දේශපාලන පක්ෂ වියපත් වීම

October 29, 2026
Publication:
The SLFP marked its fiftieth anniversary and days later the UNP marked its sixtieth; the Samasamaja party is seventy-one, the Communist party sixty-one, the JVP forty. Sri Lanka's parties are ageing without changing to fit modern requirements. A multi-party system is essential to democracy, Ivan writes, and what we have is not a democratic party system but a system that trains autocratic leaders.

ශ්‍රීලනිප සිය 50 වැනි සංවත්සරය සැමරීමෙන් දින කිහිපයකට පසු ව එජාපය සිය 60 වැනි සංවත්සරය සැමරීය. සමසමාජ පක්ෂයට වයස අවුරුදු 71 ක් වන විට කොමියුනිස්ට් පක්ෂයේ වයස අවුරුදු 61 කි. ජනතා විමුකිත් පෙරමුණට ද දැන් වයස අවුරුදු 40 කි.

ශ්‍රී ලංකාවේ පක්ෂ මහලුවෙමින් තිබුණ ද, නූතන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස ඒවා වෙනස් වී නැත. බහු පක්ෂ ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වුවත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රමයක් අපේ රටේ නො පවතී.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ ක්‍රමයක් තුළ තිබිය යුතු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් අපේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමය තුළ නො පවතී. හැම පක්ෂයක් තුළ ම ඇත්තේ ඒකාධිපති බලතල සහිත පක්ෂ නායකයා වටා ඒකරාශි වූ සංවිධාන ක්‍රමයකි. හැම පක්ෂ ව්‍යවස්ථාවක් ම සකස් වී ඇත්තේ නායකයාට අතිවිශාල බලතල ලබාදෙන ආකාරයට ය.

පක්ෂවල නිලතල ලැබෙනුයේ දක්ෂයින්ට නො ව, පක්ෂ නායකයාගේ විශ්වාසයට හේතුවන පුද්ගලයන්ට පමණ ය. නායකයාගේ විශ්වාසය දිනා ගැනීම සඳහා ඒ පෝලිමේ සිටින අයට පක්ෂ නායකයාට කේළාම් කීමටත්, පක්ෂ නායකයා ගනු ලබන තීරණ ප්‍රශ්න කිරීමකින් තොරව අනුමත කිරීමටත්, අවශ්‍ය අවස්ථාවලදී බැලමෙහෙවර කිරීමටත් සිදුවේ.

ලංකාවේ පුද්ගලයින් සේ ම පුණ්‍ය ආයතන ලෙස පාර්ලිමේන්තුව පිළිගත් ආයතන හැර අන් සියලු ආයතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවීමට බැඳී සිටියත් දේශපාලන පක්ෂ පමණක් සිය දේපල හා ආදායම් සඳහා බදු ගෙවන්නේ නැත. වත්කම් බැරකම් නීතිය අනුව දේශපාලන පක්ෂවල නිල දරන සියලු දෙනා මැතිවරණ කොමසාරිස්වරයාට ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු වුවත්, එම නීතිය නිල දරන්නන් පිළිපදින්නේ නැත. ඕනෑම සමාගමක කොටස්කරුවන්ට සමාගමේ වාර්ෂික ගිණුම් වාර්තාවක් ලබාගැනීමේ හැකියාවක් ඇතත්, ශ්‍රී ලංකාවේ දේශපලන පක්ෂ සිය සාමාජිකයන්ට පක්ෂයේ ගිණුම් වාර්තා ලබාදෙන සම්ප්‍රදායයක් නොපවතී. අඩුම වශයෙන් කිසිම දේශපාලන පක්ෂයක් තමන්ගේ වාර්ෂික ගිණුම් වාර්තා ප්‍රසිද්ධ කරන්නේවත් නැත. පක්ෂයට ලැබෙන අරමුදල් පෞද්ගලිකව පරිහරණය කිරීමේ බලය පක්ෂ නායකයා භුක්ති විඳී.

කොටින් ම ශ්‍රී ලංකාවේ පවතින්නේ ඒකාධිපති නායකයින් පුරුදු පුහුණු කරන දේශපාලන පක්ෂ ක්‍රමයකි. එසේ දේශපාලන පක්ෂ විසින් ඒකාධිපති නායකයින් ලෙස පුහුණු කර බලයට පත්වන ඒකාධිපති නායකයින්ගෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටිමු.

පක්ෂය තුළ තමන්ගේ පක්ෂ සාමාජිකයින්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදීමට සූදානම් නැති නායකයින් රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ ගරා වැටීම කෙරෙහි මෙම ප්‍රජාතන්ත්‍රවාදී නොවන පක්ෂ ක්‍රමය ද බලපා තිබේ. දේශපාලන ක්‍රමයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම අත්‍යාවශ්‍ය ය. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කෙරෙහි බලපෑමේ බලය ඉන්දියාව සිය මැතිවරණ කොමිසම වෙත ලබාදී තිබේ. ජර්මනියේ නම් පක්ෂ ව්‍යවස්ථාවෙන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහතික නොකරන පක්ෂවලට දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචිවීමේ අයිතිය නො ලැබේ.

එවැනි නීති රීති ශ්‍රී ලංකාවට ද අවශ්‍ය ය. දේශපාලන පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමකින් තොරව රටේ දේශපාලන කළමනාකරණය කාර්යක්ෂම කළ නො හැකි ය.