තහනම සාකච්ඡාවලට බාධාවක් කරගත යුතු ද?

June 16, 2002
Publication:
Campaigners demanding that the LTTE ban stay in place would, the editorial argues, wreck the proposed talks and push the country back to war it cannot afford. The Tigers fought before and after the ban, which was imposed to placate the public after the attack on the Temple of the Tooth. The JVP too was once banned, and a ban lifted can easily be reimposed if the LTTE breaks its commitments.

කොටි සංවිධානයට එරෙහිව පනවා තිබෙන තහනම ඉවත් නොකළ යුතු බවට උද්ඝෝෂණ කෙරෙමින් පවතී. තහනම ඉවත් කරනවාට එරෙහිව කතා කරන අය ඉල්ලා සිටින ආකාරයට ක්‍රියාකළහොත් යෝජිත සාකච්ඡාමය ක්‍රියාමාර්ගයේ වහා බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකි ය. එහි ඊළග ප්‍රතිඵලය වනු ඇත්තේ නැවත දෙපක්ෂය එකිනෙකාට එරෙහිව යුද්ධ කරන තැනකට යාම ය.

නැවත එවැනි තැනකට රට යා යුතු නැත. තහනම ඉවත් කරනවාට එරෙහිව කතා කරන බොහෝ දෙනකුට අවශ්‍ය වී ඇත්තේ විවිධ හේතු මත නැවත යුද්ධ කරන තත්ත්වයකට රට තල්ලුකිරීම ය. රට ඉන්නේ යුද්ධ කරනවා තබා එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් බැරි ආර්ථික තත්ත්වයක බව ඔවුහු අමතක කරති. සමහරවිට අවුලක් ඇතිවී කෙළවරක් නැති තරම් ලේ වැගිරෙන තත්ත්වයක් ඇතිවුවත් එම තත්ත්වය තමන්ට දේශපාලන වශයෙන් වාසිසහගත වේ යැයි ඔවුන් කල්පනා කරනවා විය හැකි ය. මොන දේශපාලනයක් කරන්නට වුවත් රටක් තිබිය යුතු ය. සාකච්ඡාවලින් ලැබෙන ප්‍රතිඵලය කුමක් ද යන්න කල්තියා කීමේ හැකියාවක් අපට නැත. එහෙත් අදහස් හුවමාරු කරගැනීමට තිබෙන මේ අවස්ථාව අත්හැරිය යුතු නැත. යුද්ධය වෙනුවට සාමකාමී එකගතාවක් ඇති කරගැනීමට සමත් වෙතොත් එය රටක් වශයෙන් සියලු දෙනාට ලැබිය හැකි ජයග්‍රහණයකි.

කොටි සංවිධානය තහනම් නොකර තිබියදිත් යුද්ධ කළේ ය. තහනම් කළ පසුත් යුද්ධ කළේ ය. ඔවුන් තහනම් කරන්නට සිදුවූයේ ද තහනම් කිරීමක් නිසා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට හේතුවනු ඇතැයි යන විශ්වාසයකින් නොව, ශ්‍රී දළදා මාළිගාවට පහර දුන් තත්ත්වයක් ඉදිරියේ ඒ මොහොතේ ජනතාව සංතෝෂ කිරිමේ අරමුණිනි.

ජනතා විමුක්ති පෙරමුණ ද තහනමට ලක් කර තිබුණු සංවිධානයකි. ඒ තහනම ඉවත් නොකළේ නම් අදත් ඉන්නට ඉඩ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයෙන් පිටස්තරව ය. ආණ්ඩුවකට පක්ෂයක් තහනම් කිරීම සේ ම, තහනම් සංවිධානයක තහනම ඉවත් කිරීම ද පහසුවෙන් කළ හැකි දෙයකි. කොටි සංවිධානය වෙත පනවා තිබෙන තහනම ඉවත් කිරීමට බිය විය යුත්තේ තහනම ඉවත් කළහොත් අවශ්‍ය අවස්ථාවක නැවත තහනම් කිරිමේ හැකියාවක් නැත්නම් පමණ ය. තහනම ඉවත් කිරිමෙන් පසුව කොටි සංවිධානය පිස්සු නටන තත්ත්වයකට යන්නේ නම්, අපහසුවකින් තොරව නැවත එම සංවිධානය තහනම් කළ හැකිය. එහෙත් මේ මොහොතේ තහනම ඉවත් කිරිමෙන් වැළකී සිටින දැඩි ප්‍රතිපත්තියක් නැවත දෙපාර්ශ්වය යුද්ධ කරන තත්ත්වයක් ඇති කිරීම නොවැළැක්විය හැකි ය.

එයින් රටට විපතක් මිස යහපතක් විය නොහැකි ය.