ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊයට එරෙහිව අනුගමනය කළ දැඩි යුද ප්‍රතිපත්තිය තමන් බලයට පත් කළ දකුණේ සිංහල ජනතාවගේ විශ්වාසය තහවුරු කරගැනීමෙහිලා අනුගමනය කෙරෙනු ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය හැකිය. ඒ මගින් මහින්ද රාජපක්ෂ මහතා සිංහල ජනතාවගේ නායකයා තමා මිස, ජේවීපියවත්, හෙළ උරුමයවත් අන් කවර පක්ෂයක්වත් නොවන බව තහවුරු කරගත්තේය.
සාම්පූර් ජයගැනීම මගින් උපාය මාර්ගික වැදගත්කමක් ඇති ත්‍රිකුණාමලය අනියම් ලෙස පාලනය කිරීමට එල්ටීටීඊ යට තිබුණු අයිතිය අහිමි කිරීමක් ලෙස සැලකිය හැකිය. යාපනේ පැවැත්ම රැඳී තිබුණේ ත්‍රිකුණාමලය මතය. යාපනේට අවශ්‍ය සියලු සැපයුම් ලබාදෙන ප්‍රධාන මාර්ගය වී තිබුණේ ත්‍රිකුණාමලයයි. සාම්පූර් සිට ත්‍රිකුණාමලය වරායට ද නාවික හමුදාවේ විශාලතම නාවික හමුදා කඳවුරට ද කාලතුවක්කුවලින් පහරදීමේ හැකියාව එල්ටීටීඊය හිමිකරගෙන තිබුණේය. මෙම මර්මස්ථාන දෙකට පහර දී විනාශ කිරීමට සමත් වී නම් යාපනේ සිටින හතළිස් දහසක් පමණ වන සෙබළුන් සිරකරුවන් බවට පත්කර ගැනීමේ හැකියාව එල්ටීටීඊයට ලැබී තිබුණේය. ඒ අර්ථයෙන් සාම්පූර් රැකගැනීම යාපනේ ආරක්ෂා කරගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ අතර, ඇතිවිය හැකි ප්‍රතිවිපාක නොසලකා ඒ අරමුණ ජයගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වූයේය.
සාම්පූර් ජයග්රහණයෙන් පසුව සිදුවිය හැක්කේ කුමක්ද? •
තවදුරටත් යුද මාවතේ ඉදිරියට යා හැකිය. •
ශක්තිමත් තත්ත්වයක ඉඳිමින් නැවත එල්ටීටීඊය සමග සාකච්ඡා කරන තැනකට යා හැකිය. •
ජාතික ආණ්ඩුවක් ඇති කරගත හැකිය. •
පාර්ලිමේන්තු බලය තහවුරු කරගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැකිය.
දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්නේ ඕනෑම බලවේගයක් සමග ශක්තිමත්ව ගනුදෙනු කළ හැකි තැනකය.
ජාත්‍යන්තර ප්‍රජාවට ඔහු දෙස බලන්න සිදුවනු ඇත්තේ අලුත් ඇසකිනි. ජනාධිපතිවරයා දැන් සිටින්නේ එල්ටීටීඊය සමග, එජාප සමග හා ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය වැනි පක්ෂ සමග ආත්ම විශ්වාසයකින් යුතුව ගනුදෙනු කළ හැකි තැනකය.
රටේ සියලු දේශපාලන බලවේගයන්ගේ පැවැත්ම අභියෝගයට ලක් කරන තත්ත්වයකට පත් කිරීමට ජනාධිපතිවරයා සමත් වී සිටින්නේය.
එල්ටීටීඊය මෙවැනි පරාජයන්ට හුරු පුරුදුය. මෙවැනි පරාජයකින් පසුව නැවත ශක්තිමත් ලෙස නැගී සිටි අවස්ථා ඇතත් එල්ටීටීඊය සිටින්නේ ද වෙන කවරදාවත් නැති තරමට ගරා හැලෙන තැනකය. දෙමළ ජනතාවට මින් මතු ඔවුන් පෙනෙනු ඇත්තේ අපරාජිත ව්‍යාපාරයක් ලෙස නොව පරිහානිය කරා යන ව්‍යාපාරයක් ලෙසය.
පක්ෂ අභ්‍යන්තර අවුල් තිබියදීත් එජාප සිටියේ රාජපක්ෂ ආණ්ඩුව අවුලෙන් අවුලට යන තත්ත්වයක් තුළ තමන්ට නැවත ශක්තිමත්ව නැගී සිටීමට ඉක්මන් අවස්ථාවක් ලැබෙනු ඇතැයි කියන අපේක්ෂාවෙනි. එහෙත් දැන් තත්ත්වය ඊට වෙනස්ය. හිතනවාටත් වැඩි පිරිසක් ආණ්ඩුවට එකතුවීමේ හැකියාවක් පවතී. පාර්ලිමේන්තු මැතිවරණයකට ගියද ශක්තිමත් තරගයක් දීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.
ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය සිටින්නේ ද ආරක්ෂාව සඳහා සටන් කළ යුතු තත්ත්වයකය. ඔවුන් සිංහල ධජයේ අයිතියට පොරකෑවේය. දැන් එම ධජයේ අග කොණක්වත් ඔවුන් අත ඉතිරිවී නැත. සමස්ත ධජය ඇත්තේ ජනාධිපති අතේය. පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් තනිව තරග කළහොත් ලැබෙන ප්‍රතිඵල ඉතාමත්ම අවාසනාවන්ත විය හැකිය.
සටන් විරාම ගිවිසුමේ තත්ත්වය ද මුළුමණින් වෙනස් වී තිබේ. සටන් විරාමයක් අවශ්‍ය නම් ඒ සඳහා අලුත් ගිවිසුමක් ඇති කරගත යුතු තත්ත්වයක් ඇතිවී තිබේ.
ලද ජයග්රහණයෙන් අනවශ්‍ය තරම් ආඩම්බර නොවී අවශ්‍ය නම් දේශපාලන ගමන් මගෙහි අලුත් වෙනසක් ඇති කිරීමට හේතුවන ශක්තිමත් මුලපිරීමක් ඇති කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුය.
යුද්ධයෙන් ලබන ජයග්‍රහණයක් තාවකාලික මිස සදාකාලික නැත. ගරිල්ලා යුද්ධයකදී භූමියේ අයිතිය බොහෝ වාර ගණනක් පවා එකිනෙකා අතට මාරුවිය හැකිය. යාපනේ අල්ලා ගැනීම සිංහල ජනතාවගේ ආශ්වාදයට හේතුවිය. එහෙත් තවත් කාලයකට පසුව පුනරින්වලින් ආරම්භ වී අලිමංකඩ දක්වා හමුදා කඳවුරු විශාල ගණනාවක් අහිමි කරගැනීමට සිදුවිය. ඒ දේ නැවත එසේම වීම අනිවාර්ය නැතත් යුද්ධයකින් ලබන ජයපරාජයන් සදාකාලික නැත.
සිංහල දෙමළ මුස්ලිම් යන ජනවර්ගවලට සාමයෙන් හා අන්‍යොන්‍ය ගෞරවයෙන් ජීවත්විය හැකි වටාපිටාවක් රටේ තිබිය යුතුය. යුද්ධය හා ජනවර්ග ප්රශ්නය අතර පැහැදිලි සම්බන්ධයක් පවතී. යුද්ධයෙන් යුද්ධ හමුදාව ලබන ජයග්රහණයන් සිංහල ජනතාවගේ ආශ්වාදයට හේතුවනු ඇතත් එය දෙමළ ජනතාවගේ ආශ්වාදයට හේතුවන්නේ නැත. සියලු ජාතීන්ගේ ආශ්වාදයට හේතුවන ජයග්‍රහණයක් රට සොයාගත යුතුය.
රටේ තීරණාත්මක විපර්යාසයක් ඇති කළ හැකිවනු ඇත්තේ සුළු ජාතීන්ගේ විශ්වාසයට හේතුවන බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළකට අවශ්‍ය මූලධර්ම ප්‍රකාශ කරන අතර, රජයේ පූර්ණ වෙනසක් ඇති කිරීමට හේතුවන දේශපාලන ක්‍රියාවලියකට රට යොමු කිරීමෙනි. ඒ සඳහා දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කරගැනීමෙනි. කට්ටිවාදී නොවී එවැනි පුළුල් වැඩපිළිවෙළකට නායකත්වය දීමෙනි.