ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජනාධිපති ක්‍රමය තුළ ධුරයට පත්වන නායකයාට ලැබෙන පරම බලය නිසා සිරිතක් වශයෙන් මෙම තනතුරට පත්වන ජනනායකයෝ මෙම ක්‍රමයට ලොල් කරති. එහෙත් මෙම දේශපාලන ක්‍රමය විධිමත් ලෙස සකස් කරන ලද ක්‍රමයක් නොවීම හේතු කොටගෙන ක්‍රමයට ආවේණික පීඩාකාරී බව සකස් වී ඇත්තේ ප්‍රතිපක්ෂවලට හා මහජනයාට බලපාන ආකාරයට පමණක් නොව, ජනාධිපති ධුරය දරන නායකයාටද බලපාන ආකාරයටය. එහෙත් අවාසනාවකට මෙම තනතුරට පත්වන නායකයන්ට පෙනෙන්නේ පරම බලයට ආවේණික රසය පමණය. එම රසය යට සැඟවී තිබෙන විස දැකීමට ඔවුහු අසමත් වෙති.
දෙපැත්ත කැපෙන ස්වභාවය
මෙම සුවිශේෂ දේශපාලන ක්‍රමය නිර්මාණය කළ ජේ.ආර්. ජයවර්ධනද ඊළඟ අනුප්‍රාප්තිකයන් දෙදෙනා ලෙස සැලකිය හැකි රණසිංහ ප්‍රේමදාස හා චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරුද මෙම විෂම චක්‍රයේ රුදුරු ගොදුරු බවට පත්වූහ. ඔවුහු හැම කෙනෙක්ම ක්‍රමය විසින් ලබාදෙන ලද පරම බලයෙන් ප්‍රතිපක්ෂ පමණක් නොව මහජනයාද පීඩාවට ලක් කළෝය. ඒ සමග ඔවුහුද ඒ ක්‍රමය තුළ මහත් පීඩාවට ලක්වූ අය බවට පත්වූහ.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ ක්‍රමයෙන් තමන්ට ලැබී තිබෙන බලය වැඩියෙන්ම ප්‍රදර්ශනය කළ හා ඒ බලය ගැන වැඩියෙන්ම පුරාජේරු කතා කී නායකයා ලෙස සැලකිය හැකිය. ඔහු එක් අතකට මේ ක්‍රමයෙන් වැඩියෙන්ම අනුන් පීඩාවට පත් කළ හා අනෙක් අතට එම ක්‍රමයෙන් වැඩියෙන්ම පීඩා විඳි නායකයා ලෙසද සැලකිය හැකිය. ඔහු විරුද්ධ පක්ෂ ව්‍යාපාර සාහසික ලෙස පීඩාවට පත් කළේය. ශිෂ්‍ය ව්‍යාපාර හා වෘත්තීය සමිති ව්‍යාපාර අනුකම්පා විරහිතව මර්දනය කළේය. තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයකින් දීර්ඝ කරගත්තේය. තමන්ගේ සතුටට හේතු නොවන නඩු තීන්දු දුන් විනිශ්චයකාරවරුන් පීඩාවට ලක් කළේය. ඒ සියල්ලෙහි අවසාන ඵලය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ පක්ෂ ව්‍යාපාර බෙලහීන වී ආයුධ අතට ගත් අන්තවාදී ව්‍යාපාර ශක්තිමත් වී කෙළවරක් නැති තරමට ලේ වැගිරෙන තත්ත්වයක් ඇතිවීමය. “ජේ.ආර්.මරමු”යි කියන සටන් පාඨය රටේ ප්‍රසිද්ධ ස්ථානවල බිත්තිවල ප්‍රදර්ශනය වූ සුලබ සටන් පාඨයක් බවට පත්විය. ඔහුගේ ජීවිතය තොර කිරීමට අන්තවාදී බලවේගයන් සමත් වූයේ නැතත් ඔහු ප්‍රිය කළ ඔහුගේ සමීප ආධාරකරුවන් සැලකිය යුතු පිරිසක් ඔහුට පෙනෙන ලෙස හෝ දැනෙන ලෙස මරා දැමීමට ඔවුහු සමත් වූහ. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමකට එල්ල වූ ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයකින් ඔහු ජීවිතය ගලවා ගත්තේ අනූනවයෙනි. ඔහු තමන්ගේ විරුද්ධවාදීන් බියගැන්වූ ආකාරයට සමාන ආකාරයට ඔහු බියගැන්වීමට එම අන්තවාදීහු සමත් වූහ.
ඉන්දියාව සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට අවසාන වශයෙන් තීරණය කැරුණු අවස්ථාව වන විට මෙම ප්‍රතාපවත් ජනනායකයා ඇද වැටී සිටි අසරණ තත්ත්වය ගැන කදිම විස්තරයක් ඩික්සිත්ගේ “කොළඹ භූමිකාව” නමැති කෘතියට ඇතුළත්ය.
ගිවිසුමේ කෙටුම්පත සකස් කිරීමෙන් පසු සම්පූර්ණ දේ නැවත සලකා බැලීම අවශ්‍ය බව කියා සවස තමා හමුවීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඩික්සිත්ට දැනුම් දුන්නේය. යොදාගත් වෙලාවට ජනාධිපතිවරයා හමුවීමට ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාගේ නිවසට ගියවිට ජයවර්ධන ආර්යාවට පැහැදිලි කරගැනීමට ප්‍රශ්න වගයක් ඇති බව කියා ජනාධිපතිවරයා ඇයද එම සාකච්ඡාවට සහභාගි කරවා ගත්තේය.
ඇයට විසඳා ගැනීමට තිබූ ලොකුම ප්‍රශ්න දෙක වී තිබුණේ ගිවිසුම නිසා ඇතිවිය හැකි විරෝධතා හා කලබල නිසා ජනාධිපතිවරයාගේ ජීවිත ආරක්ෂාව හා බලයෙන් පහකිරීමක් ඇති නොවන තත්ත්වයක් සඳහා ඉන්දීය අගමැතිවරයාට සහතික විය හැකිද යන්නයි. එය ජනාධිපතිවරයා විසින් සිය ආර්යාව යොදා ගනිමින් ඉදිරියට ගෙනා ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. රජිව් ගාන්ධි විසින් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාවත්, ආණ්ඩුවේ ආරක්ෂාවත් සහතික කරනු ඇති බවට ඩික්සිත් එහිදී සහතික වී තිබේ. ඒ සමගම එදිනම ඇමති මණ්ඩලය කැඳවා ගිවිසුම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපතිවරයා ඉන්දියානු මහ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
ජේවීපී කැරැල්ල සිය පාලන කාලය අවසන්වීමට පෙර පරාජය කිරීමට ජේ.ආර්. ජයවර්ධන සමත් නොවීය. කැරැල්ල ආරම්භයේදී එය පරාජය කිරීමට දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියා කළ ඔහු, පසුව ධුර කාලය අවසානයේදී ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කිරීම හැර ජේවීපීය ඉල්ලා සිටි අන් හැම කොන්දේසියක්ම ඉටු කිරීමට කැමතිවීමට තරම් බයාදු තත්ත්වයකට පත්ව සිටියේය. එම කොන්දේසි ක්‍රියාත්මක කිරීමෙන් වැළකුණේ එජාපයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්ව සිටි රණසිංහ ප්‍රේමදාසගෙන් එල්ල වු දැඩි විරෝධය නිසාය. අවසානයේ ඔහුට විශ්‍රාම යන්නට සිදුවූයේ මහා පරිමාණයෙන් ලේ වැගිරෙන තත්ත්වයක් ඇතිවී තිබියදීය. ප්‍රේමදාස පාලන කාලය තුළ එම කැරැල්ල පරාජය කැරුණේද කැරලිකරුවන් ජයගැනීමට ආසන්න තත්ත්වයකට පැමිණ තිබියදීය. එම කාලවකවානුව තුළ විශ්‍රාම ගිය ජනාධිපතිවරයා කොතරම් භීතියකින් ජීවත් වන්නට ඇත්දැ”යි සිතාගැනීම අමාරු නැත.
ජේ.ආර්. ගෙන් පසුව බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙරෙහි ද ක්‍රමය විනාශකාරී ලෙස බලපෑවේය. ඔහුට එරෙහිව දේශපාලන කැරැල්ලක් මතුවූයේ බාහිරෙන් නොව අභ්‍යන්තරයෙනි. ප්‍රේමදාස ජනාධිපතිවරයා කොතරම් බලවත් තත්ත්වයක් හිමි කරගෙන සිටියද ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග යෝජනාව කතානායක වෙත භාරදෙන තෙක්ම තමන්ට එරෙහිව එවැනි ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව ඔහු දැනසිටියේ නැත. අවසානයේදී එම ගැටුම ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදය අවසන් වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා පමණක් නොව ඔහුට එරෙහිව දෝෂාභියෝග ව්‍යාපාරයක් කරලියට ගෙනා ප්‍රධාන නායකයන් දෙදෙනාගෙන් කෙනකු වන ලලිත් ඇතුලත්මුදලිද ඝාතනයට ලක්වීමෙනි. ඉන්පසු දේශපාලන ක්‍රමය වෙනස් කරන බවට සහතික වී, බලයට පැමිණි පසු දේශපාලන ක්‍රමය ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකළ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියටද දේශපාලන ක්‍රමය සුවපහසු පැවැත්මක් සහතික කළේ නැත. අවසානයේ ක්‍රමය විසින් ඇයගේ ධුරකාල දෙකට ඇතුළත් කාලය සම්පූර්ණවීමට පෙරම ඇය අවලංගු කැරුණේ ඇය විසින්ම ඇගේ ආරක්ෂාව සඳහා හදා වඩාගත් අගවිනිසුරුවරයකු අතිනි.
විප්ලවය පරිපූර්ණ කිරීමට අසමත් වීම
මෙම දේශපාලන ක්‍රමය තියුණු කියවීමකට ලක් කළ විට පෙනී යනුයේ මේ ක්‍රමය විනාශකාරී ලෙස බලපානුයේ පළමුව විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට හා දෙවනුව මහජනයාට පමණක් නොවන බවය. තෙවනුව ක්‍රමය විසින් පරම බලය ලබාදෙන රාජ්‍ය නායකයා කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑමේ හැකියාව මේ ක්‍රමය තුළ අන්තර්ගත වී තිබෙන බවය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන අවස්ථාව වන විට දෙමළ ඊලමක් සඳහා වූ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය හේතු කොටගෙන සමස්ත දේශපාලන ක්‍රමයම සේ ම ශ්‍රී ලංකා රාජ්‍යයද අවුල් ජාලාවක් බවට පත්වී තිබුණි. ප්‍රභාකරන්ගේ කැරැල්ල සේ ම විජේවීරගේ කැරැල්ලද මෙම දේශපාලන ක්‍රමයේම නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. මෙම දේශපාලන ක්‍රමය නොතිබුණේ නම් හා තිබුණේ පැරණි දේශපාලන ක්‍රමය නම් කැරලි ඇතිවීමට ඉඩක් නොතිබුණු බව ඉන් අදහස් වන්නේ නැත. කලාතුරකින් හෝ කැරලි ඇතිවීම ඉඩක් තිබුණා වුවද එසේ ඇතිවන කැරලි මේ තරම් බලවත් හෝ සාහසිකවීමට ඉඩ නොතිබුණි. විජේවීරගේ කැරැල්ල මෙන්ම ප්‍රභාකරන්ගේ කැරැල්ලද පරාජය කැරුණේ ඒවා සිය ඉලක්ක දිනාගැනීම සමීප තැනකට පැමිණි පසු ඉතා අමාරුවෙන් බව අමතක නොකළ යුතුය. බිහිසුණු සන්නද්ධ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන කාලවකවානුවක දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ ඉඩක් නොතිබුණා සේ ම මෙම කැරලි ව්‍යාපාර දේශපාලන ක්‍රමයේම ඵලයක් වුවද නැවත එම කැරලි පරාජය කිරීමේ හැකියාව තිබුණේද මෙම අශෝභන දේශපාලන ක්‍රමයටමය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීම මගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිදුකරන ලද්දේ සිදුවිය යුතුව තිබුණු දේශපාලන විප්ලවයක එක අර්ධයක් සම්පූර්ණ කිරීමය. එම විප්ලවය පූර්ණවීමට ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වූවා සේ ම ඒ සමග දේශපාලන ක්‍රමය වෙනස් කිරීමද ඊට ඇතුළත් ඊළඟ වැදගත් කොන්දේසියක් වී තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විප්ලවයේ පළමු අර්ධය සම්පූර්ණ කිරීමට සමත් වුවත් දෙවැනි අර්ධය සම්පූර්ණ කිරීමට අසමත් විය. ප්‍රභාකරන් පරාජය කිරීමට සමත්වුවත් දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට සමත් නොවීය. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු දේශපාලන ක්‍රමය වෙනස් නොකළද කරදරවලින් තොරව ඉදිරියට යාහැකි වෙතැ”යි ජනාධිපතිවරයා කල්පනා කළා විය හැකිය.
එහෙත් ජනාධිපතිවරයාගේ එම තක්සේරුව වැරදිය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය තරම්ම මෙම දේශපාලන ක්‍රමයද බිහිසුණුය. විනාශකාරීය. එය විරුද්ධ පක්ෂවලට හා මහජනතාව පමණක් නොව, පරම බලය ඇති රාජ්‍ය නායකයාටද කරදර ඇති කරන ක්‍රමයකි. දැනටමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිට කරදර ගෙන දෙන කාලය ආරම්භ වී ඇති බවද පෙනෙන්නට තිබේ.
හැම ජනාධිපතිවරයකුටම මුහුණ දෙන්නට සිදුවී තිබෙන කරදර හා දේශපාලන ක්‍රමය අතර අන්තර් සම්බන්ධයක් පවතී. ජනතාවගේ ජීවන බර අඩු කොට යහපත් ආර්ථික, සංවර්ධනයක් සමග මහජනයාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන මනා පාලනයක් පවත්වාගෙන යෑමට තිබෙන හැකියාව මෙම දේශපාලන ක්‍රමය විසින් උපරිම මට්ටමකින් සීමා කර ඇතැ”යි කිව හැකිය. මේ ක්‍රමය තුළ බලයට පත්වන කවර රාජ්‍ය නායකයකු වුවද ඉතා ඉක්මනින් හෝ ප්‍රමාද වී මහජන උදහසට පත්වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
කරදර ඇති කරන ක්‍රමයකි
මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ සංවරණයට හා තුලනයට ලක්වීමෙන් තොරව රාජ්‍යයේ සකලවිධ බලය නීතියට ඉහළින් සිටින රාජ්‍ය පාලකයා වෙත කේන්ද්‍රගත වන ආකාරයටය. මෙම ක්‍රමයට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ ආණ්ඩු බලය දිනාගැනීමේ අරගලයට දායක වූවන්ට ඔවුන් ලබාදෙන ලද දායකත්වයේ ප්‍රමාණයට ගැළපෙන මිල ගෙවන ක්‍රමයක් ක්‍රියාත්මක වීමය. ඒ අනුව දේශපාලන තනතුරුවලට පත් කැරෙන පුද්ගලයන්ට තනතුරට ලැබෙන වැටුප් හා වරප්‍රසාදවලට අතිරේකව ඔවුන් පාලනය කරන ආයතනවල සිදුකෙරෙන ගනුදෙනුවලින් අයථා ලෙස ආදායම් උපයා ගැනීමේ අයිතිය හිමිවී තිබේ.
එම තත්ත්වය රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම හා දූෂිත කිරීමටත්, දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන පාලනයක් ඇති කිරීමටත් හේතුවී තිබේ. එම තත්ත්වය රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත්කිරීමටත්, භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් හීන කිරීමත් හේතුවී තිබේ. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර මහජනයා මත පටවන තත්ත්වයක් තුළ මහජනයාගේ ජීවන බර ඉහළ දැමීමටත්, පොදු පහසුකම් පවත්වාගෙන යෑම හා ඒවා නගා සිටුවීම පිණිස වෙන් කරන වියදම් සීමා කිරීම නිසා මහජනයාට ලැබෙන පොදු පහසුකම්වල තත්ත්වය හීනකිරීමටත් හේතුවී තිබේ.
දූෂණය පාලනය කළ නොහැකි ක්‍රමයකි
මෙම දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ මොනම පාලකයකුටවත් දූෂණයට එරෙහිව ඵලදායී ලෙස ක්‍රියා කළ නොහැකි ආකාරයටය. හේතුව බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක තනතුරු දරන ප්‍රධාන ආධාරකරුවන් දූෂණයේ ප්‍රධාන වාහකයන් ලෙස ක්‍රියාකිරීම නිසාය. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ එම කණ්ඩායමට අයත් නොවන දූෂිත රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.
ජේ.ආර්. ජයවර්ධන පාලන යුගය තුළ මැති ඇමතිවරුන්ට හා ආණ්ඩුවට සම්බන්ධ විවිධ තනතුරු දරන්නන්ට එල්ලවෙමින් තිබුණු දූෂණ චෝදනා ඉදිරියේ දූෂණ චෝදනා පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා 1986 මාර්තුවලදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ කොලින් තෝමේ මහතාගේ සභාපතිත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. කොමිසමට පැමිණිලි ගලා ආවේය. ආණ්ඩුවේ ඇමතිවරුන් ගණනාවකට එරෙහිවද පැමිණිලි ලැබී තිබුණි. වසර දෙකකට පසුව ජනාධිපතිවරයා කිසිදු හේතු දැක්වීමකින් තොරව කොමිසම විසුරුවා හැරියේය. විසුරුවා හරින අවස්ථාව වන විට කොමිසමට පැමිණිලි 1973ක් ලැබී තිබුණු අතර ඉන් පැමිණිලි 634ක පරීක්ෂණ අවසන් කොට තිබුණි. ඉන්පසු අවසන් කරන ලද පරීක්ෂණවලටද සිදුවූ දෙයක් නැත. තමන් බලයට පත්කිරීමට දායක වූ ප්‍රබල පිරිසක් හිරේ යැවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොතිබුණි. අනෙක් අතට තමන් හොබවන තනතුරුවලින් අයථා ලෙස ධනය හරිහම්බ කරගැනීමේ අයිතිය ඔවුන්ට ලබාදී තිබුණේද ජනාධිපතිවරයා විසින්මය. මේ තත්ත්වය ඉදිරියේ කොමිෂන් සභාව විසුරුවා හැරීම ඔහුට තෝරාගැනීමට තිබුණු හොඳම විකල්පය විය.
ප්‍රේමදාස පාලන යුගයේදී 1970දී පෙරමුණු ආණ්ඩුව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය හා ඉඩම් සීමා නීතිය යටතේ ආණ්ඩුවට පවරා ගන්නා ලද වතු ඉඩම් 1977න් පසුව දේශපාලන හිතවත්කම් මත දූෂිත ලෙස බෙදාදී තිබූ ආකාරය සොයා බලා වාර්තා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් නිලධාරී කමිටුවක් පත් කළේය. මෙම නිලධාරි කමිටුව ආණ්ඩුවට පවරා ගෙන තිබූ මෙම වතු ඉඩම් පුද්ගලයන් විකිණීමේදී හා බදුදීමේදී සිදුවී තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සකස් කරන ලද විස්තරාත්මක වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදෙන ලදි. ජනාධිපතිවරයා එම වාර්තාවේ එන තොරතුරු මත පදනම් වී දූෂිත හෝ වැරදි ලෙස පවරා දී ඇති වතු ඉඩම් ආපසු ආණ්ඩුවට පවරා ගැනීමට තීරණය කළේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ එම තීන්දුව ඔහුට එරෙහිව එල්ල වූ දෝෂාභියෝගය කෙරෙහි බලපෑ විවිධ සාධක අතර තිබූ වැදගත්ම සාධකයක් විය. එම වතු ඉඩම් අයථා ලෙස හිමි කරගෙන සිටි වැඩි පිරිසක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හා ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ආධාරකරුවෝ වූහ. දෝෂාභියෝගයක් සමග ජනාධිපතිවරයා එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට ගනු ලැබූ තීරණය ආපස්සට ගත්තේය. ඒ සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අලුත් තනතුරු හා වරප්‍රසාද ලබාදෙන ප්‍රතිපත්තියක්ද ක්‍රියාත්මක විය.
මෙම දේශපාලන ක්‍රමය තුළ දූෂණය පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපා තිබෙන ඇත්ත හේතු ඉහත දක්වන ලද මෙම නිදර්ශන දෙක ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.
ජම්බෝ ඇමති මණ්ඩල ක්‍රමය
තිබුණු පැරණි දේශපාලන ක්‍රමය තුළ කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය 20 සීමාව නොඉක්මවීය. 1947දී එය 14 දෙනකුගෙන්ද, 1952දී 13 දෙනකුගෙන්ද, 1956දී 14 දෙනකුගෙන්ද, 1959දී 15 දෙනකුගෙන්ද, 1960දී 11 දෙනකුගෙන්ද, 1965දී 17 දෙනකුගෙන්ද, 1970දී 20 දෙනකුගෙන්ද සමන්විත විය. කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය විශාල වී එය ජම්බෝ තත්ත්වයකට පත්වන්නේද, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් 90%කට ආසන්න පිරිසක් විවිධ තනතුරු දරන්නන් බවට පත් කරන ක්‍රමයක් ඇතිවන්නේද ජේ.ආර්. ජයවර්ධනගේ නව දේශපාලන ක්‍රමය ඇති කිරීමෙන් පසුවය. පැරණි ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසකට තනතුරු නොලැබුණද එය ආණ්ඩුවට ප්‍රශ්න ඇති කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියා කළේ නැත. ඒ තත්ත්වය වෙනස් වූයේ ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද ක්‍රමය තුළ තනතුරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ගෙවන මිලක් බවට පත්වී දේශපාලනය මුදල් උපයන පහසු මාර්ගයක් බවට පත්වීම නිසාය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමට අවශ්‍ය විය. වැඩ කිරීමට බැරි තරමට වියපත් තත්ත්වයක සිටීම, තනතුරේ සිටියදී ඵලදායී කාර්යභාරයක් ඉටු නොකිරීම, විශ්වාසයක් නැතිකම වැනි හේතු මත කැබිනට් මණ්ඩලයේ හිටපු සාමාජිකයන්ගෙන් කිසියම් පිරිසක් නියමිත කාර්යභාරයක් නැති ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් බවට පත් කළේය. එම තත්ත්වය දැනටමත් ඔවුන් අතර විරෝධයක් ඇති කරන සාධකයක් බවට පත්වී තිබේ. ආණ්ඩු පක්ෂයේ තනතුරු නොලැබූවන්ද තෘප්තිමත් තත්ත්වයක තබාගැනීම සඳහා ඔවුන්ට රජයේ වියදමින් අතිරේක වාහන ලබාදීමට සිදුවී තිබේ. මේ සියල්ල ආණ්ඩුවට කරන්නට සිදුවී තිබෙන්නේ ජනතාවට දෙන සහන සීමා කරමින් ඔවුන්ගේ ජීවන බර ඔරොත්තු නොදෙන තරම් ඉහළ තත්ත්වයක තිබියදීය. දූෂණය නිසා පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර පැටවෙමින් තිබෙන්නේද ජනතාවගේ කරපිටය. මෙම තත්ත්වය ජනාධිපතිවරයා කෙරෙහි පැවති මහජන විශ්වාසය පළුදු කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. යුද්ධය අවසන් වී සැලකිය යුතු කාලයක් ගතවී ඇතත් මහජනයාගේ ජීවිතවල යහපත් වෙනසක් ඇති නොවීමද මහජන කලකිරීමට හේතුවී තිබෙන තවත් වැදගත් සාධකයක් බවට හැරී පවතී.
දැන් ආණ්ඩුවේ වසන්ත සමය අවසන් වී ඇතැ”යි කිව හැකිය. දැන් මහජනයාට ප්‍රභාකරන් ගැන හෝ යුද්ධය ගැන මතක නැත. ඔවුන්ගේ කතාබහට හේතුවී තිබෙන ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබෙන්නේ දූෂණය හා නොකඩවා ඉහළයමින් තිබෙන බඩු මිලය. මෙම තත්ත්වය ජනාධිපතිවරයාට මහජනතාව අතර තිබෙන පිළිගැනීම දුර්වල කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී.
ගැලවීම ඇත්තේ විප්ලවය පරිපූර්ණ කිරීම තුළය.
මේ ක්‍රමය තුළ ජනාධිපතිට ලැබී තිබෙන බලය අතිවිශාල වුවත් මෙතෙක් බලයට පැමිණි කිසිම ජනාධිපතිවරයකුට මෙම දේශපාලන ක්‍රමය තුළ සුවපහසු පාලනයකට ඉඩ ලැබී නැත. ජනාධිපතිවරයාට මොනතරම් අපේක්ෂා තිබුණද මෙම දේශපාලන ක්‍රමය තුළ එම ඉලක්ක සපුරාගත හැකිවනු ඇතැ”යි ද සිතිය නොහැකිය. ජනාධිපතිවරයාට තිබෙන මහජන පිළිගැනීම වාෂ්ප වී යන තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අර්ධ වශයෙන් සම්පූර්ණ කළ විප්ලවය පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම මගින් පරිපූර්ණ කිරීමෙන් පමණය. මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දූෂණය හා නාස්තිය අවම කළ, නීතියේ පාලනය රජයන කාර්යක්ෂම ආණ්ඩු පාලනයක් ඇති කර ගැනීමට හැකිවනු ඇත්තේ එවිටය. ප්‍රභාකරන් පරාජය කළ විප්ලවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් එය මහජනයා හා රට නගා සිටුවන විප්ලවයක් බවට පත් කළහැකි වනු ඇත්තේ එවිටය. එවැනි වැඩපිළිවෙළකින් මෙපිට මතු ඇති කිරීමට නියමිත ප්‍රශ්න ජයගත හැකි අන් මාර්ගයක් නැත.