අන්තවාදී ඝෝෂාකාරයින්ගේ භූමිකාව

October 29, 2026
Publication:
Sri Lanka can be described as a country held in the grip of extremist doctrines, and that is one of the things that has brought it down; another is the want of leaders with the confidence to do what they believe right. Leaders elected on a public mandate must take public opinion into account, but they are not meant to act as its prisoners: where the public holds a wrong view, a leader's business is to correct it.

ශ්‍රී ලංකාව අන්තවාදී මතවාදයන්ගේ ග්‍රහණයට හිරවී සිටින රටක් ලෙස සැලකිය හැකි ය. එය ඇගේ පරිහානිය කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් සාධකයක් වන අතර, හිතට එකඟව හරි දේ කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසයක් නැති නායකයින් නැතිකම ශ්‍රී ලංකාවේ පරිහානිය කෙරෙහි බලපා තිබෙන තවත් සාධකයක් ලෙස සැලකිය හැකි ය.

මහජන වරමින් බලයට පත් වන නායකයින් පාලනයේ දී මහජන අදහස් සැලකිල්ලට ගත යුතු වුවත්, මහජන මතයෙහි හිරකාරයින් ලෙස ක්‍රියා කළ යුතු නැත. මහජනයා දරන වැරදි අදහස්වලට එරෙහිව හරි මතය වෙනුවෙන් මහජන මතය නිවැරදි කිරීමේ හැකියාව ජන නායකයින් සතු විය යුතු ය. අනෙක් අතට ඝෝෂාකාරී සුළු පිරිසක් කරන කෑගැසීම් මහජන මතය ලෙස නො සැලකිය යුතු ය.

එහෙත් අපේ රටේ කටයුතු සිදුවන්නේ අන්තවාදී ඝෝෂාකාරී සුළු පිරිසකගේ වුවමනාව මත ය. මෙම අන්තවාදී ඝෝෂාකාරීන්ට එරෙහිව තමන් විශ්වාස කරන හරි දේ වෙනුවෙන් නැගී සිටීමේ හැකියාව බොහෝ ජන නායකයින්ට නැත.

වර්තමානයේ ලේ වැගිරෙන අර්බුදයක් බවට පත්ව තිබෙන ජනවාර්ගික අර්බුදය එවැනි තත්ත්වයකට වර්ධනය වූයේ එම ඝෝෂාකාරීන්ගේ බලපෑම නිසාත්, එම ඝෝෂාකාරීන් සුළු පිරිසකගේ කෑගැසීම්වලට ජන නායකයින් යටවීම නිසාත් ය.

නිදහසට පෙර රටේ රාජ්‍ය භාෂාව වී තිබුණේ ඉංග්‍රීසි භාෂාවයි. තමන් හරි හැටි නොදන්නා විදේශ භාෂාවකින් ගනුදෙනු කරන්නට සිංහල හා දෙමළ යන ස්වදේශීය භාෂාවලින් කතා කරන ස්වදේශීය ජනතාවට සිදුවී තිබුණි. මෙම වැරදි පිළිවෙත වෙනුවට සිංහල භාෂාව හා දෙමළ භාෂාව ඉංග්‍රීසි භාෂාව තිබුණු තැනට ගැනීමට දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් තිබුණි.

එහෙත් අන්තවාදී සුළු පිරිසක් දෙමළ නැතිව සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු බවට උද්ඝෝෂණය කරන්නට වූයේ ය. සිංහල ප්‍රදේශවල සිංහල භාෂාවෙන් ගනුදෙනු කිරීමට සිංහල ජනතාවට ලැබෙන අයිතිය දෙමළ ප්‍රදේශවලදී දෙමළ භාෂාවෙන් ගනුදෙනු කිරීමට දෙමළ ජනතාවට ලබාදීමෙන් සිංහල භාෂාවට සිදුවන වරදක් නැති බව ජනනායකයන් හොඳින් දැන සිටිය ද ඔවුන් බලයට පත්වන පහසු මාර්ගයක් වශයෙන් අන්තවාදී ඝෝෂාකාරීන්ගේ මාවත තෝරා ගත්තේ ය. අවසානයේ බණ්ඩාරනායක සිය හිතට විරුද්ධව දෙමළ ප්‍රදේශවලදී දෙමළ භාෂාව භාවිා කිරීමට ඇති සාධාරණ අයිතිය නො සලකා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළේ ය. ඒ මගින් රට පහසුවෙන් විසඳාගත නොහැකි වාර්ගික අර්බුදයකට තල්ලු කළේ ය.

දැන් රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ ද තරමක් ඊට සමාන ආකාරයකට ය.

මහජන පදනමක් නැති ඝෝෂාකාරී සුළු පිරිසක් තම අන්තවාදී මත රටේ පිළිගත් මහජන මතය බවට පත් කරගෙන තිබේ. රටේ පාලකයින් රට හැසිරවිය යුත්තේ ඔවුන් කියන අන්තවාදී මතවාදයන්ට අනුකුලව ය. මෙම අන්තවාදීන්ගේ මතවාදය අනුව යුද්ධයට විරුද්ධ හැම කෙනෙක් ම එල්ටීටීඊයට පක්ෂ දේශද්‍රෝහීන් ය. දේශප්‍රේමීන් ලෙස සැලකෙන්නේ එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට කොන්දේසි විරහිතව පක්ෂපාත අය පමණ ය. එල්ටීටීඊය සිය ප්‍රදේශවලදී දේවල් විග්‍රහ කරන්නේ ද ඊට සමාන ආකාරයකට ය. ඔවුන් කරන යුද්ධයට පක්ෂපාත නොවන අය සැලකෙන්නේ දේශද්‍රෝහීන් ලෙස ය.

මේ රට යහපත් තැනකට ගැනීමට නම් මෙම අන්තවාදී ඝෝෂාකාරයන්ගෙන් රට නිදහස් කරගත යුතු ය. මොනම අන්තවාදයකටවත් රට විනාශ මුඛයට මිස, යහපත් තැනකට ගෙන යා නො හැකි ය.

මෙහි පළවන ලියවිල්ල ජූනි මස 17 වැනිදා කොබ්බෑකඩුව පර්යේෂණ මධ්‍යස්ථානයේ දවස පුරා පවත්වන ලද වටමේස සාකච්ඡාවකින් පසුව ඇති කරගන්නා ලද එකඟතාවක් මත සකස් කරන ලද ලියවිල්ලකි. එහිදී සාකච්ඡාවට ලක්වූයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එය ජයගත යුතුව තිබෙන්නේ කවර ආකාරයකින් ද යන ප්‍රශ්නයන්ය. එම සාකච්ඡාවට විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයින් පනස්එක් දෙනෙකු සහභාගි වූ අතර, මෙය ප්‍රසිද්ධ කරන ලද ලියවිල්ලක් නොවෙතත් එම ලියවිල්ලේ එන කාරණා අදටත් වලංගු වන නිසා මහජන අවධානය පිණිස එය පළ කරමු.