වඩා වැදගත් කවුද?

May 11, 2008
Publication:
Ivan discovered on a Friday that most of Ravaya's ten-member editorial board are Marxists of one school or another. From there he argues the case against: the socialist experiments that failed, Pol Pot's regime killing people for wearing sunglasses, Wijeweera's two attempts at armed seizure — and sets against them the India Gandhi made, the largest democracy on earth, beside which he thinks Marx looks small.

මාක්ස් ද? ගාන්ධි ද?

මාක්ස්ගේ ඉගැන්වීම්වලට අනුව යමින් සමාජවාදී ලෝකයක් බිහිකිරීමට දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක වී මාක්ස්ගේ නාමය මනෝරාජික දර්ශනවාදීන්ගේ නාමලේඛනයට එකතු වී දැන් දශක ගණනාවක් ගතවී ඇතත්, මාක්ස්වාදී සැදැහවතුන් අතර, මාක්ස්ට තිබුණු පිළිගැනීම තවමත් මුළුමණින් බිඳ වැටී නැත. රාවයේ කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් විවිධ ගුරු කුලවලට හෝ නිකායවලට අයත් මාක්ස්වාදී සැදැහැවතුන් බව මම හරියටම තේරුම් ගත්තේ පසුගිය සිකුරාදාය. රාවයේ කර්තෘ මණ්ඩලය කුඩාය. එහි සාමාජිකයන් ගණන 10කි. පසුගිය සිකුරාදා පැවති කර්තෘ මණ්ඩල සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ගැන කතා කළෙමු. එහිදී සංවාදයට ලක්වූයේ විවිධ වේශයන්ගෙන් කරලියට පැමිණි සමසමාජ හෝ විමුක්ති ව්‍යාපාරයන්ගේ අසාර්ථකභාවය ගැනය. එම අසාර්ථක අත්දැකීම්වලින් හරි පාඩම් ඉගෙන ගත් දේශපාලන ව්‍යාපාරයක් ඇතිවීමෙන් තොරවම රටේ සමස්ත දේශපාලන ක්‍රමය ගරා හැලෙමින් තිබෙන ආකාරය ගැනය.

එම සාකච්ඡාවේදී කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගෙන් කිසියම් පිරිසක් තමන් දරන අදහස් පළකරන්නට වූහ. අදහස් පළකිරීමකින් තොරව නිශ්ශබ්දව බලා සිටි පිරිසක් ද වූවේය. එහෙත් ඔවුන් අතර ද සමහරෙක් කටින් අදහස් පළ නොකළ ද ඇස්වලින් අදහස් පළ කළ බවක් පෙනෙන්නට තිබුණි. යුක්තිසහගත රටක් ගොඩනැගීමේදී වඩා වැදගත් වන්නේ ජනතාව වුවත්, ආයුධවලට ලැබෙන වැදගත්කම ද මුළුමණින් ප්‍රතික්ෂේප කළ නොහැකි බව කෙනෙකු කීවේය. ආයුධ ප්‍රමුඛ නැතත්, රාජ්‍යය සමග කරන ගනුදෙනුවේදී ආයුධ වැදගත් වන බව ඔහු කීවේය. සීතල යුද්ධයක් පැවති යුගයේ රටට ටොන් ගණනින් ගලා ආ මාක්ස්වාදී පොත්පත්වලින් කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ ඔළු කුරෝලු වී ඇති බව මා කී විට තව කෙනෙකු කීවේ වැරැද්ද ඇත්තේ මාක්ස්වාදී පොත්වල නොව, ඒ පොත් කියවා තේරුම් ගත් ආකාරයේ බවය. මාක්ස්වාදී ඉගැන්වීම් මත පිහිටා ගොඩනගන ලද යහපත් රටක් පිළිබඳ එකම උදාහරණයක් හෝ දිය හැකි දැයි මා ප්‍රශ්න කළ විට ඊට දෙන ලද පිළිතුර වූයේ ඒ සඳහා දිය හැකි එකම ආදර්ශයක්වත් නැති වුවත්, ඒ නිසා පමණක් මාක්ස් අවලංගු නොවන බවය.

මාක්ස්වාදය අදට වලංගුද යන ප්‍රශ්නය අළලා රාවය ප්‍රසිද්ධ විවාදයක් ආරම්භ කළ යුතු බව තව කෙනෙකු කීය. යුක්තිය පිළිබඳ හැඟීම්බර මිනිසුන් පිරිසක් රාවයේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් වී සිටීම ගැන මට සතුටු විය හැකිය. එහෙත් අනෙක් අතට මට වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ යල් පැනගිය න්‍යාය වාදයක් කරපින්නාගත් පිරිසක් සමඟය. මාක්ස්ගේ ලෝකය අවලංගු වී දශක ගණනාවක් ගතවී ඇතත්, තවමත් මගේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් කිසියම් පිරිසක් හෝ ලෝකය දකින්නට උත්සාහ කරන්නේ මාක්ස්වාදී දෘෂ්ටි කෝණය මත පිහිටාය. මා ද විජේවීරගේ අසාර්ථකභාවය පළමුවෙන් දකින්නට උත්සාහ කළේ ඊට සමාන ආකාරයකටය. විජේවීරට දක්ෂතා තිබුණේය. එහෙත් ඔහු කවර මට්ටමකින්වත් ගැඹුරින් කරුණු හදාරා සන්සුන් ලෙස සියලු කරුණු සලකා බැලීමෙන් පසු තමන් ජීවත් වූ පුංචි රට වෙනස් කිරීමට උත්සාහ දරන ලද පුද්ගලයෙකු නොවීය.

මා දන්නා තරමට ඔහු ගැඹුරින් කියවූ පුද්ගලයෙකු නොවීය. ඔහු හැමවිටම ගනුදෙනු කරන්නට උත්සාහ කළේ වැඩි දැනුමක් ඇති අත්දැකීම් ඇති මිනිසුන් සමඟ නොව, අඩු දැනුමක් ඇති අත්දැකීම් නැති ගැටවරයන් සමඟය. ඔහු තමන්ට ඇති සීමිත දැනුමෙන් අඩු දැනුමක් තිබූ තරුණ තරුණියන් විශ්මයට පත් කළේය. අපි බොහෝ දෙනෙකු ඔහු හඳුනාගෙන තිබුණේ දුර්වල වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස නොව, වෛද්‍යවරයෙකු වෙන්න ආසන්න තත්ත්වයක සිටියදී විප්ලවය වෙනුවෙන් ඒ සියල්ල අත්හරිනු ලැබූ දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙසය. ඔහු සිය අනුගාමිකයන් ඉදිරියේ අනියම් ලෙස පෙනී සිටියේ භාෂා ගණනාවක් දන්නා භාෂා විශාරදයකු ලෙසය. අපේක්ෂා කළ අරමුණ වෙනුවෙන් ඇප කැපවීමේ ගුණය හැරුණු විට දැනුමෙන් ඔහු කොතරම් පුංචි මිනිසකු ද යන්න සමකාලීනයන් බොහෝ දෙනෙකු තේරුම් ගත්තේ ඔහු සමග සිරගෙදර එකට ජීවත් වූ යුගයේදීය. කැරැල්ලේ පරාජයෙන් පසුව පළමු අදියරේදී මාගේ විශ්වාසය වූයේ කැරැල්ලේ පරාජය ප්‍රචණ්ඩ විප්ලවය පිළිබඳ මාක්ස්වාදී න්‍යායේ ඇති වරදක් ලෙස නොව, විජේවීරගේ ඉගැන්වීම්වල ඇති වරදක් ලෙසය.

මා විජේවීර අත්හැර ඒ වෙනුවට මාඕ තෝරා ගත්තෙමි. එහෙත් මාඕ කියවන්නට වූ විට ඉක්මණින් මට මාඕ එපා විය. මම මාඕ අතහැර ඒ වෙනුවට ට්‍රොස්කි තෝරා ගත්තෙමි. ට්‍රොස්කිගේ ස්වයං චරිතාපදානය කියවූ විට මා තුළ ඇති වූ හැඟීම වූයේ ට්‍රොස්කි ද ස්ටාලින්ගේම වඩා දියුණු අවතාරයක් පමණක් වන බවය. ස්ටාලින් පෝරිසාදයකු ලෙස සැලකෙතත්, ස්ටාලින් නිර්මාණය කරන්නේ ලෙනින්ය. ලෙනින්ගේ ප්‍රියතම විශ්වාසවන්තයා වූයේ ස්ටාලින්ය. ඔහු ලෙනින් කියන හැම දෙයක්ම ප්‍රශ්න කිරීමකින් තොරවම අනුමත කළේය. ඒ නිසා ලෙනින්ගේ විශ්වාසවන්තම සගයා වූයේ ස්ටාලින්ය. ලෙනින්ගේ විප්ලවය හෝ විජේවීරගේ විප්ලවය අතර මට ප්‍රමාණාත්මක වෙනසක් මිස ගුණාත්මක වෙනසක් පෙනෙන්නේ නැත. එසේම ලෙනින් වැන්නෙකු හා විජේවීර අතර ද ප්‍රමාණාත්මක වෙනසක් මිස, ගුණාත්මක වෙනසක් පෙනෙන්නේ නැත. මාක්ස් ඇති මිනිසාගේ පැවැත්ම තුළ නැති මිනිසා තුළ ඇති අසහනය දේශපාලන බලය සඳහා ප්‍රයෝජනයට ගත් නායකයෙකි.

ඔහු කම්කරු පන්තියේ විමුක්තිය පිණිස ධනපති පන්තිය භංග කරන පිළිවෙතක් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුට අනුව සියලු වටිනාකම් නිපදවන්නේ කම්කරුවන්ය. ධනපතියා යනු කම්කරුවන් නිපදවන වටිනාකම් අයථා ලෙස භුක්ති විඳින පරපුටුවෙකි. මෙම පරපුටු ක්‍රමය භංග කිරීමත්, කම්කරු පන්තිය රජ කරන වඩා සාධාරණ නව ලොවක් ඇති කළ හැකි වෙතැයි ඔහු විශ්වාස කළේය. මාක්ස්ගේ මේ අදහස්වලට ලෝකයේ විශාල පිළිගැනීමක් තිබුණු යුගයක් තිබුණි. මාක්ස්ගේ ලෝකය දිනාගැනීම සඳහා කෙරුණු අත්හදා බැලීම් වෙනුවෙන් මරණයට පත්වූ අයගේ ප්‍රමාණය මිලියන සිය ගණනක් විය හැකිය. සෝවියට් දේශයේ නිලධාරිවාදී විකෘති කිරීම් තිබියදීත්, තිබුණු පැරණි ක්‍රමය විනාශ කිරීමෙහිලා සෝවියට් දේශය ගොස් තිබෙන දුර අනුව නැවත එහි පැරණි ධනපති ක්‍රමය ඇතිවීමට ඉඩක් නැති බවට අයිසෙක් ඩොයිස්චර් තර්ක කළේය. එහෙත් ඩොයිස්චර්ගේ ගණන් බැලීම් සැබෑ වූයේ නැත.

සමාජවාදී ක්‍රමය වාෂ්ප වී දැන් බොහෝ කල්ය. සමාජවාදී ක්‍රමයේ ඇද වැටීමත් සමග මාක්ස්ගේ ඉගැන්වීම්වලට ලැබෙන වැදගත්කම ද වාෂ්ප විය. සමාජවාදී ආවේගයන් විවිධ ස්වරූපයන්ගෙන් මතුවීමට ඉඩක් ඇතත්, දේශපාලන ක්‍රමයක් වශයෙන් ස්ථාපිත වීමේ හැකියාවක් ඊට නැත. මාක්ස්වාදයේ එන සියලු අදහස් අතරින් බලය අල්ලා ගැනීම සඳහා ක්‍රියාවට නැගිය යුතු ප්‍රචණ්ඩ අරගලය පිළිබඳ න්‍යාය වඩාත්ම විනාශකාරී අදහස ලෙස සැලකිය හැකිය. මාක්ස්ට අනුව රාජ්‍ය බලය ඇත්තේ ධනපති පන්තිය අතේය. සමාජවාදී රාජ්‍යයක් සඳහා ධනපති පන්තිය අත තිබෙන රාජ්‍ය බලය උදුරා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, ඒ අරමුණ ජයගත හැක්කේ ප්‍රචණ්ඩ අරගලයක් මගින් පමණය. ප්‍රචණ්ඩ විප්ලවය පිළිබඳව මාක්ස්ගේ න්‍යාය වාදය වඩාත් තර්කානුකූල හා හැඟීම්බර ස්වරූපයකින් සූත්‍රගත කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ලෙනින්ය. එම සූත්‍රය පළමු වරට සාර්ථක ලෙස ක්‍රියාවට නගන ලද පුද්ගලයා වන්නේ ද ලෙනින්ය.

ලෙනින්ට අනුව තිබෙන ආණ්ඩු ක්‍රමයන්ගේ බාහිර ස්වරූපයන් කුමක් වුවත්, ධනපති ක්‍රමයක් තුළ තිබිය හැක්කේ ධනපති පන්තියේ ආඥාදායකත්වයක් පමණය. ධනපති පන්තියේ ආඥාදායකත්වය ප්‍රචණ්ඩ විප්ලවයක් මගින් පරාජය කොට නිර්ධන පන්තිය ආඥාදායකත්වයක් ගොඩනැගිය යුතුය. ඒ අරමුණ වෙනුවෙන් ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂය බලය ලබාගැනීමේ අරගලයේදී සුළු පරිමාණයෙන් ද බලය ලබාගැනීමෙන් පසු මහා පරිමාණයෙන් ද පන්ති සතුරන් ඝාතනය කළේය. ධනපතින් පමණක් නොව, සිය පාලනයට එරෙහිව ගිය සාමාන්‍ය ගොවීන් පවා ලක්ෂ ගණනක් ඝාතනය කළේය. ලෙනින්ගේ එම ව්‍යාපෘතියම ඊට වෙනස් ආකාරයකින් මාඕ සේතුංද චීනයේ සාර්ථක ලෙස ක්‍රියාවට නගන ලදී. චීනයේ බලය අල්ලා ගැනීමෙන් පසු මාඕගේ කමියුනිස්ට් පක්ෂය අතින් මිලියන ගණනක් ඝාතනයට ලක්විය. සමාජවාදී රාජ්‍යයක් සඳහා කරන ලද සියලු අත්හදා බැලීම් අතරින් කාම්භෝජයේ පොල්පොට් කරන ලද අත්හදා බැලීම වඩාත්ම ම්ලේච්ඡ අත්හදා බැලීම ලෙස සැලකිය හැකිය.

අවසානයේදී පොල්පොට් රිජීමය අව් කණ්ණාඩි පළඳින හා ලස්සන ඇඳුම් අඳින මිනිසුන් පවා පන්ති හතුරන් ලෙස සලකා ඝාතනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය අල්ලා ගැනීමට නොහැකි වුව ද, ආයුධ සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඔවුන් දරන ලද වියරු උත්සාහයන් සැලකිය හැක්කේ ද සමාජවාදී රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා දරන ලද අසාර්ථක උත්සාහයක් ලෙසය. මට පෙනෙන අන්දමට අයුක්තිය පරාජය කිරීම සඳහා කරන අරගලයක් සඳහා තෝරාගත හැකි සටන් ක්‍රම දෙකක් පවතී. මාක්ස්වාදයේ එන ප්‍රචණ්ඩ අරගල න්‍යාය ඒ සඳහා තිබෙන එක් සටන් ක්‍රමයකි. ගාන්ධිගේ අවිහිංසාවාදී අරගල න්‍යාය ඒ සඳහා තිබෙන අනෙක් විකල්ප සටන් ක්‍රමය වේ. මාක්ස් අපට හඳුන්වා දී තිබෙන සටන් ක්‍රමය අනුව සන්නද්ධ බලය මත පදනම් වූ ප්‍රති පක්ෂය සන්නද්ධ බලයෙන්ම පරාජය කළ යුතුය.

ඒ අරගලයේදී ඔබට ප්‍රතිපක්ෂය මරා දැමීමේ අයිතිය හිමිවන්නේය. පන්ති වෛරය සැලකෙන්නේ විප්ලවවාදියා තුළ තිබිය යුතු යහපත් ගුණධර්මයක් ලෙසය. එහෙත් ගාන්ධිගේ අවිහිංසාවාදී සටන් ක්‍රමය තුළ වෛරයට, මනුෂ්‍ය ඝාතනයට තබා මොනම හිංසාවකටවත් ඉඩක් නැත. ඔබ ඔබේ ප්‍රතිවාදියාට වෛර නොකළ යුතුය. ඔබේ ප්‍රතිවාදියා මුදා හරින හිංසාවට යටත් නොවිය යුතු වුවත්, හිංසනයට හිංසාවෙන් පිළිතුරු නොදිය යුතුය. හිංසාවට පිළිතුරු දිය යුත්තේ අවිහිංසාවෙනි. ඔබ ඔබේ ප්‍රතිවාදියාට එරෙහිව සටන් කරන ක්‍රමය තුළ යටත් නොවන අදීන බවක් පවත්වාගෙන යා යුතු වුවත්, ඔබ සටන් කරන ක්‍රමය ඔහු තුළ අභ්‍යන්තර වෙනසක් ඇති කිරීමට හේතුවිය යුතුය. ගාන්ධි ප්‍රචණ්ඩත්වය දැක්කේ විෂම චක්‍රයක් ලෙසය. ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයෙන් පරාජය කිරීම සඳහා වඩා විශාල ප්‍රචණ්ඩත්වයක් ඒකරාශි කොට මුදාහැරීමට සිදුවන්නේය.

එවැනි අරගලයක් දෙපක්ෂය කෙරෙහිම විනාශකාරී ලෙස බලපායි. අරගලයෙන් ඔබ ජය ලැබුව ද ඔබ ඒකරාශී කළ ප්‍රචණ්ඩත්වය ජයග්‍රහණයෙන් පසුව විසුරුවා හරින්නේ නැත. ඔබගේ ලැබූ ජයග්‍රහණය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා ඔබ එම ප්‍රචණ්ඩ බලය ආරක්ෂා කරගනිමින් හා වැඩි දියුණු කරගනිමින් පවත්වාගෙන යෑමට ඔබට සිදුවන්නේය. ඔබ ලැබූ ජයග්‍රහණයෙන් පසු ඔබ අයුක්තිසහගත වන අවස්ථාවකදී ඔබ පරාජය කිරීම සඳහා ද වඩා විශාල ප්‍රචණ්ඩ බලයක් ඒකරාශී කොට මුදාහැරීමට යුක්තිය වෙනුවෙන් පෙනී සිටින ඔබගේ ප්‍රතිපක්ෂයට සිදුවනු ඇත්තේය. අවසානයේ පහසුවෙන් ගැලවිය නොහැකි ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයකට ඔබ හසුවන්නේය. මනුෂ්‍ය ඝාතනයකදී ඝාතනයට ලක්වන්නේ ඝාතනයට ලක්වන පුද්ගලයා පමණක් නොවේ. එහිදී ඝාතකයා ද අධ්‍යාත්මික වශයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයකු බවට පත්වන්නේය. මරා දමනු ලැබූ පුද්ගලයා මියගිය පුද්ගලයකු බවට පත්වන විට ඝාතකයා ද අර්ධ වශයෙන් මරණයට පත්වූ පුද්ගලයකු බවට පත්වන්නේය.

ගාන්ධිගේ අවිහිංසාවාදී න්‍යායය තුළ අයුක්තියට එරෙහිව සටන් කරන පුද්ගලයා එම අරගලය කරන්නේ මනුෂ්‍ය වටිනාකම් ආරක්ෂා කරගනිමින් හා වර්ධනය කරගනිමිනි. එහෙත් මාක්ස්ගේ අරගල න්‍යාය ක්‍රියාවට නගන පුද්ගලයා ඒ අරගලය තුළ තමන් තුළ ඇති මනුෂ්‍ය වටිනාකම් අහිමි කරගනී. ගාන්ධිගේ අරගල න්‍යායය තුළ ගුණ යහපත් මිනිසකු ඇති කරන විට මාක්ස්ගෙ අරගල න්‍යාය තුළ වෛරයෙන් සටන් කරන සිත් පිත් නැති පෝරිසාදයකු ඇති කරයි. මාක්ස්ගේ සටන් ක්‍රමය සරලය. ප්‍රගුණ කිරීම පහසුය. ගාන්ධිගේ සටන් ක්‍රමය සංකීර්ණය. ප්‍රගුණ කිරීම ද දුෂ්කරය. මාක්ස්ගේ සටන් ක්‍රමය තුළ ඔබ ප්‍රතිපක්ෂය දෙස බලන්නේ වෛරයෙනි. ප්‍රති පක්ෂය පෙරළා ඔබ දෙස බලන්නේ ද වෛරයෙනි. එම සටන් ක්‍රමය තුළ පරිවර්තනයකට ඉඩක් ඇතත්, එය බලහත්කාරීය. පරිවර්තනයේ කල් පැවැත්ම දීර්ඝකාලීන නැත. එහිදී මහා පරිමාණයේ ලේ සෙලවීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

එහෙත් ගාන්ධිගේ සටන් ක්‍රමය තුළ ඔබ ප්‍රතිපක්ෂය දෙස බලන්නේ වෛරයෙන් නොවේ. එහිදී ප්‍රතිපක්ෂය ද ඔබ කෙරෙහි වෛරයක් ඇත්නම් ක්‍රමයෙන් එම වෛරය අත්හරිනු ඇත්තේය. එම අරගල ක්‍රමය තුළ මහා පරිමාණයේ ලේ සෙලවීම්වලට ඉඩක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා ඇතිවන පරිවර්තනය බලහත්කාරී නොවන වා සේ ම පරිවර්තනයේ කල් පැවැත්ම ද දීර්ඝකාලීනය. පසුගිය සිය වසර තුළ ලෝකයේ සිදුවූ දේශපාලන අත්හදා බැලීම අතර, ලෙනින් රුසියාවේ කරන ලද අත්හදා බැලීම හා ගාන්ධි ඉන්දියාවේ කරන ලද අත්හදා බැලීම සුවිශේෂ වැදගත්කමක් හිමිකර ගනී. ලෙනින් රුසියාවේදී මාක්ස්ගේ ප්‍රචණ්ඩ අරගල න්‍යාය ද, ඉන්දියාවේදී ගාන්ධි තමන්ගේ අවිහිංසාවාදී අරගල න්‍යාය ද අත්හදා බලන ලදි. ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණය විසින් මාක්ස්වාදයට විශාල වටිනාකමක් ලබාදෙමින් ලෝක බුද්ධිමතුන් කෙරෙහි ඇති මාක්ස්වාදී ආධිපත්‍යය තීව්‍ර කළේය.

ඔක්තෝබර විප්ලවයේ ආස්වාදයෙන් කිති කැවී සිටි ලෝකය ගාන්ධිගේ අවිහිංසාවාදී අත්හදා බැලීම දැක්කේ ඉතිහාසය ආපස්සට කර තබන්නට යත්න දරන අඩ නිරුවත් නූගත් මිනිසකුගේ මෝඩ උත්සාහයක් ලෙසය. ඉන්දියාව මාක්ස්ගේ ප්‍රචණ්ඩ අරගල මාවත තෝරා නොගත්තේ ගාන්ධි නිසාය. ඉන්දියාව ප්‍රචණ්ඩ අරගල මාවත තෝරා ගත්තේ නම්, ඉන්දියාව කැබලි වන්නට ඉඩ තිබුණේ රටවල් දෙකකට නොව රටවල් සිය ගණනකටය. නූගත් ඉන්දියාවට ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතියක් හඳුන්වා දෙන ලද්දේ ගාන්ධිය. ගාන්ධි මාක්ස්ගේ පන්ති අරගල න්‍යාය පිළි නොගත්තේය. ඔහු ධනපතින් දැක්කේ විනාශ කළ යුතු පිළිකාවක් ලෙස නොව, පවතින නිෂ්පාදන ක්‍රමය තුළ ඵලදායී කාර්යය භාරයක් ඉටු කරන පන්තියක් ලෙසය. ඔහු ධනපති පන්තියේ පැවැත්ම පිළිගන්නා අතරම, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. ඉන්දියාව ගොඩනගා ගත් දේශපාලන ක්‍රමය ගාන්ධි ඉන්දියාවේ ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියේ දියුණු ඵලයන් ලෙස සැලකිය හැකිය.

ගාන්ධි දේශනා කළ අදහස් වර්තමානයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් දේශනා කරන අදහස්වලට මුළුමණින් සමානය. ගාන්ධිගේ අවිහිංසාවාදී විප්ලවය නමැති ගර්භාෂයේ බිහිවූ ඉන්දියාවේ දේශපාලන ක්‍රමය ලෙනින්ගේ ප්‍රචණ්ඩ විප්ලවය නමැති ගර්භාෂයේ බිහිවූ සෝවියට් දේශපාලන ක්‍රමය මෙන් කඩා වැටීමකට ලක්වූයේ නැත. චීනයේ වාර්ෂික ආර්ථික වර්ධනය ඉන්දියාවට වඩා වේගවත් විය හැකි වුවත්, චීනය ඉදිරියට යමින් සිටින්නේ ඒකාධිපති ක්‍රමයක් කර තබාගෙනය. චීනයේ ආර්ථික වර්ධනයේ එක්තරා සීමාවකදී දේශපාලන අයිතිවාසිකම් සඳහා කෙරෙන අරගලවලට ගොදුරු විය හැකි අතර, ඒ නිසා ඇතිවිය හැකි ආරාවුල් නිසා ඉදිරියේදී චීන ආර්ථිකයේ කඩා වැටීමක් ඇතිවිය හැකිය. එහෙත් ඉන්දියාවේ ගමන හෙමින් හෙමින් වුවත්, ඉන්දියාව ගමන් කරන්නේ ස්ථාවර දේශපාලන ක්‍රමයක් සමග වන නිසා ඉන්දියාවේ අනාගතය මාඕ සේතුංගේ රතු චීනයේ අනාගතයට වඩා දීප්තිමත්ය.

ගාන්ධි බිහි කළ නූතන ඉන්දියාව ප්‍රමාණයෙන් සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට සමානය. ඇමරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හා බටහිර ලෝකයේ සියලු රටවල පවත්වන මැතිවරණයක් ඉන්දියාවේ පැවැත්වෙන මහ මැතිවරණයකට සමානය. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ සිටින විශාලතම සාමාජිකයා ලෙස සැලකිය හැක්කේ ඉන්දියාවය. ඉන්දියාවට එම හැඩය ලැබී ඇත්තේ ගාන්ධි නිසාය. ඉතිහාසයේ මාක්ස් රඟපෑ භූමිකාව දැවැන්ත වුවත්, ගාන්ධිගේ භූමිකාව ඉදිරියේ මාක්ස් පවා පුංචි මිනිසකු බවට පත්වන්නේය. මාක්ස් බලපෑවේ වර්තමානය කෙරෙහි පමණය. ඔහු අනාගතය කෙරෙහි බල නොපායි. එහෙත් ගාන්ධි වර්තමානය කෙරෙහිටත් වඩා අනාගතය කෙරෙහි බලපායි.