එජාපය තුළ ඊළඟට වැඩියෙන්ම දිදුලන දේශපාලන තාරකාව බවට පත්වනු ඇත්තේ ඔහුය. එම සාධකය මෙම මැතිවරණයේදී ඔහුගේ වාසිය පිණිස සේ ම, අවාසිය පිණිස ද ක්‍රියාකරනු ඇත්තේය. එසේම ඔහු එහිදී ලබන පරාජයත් ඔහු දේශපාලනයේදී නැවත අවලංගු හෝ වටිනාකමක් නැති කාසියක් බවට ද පත්කළ හැකිය. මෙම පළාත් සභා දෙකේ මැතිවරණ ප්‍රතිඵල උත්සන්න වන ආර්ථික අර්බුදයක් මැද පවත්වන්නට නියමිත ඊළඟ මහා ඡන්දය කෙරෙහි බලපානු ඇතිවා සේ ම, යුද පෙරමුණේ ලබන ජය පරාජයන් ද මෙම මැතිවරණ දෙක කෙරෙහි බලපානු නොවැළැක්විය හැකිය.

Editor’s Note

Published 4 January 2009. The article treats the battle for Kilinochchi as still undecided, but the town fell to the army on 2 January, two days before publication — the piece was evidently written before that news. The GSP Plus concession is described as temporarily preserved; it was suspended the following year. S.B. Dissanayake, whose civic disqualification arose from a contempt conviction, stood as the UNP’s Central Province chief ministerial candidate at the provincial elections held in February 2009.