සටන් විරාම ගිවිසුමට වසරකි

February 23, 2003
Publication:
Marking the first anniversary of the ceasefire agreement between the government and the LTTE on 22 February, the editorial notes that the PA and JVP condemn it as a betrayal while the government hails it as its greatest achievement, both treating it as a tool in the southern power struggle. It argues that a true assessment must start from the relief the agreement brought to the long-suffering people of the North and East, which a numbed majority mentality and majority-dominated media ignore.

ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමට මෙම 22 ට වසරකි. පුරා විසි වසරකට වැඩි කාලයක් මේ රටේ ජන ජීවිතය වෙළාගෙන සිටි අනර්ථකාරි යුද්ධයෙන් තාවකාලිකව හෝ අත්මිදිමේ අවස්ථාව ඉන් උදාකෙරුණු අතර එහි ප්‍රතිඵල අඩු සහ වැඩි වශයෙන් භුක්ති විඳීමේ වාසනාව උතුරේ හා දකුණේ ජනතාවට ලැබී තිබේ.

සටන් විරාම ගිවිසුමට පක්ෂෂව හා විපක්ෂෂව විවිධ අර්ථ කථන සැපයෙතත් ඒවා බොහෝ වශයෙන් පක්ෂෂ දේශපාලනය අනුව සිදු කෙරෙන විවේචන හා ප්‍රශස්ති නිසා ගිවිසුම පිළිබඳව සිදු කෙරෙන යථාර්ථවාදි විග්‍රහයකට අදාළ වන්නේ නැත. බලයට ඒමට කැස කවමින් සිටින පොදු ජන එක්සත් පෙරමුණේ ඇතැම් කොටස් හා ජනතා විමුක්ති පෙරමුණ සටන් විරාම ගිවිසුම දෙස සර්ව අශුභවාදිව බලන අතර පාලක එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හිතෛෂීහු එදෙස සර්ව ශුභවාදිව බලති. මේ දෙපිරිසම වැඩිපුර සමන්විත වනුයේ සිංහල මහජාතියෙනි. ඔවුනට මෙය බලය රඳවා තබා ගැනීමේ හා බලයට පත්වීමේ කඩඉමක් පමණ. සටන් විරාම ගිවිසුම රට පාවාදෙන ගිවිසුමක් ලෙස එක් පාර්ශ්වයක් ඊට නිර්දය ලෙස පහර ගසන අතර ප්‍රති පාර්ශ්වය එය අර්ථ දක්වනු ලබන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදි ඇති විශිෂ්ටතම ජයග්‍රහණය ලෙසය. යුද්ධය හිගන්නාගේ තුවාලය සේ තබාගෙන ආණ්ඩුකරණයේ සියලු අඩුපාඩුකම් වසා ගත් ආකාරයෙන්ම සාම ප්‍රයත්නය ද ජනතාව මත පැටවී ඇති සියලු පීඩනයන් අවම කිරිමේ මෙවලමක් සේ උපයෝගී කරගන්නා ආකාරයක් දක්නට ලැබේ.

නමුත් මෙම සටන් විරාම ගිවිසුම පිළිබඳව දෙමළ ජනතාව ඇතුළු මේ රටේ සුළු ජාතිකයන්ගේ හෘද සාක්ෂෂිය විමසා බැලීමක් හරිහැටියෙන් සිදු කෙරෙන බවක් දක්නට නොලැබේ. සුළු වශයෙන් හෝ එයද සිදු කෙරෙනුයේ මහ ජාතිය අධිපතිත්වය දරන ජනමාධ්‍ය මගින් වාර්ගික දෘෂ්ටි කෝණයෙනි. සටන් විරාම ගිවිසුම පිළිබඳව හරි තක්සේරුවකට පැමිණිය හැක්කේ එම ගිවිසුමට එළඹීමට පෙර අපා දුක් විඳි උතුරේ ජනතාව අද ලබා ඇති මඳ අස්වැසිල්ල විමංසනය කිරිමෙන් බව සාක්ෂෂාත් කර ගැනීමේ විවෘත භාවයක් බොහෝ ජනමාධ්‍ය කෙරෙන් දක්නට නො ලැබේ. අධිපතිවාදි කුහක ජාතික මානසිකත්වය විසින් දැනුවත් ව හෝ නොදැනුවත්ම මෙම තත්ත්වය වසංකර ඇත. ගිවිසුමට පෙර එකම අනාථ කඳවුරක් ලෙස පැවති උතුරු නැගෙනහිර දෙපළාතේ වෙසෙන ලක්ෂෂ සංඛ්‍යාත ජනයා ගිවිසුමෙන් පසු අද අත්විඳින සීමා සහිත සහන පිළිබඳව හෝ මැදහත්භාවයෙන් විමසා බැලීමේ සූදානමක් බොහෝ දෙනා තුළ නැත. වැඩි මිලට හෝ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකිව සදාකාලික අඳුරේ ගෙවල් දොරවල් අහිමිව බියෙන් හා සැකයෙන් ඔවුන් ගෙන ගිය දුක්ඛිත ජීවිතය පිළිබඳව බොහෝ දෙනා තුළ අල්ප මාත්‍ර හැගීමක් හෝ තිබුණේ නැත. දකුණේ මෙම නිද්‍රාශීලීභාවය බිඳුණා නම් එසේ වූයේ ඉඳහිට බෝම්බයක් පිපිරුණු අවස්ථාවකදි, සිංහල සොල්දාදුවන් විශාල වශයෙන් මිය ගිය අවස්ථාවකදි හා යුද්ධය නිසා සිදුවන ආර්ථික පාඩුව කතා බහට ලක් වූ අවස්ථාවකදි පමණ. දකුණේ දේශපාලනඥයන්ට සටන් විරාමය හෝ සාම ප්‍රයත්නය දේශපාලන ආයුධයක් කර ගැනීමට අවස්ථාව ලැබී ඇත්තේද බහුතර ජනතාවගේ මෙම නිර්වින්දිත මානසිකත්වය නිසාවෙනි. මෙම මානසිකත්වයෙන් මිදෙන තුරු සටන් විරාම ගිවිසුමෙන් ලත් වාසි අවාසි පිළිබඳව විවෘත තක්සේරුවකට යා නොහැක.