සාපරාධී අපහාස නීතිය හා විමල් වීරවංශ

June 23, 2002
Publication:
Parliament repealed criminal defamation unanimously, though some PA and JVP members clearly opposed it. Replying to Wimal Weerawansa's attack on Ravaya during the debate, the editorial says Ravaya lost faith in Chandrika Kumaratunga long ago, alleges that Mangala Samaraweera arranged a Press Council ruling for the JVP through its chairman Wijeyadasa Rajapakshe, and challenges Weerawansa to answer questions on killings and assaults, the Malimbada shooting and corruption allegations against the President.

අවසානයේ සාපරාධී අපහාස නීතිය නීති පොතෙන් ඉවත් කිරීම සම්මත වූයේ ඒකඡන්දයෙනි. කිසිවකු විරුද්ධව ඡන්දය පාවිච්චි කර නැතත්, විවාදයේදි පළවී ඇති අදහස් දෙස බලන විට පෙනෙන්නේ පොදු පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර නීතිය ඉවත් කරනවාට කැමති නැති පිරිසක් ද සිටින බවය. ඔවුන් එයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරිමෙන් වැළකී ඇත්තේ නීතිය ඉවත් කරනවාට කැමති නිසා නොව, ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට තරම් නිර්භීතභාවයක් තිබී නැති නිසාය.

ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ විවාදයේදි ජනමාධ්‍ය ආයතන විවේචනය කරන අතර, “රාවය”ට පහරදිමට ද අමතක නොකළේය. ඔහුට අනුව 94දි චන්ද්‍රිකා විහාරමහා දේවියක් කළේ “රාවය”යි. “රාවය”ට ඇය කෙරෙහි 94දි විශ්වාසයක් තිබුණා විය හැකි වුවත්, ඇය කෙරෙහි ඇති කරගෙන තිබූ විශ්වාසය ඉක්මණින් අත්හැරිමට සිදුවිය. ඉන්පසු “රාවය”ට ඇය පෙණුනේ රට ගැන කැක්කුමක් ඇති රාජ්‍ය නායිකාවක් ලෙස නොව, රට ගැන කිසිම හැගීමක් නැති, රට තමන්ගේ පුද්ගලික බූදලයක් ලෙස සලකා ක්‍රියා කරන රස්තියාදුකාර පන්නයේ වට්ටිඅම්මා කෙනෙකු ලෙසය. පුදුමයකට මෙන් දැන් අපි ඉන්නේ 1994 නොව, 2002ය. “රාවය”ට චන්ද්‍රිකා රස්තියාදුකාර පන්නයේ වට්ටිඅම්මා කෙනෙකු ලෙස පෙනෙන විට විප්ලවකාරි ඇස් ඇති විමල් වීරවංශට ඇය පෙනෙන්නේ විහාරමහාදේවි කෙනෙකු ලෙසය. “රාවය”ට වැරදි පෙනුමක් තිබුණේ නම් එය හදාගෙන බොහෝ කල්ය. අනෙක් අතට ඇය කෙරෙහි “රාවය” විශ්වාසයක් තබා තිබුණේ, ඇගේ ඇගේ ලේ, කුණු තැවරි නොතිබුණු අවස්ථාවකය. එහෙත් විමල් වීරවංශට ඇය වීරවරියක වී ඇත්තේ ඇගේ අත්වල ලේ ද, කුණු ද තැවරි තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන යුගයකදිය.

විමල් වීරවංශ “රාවය” ට එරෙහිව පුවත්පත් මණ්ඩලය ඉදිරියේ පවරන ලද නඩුවක් ගැන ද අදහස් ප්‍රකාශ කර තිබුණි. “රාවය”ට එරෙහිව ජවිපෙ පුවත්පත් මණ්ඩලය ඉදිරියේ නඩුවක් පවරා තිබුණු බව සත්‍යයකි. එය මුලින්ම අසන ලද්දේ මහාචාර්ය ජයසේකර පුවත්පත් මණ්ඩලයේ සභාපතිව සිටියදිය. “රාවය”ට එරෙහිව ඉදිරිපත් කර තිබු සාක්ෂි ගණනාවක් ඔහු ඇතුළත් විනිශ්චය මණ්ඩලය විසින් බාරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. එහෙත් එහි සභාපති එම තනතුරෙන් ඉවත් වී ජනමාධ්‍ය ඇමතිගේ අතිජාත මිත්‍රයෙකු වූ විජේදාස රාජපක්ෂ මහතා ඒ තනතුරට ගෙනා පසු ජනමාධ්‍ය ඇමතිගේ වුවමනාව මත “රාවය” ට එරෙහිව ජනතා විමුක්ති පෙරුමණේ වාසියට තීන්දුවක් ලබාදිම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කොට තිබුණි. මංගල සමරවීර මේ නඩුව පිළිබඳව පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාට කතා කර තිබූ අතර, පුවත්පත් මණ්ඩලය ජනතා විමුක්ති පෙරමුණේ වාසියට හේතුවන තීන්දුවක් ප්‍රකාශ කිරීමට නියමිත බව මංගල සමරවීර විසින් විමල් වීරවංශ වෙත වාචිකව දැනුම් දිමක් කර තිබුණු බව ද අපි දන්නෙමු. මෙම කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙල දැනගන්නට ලැබුණු පසු පුවත්පත් මණ්ඩලය දෙන ලද තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව ඉහළ අධිකරණයට යාමට අපට සිදුවිය.

විජේදාස රාජපක්ෂ මහතා විසින් නිෂ්පාදනය කරන ලද එම තීන්දුව මංගල සමරවීරගේ උපදෙස් මත නීතියට පටහැනිව සකස් කරන ලද්දක් බව ඔප්පු කිරීමට අදත් අප සූදානම්ය. ඒ සඳහා පරික්ෂණයක් අවශ්‍ය නම්, විමල් වීරවංශ මහතාට ද, මංගල සමරවීර කල්ලියේ ද සහාය ඇතිව පාර්ලිමේන්තු පරික්ෂණයක් ඉල්ලා සිටිය හැකිය. එවැනි පරික්ෂණයකට මුහුණ දෙන්නට “රාවය” සූදානම්ය.

අනෙක් අතට සුපිරි විප්ලවවාදි නායකයකු ලෙස පෙනී සිටින විමල් වීරවංශ මහතාගේ දේශපාලන අවංකභාවය උරගා බැලීමකට ලක් කෙරෙන සරල දේශපාලන ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමට අප කැමතිය. ඒ ගැන ජනතා විමුක්ති පෙරමුණ පළ කරනු ලබන පුවත්පතකින් හෝ පිළිතුරු දෙන ලෙස අප ඒ මහතාගෙන් ඉල්ලා සිටිමු.

1. රෝහණ කුමාර ඝාතනය, එජාප විරෝධතා ව්‍යාපාරයක් ආවරණය කරන්නට ගිය ජනමාධ්‍යවේදින්ට පහරදිමේ සිද්ධිය, සිනමා නිළි අනෝජා වීරසිංහගේ නිවස ගිනි තබා අළු කිරිමේ සිද්ධිය, කුමාර් පොන්නම්බලම් ඝාතනය හා රූකාන්ත-චන්ද්‍රලේඛා ගායක යුවළට පහර දි හිංසා කිරීම යන සිද්ධීන් ගැන ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කුමක්ද? ඒවා ඇත්තටම සිදුවූ දේවල්ද? නැතිනම් කවදාවත් සිදු නොවූ පුවත්පත් මාෆියාව විසින් මවාපා තිබෙන දේවල්ද? ඒ අපරාධවලට ජනාධිපතිනියගේ සම්බන්ධයක් ඇති බවට එල්ල වී තිබෙන චෝදනාව ජවිපෙ පිළිගන්නේද? නැතිනම් එම චෝදනා ඉතා ගුණ යහපත් රාජ්‍ය නායිකාවකට මඩ ගැසීම පිණිස එල්ල කරන බොරු චෝදනා පමණක් වේද?

2. මාලිම්බඩ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව විමල් වීරවංශ මහතාගේ අතිජාත දේශපාලන මිත්‍ර මංගල සමරවීර මහතාට එල්ල වී තිබෙන චෝදනා ගැන කියන්නේ කුමක්ද? ඇත්තටම මංගල සමරවීර ගමන් ගත් වාහන පෙළට සාගල රත්නායකගේ ආධාරකරුවන් වෙඩි තැබුවේද? නැතිනම් පෝස්ටර් අලවමින් සිට මංගල සමරවීරගේ වාහන පෙළ එනවිට තමන් පැමිණි වාහනයේ නැගී පළායමින් සිටි මේ තරුණ පිරිස පසුපස මංගල සමරවීර හා ඔහුගේ ආරක්ෂක පිරිස හඹායමින් සමරවීරගේ අණ මත ආරක්ෂකයන් එම තරුණ පිරිසට වෙඩි තැබුවේද? ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඒ ප්‍රදේශයේ ආධාරකරුවන් ඒ ගැන දරන මතය කුමක්ද?

3. කොළඹ-කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන්, එයාර් ලංකා පුද්ගලිකකරණ ව්‍යාපෘතියෙන්, ප්‍රංශ දුම්රිය ඇන්ජින් කට්ටල් මිලදි ගන්නා ව්‍යාපෘතියෙන්, අයථා ලෙස මුදල් හරිහම්බ කර ඇති බවට ජනාධිපතිනිය වෙත එල්ල වී තිබෙන චෝදනා ගැන විමල් වීරවංශ කියන්නේ කුමක්ද? එම චෝදනා තමන්ගේ ධනය නැතිකර ගත්තා මිස, ජාතික ධනයෙන් එකම සතයක්වත් හොරකම් කර නැති ශ්‍රේෂ්ඨ ජන නායිකාවකට මඩ ගැසීම පිණිස කියන කිසිම පදනමක් නැති මඩ කතා පමණක්ද? නැතිනම් ඒ චෝදනාවලට පදනමක් තිබේද?