සිරසට එල්ල වූ ප්‍රහාරය හා ඉදිරිය දැකීම

March 28, 2010
Publication:
The attack on Sirasa's head office in Braybrooke Place makes an ugly picture for the government, which has clashed with the network since the war and appeared to want it punished. Whatever set off this second attack, it looks like a campaign by the government or people connected to it against a media house that backed the opposition at the presidential election. Ivan concedes the government could argue Sirasa obstructed the war — a state may suspend most fundamental rights in wartime, and the power to wage war rests with the state, not with journalists — and notes that the press did not obstruct the campaigns against the two JVP insurrections, saving criticism until afterwards. But the war ended more than six months ago and the President has since won the election too. Supporting Fonseka was not illegal, and the winner is the one who should let old grudges go.

කොළඹ බ්‍රේබෲක් පෙදෙස් පිහිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය විසින් රජය දෙනු ලබන දර්ශනය අවලස්සණය. අයහපත්ය. යුද්ධය පැවති කාලයේද සිරසට බිහිසුණු ප්‍රහාරයක් එල්ල විය. යුද්ධය පැවති කාලයේ සිටම ආණ්ඩුව හා සිරස අතර ගැටුමක් තිබුණි. සිරසට පීඩා කිරීමේ දේශපාලන වුවමනාවක් ආණ්ඩුවට තිබෙන බවක්ද පෙනෙන්නට තිබුණි. දෙවැනි සිද්ධියට බලපෑ ආරම්භක හේතු මොනවා වුවත් එය විසින් අවසාන විග්‍රහයේදී පෙන්නුම් කරන්නේ එය පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතිපක්ෂයට ආධාර කළ ජනමාධ්‍ය ආයතනයක් පීඩාවට පත්කිරීමේ අරමුණින් ආණ්ඩුව හෝ ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමක් ක්‍රියාත්මක කළ ව්‍යාපාරයක් ලෙසය. ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් ආරම්භ කොට පවත්වාගෙන යමින් සිටි අවස්ථාවේදී සිරස යුද්ධයට අවහිර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළේයැ”යි ආණ්ඩුවට චෝදනා කළ හැකිය.

එහෙත් ආණ්ඩුව එම යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කොට දැන් ගෙවී ගොස් ඇති කාලය වසර භාගයකටත් වැඩිය. සිරස පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකාට ආධාර කළා විය හැකි වුවත් එය නීති විරෝධී දෙයක් ලෙස සැලකිය නොහැකිය. එය ඉවසා සිටීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතුය. එසේම එම දේශපාලන බල සටනින්ද ජනාධිපතිවරයා ජය ගත්තේය. අනෙක් අතට යුද්ධයක් ප්‍රකාශ කොට එය පවත්වාගෙන යෑමේ බලය ඇත්තේ රාජ්‍යයට හා රාජ්‍ය නායකයාට මිස ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය ආයතනවලට නොවේ. යුදමය තත්ත්වයක් පවතින අවස්ථාවක අයිතිවාසිකම් දෙකක් හැර අනෙකුත් සියලු මූලික අයිතිවාසිකම් තාවකාලිකව අත්හිටුවීමේ බලය රාජ්‍යයකට ඇති බව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියද පිළිගනී. එවැනි විශේෂ තත්ත්වයක් පවත්නා අවස්ථාවක ඒ තත්ත්වයට ගැළපෙන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමේ වගකීමක් ජනමාධ්‍යවලටද ඇත්තේය.

එසේ නොවන විට ඕනෑම ආණ්ඩුවක් තමන්ගේ යුද ක්‍රියාමාර්ගයට අවහිර කරන ජනමාධ්‍ය මර්දනය කරන තැනකට යා හැකිය. 1971 ජේවීපීයේ පළමු කැරැල්ල හෝ 1987 ඔවුන්ගේ දෙවැනි කැරැල්ල හෝ මර්දනය කිරීම සඳහා දියත් වූ යුද ව්‍යාපාරයේදී ජනමාධ්‍ය ඊට අවහිර කරන ප්‍රතිපත්තියකට ගියේ නැත. එම කැරලි දෙක පරාජය කිරීම සඳහා යොදා ගැනුණු ප්‍රතිපත්තිවල හොඳ නරක සාකච්ඡා කරන තැනකට ගියේ එම කැරලි දෙක පරාජය කිරීමෙන් පසුවය. එහෙත් එල්ටීටීඊයට එරෙහිව දියත් කෙරුණු අවසාන යුද්ධයේදී සමහර ජනමාධ්‍ය පිළිගත් ප්‍රතිපත්තියෙන් බැහැර වී දැඩි යුද විරෝධී ස්ථාවරයක පිහිටා යුද්ධයට අවහිර කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. එය ජනමාධ්‍ය හා ආණ්ඩුව අතර අවලස්සණ ගැටුමක් ඇති කිරීමට හේතුවිය. ජේවීපී කැරලි දෙක පරාජය කිරීම රටේ ඉදිරි ගමනට අවශ්‍ය යහපත් කොන්දේසියක් වූවා සේ ම එල්ටීටීඊ බෙදුම්වාදී යුද ව්‍යාපාරය පරාජය කිරීමද රටේ ඉදිරි ගමනට අවශ්‍ය යහපත් කොන්දේසියක් විය.

එම යුද ගැටුමේ අප්‍රසන්න මතකයන්ගෙන් ඉවත් වී අලුතෙන් දේවල් බලන තැනකට ඒමට දෙපාර්ශ්වයම සමත් වී නැති බව පෙනේ. පසුගිය ජනාධිපතිවරණයේ උද්වේගකරභාවය කෙරෙහි එම සාධකයද බලපෑවේය. යුද්ධයේදී යුද විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීම නිසා තුවාල ලැබූ ජනමාධ්‍යවේදීහු හා ජනමාධ්‍ය ආයතන තමන් පීඩාවට පත් කළ රාජ්‍ය නායකයා පරාජය කිරීමට එය අවස්ථාවක් කරගැනීමට උත්සාහ කළෝය. එම තත්ත්වය මෙම දෙපාර්ශ්වය අතර පැවති කෝන්තර අලුත් කිරීමට හේතුවීයැ”යි කිව හැකිය. මෙම දෙපාර්ශ්වය අතර පවතින පසමිතුරු ආකල්පය දෙපාර්ශ්වයේම යහපතට හේතු නොවන්නා සේ ම රටේ පොදු යහපතටද හේතු නොවන්නේය. ආණ්ඩුව යුද්ධය ජයගත්තේය. ඉන්පසු ජනාධිපතිවරණයද ජය ගත්තේය. දැන් පවතින පාර්ලිමේන්තු මැතිවරණයද ජයගනු ඇත්තේය. පළමු කොට දේවල් උපේක්ෂාවෙන් බලන තැනකට ආ යුත්තේ ජයග්‍රාහකයාය. පැරණි කෝන්තර අත්හැර අලුත් යුගයකට මුල පිරිය යුත්තේ ජයග්‍රාහකයාය.

යුද්ධය අවසන් වී ඇති බැවින් ආණ්ඩුවේ කටයුතු කෙරෙහි විවේචනාත්මක ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අයිතිය ජනමාධ්‍යවලට ඇති බව ආණ්ඩුව පිළිගත යුතුය. පැරණි කෝන්තර අමතක කොට භේදයකින් තොරව සියලු ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන සමග සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට යායුතුය. යුද විරෝධී හෝ ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ද දැන් යුද්ධය අවසන් වී ඇති බැවින් එම ප්‍රතිඵලය ආපසු හැරවිය නොහැකි බව තේරුම් ගත යුතුය. තමන්ගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත් ජනාධිපති සටනින් මහජනයා හිටපු ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා වශයෙන් තෝරාගෙන ඇති බව පිළිගත යුතුය. පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ආණ්ඩු පක්ෂ සන්ධානය ජයගනු ඇති බව තේරුම් ගත යුතුය. එම දේශපාලන යථාර්ථය පිළිගත් විට සාධාරණ ලෙස දේවල් දැකීමේ හැකියාවද ඔවුන්ට ලැබෙනු ඇත්තේය.