සෝමවංශ අමරසිංහ ජවිපෙ රැගෙන යන්නේ කොයිබටද?

December 2, 2001
Publication:
Ivan questions Somawansa Amarasinghe's fitness to lead the JVP. He recounts Amarasinghe's arrest in the botched 1971 plan to seize Sirimavo Bandaranaike and his switch from anti- to pro-Wijeweera views in prison, and cites Vas Tillekeratne's statement on Iraqi funding. He asks how Amarasinghe alone escaped in 1989, possibly helped by his relative Sirisena Cooray, notes the JVP's shifts towards the PA, and criticises a leadership drawn from his home district of Kalutara.

87 -89 කැරැල්ල මෙහෙය වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයන් අතරින් සෝමවංශ අමරසිංහ ජීවතුන් අතර සිටින එකම පුද්ගලයාය. ජනතා විමුක්ති පෙරමුණ වැනි ව්‍යාපාරයක නිල නායකත්වය ලැබීමට ඔහුට තිබෙන එකම සුදුසුකමද එයම විය හැකිය. ඔහු කවර මට්ටමකින්වත් දේශපාලන පක්ෂෂයක් මෙහෙයවීමේ ශක්තියක් ඇති පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. විජේවීරට තිබූ හිතවත්කම නිසා දේශපාලන මණ්ඩලයට ඒමට සමත් වුවත් ඔහු කවර මට්ටමකින්වත් විජේසේන විතාන (සනත්), ලයනල් බෝපගේ, උපතිස්ස ගමනායක, සමන් පියසිරී ප්‍රනාන්දු, ඩී.එම්. ආනන්ද, උපාලි ජයවීර වැනි විජේවීරට පමණක් දෙවැනි වූ නායකයින්ට සම කළ හැකි ශක්තිමත් දේශපාලන චරිතයක් ලෙස සැලකිය නොහැකිය. ඔහු කවර විටකවත් දේශපාලන න්‍යායවාදියකු, දක්ෂෂ කථිකයකු හෝ සංවිධායකයකු නොවීය. ජනතාව අතර හෝ සිය සාමාජිකයන් අතර ජීවත් නොවී විදේශගතව සිටිමින් ජනතා විමුක්ති පෙරමුණේ නිල නායකයා වශයෙන් පෙනී සිටියේය. එහෙත් ඒ ක්‍රමයෙන් පිටස්තර වී ජනතාව අතරට එන, පක්ෂෂය සමග ජීවත් වන ක්‍රියාමාර්ගයකදි ඔහුගේ නායකත්වය බරපතල ප්‍රශ්න කිරීමකට ලක්වීම නොවැළැක්විය හැකිය.

සෝමවංශ අමරසිංහ 71 කැරැල්ලට ප්‍රථම ජනතා විමුක්ති පෙරමුණට එකතු වී තිබුණේ සාමාන්‍ය අනුගාමිකයකු වශයෙනි. එකල ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික සහායකයකු විය. සෝමවංශ අමරසිංහගේ දේශපාලන ගුරුවරයා ලෙස සැලකිය හැකි පියසිරි කුලරත්න “තක්සලාවේ සිපිරි ගෙය” නමැති කෘතියේ සඳහන් කර තිබෙන අන්දමට අගමැතිනිය අත්අඩංගුවට ගැනීම සඳහා වන වැඩපිළිවෙලට සෝමවංශ අමරසිංහ සම්බන්ධ කරගෙන තිබුණේ ඔහුට තිබුණු රිය පැදවීමේ හැකියාව සලකාය.

71 කැරැල්ලේදි අගමැතිනි සිරීමාවෝ බණ්ඩාරනායක අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙල භාරවී තිබුණේ ශිෂ්‍ය අංශයටය. එක් පිස්තෝලයක්, කිරීච්චි පිහියක් හා අත්බෝම්බ කිහිපයක් ඇතිව රටේ අගමැතිනිය අත්අඩංගුවට ගැනීමේ මෙම මනෝරාජික වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමේ වගකීම භාරව තිබුණේ පියසිරී කුලරත්නටය.

පහරදිමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහා ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් වෙනස් මාර්ග දෙකකින් අගමැතිනිය ජීවත් වූ රොස්මිඩ් පෙදෙසේ නිවසට ඒමට නියමිතව තිබුණ. එහි එක් කණ්ඩායමක නායකයා වූයේ රාජා නිමල් නමැති මරදානේ ශ්‍රී සංඝබෝධි විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. සෝමවංශ අමරසිංහ ඇතුළත්ව සිටියේ එම කණ්ඩායමටය. එම කණ්ඩායම රැගෙන එන වාහනය පදවා ගෙන ඒමේ වගකීම පැවරි තිබුණේ සෝමවංශටය. කණ්ඩායම් දෙක වෙන් වෙන්ව එක් කණ්ඩායමක් ලිඩෝ සිනමා ශාලාවටද අනෙක් කණ්ඩායම රීට්ස් සිනමා හලටද ගොස් රාත්‍රී 9.30 චිත්‍රපට දර්ශනයට සහභාගී වෙමින් රාත්‍රී 11.00 ට වෙනස් මාර්ග දෙකක් ඔස්සේ රොස්මිඩ් ප්‍රදේශයට ඒමට නියමිතව තිබුණි.

එදින රාත්‍රී නිමල්, සෝමවංශ අමරසිංහ සහ සරත් කුමාර යන තිදෙනා බෝම්බ අඩංගු සූට් කේසයක්ද රැගෙන බොරැල්ලට පැමිණ පියසිරි වාහනයක් රැගෙන එනතෙක් බලා සිටියත් පියසිරීගේ නොපැමිණීම නිසා ඔවුහු ලිඩෝ සිනමා ශාලාවට පැමිණියහ. එහෙත් එදින උදයේ වැල්ලවාය පොලීසියට එල්ල කර තිබුණු පහරදිම නිසා සිනමා ශාලාවේ රාත්‍රී දර්ශනය අත්හිටුවා තිබුණි. එහි අසල සිටි පොලිස් නිලධාරීයෙක් සිය නිවෙස්වලට යන ලෙස ඔවුන් තිදෙනාගෙන් ඉල්ලා සිටියේය. ඉන් පසු නිමල් සිය මිතුරන් දෙදෙනා සමග කුලී රියක නැගී තමන් ජීවත් වූ ගල්පොත්ත වීදියේ අංක 61 දරන ස්ථානයේ පිහිටි බෝඩිමට පැමිණියේය.

එදින රාත්‍රී 11.30 ට පමණ පොලිස් පරික්ෂෂක බී.පී.ඒ. පෙරේරා යටතේ පැමිණි පොලිස් කණ්ඩායමක් එම නිවස වටලා මෙම චරිත තුන අත්අඩංගුවට ගත්තේය.

ඉන් පසු සෝමවංශ අමරසිංහ සිය මිතුරන් දෙදෙනා සමග කලක් රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ ්‍ය. වාට්ටුවේය. සෝමවංශ ඇතුළු ඒ තිදෙනාගේ ප්‍රියතම දේශපාලන ගුරුවරයා වී සිටියේ විරාජ් ප්‍රනාන්දුය. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ නාවික ඉංජිනේරුවෙකි. විජේවීරට යේමනයෙන් ආයුධ ලබාදිමට උත්සාහයක යෙදුණු පුද්ගලයෙකි. ඔහු විජේවීර හඳුනාගෙන තිබුණේ සුසිල් සිරීවර්ධන මගිනි. ඔහු අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේද විත්තිකරුවෙකු විය.. දැන් ජීවත්වන්නේ කැනඩාවේය.. උග්‍ර ට්‍රොට්ස්කි වාදියෙකු වූ ඔහු විජේවීර දැක්කේ මාක්ස්වාදි න්‍යාය පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා උන්නතිකාමී පුද්ගලයෙකු ලෙසය. සෝමවංශ අමරසිංහ විරාජ්ගේ දේශපාලන බලපෑමට නතුවී ්‍ය වාට්ටුවේ කල් ගෙවුවේ විජේවීර ගැන හාස්‍යයෙන් කතා කරන උග්‍ර විජේවීර

විරෝධියෙකු ලෙසය.

අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ප්‍රකාශ කිරීමත් සමග විජේවීර ඇතුළු මහනඩුවේ සැකකරුවන් ්‍ය වාට්ටුවට ගෙන ඒම සඳහා එහි සිටි මහනඩුවෙන් පිටස්තර සියලු දෙනා කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරු කරනු ලැබීය. ඒ සමග සෝමවංශ අමරසිංහද ඔහු සමග අත් අඩංගුවට ගන්නා ලද නිමල් හා සරත් ද මැගසින් බන්ධනාගාරයට යවනු ලැබීය. ඒ වන විට මැගසින් බන්ධනාගාරයේ දේශපාලන ආධිපත්‍යය තිබුණේ ජනතා විමුක්ති පෙරමුණටය. මැගසින් බන්ධනාගාරයේදි සෝමවංශ අමරසිංහද සිය විජේවීර විරෝධී හැගීම් යටපත් කරගෙන උග්‍ර විජේවීරවාදියෙක් බවට පත්විය. ඔහුගේ මේ ක්ෂෂණික වෙනස සෝමවංශගේ හිටපු දේශපාලන ගුරු ලෙස සැලකිය හැකි විරාජ් ප්‍රනාන්දුගේද හාස්‍යයට හේතු වී තිබුණි.

රොස්මිඩ් නඩුවෙන් නිමල්ට පස් අවුරුදු සිර දඬුවමක්ද සෝමවංශ අමරසිංහට තුන් අවුරුදු සිර දඬුවමක්ද නියම විය. තුන්වැන්නා වූ සරත් නඩුවේදි වරද පිළිගත්තේය.

77 දි එජාප බලයට පත්වීමෙන් පසු ජේ.ආර්. ජයවර්ධන විජේවීර ඇතුළු අත් අඩංගුවේ සිටි සිරකරුවන් මුදාහරීන ලද අතර ඒ සමග විජේවීර ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසියේය. නිදහසින් පසු විජේවීර ජේ.ආර්. ජයවර්ධන හමුවන්නට ද අමතක නොකළේය. ඒ කාලයේ විජේවීරට හෝ ජනතා විමුක්ති පෙරමුණට යූ.එන්.පී විරෝධයක් නොතිබුණ අතර ඔවුන්ගේ පරම දේශපාලන හැතිරිය වූයේ බණ්ඩාරනායක මැතිනියයි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු සියලු විරුද්ධ පක්ෂෂ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරිමේ වැඩ පිළිවෙලට එරෙහි වන විට එයට ක්‍රියාකාරි ලෙස ආධාර කළ එකම පක්ෂෂය වූයේද ජනතා විමුක්ති පෙරමුණය. ජවිපෙ ඒ සඳහා පත් කරන ලද කොමිසම ඉදිරියේ සාක්ෂෂි දුන්නේය. සාක්ෂෂි දෙන ආකාරය ගැන එජාප පත්කළ නීතීඥ මණ්ඩලය සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළේය. ශ්‍රී.ල.නි.ප.ය පොඩිපට්ටම් කිරීම සඳහා ශ්‍රීලනිපයේ “ගමනක අවසානය” නමින් රට පුරා ප්‍රචාරක රැස්වීම් පෙළක් පවත්වන ලද අතර ඔවුන්ගේ එම රැස්වීම් වැඩ පිළිවෙලට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උනන්දුවෙන් ආධාර කළේය. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ පවත්වන ලද රැස්වීමක් කඩාකප්පල් කිරීම සඳහා වේදිකාවට බෝම්බ ගසන අසාර්ථක උත්සාහයක් මෙහෙයවන ලද්දේ උපතිස්ස ගමනායක හා රාගම සෝමේ යන ජවිපෙ ක්‍රියාකාරිකයන් දෙදෙනාය. එම නඩුව යටපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට එදා සහාය වූයේ පසුකලෙක ඔවුන්ගේ පරම හතුරෙකු බවට පත් වූ ප්‍රේමදාස උඩුගම්පලය.

රෝහණ විජේවීර විසින් සෝමවංශ අමරසිංහ වැනි පුද්ගලයකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ගැනීමට බලපෑ හේතු ගැනද විවිධ මත පවතී. ඔහුට එජාපයේ නායකයකු වූ සිරිසේන කුරේ මහතාට සමීප නෑකමක් තිබුණි. ජනතා විමුක්ති පෙරමුණට එජාප පාලනයක් තුළ ජීවත්වන්නට සිදුවී තිබුණු තත්ත්වයක් තුළ ආණ්ඩුව සමග ප්‍රශ්න පැන නගින අවස්ථාවකදි ඒවා විසඳ ගැනීමට සෝමවංශ වැනි පුද්ගලයකු දේශපාලන මණ්ඩලයේ තබා ගැනීම වාසි දායක වේ යැයි විජේවීර සිතුවා විය හැකිය. පොදු පෙරමුණු පාලනයක් තුළද ඇමති මංගල සමරවීරට සමීප රුවන් ෆර්ඩිනැන්ඩස් වැනි පුද්ගලයකු දේශපාලන මණ්ඩලයේ තබා ගැනුනේ එසේ සිතූ නිසා විය හැකිය.

සෝමවංශ අමරසිංහට සිරීසේන කුරේ සමග තිබෙන ඥාති සම්බන්ධය ගැනද මත දෙකක් පවතී. රොහාන් ගුණරත්න “A Lost Revolution ” නමැති කෘතියේ දක්වා ඇත්තේ සිරිසේන කුරේගේ සහෝදරයා විවාහ වී සිටින්නේ සෝමවංශ අමරසිංහ ගේ බිරිඳගේ සහෝදරිය සමග බවයි. 77 න් පසු 1985 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු වන වාස් තිලකරත්න 1986 නොවැම්බර්වලදි අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මොහාන් ජයසූරියට දි තිබෙන කට උත්තරයක සඳහන් වන්නේ සිරීසේන කුරේ විවාහ වී සිටින්නේ සෝමවංශ අමරසිංහගේ සහෝදරිය සමග බවය. සිරිසේන කුරේ ඒ ගැන කර ඇති ප්‍රකාශය වෙනම පළවේ.

වාස් තිලකරත්නගේ එම කටඋත්තරයට ජනතා විමුක්ති පෙරමුණට අදාළ වැදගත් තොරතුරු රැසක් ඇතුළත්ය.

ඊට අනුව 1982 ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණට ඉරාකයෙන් ලක්ෂෂ 28 ක් ලැබී තිබේ. ඉරාන – ඉරාක අර්බුදයේදි ඉරාකයෙන් කරන ලද ඉල්ලීමක් අනුව කොළඹ වරායට පැමිණි ඉරානයට තේ රැගෙන යන නැවක් උපතිස්ස ගමනායක පාතාල කණ්ඩායමක් යොදවා ගිනි තැබුවේය. ඒ වෙනුවෙන් ඉරාකයෙන් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය ලක්ෂෂ 60 කි.

එම කටඋත්තරයට අනුව විජේවීර පරීහරණය කළ 31 ශ්‍රී 2175 සහ 31ශ්‍රී 5049 දරන 504 වර්ගයේ පර්ජෝ රථ දෙකත්, 29 ශ්‍රී 1371 දරන බස් රථය හා 27 ශ්‍රී 372 දරන වෑන් රථයත් විමුක්ති ගී ප්‍රසංගයට පරීහරණය කරන ලද සංගීත භාණ්ඩත් මිලදි ගෙන ඇත්තේ මෙම ඉරාක මුදල් වලිනි.

එම කටඋත්තරයට අනුව ඉරාකයෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ආරක්ෂෂාව සඳහා තබා ඇත්තේ ද සිරිසේන කුරේ මහත්මිය ළග ය. ලක්ෂෂ 5ක මුදලක් පරෙස්සමට ඇය ළග තබා ඇතත් ඉන් එක් ලක්ෂෂ අනූපන් දහසක් ඇය ළග තිබිය දි අතුරුදහන් වී ඇති බව ලයනල් බෝපගේ පක්ෂෂයට වාර්තා කළ බවත් එහි සඳහන් වේ.

දෙවැනි කැරැල්ලේදි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සියලු සාමාජිකයන් ඝාතනයට ලක් වන විට සෝමවංශ අමරසිංහ මහතාට පමණක් රටින් පලා යාමට ලැබුණු හැකියාව ගැන විවිධ සැක පවති.

1989 නොවැම්බර් වන විට ආරක්ෂෂක හමුදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් වූ පක්ෂෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර, ලේකම් උපතිස්ස ගමනායක, පියදාස රණසිංහ, එච්.බී. හේරත්, ඩී.එම් ආනන්ද යන අය අත් අඩංගුවට ගෙන මරා දැමීමට සමත් විය.

විජේවීර සැගවී සිටි උලපනේ නිවස පිළිබඳ රහස දැන සිටියේ උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ, පියදාස රණසිංහ, එච්.බී. හේරත්, ඩී.එම්. ආනන්ද යන අය පමණය.

සෝමවංශ අමරසිංහ හැර ඉතුරු සියලු දෙනා ඝාතනයට ලක්වීමෙන් පසුව සෝමවංශ අමරසිංහ පක්ෂෂයේ ප්‍රධාන සභාපති බවට පත් වූ අතර කීර්ති විජේබාහු ලෙස පෙනී සිටි සන්නද්ධ අංශයේ නායකයා වූ සමන් පියසිරී ප්‍රනාන්දු පක්ෂෂයේ ප්‍රධාන ලේකම් ධූරයට පත් විය. ඒ සමග ශාන්ත බණ්ඩාර, ආනන්ද ඉඩමේගම, කේ. සමරසිරි, උපාලි ජයවීර, ගාමිණී විජේගුණසේකර හා රංජිදම් ගුණරත්නම් යන අය දේශපාලන මණ්ඩල සාමාජිකයන් බවට පත් විය. දෙසැම්බර් 28 වැනිදා ජනතා විමුක්ති පෙරමුණට ඉතිරිවී සිටි බලවත්ම චරිතය ලෙස සලකිය හැකි සමන් පියසිරී ප්‍රනාන්දුද අත් අඩංගුවට ගෙන මරා දැමීමට ආරක්ෂක අංශ සමත් විය. එම කාලය තුළ සෝමවංශ අමරසිංහ හැර දේශපාලන මණ්ඩලයේ අන් සියලු දෙනාද අත් අඩංගුවට ගෙන ඝාතනය කළේය. එහෙත් සෝමවංශ අමරසිංහ පමණක් ඉන්දියාවට පලා යාමට සමත් වූයේය. ඔහුට පමණක් පලා යාමට හැකි වීම ගැන එවකට ආරක්ෂෂක ඇමති ලෙස ක්‍රියා කළ රංජන් විජේරත්න මහතා තුළ පවා බලවත් සැකයක් වූ බව කියනු ලැබේ.

ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්දනය කිරීම සඳහා යොදා ගත් ආරක්ෂෂක හමුදා සම්බන්ධීකරණය කෙරෙන මූලස්ථානය ලෙස ක්‍රියා කළේ “OPS COMBINEZ නමින් හැඳින්වෙන ඒකාබද්ධ අණදෙන මූලස්ථානයයි. මේ ආයතනය ආරම්භයේදි මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් විජය විමලරත්න මහතාය. ජනාධිපති ප්‍රේමදාස මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න මහතා එහි අණදෙන ප්‍රධානියා බවට පත් කළේය. ඒ සමග ජනාධිපතිවරයා දේශපාලන සම්බන්ධීකරණය සඳහා සිරීසේන කුරේ මහතාද එම මූලස්ථානයට අනුයුක්ත කළේය. (කැරැල්ල මර්දනය කිරිමේදි OPS COMBINE ඉටුකළ කාර්යභාරය පිළිබඳ විස්තරයක් සී.ඒ චන්ද්‍රප්‍රේමගේ The JVP Insurrection 1987-1989 යන කෘතියට ඇතුළත්ය.) එම ආයතනය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයන් සියලු දෙනා අත් අඩංගුවට ගන්නට සමත් වී සෝමවංශ අමරසිංහට පමණක් ඉන්දියාවට පලා යන්නට ඉඩ ලැබීම කෙරෙහි සිරිසේන කුරේගේ සම්බන්ධයක් තිබුණා විය හැකිය. ඔහු ඉන්දියාවට පලා ගිය පසු ඉන්දියාවේ “රෝ” ඔත්තු සේවය ඔහුට රැකවරණය ලබා දුන් බවද රොහාන් ගුණරත්නගේ කෘතියේ සඳහන් වේ. උග්‍ර ඉන්දියානු විරෝධී පිළිවෙතක පිහිටා ක්‍රියා කළ පක්ෂෂ නායකයෙකුට රෝ ඔත්තු සේවයේ ආරක්ෂෂාව ලැබුණේ කෙසේද යන ප්‍රශ්නයක් ද පවතී. ඒ කටයුතු සම්බන්ධීකරණය කළ පිටස්තරයා කවුද? තම මස්සිනාගේ ජීවිතය ආරක්ෂෂා කර දිය යුතු යැයි සිරිසේන කුරේ මහතා ඒ අවස්ථාවේදි කල්පනා කළේ නම් එහි ඇති අසාධාරණයක්ද නැත. නැත්නම් සිය ආරක්ෂෂාව සඳහා ඒ මොහොතේදි සිය මස්සිනාගේ ආරක්ෂෂාව ඉල්ලා සිටිය යුතු යැයි සෝමවංශ අමරසිංහ කල්පනා කළා ද විය හැකිය.

ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණ කෙරෙන් ප්‍රකට වූ වෙනස්කම් කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණේ ඊළග නායකයාට සිරිසේන කුරේ මහතාට තිබුණ මේ සම්බන්ධයද බලපෑවා විය හැකිය. සෝමවංශ අමරසිංහ මහතා ජීවතුන් අතර සිටින්නේ සිරීසේන කුරේ මහතා නිසා නම් ඔහු තුළ සිරිසේන කුරේ මහතා කෙරෙහි ණයගැති භාවයක් තිබීමද ස්වභාවිකය.

94 මැතිවරණයේ සිට සිරිසේන කුරේ මහතා තිරයේ පිටුපස සිට පොදු පෙරමුණට ආධාර කළේය. 94 ජනාධිපතිවරණයේදි ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂෂකයා ජනාධිපතිප ක්‍රමය අහෝසි කරන බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් පොරොන්දුවක් ලබා ගනිමින් ජනාධිපති තරගයෙන් ඉවත් විය. තමන්ට පොරොන්දු වූ දිනට ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ කෙරෙන් හීන් කන්කෙදිරියක් මිස බලවත් විරෝධයක් මතුවූයේ නැත. වයඹ පළාත් සභා මැතිවරණය විවෘත ඡන්ද මංකොල්ලයක් වී එජාප වැනි දක්ෂෂිණාංශික පක්ෂෂයක් පවා වයඹ පළාත් සභාව වර්ජනය කරන අවස්ථාවකදි ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවට සහභාගී වෙමින් එයට නීත්‍යනුකූල භාවයක් ලබා දුන්නේය. ඉන්පසු 2001 අප්‍රේල් අයවැයේදි ජවිපෙ එජාපය සමග එකතු වී පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය කරන ඒකාබද්ධ වැඩ පිළිවෙලකට සම්බන්ධ වී සිටියේය. එහෙත් ඉන්පසු ඒ ගමන් මගේ වහා වෙනසක් ඇති වී කඩා වැටෙන්නට යන පොදු පෙරමුණු ආණ්ඩුව සමග පරීවාසයක් ඇති කර ගනිමින් ඊට පැවැත්මක් ලබා දෙන්නට උත්සාහ කළේය. ජනාධිපතිනිය අවසාන වරට එංගලන්තයට ගිය අවස්ථාවේදි සෝමවංශ අමරසිංහ හමුවූ බවට කතාවක් පවතී. ජනතා විමුක්ති පෙරමුණේ ගමන්මග වෙනස් වූයේ එතැන් සිටය. සෝමවංශ අමරසිංහ ට මැතිවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඒමට ගමන් බලපත්‍රයක් ලැබුණේ ද ඉන් පසුවය.

සෝමවංශ අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ නිල නායකයා වීමෙන් පසුව පක්ෂෂයේ සෙසු ප්‍රධාන නායකයන් තෝරා ගෙන තිබෙන ආකාරය පිළිබඳවද එම පක්ෂෂයේ සමහර අංශවල කුතුහලයක් පවතී. දිර්ඝ කාලීන ඉතිහාසයක් ඇති විජිත රණවීර වැනි ක්‍රියාකාරි ශක්තියක් ඇති පැරැන්නන් නොසලකා හැර ඇත. ප්‍රමුඛ නායකයන් සියලු දෙනාම සෝමවංශ ට පහසුවෙන් හැසිරවිය හැකි සෝමවංශගේ ගම වන කළුතර ප්‍රදේශයේ අය වීමද කැපී පෙනෙන ලක්ෂෂණයකි. ටිල්වින් සිල්වා, විමල් වීරවංශ, නන්දන ගුණතිලක යන ප්‍රමුඛ නායකයන් සියලු දෙනාම තෝරාගෙන ඇත්තේ කළුතරිනි. ඔවුන් සෝමවංශ කියන ඕනෑම දෙයක් දේව භාෂිතයක් ලෙස සලකන විශේෂ මානසිකත්වයක් ඔවුන් අතර පවත්නා බවක්ද දැකිය හැකිය. ජවිපෙ වැනි රට පුරා ව්‍යාප්ත පක්ෂෂයක සියලු ප්‍රධාන නායකයින් කළුතර දිස්ත්‍රික්කයට සීමා විය හැක්කේ කෙසේද? තමන්ට පහසුවෙන් හැසිරවිය හැකි තමන්ගේ නායකත්වයට අභියෝග නොවන පිරිසක් නායකත්වයේ තබා ගැනීම සෝමවංශ අමරසිංහ ගේ අරමුණ වනවා විය යුතුයි.

සෝමවංශ අමරසිංහ ශ්‍රී ලංකාවට නොපැමිණ එතෙර සිටිමින්ම ජවි පෙරමුණ මෙහෙයවූයේ නම් ඔහුගේ හැසිරිම නොපෙනෙන තාක් හා ඔහුගේ හඬ නොඇසෙන තාක් ඔහු ජ.වි.පෙ තරුණයන්ට ආකර්ශණීය නායකයකු වන්නට ඉඩ තිබුණ. එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් නොනැවතී තමාද ද විජේවීරමෙන් දක්ෂෂ කථිකයෙකු ලෙස සිතා එක දිගට පැය ගණනක් කථාකරන්නට ගොස් ඔහු තමාගේ හිස් බව රටට ඔප්පු කළේය. ඔහු න්‍යායික වශයෙන් ද ජනතා විමුක්ති පෙරමුණ අවුල් ජාලාවකට ඇද දැමුවේ ය. ඊට අදාළ ප්‍රශ්න කරළියට එනු ඇත්තේ මේ මොහොතේ නොව පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ය.