මේ මැතිවරණය ප්රජාතන්ත්රවාදි අර්ථයෙන් මුළු රටට ම ඉතාමත් තීරණාත්මක ය. ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ මැතිවරණයකදි තමන් කැමති ආණ්ඩුවක් තෝරා පත්කර ගැනීමේ අයිතිය ඇත්තේ මහජනතාවට ය. ඒ අයිතිය සියලු දේශපාලන අයිතිවාසිකම් අතර ඉතාමත් වැදගත් මූලික අයිතිය ලෙස සැලකේ. ඒ අයිතිය අහිමි කිරීමට දරන ඕනෑම වෑයමක් පරාජය කරමින් එම අයිතිය රැකගැනීමේ වගකීම ඇත්තේ ද මහජනයාටය.
මහජනතාවට තිබෙන පරමාධිපත්යය බලය පිළිබඳ කාරණයේදි පොදු පෙරමුණු ආණ්ඩුවේ ආකල්ප හා භාවිතය ඉතාමත් ප්රජාතන්ත්ර විරෝධී ය. 94න් පසුව පැවති කිසිම මැතිවරණයක් නිදහස් හා සාධාරණ ආකාරයකට පවත්වා නැත. මැතිවරණ ජයගැනීම සඳහා උපරිම ආකාරයකින් රාජ්ය බලය පමණක් නොව, මැර බලය ද තක්කඩිකම් ද යොදා ගත්තේ ය. මේ මැතිවරණයේදි ආණ්ඩුව එම ප්රජාතන්ත්ර විරෝධී පිළිවෙත උච්චතම තත්ත්වයකට ගෙන යමින් සිටින බව ද දෑකිය හැකි ය. මැතිවරණ නීති රිති හෝ 17 වැනි සංශෝධනයේ එන විධි විධාන නොසලකා රාජ්ය සම්පත් හා රාජ්ය බලය උපරිම ලෙස යොදා ගනිමින් සිටිනවා පමණක් නොව, විරුද්ධ පක්ෂය ජය ගතහොත් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවන්නට ඉඩ නොදෙන බව ප්රකාශ කරන තරම් අන්තවාදි තත්ත්වයකට තල්ලුවී සිටින බවක් ද දෑකිය හැකි ය. එහි තේරුම මහජන කැමැත්තට හිස නැමීමට ආණ්ඩුව සූදානම් නැති බව ය.
මැතිවරණයක් යන්නෙන් යුද්ධයක් අදහස් වන්නේ නැත. එහෙත් ආණ්ඩුව මැතිවරණය එක්තරා ආකාරයක යුද්ධයක් බවට හරවා ගනිමින් සිටිනු දෑකිය හැකි ය. මහජනයාට පමණක් නොව, මැතිවරණ කොමසාරිස්වරයාට ද තර්ජන, ගර්ජන කරන රස්තියාදුකාර තැනකට ආණ්ඩුව තල්ලුවී සිටී.
මහජනයාට තිබෙන පරමාධිපත්ය බලය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදි එම බලය ආරක්ෂා කරගැනීම මහජනතාවගේ වගකීමකි. එජාපය ද සිය පාලන යුගයේ දි එම බලය සමග සෙල්ලම් කළේ ය. 1994දි මහජනයා එජාප ආණ්ඩුව පරාජයට පත් කළේ එම ආණ්ඩුවේ එම හිතුවක්කාරි ක්රියාකාරකම්වලට දෙන දඬුවමක් වශයෙනි. ඉන්පසු බලයට පැමිණ පොදු පෙරමුණ වඩා යහපත් මාර්ගයක ගමන් ගන්නවා වෙනුවට රස්තියාදුකාර දේශපාලනයකට රට තල්ලු කළේ ය. ඒ වෙනුවට පොදු පෙරමුණු ආණ්ඩුවට දඬුවම් පැමිණවීමට දැන් මහජනයාට වාරය පැමිණ තිබෙන අතර, වඩා ශක්තිමත්, ප්රජාතන්ත්රවාදි දේශපාලන ආයතන ක්රමයක් ඇති කරගැනීම එහි අරමුණ විය යුතු යි.