රටට වෙනස්කම් අවශ්‍යද?

March 28, 2010
Publication:
Given how rotten the political system and state administration had become, Ivan writes, winning the separatist war should be counted a miracle — the armed forces and police included people working for the LTTE for money, which shows how far the institutions had decayed. The question now is whether to go forward with that rot or reform it. Every important part is corroded: legislature, executive, electoral system, courts, public service, public services, media. The President has accepted change is needed but has set out no philosophy beyond the voting system and cabinet size, and it is unclear whether he means to win two-thirds by agreement with the opposition or by buying its members across. Ivan lists what remains unresolved — the executive presidency, a German-style mixed electoral system, the constitutional council killed after the 17th Amendment, judicial power used oppressively, customs revenue of which perhaps a quarter reaches the treasury, and education adrift.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වන ව්‍යවස්ථාදායකය රටේ වර්තමාන හා අනාගත වුවමනාවන් සැලකිල්ලට ගෙන රටට අවශ්‍ය කරන වෙනස්කම් ඇති කරන ව්‍යවස්ථාදායකයක් ලෙස ක්‍රියාකරනවාද නැත්නම් එදා වේල ගැන පමණක් සලකා බලන ව්‍යවස්ථාදායකයක් ලෙස ක්‍රියා කරනවාද යන ප්‍රශ්නය ජනාධිපතිවරයාගේ සේ ම සන්ධාන ආණ්ඩුවේද හොඳ නරක තීන්දු කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. දේශපාලන ක්‍රමය සේ ම රාජ්‍ය පාලනයද කුණුවී තිබුණු තරම අනුව බලන විට බෙදුම්වාදී යුද්ධය ජයගැනීමට හැකිවීම සැලකිය යුත්තේ ආශ්චර්යයක් ලෙසය. ත්‍රිවිධ හමුදාව හා පොලීසියද ඇතුළුව රාජ්‍යයේ හැම වැදගත් මර්මස්ථානයකම එල්ටීටීඊයට මුදලට වැඩ කරන බලවත් පිරිසක් සිටීමද ආයතන ක්‍රමය කුණුවී තිබුණු තරම පෙන්නුම් කරන එක් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. දැන් යුද්ධය ජයගැනීමෙන් පසු ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීම නොසලකා එම කුණුවී තිබෙන ආයතන ක්‍රමය සමග ඉදිරියට යනවාද නැතිනම් ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීමට හේතුවන වෙනස්කම් ඇතිකරමින් රටට වේගවත් ඉදිරි ගමනක් ලබාදීමට හේතුවන නව ආයතන ක්‍රමයක් සමඟ ඉදිරියට යනවාද යන ප්‍රශ්නය රට ඉදිරියේ සේම ආණ්ඩුව ඉදිරියේද ජයගත යුතුව තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය.

එක තැනක් හෝ දෙතැනක නොව, හැම වැදගත් තැනක්ම එනම් ව්‍යවස්ථාදායකය, විධායකය මැතිවරණ ක්‍රමය, යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමය, රාජ්‍ය සේවය, මහජන සේවාවන්, ජනමාධ්‍ය යන හැම වැදගත් අංගයක්ම තිබෙන්නේ කුණුවී මජර ගලන තත්ත්වයකය. ඒ හැම තැනක්ම තිබෙන්නේ දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව හා පරපීඩාව රජ කරන තත්ත්වයකය. රටේ ආයතන ක්‍රමය තුළ රජ කරන මෙම විනාශකාරී ගතිලක්ෂණ තුරන් කොට ඒවා මහජන වුවමනාවන් කෙරෙහි සංවේදීව හා කාර්යක්ෂමව ක්‍රියාකරන ආයතන ක්‍රමයක් බවට හැරවීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් පමණක් ජන ජීවිතය දැන් තිබෙන තත්ත්වයට වඩා කිහිප ගුණයකින් යහපත් කළ හැකිය. ආණ්ඩුක්‍රමයේ වෙනස්කම් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් ද පිළිගෙන තිබේ. එහෙත් ඇති කරන්නට යන වෙනස්කම් කිහිපයක් හැර (ඡන්ද ක්‍රමයේ හා ඇමති මණ්ඩලයේ ප්‍රමාණයේ) ඇති කරන්නට යන වෙනස්කම් සඳහා වන දර්ශනය තවමත් ප්‍රකාශ කර නැත.

වෙනස්කම් සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමට ආණ්ඩුව අසමත් වෙතොත් ප්‍රතිපක්ෂ සමග අවබෝධයෙන් වැඩකරන ක්‍රියාමාර්ගයක් මගින් තුනෙන් දෙකේ අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන්නේද නැතිනම් විරුද්ධ පක්ෂවලින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීම මගින් ඒ අරමුණ ඉටුකර ගැනීමට යන්නේද යන්නද අපැහැදිලිය. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ප්‍රතිපක්ෂවල සහාය ලබාගැනීම දුෂ්කර විය හැකි වුවත් ව්‍යවස්ථා සංශෝධනයකදී ඔවුන් මුළුමනින් බැහැර කරන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත. ඡන්දදායකයන් හැම 100කගෙන්ම 59ක් ජනාධිපතිවරයාට පක්ෂපාත වන විට විරුද්ධ 40ක් ද සිටින බව ආණ්ඩුව අමතක නොකළ යුතුය. ඒ සියලුදෙනා නොසලකා ඇතිකර ගන්නා ව්‍යවස්ථාවක් යහපත් සමාජ සම්මුතියක් ලෙස සැලකිය නොහැකිය. මෙම ප්‍රශ්නයේදී විරුද්ධ පක්ෂ ක්‍රියාකරන්නට අපේක්ෂා කරන පිළිවෙතද පැහැදිලි නැත.

දේශපාලන ප්‍රතිසංස්කරණවලදී ආණ්ඩුව සමග අවබෝධයෙන් හා සහයෝගයෙන් වැඩ කරන තැනකට යාමේ හැකියාව තිබෙනවා සේ ම විරුද්ධව ක්‍රියාකරන තැනකටද යාමේ හැකියාව පවතී. මෙම මාර්ග දෙකෙන් විරුද්ධ පක්ෂය තෝරාගන්නට යන්නේ කුමන මාවතක්ද යන්නද පැහැදිලි නැත. ආණ්ඩු ක්‍රමයේ විසඳා ගැනීමට ඉතිරි වී තිබෙන ප්‍රශ්න ඉතාමත් සංකීර්ණය. තිබෙන විධායක ජනාධිපති ක්‍රමය විධිමත් කොට පවත්වාගෙන යනවාද නැතිනම් ඒ ක්‍රමය වෙනස් කරනවාද යන්න විසඳා ගැනීමට තිබෙන එක් වැදගත් මූලික ප්‍රශ්නයකි. මැතිවරණ ක්‍රමය වෙනස් කරනවාද එය වෙනස් කරන්නට යන්නේ කවර ආකාරයටද යන්න විසඳා ගැනීමට තිබෙන තවත් වැදගත් ප්‍රශ්නයකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අඩක් ඡන්ද කොට්ඨාස ක්‍රමයකින්ද ඉතිරි අඩ ලැයිස්තු ක්‍රමයටද තෝරා පත් කරන ක්‍රමයක් ගැන (ජර්මනියේ පවතින ක්‍රමයට සමාන ක්‍රමයක් ගැන) සර්වපාක්ෂික සම්මේලනයේ අවධානය යොමුවී තිබුණි.

එවැනි ක්‍රමයක් දැන් තිබෙන විකාර ක්‍රමයට වඩා ඵලදායී වියහැකි වුවත් එවැනි ක්‍රමයක් සාර්ථක වීමට නම් පක්ෂ ක්‍රමයේද වෙනස්කම් ඇති කළ යුතුය. මැතිවරණ පැවැත්වීමේ බලය ලත් ආයතනය ලෙස ක්‍රියාකරන මැතිවරණ දෙපාර්තමේන්තුව හෝ මැතිවරණ කොමිසම මහජනයාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවී නැති බවද අමතක නොකළ යුතුය. මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග පිළිපදින තත්ත්වයක් රටේ නොපවතී. ඒ තත්ත්වයෙන් යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන වෙනස්කම් ද ඇති කළ යුතුය. මැතිවරණ වියදම් හා මැතිවරණ අරමුදල් පාලනය කරන නීතිරීති ද ඇති කරගත යුතුය. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයද මහජනයාගේ ගෞරවයට හේතුවන තත්ත්වයක හා ඵලදායී තත්ත්වයක නොපවතී. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය මහජනයාගේ විශ්වාසයට ගෞරවයට හේතුවන තත්ත්වයක් දක්වා නගා සිටුවීමට හේතුවන නව විධිවිධානද ඇති කරගත යුතුය.

උසස් තනතුරුවලට සුදුස්සන් තේරී පත්වීම සහතික කරන ක්‍රමයක්ද තිබිය යුතුය. ඒ සඳහා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබී මරා දමන ලද ව්‍යවස්ථා සභා ක්‍රමය ක්‍රියාත්මක කරනවා ද නැතිනම් ඊට වඩා විධිමත් නව ක්‍රමයක් ඇති කරගන්නවාද කියන ප්‍රශ්නයද විසඳා ගැනීමට තිබෙන තවත් සංකීර්ණ ගැටලුවකි. කුණුවී තිබෙන අධිකරණ ක්‍රමයද ප්‍රතිසංවිධානයකට ලක්විය යුතුය. විනිශ්චයකාරවරුන්ට ලැබී තිබෙන අතිවිශාල බලය නීතියට පටහැනිව හා පීඩාකාරී ලෙස යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතුය. බලයේ සිටින ආණ්ඩුවක් කරන වැරදි ආරක්ෂා කරන හෝ බලයේ සිටින ආණ්ඩු සමග රණ්ඩු කරන අධිකරණ ක්‍රමයක් රටේ යහපතට හේතුවන්නේ නැත. රාජ්‍ය සේවයද කාර්යක්ෂම තත්ත්වයකට ගත යුතුය. රටේ පවතින බදු ප්‍රතිපත්තිය පවා නැවත විවේචනාත්මකව සලකා බලන තැනකට යායුතුය. භාණ්ඩාගාරයට ලැබිය යුතු බදු ආදායම්වලින් කිසියම් විශාල පංගුවක් යන්නේ බදු නිලධාරීන්ගේ සාක්කුවලටය.

රේගු බදු වශයෙන් ලැබිය යුතු ආදායම්වලින් 25%ක්වත් භාණ්ඩාගාරයට ලැබෙන්නේද යන්න සැකසහිතය. රජයට බදු ආදායම් එකතු කරන ආයතන කිහිපය දූෂණයෙන් තොර කිරීමෙන් පමණක් රජයේ ආදායම කිහිප ගුණයකින් වැඩි කරගත හැකිය. රාජ්‍ය සේවය දූෂණයෙන් තොර කොට කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇති කරගන්නා තැනකට යා යුතුය. රටේ අනාගතය කෙරෙහි වැඩියෙන්ම බලපාන සාධකය ලෙස ක්‍රියාකරන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය තිබෙන්නේ අයාලේ යන තත්ත්වයකය. 1 වැනි ශ්‍රේණියට ළමයකු ඇතුළත් කරගැනීම පවා ජයගැනීම පහසු නැති සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේය. පාසල් අධ්‍යාපනයේ සේ ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේද ගුණාත්මක අගයේ විශාල පිරිහීමක් තිබෙන බව පහසුවෙන් දැකිය හැකිය. විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි තිබිය යුතු මහජන විශ්වාසයේද විශාල බිඳ වැටීමක් ඇතිවී තිබෙන බව දැකිය හැකිය. අධ්‍යාපන ක්‍රමය යහපත් තැනකට ගැනීමට අවශ්‍ය කරන වෙනස්කම් මොනවාද යන්න බැරෑරුම්ව සොයා බලන තැනකට යායුතුව තිබේ.

යුද්ධය අවසන් වී ඇතත්, සුළු ජාතීන් අතර විශාල අතෘප්තියක් ඇති බව පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පමණක් වුවත් දැකිය හැකිය. ඔවුන් අතර පවත්නා අතෘප්තිය නැති කිරීම සඳහා යොදාගත යුතු ප්‍රතිකර්ම මොනවාද? ඒ සඳහා තිබෙන හොඳම විසඳුම 13 වැනි සංශෝධනයද? නැතිනම් රටේ ඇතිවී තිබෙන නව තත්ත්වයකට ගැළපෙන වෙනත් විසඳුමක් සොයාගත යුතුව තිබේ. රටේ උන්නතියට හානියක් වී ඇත්තේ වර්ග භේදවාදය හා ආගම් භේදවාදය පමණක් නොවේ. පක්ෂ භේදයද රටේ උන්නතියට හානි කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. මෙම දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු පාක්ෂිකයා වරප්‍රසාදලාභී විශේෂ පුරවැසියකු වන විට විරුද්ධ පාක්ෂිකයාට හිමිවී ඇත්තේ අවවරප්‍රසාදලාභී පීඩිත පුරවැසියකුගේ තත්ත්වයට සමාන තත්ත්වයකි. ජීවිතයේ හැම වැදගත් ප්‍රශ්නයක් කෙරෙහිම දේශපාලන සම්බන්ධතා බලපායි. මෙම දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු පෙරළියක් ඇතිවීමට දශක කිහිපයක් ගතවන තත්ත්වයක් තුළ විරුද්ධ පාක්ෂිකයන්ට සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගතකරන්නට සිදුවී තිබෙන්නේ පීඩිත තත්ත්වයකය.

ප්‍රතිපක්ෂ අතර පවතින වෛරය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකය වී ඇත්තේ එයයි. මේ තත්ත්වයද වෙනස් කළ යුතුය. ආණ්ඩු පාක්ෂිකයා හා විරුද්ධ පාක්ෂිකයා අතර පවතින පරතරය නැති කළ යුතුය. රටේ ඉදිරි ගමනට දේශපාලන ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීම අත්‍යවශ්‍ය වී ඇතත්, ඒ සඳහා අවශ්‍ය තරම් සංවේදීභාවයක් දේශපාලකයන් තුළ සේම සමාජය තුළද නැතිකම රට මුහුණ දී තිබෙන උභතෝකෝටික ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.