බොරුවෙන්ම ජීවත් වන රට හා ව්‍යවස්ථා සභාව

February 9, 2003
Publication:
Ivan argues that the Constitutional Council, demanded by civil society to curb presidential appointments, was hollowed out from the start. He details how Jayampathy Wickramaratne's draft of the 17th Amendment removed the seniority rule for the Judicial Service Commission to protect Sarath N. Silva, how the Speaker signed the unamended bill, and the injunction against the Speaker over the impeachment. He adds that the Council, made up only of lawyers, has set up just two commissions while the President blocks appointments such as Ranjith Dheeraratne's.

ලංකාව යන නම “බොරුව” සඳහා යොදාගත හැකි සමාන තේරුමක් ඇති තවත් පදයක් වන දවස බොහෝ ඈත නොවන තරමට ශ්‍රී ලංකාව බොරුවෙන්ම ජීවත්වන, බොරුව රජ කරන රටක් බවට පත්වී තිබේ. රට බොරුව තුළ ජීවත්වන්නේ ද ලජ්ජාවෙන් තොරව ඉතාමත් ගාම්භීර හා නම්බුකාර ස්වරූපයකිනි. ශ්‍රී ලංකාවේ බොරුව වඩාත්ම රජ කරන්නේ ද නූගත් හා දුප්පත් සමාජයේ නොව, උගත්කම සමග ධනවත්කම ද එකට එකතු වූ ජේත්තුකාර ප්‍රභූ සමාජයේය. අවංක හා යහපත් අරමුණින් ඇති කරගන්නා ඉතාමත් ගරු කටයුතු හා ශුද්ධ වූ දෙයක් පවා ජලය වාෂ්ප බවට පත්කිරීමට ගතවන තරම් වේගයකින් බොරුවක් බවට පත්කිරිමේ හැකියාව එම සමාජය සතුය. මහත් බලාපොරොත්තු ඇතිව පිහිටුවාගත් ව්‍යවස්ථා සභාවට සිදුව ඇත්තේ ද ඒ ටිකය.

ව්‍යවස්ථා සභාවක් ඇතිකර ගැනීමේ අරමුණ

ව්‍යවස්ථා සභාවක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි බලපෑ ප්‍රධාන හේතු දෙකක් තිබුණ. ප්‍රමුඛ වැදගත්කමක් ඇති තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමට රාජ්‍ය නායකයාට ලැබී තිබෙන අසීමිත බලය හැම රාජ්‍ය නායකයකු විසින්ම අනිසි හා හිතුවක්කාරි ආකාරයකින් භාවිතා කෙරුණු හා කරමින් සිටි තත්ත්වයක් ඉදිරියේ එයින් ඇතිවන සමාජ හානිය අවම කරගැනීම සඳහා රාජ්‍ය නායකයාට තිබෙන අභිමත බලය සීමාකරන ක්‍රමයක් ඇතිකර ගැනීම යහපත් ආණ්ඩු පාලනයක් සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ප්‍රමුඛ වැදගත්කමක් ඇති ආයතන දෑඩි දේශපාලනකරණයකට ලක්වී තිබුණු තත්ත්වයක් තුළ නැවත ඒවා ස්වාධීනව ක්‍රියාකරන තැනකට ගැනීමේ අවශ්‍යතාවක් ද මතුවී තිබුණි. ව්‍යවස්ථා සභාවක් ගොඩනගා ගැනීමට රටට අවශ්‍ය වූයේ මේ මූලික අවශ්‍යතාවන් දෙක සපුරා ගැනීමේ ක්‍රමයක් වශයෙනි.

ව්‍යවස්ථා සභාවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව ඉදිරියට ගෙනාවේ ද දේශපාලන පක්ෂ විසින් නොව, සිවිල් සමාජයේ දැනුවත් සමාජ කණ්ඩායම් කිහිපයක් විසිනි. ඒ ඉල්ලීමට තිබුණු ආකර්ෂණය නිසාම එදා ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියාකළ එජාප ඒ ඉල්ලීම සිය දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් කරගත්තේය. එහෙත් එහිදි එජාප ඒ සඳහා වෘත්තියවේදින්ගේ සංවිධානය සකස් කර තිබූ කෙටුම්පත ඒ ආකාරයෙන්ම පිළිගත්තේ නැත. කේ.එන්. චොක්සි ඒ සඳහා අලුත් කෙටුම්පතක් සකස් කළේය. එහෙත් චොක්සි මහතා සකස් කළ කෙටුම්පත වෘත්තියවේදින්ගේ කෙටුම්පතට වඩා දියාරු තත්ත්වයක තිබීම හේතු කොටගෙන එජාපයේ කෙටුම්පතට විවේචන එල්ලවන්නට වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් එජාප, වෘත්තියවේදින්ගේ කෙටුම්පතට ඇතුළත්ව තිබූ එක් මූලික කාරණයක් (ව්‍යවස්ථා සභාවේ සංයුතිය පිළිබඳව) පමණක් ඉවත් කොට අන් සියලු කාරණාවලදි වෘත්තියවේදින්ගේ කෙටුම්පතට බොහෝදුරට සමාන නව කෙටුම්පතක් සකස් කළේය.

පොදු පෙරමුණට පාර්ලිමේන්තුවේ තිබුණු බහුතර බලය බිඳවැටෙමින් තිබුණු තත්ත්වයක් ඉදිරියේ සිය පැවැත්ම රැකගැනීම සඳහා එය ජවිපෙ සමග පරිවාස වැඩපිළිවෙළක් ඇති කරගත්තේය. පරිවාස වැඩපිළිවෙළට ඇතුළත් ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම් අතර ව්‍යවස්ථා සභාවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් සඳහා වන 17 වැනි සංශෝධනය නීතිගත කිරීම ද ඇතුළත් විය.

ව්‍යවස්ථා අරමුණ විකෘති කිරීම

පොදු පෙරමුණේ නායිකාව එතෙක් ස්වාධීන කොමිෂන් ක්‍රමයකට කැමති වී තිබුණේ නැත. එහෙත් ජවිපෙ සමග ඇති කරගන්නා පරිවාස ආණ්ඩුවක් සඳහා ඊට එකගවීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී තිබුණු තත්ත්වයක් යටතේ තමන් එතෙක් අකමැති වී සිටි දේට එකගවීමට පොදු පෙරමුණු නායිකාවට සිදුවිය. එහෙත් එහිදි ඒ සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයේ හරය සියුම් ලෙස විකෘති කෙරෙන වැඩපිළිවෙළක් මගින් සිය අරමුණ ඉටුකරගැනීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් පොදු පෙරමුණේ නායිකාවට තිබුණේය. එය ක්‍රියාවට නැගුණේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා නව කෙටුම්පතක් කෙටුම්පත් කෙරෙන ආකාරයටය.

නව කෙටුම්පතක් සකස් කිරීම අත්‍යාවශ්‍ය වී නම්, පොදු පෙරමුණට ඒ සඳහා යොදාගැනීමට සිටි සුදුසුම පුද්ගලයා වූයේ ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වාය. ව්‍යවස්ථා සම්පාදන විෂයයට සිටි ලොකුම විශාරදයා ඔහු වූවා සේ ම ඔහු ජනාධිපතිනියගේ ප්‍රධාන නීති උපදේශකයා ද වූයේය. එහෙත් එච්.එල්. වැනි කෙනෙකු ලවා ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීම වැනි කාරණයකදි සමාජයට හානිදායි විකෘතියක් කරවාගැනීමේ හැකියාවක් නැති බව ජනාධිපතිනිය දැන සිටියාය. ඒ නිසා ඇය අගවිනිසුරුගේ ද සහාය ඇතිව ඒ දෙදෙනාටම සමීප පුද්ගලයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඒ සඳහා යොදා ගත්තේය. මේ විෂයෙහිලා ජනාධිපතිනියට තිබෙන බලතල අහෝසි කිරිමේ අරමුණ උපරිම මට්ටමකින් සීමා කරන අතර, අගවිනිසුරුවරයාට උපරිම රැකවරණයක් ලබාදෙන ආකාරයේ කෙටුම්පතක් සකස් කරවා ගැනීම එහි අරමුණ විය.

ජවිපෙ භූමිකාව

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට ඉතා වේගවත් හා ආකර්ශනීය ආකාරයකින් මහජනයා ඇමතීමේ හැකියාව හා වර්ණවත් දේශපාලන සංදර්ශන පැවැත්වීමේ හැකියාව ඇතත්, ව්‍යවස්ථා සම්පාදන විෂයයක් වැනි කාරණයකදි සියුම් ලෙස කරුණු තේරුම් ගැනීමේ හැකියාවක් නැති බව ඔවුන් සියලු දෙනා දැන සිටියේය. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ව්‍යවස්ථා සභාවක් යටතේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඉල්ලා සිටි අයගේ අපේක්ෂාවන්ට පටහැනිව සියුම් විකෘති කරන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම ද අමාරු දෙයක් නොවීය.

ජනතා විමුක්ති පෙරමුණ අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට සම්බන්ධ වී සිටියත්, මේ වනවිට අගවිනිසුරුවරයා තමන්ට හිතවත් පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණේ ලෙනට රිංගවා තිබුණි. නීති විෂයයේදි ආධුනික තරුණයන් කිහිපදෙනෙකු හැර නමගිය කිසිවකු ජනතා විමුක්ති පෙරමුණට නොසිටියේය. තමන්ට අලුතෙන් සමීපවී සිටි මේ පුද්ගලයා දැවැන්තයෙකු නොවූවත්, එක්තරා ප්‍රමාණයක නමක් ඇති පුද්ගලයෙකු වීම හේතු කොටගෙන ඔහු කෙරෙහි ඇති කරගත් විශ්වාසයක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණේය. ජයම්පති වික්‍රමරත්න අතින් සැකසෙන කෙටුම්පත සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් උපදෙස් ලබාගත්තේ එකී පුද්ගලයාගෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදුවෙමින් පැවති විකෘතිකරණ ක්‍රියාවලියේදි අන්ධ තත්ත්වයක තබාගැනීමට හැකිවූවා පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණේ අනුග්‍රහය ඇතිව ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයක් ලබාගැනීමට ද ඒ පුද්ගලයා සමත් වූයේය.

තිරය පිටුපස ඉඳිමින් එම තීරණාත්මක අවස්ථාවේදි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපතිනිය වෙනුවෙන් ද, ඊටත් වඩා තමන්ගේ දියුණුවට අත දුන් අගවිනිසුරුවරයා වෙනුවෙන් ද ඉටු කරන ලද කාර්යභාරය අතිවිශාලය.

ඔහු විසින් එහිදි කරන ලද සියුම් වෙනස්කම් අතර අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා ඇති කරන ලද එක් වෙනසක් මෙසේය.

එක්සත් ජාතික පක්ෂ කෙටුම්පතේ අධිකරණ සේවා කොමිසමේ සංයුතියේ ස්වභාවය දක්වා තිබුණේ මෙසේය.

112 (1) මෙහි පහත විධිවිධාන සලස්වා ඇති පරිදි අගවිනිසුරුවරයාගෙන් හා සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත (මෙහි මින් මතු කොමිෂන් සභාව යනුවෙන් සඳහන් කරනු ලබන) අධිකරණ සේවා කොමිෂන් සභාවක් පත් කරනු ලැබිය යුත්තේය.

(2) අග්‍රවිනිශ්චයකාරවරයා කොමිෂන් සභාවේ සභාපතිවරයා විය යුත්තේය.

(3) අනෙක් සාමාජිකයන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් විය යුතු අතර, ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් වශයෙන් ධුරයට පත් කරනු ලැබූ දිනය අනුව ජේ‍යෂ්ඨතම විනිශ්චයකාරවරුන් විය යුත්තේය.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය කෙටුම්පතේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සංයුතිය අගවිනිසුරුවරයාගේ වුවමනාවන්ට ගැලපෙන ලෙස වෙනස්කර ඇත්තේ මෙසේය.

(III) ඈ (1) (මේ පරිච්ඡේදයෙහි කොමිෂන් සභාව යනුවෙන් සඳහන් කරනු ලබන) අධිකරණ සේවා කොමිෂන් සභාවක් වන්නේය. කොමිෂන් සභාව අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිශ්චයකාරවරයන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය. අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් එවැනි වෙනසක් ඇති කිරීමට ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට අවශ්‍ය වූයේ ඇයි?

පැරණි අධිකරණ සේවා කොමිසම

94දි පොදු පෙරමුණ බලයට එන තෙක්ම අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේ‍යෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි. 94දි එහි සාමාජිකයන් වූයේ ජී.පී.ඇස්. ද සිල්වා (අගවිනිසුරු) තිස්ස බණ්ඩාරනායක, මාර්ක් ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ය.

පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසුව අභියාචනාධිකරණයේ සිටි සරත් නන්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වනවා පමණක් නොව, ජනාධිපතිනියට සමීප පුද්ගලයෙකු වශයෙන් ඔහු අධිකරණ හා නීති තලයේ සිටින බලවත්ම චරිතයක් බවට පත්වන්නේය. ඒ සමග ඔහුට අධිකරණ සේවා කොමිෂමේ සංයුතිය තමාට අවශ්‍ය ලෙස වෙනස් කරවා ගැනීමට ද අවශ්‍ය වේ. ඊට හේතු වනුයේ සරත් නන්ද සිල්වා මහතා, සිය බිරිඳ සමග අනාචාර ජීවිතයක් ගතකරමින් සිය පවුල් ජීවිතය අවුල් කළේය යන චෝදනාව මත ඒ දෙදෙනාම වගඋත්තරකරුවන් කරමින් රසායන ඉංජිනේරු ජයසේකර පවරන ලද නඩුව විභාග කළ දිසා විනිසුරු උපාලි අබේරත්න, එම නඩුව අගතිගාමී ලෙස සරත් නන්ද සිල්වාගේ වාසියට තීන්දු කළ බවට චෝදනා කරමින් රසායන ඉංජිනේරු ජයසේකර අධිකරණ සේවා කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිසම දිසා විනිසුරුවරයාට එරෙහිව ආරම්භ කරන ලද විනය පරික්ෂණයකින් දිසා විනිසුරුවරයා වරදකරු වී ඔහුගේ රැකියාව ද අහිමි වන තත්ත්වයක් ඇතිවී තිබුණු නිසාය. දිසා විනිසුරුවරයා පිළිබඳ මේ විනය පරික්ෂණය කරන ලද්දේ තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේ‍යෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනාය.

තිස්ස බණ්ඩාරනායක විශ්‍රාම යෑමෙන් පසුව සරත් නන්ද සිල්වා මහතා ජනාධිපතිනිය ලවා ඒ පුරප්පාඩුවට තමාගේ සමීප හිතවතකු වන ආනන්ද කුමාරස්වාමි මහතා පත්කරවා ගන්නා ලද අතර, මාර්ක් ප්‍රනාන්දු මහතාගේ අවුරුදු පහ සම්පූර්ණ වීමෙන් පසුව නැවත ඒ මහතා කොමිසමට පත්කිරිමෙන් වළකා ඒ තැනට ප්‍රියන්ත පෙරේරා මහතා පත්කරවා ගත්තේය. ඒ සමග අගවිනිසුරුවරයාට අතිරේකව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේ‍යෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව සමන්විතවීමේ සම්ප්‍රදාය අවසන් වී, සරත් නන්ද සිල්වා මහතාගේ අනාචාර නඩුව විමසූ දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව අවසන් කොට තිබූ විනය පරික්ෂණය ද යට ගැසුණේය. ආනන්ද කුමාරස්වාමි මහතා විශ්‍රාම යෑමෙන් පසුව ඒ මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපති බවට පත් කෙරුණු අතර, ඒ නිසා ඇතිවූ පුරප්පාඩුව ලක්ෂ්මන් වීරසේකර මහතාගෙන් පුරවන ලදි.

සරත් නන්ද සිල්වා මහතා දක්ෂ චෙස් ක්‍රීඩකයෙකු ලෙස සැලකිය නොහැකිවුවත්, ඔහු දක්ෂ දාම් ක්‍රීඩකයෙකු ලෙස සැලකිය හැකිය. තමන්ට අවශ්‍ය ලෙස අධිකරණය මෙහෙයවීම සඳහා හැම වැදගත් මර්මස්ථානයකටම තමන්ගේ හරි ඉත්තන් යොදා ගත්තේය.

ප්‍රියන්ත පෙරේරා

නීතිපති දෙපාර්තමේන්තුවේ සිටියදි ප්‍රියන්ත පෙරේරා මහතාට දූෂණ චෝදනා එල්ල වී ඔහු හිරවෙමින් සිටි අවස්ථාවක ඔහු බේරාගත් පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වා මහතාය. ඒ සඳහා තමන් වෙනුවෙන් ඔහු පෙරළා ඕනෑම දෙයක් කරන බව සරත් නන්ද සිල්වා දැන සිටියේය. ඔහු අගවිනිසුරු ධුරයට පත්වී අධිකරණ සේවා කොමිෂමේ ප්‍රධානියා වන තෙක් කොමිසම තුළ සරත් නන්ද සිල්වාගේ අයිතිවාසිකම් රැක බලාගන්නා රැකවල් දූතයාගේ කාර්ය ඉටුකරන ලද්දේ ප්‍රියන්ත පෙරේරා මහතාය. අධිකරණ සේවා කොමිසම දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව ආරම්භ කොට තර්කානුකූල අවසානයක් කරා යමින් තිබූ පරික්ෂණය යටපත් කිරිමෙන් නොනැවතී, කලකට පසුව ඒ ගැන මා කරන ලද කෑගැසීම නිසා අධිකරණ සේවා කොමිසම විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් මගින් නැවත දිසා විනිසුරුවරයා සියලු චෝදනාවලට වරදකරු කොට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරීදි දිසා විනිසුරුවරයා විශ්‍රාම ගැන්වීමට තීරණය කොට ඒ බව දිසා විනිසුරුවරයාට ද දෑනුම්දිමෙන් පසුව සරත් සිල්වා මහතාගේ වුවමනාව පරිදි දෙන ලද ඒ දඬුවම නැවත ලිහිල් කොට ඔහු ආරක්ෂා කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම පොළඹවා ගන්නා ලද්දේ ප්‍රියන්ත පෙරේරා මහතාය. අධිකරණ සේවා කොමිසම විසින්ම පත් කරන ලද ත්‍රිපුද්ගල පරික්ෂණ කමිටුවක් මගින්ම මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක සියලු චෝදනාවලට වැරදිකරු කරනු ලැබූ පසු වැඩ නොකර ගෙදර ඉඳිමින් පූර්ණ වැටුප් ලබාගත හැකි ආකාරයට ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට මැදිහත්වී ක්‍රියාකළ ප්‍රධාන පුද්ගලයා වන්නේ ද ප්‍රියන්ත පෙරේරා මහතාය. ඒ සියලුදේම වෙනුවෙන් සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව ප්‍රියන්ත පෙරේරා මහතාට පෙරළා වන්දි ගෙවන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අගවිනිසුරුවරයා ජනාධිපතිනියට කොතරම් සමීප පුද්ගලයෙකු වුවත්, ප්‍රියන්ත පෙරේරා මහතා කොටි සැකකරුවකුගෙන් පගාවක් ගත් බවට ජනාධිපතිනිය චෝදනා කළ අවස්ථාවේදි පවා අගවිනිසුරුවරයා ජනාධිපතිනිය සතුටු කිරීම පිණිස සිය කලණ මිතුරා බිලිදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ජනාධිපතිනියගේ ද කෝපයට හේතු නොවන ලෙස ඔහු සිය මිතුරා ආරක්ෂා කළේය. ප්‍රියන්ත පෙරේරා මහතා විශ්‍රාම ගිය පසුත්, විශ්‍රාම වැටුපට අතිරේකව වෙනත් ක්‍රමයකට ලොකු මාසික ආදායමක් ලබාගත හැකි ක්‍රමයක් ද ඇතිකර දුන්නේය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කෙරෙමින් තිබුණු අවස්ථාවේදි තමන්ට එරෙහිව ඉදිරිපත් වී තිබුණු දෝෂාභියෝගය බලරහිත කරගන්නවාට අතිරේකව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේ‍යෂ්ඨයින් දෙදෙනා (එකල ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජේ‍යෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනා වූයේ මාර්ක් ප්‍රනාන්දු මහතා හා ඒ.ආර්.එම්.බී. අමරසිංහ මහතාය) අධිකරණ සේවා කොමිසමට ඇතුළත් කිරීමට බලකෙරෙන නීති සම්පාදනයකට ඉඩ නොතැබීමට සරත් නන්ද සිල්වා මහතාට අවශ්‍ය වී තිබුණේය. අගවිනිසුරුවරයාට අතිරේකව අධිකරණ සේවා කොමිසම පත් කරන අනෙක් සාමාජිකයන් දෙදෙනා ජේ‍යෂ්ඨතම සාමාජිකයන් විය යුතු බවට මුල් කෙටුම්පතට ඇතුළත්ව තිබුණු කොන්දේසිය ජයම්පති වික්‍රමරත්න මහතා අතින් ඉවත් කෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මේ නාටකය කෙටුම්පත් මට්ටමෙන් කෙරෙන විකෘති කිරිම්වලින් පමණක් අවසන් වූයේ නැත. සන්සුන්ව කරන කරුණු හැදෑරීමකට ඉඩ නොදි සංශෝධනවලට ද ඉඩ නොතබා තවත් විකෘති කොට සකස් කරන ලද කෙටුම්පත එක දිනකින් සම්මත කරගැනීම පොදු පෙරමුණේ උපාය මාර්ගය විය.

පාර්ලිමේන්තුවට වංචා කිරීම

සිදුවී තිබුණු මේ විකෘති කිරිම් එජාප හඳුනාගත්තේ නැත. එහෙත් එජාපය කෙටුම්පතට සංශෝධනයක් පිළියෙළ කළේය. එය සිදුවී තිබුණු විකෘති කිරිම් නිවැරදි කිරීම සඳහා වන සංශෝධනයක් නොව, ව්‍යවස්ථා සභාව යටතට වැටෙන ප්‍රධාන තනතුරු හා ආයතනවල සාමාජිකයන් වෙනස් කිරීමට අවශ්‍ය අවස්ථාවලදි එම වෙනස් කිරිම් සඳහා ව්‍යවස්ථා සභාවට බලය ලබාදෙන සංශෝධනයකි. එහෙත් පොදු පෙරමුණ එවැනි දේකට ඉඩදිමට කොහෙත්ම කැමති වූයේ නැත. එහෙත් තිබෙන හැමදෙයක්මත් ඒ ආකාරයෙන් පවතින්නට ඉඩ දෙන ව්‍යවස්ථා සංශෝධනයකට තමන්ට එකගවිය නොහැකි බව එජාප ප්‍රකාශ කිරීම නිසා තිබෙන ආයතන අතරින් අල්ලස් හෝ දූෂණ කොමිසම, මානව හිමිකම් කොමිසම හා මුදල් කොමිසම යන ආයතන තුන සඳහා පමණක් අලුතෙන් සාමාජිකයන් පත්කිරිමේ බලය ලබාදිමේ විධි විධාන සංශෝධනයට ඇතුළත් කිරීමට කාරක සභා අවස්ථාවේදි පොදු පෙරමුණ එකග වූවේය. ඉන්පසු ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ එම එකගතාව ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය වුවත්, ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වීම සඳහා කතානායක අත්සන් තබන ලද්දේ සංශෝධන සහිත කෙටුම්පතට නොව, සංශෝධන රහිත මුල් කෙටුම්පතටය. එවැනි සටකපට වංචාවක් ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසයේ ලෝකයේ කවර රටකවත් සිදුවන්නට ඇතැයි සිතිය නොහැකිය. එහෙත් එක්සත් ජාතික පක්ෂය ඒ ගැන අද දක්වා නිහඬව සිටිනවා විනා පාර්ලිමේන්තුව වැනි උත්තරිතර ආයතනයක එවැනි බරපතල වංචාවක් සිදුවූයේ කෙසේද යන්න සොයා බැලුවේ නැත.

කතානායක අනුර බණ්ඩාරනායක

මෙය පාර්ලිමේන්තුව තුළ මේ ආකාරයේ වංචාවක් සිදුවූ පළමු අවස්ථාව ලෙස ද සැලකිය නොහැකිය. අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගය පරික්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත්කිරීමට ඉඩ නොලැබෙන ආකාරයට අධිකරණය විසින් කතානායකවරයාට එරෙහිව වාරණ නියෝගයක් පැනවූ උසාවි කුමන්ත්‍රණයට ද පාර්ලිමේන්තුව සම්බන්ධය. මේ වාරණ නියෝගයට මුල්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනෙන් එකක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ එජාප බලයට පත්වීමෙන් පසුව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එංගලන්තයට යවනු ලැබූ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතාය. කොටස් වෙළෙඳ පොළේ සිදුවූ වංචාවකට අදාළව ෆයිස් මුස්තාපා මහතාගේ පුතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව අධි චෝදනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකරමින් සිටින අවස්ථාවක ඊට මැදිහත්වී ෆයිස් මුස්තාපා මහතාගේ පුතා ආරක්ෂා කර දුන් පුද්ගලයා වූයේ සරත් සිල්වා මහතාය. සරත් සිල්වා මහතාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට එජාප තීරණය කිරිමෙන් පසුව ඊට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කෙරුණු උසාවි කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් රගපෑ පුද්ගලයා වූයේ ෆයිස් මුස්තාපා මහතාය. මුස්තාපා මහතාට මානව හිමිකම් කොමිසමේ සභාපතිකම ලබාගන්නට ආධාර කර තිබුණේ ද සරත් සිල්වා මහතාය.

කතානායකවරයාට එරෙහිව පනවන ලද වාරණ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු අභ්‍යන්තරයෙන් මතුවූ දැඩි විරෝධය නිසා කතානායක අනුර බණ්ඩාරනායක මහතා එම වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරන තීන්දුවක් ප්‍රකාශයට පත් කළත්, වාරණ නියෝග කුමන්ත්‍රණයට කතානායකගේ ද සම්බන්ධයක් තිබුණි. ෆයිස් මුස්තාපා මහතා වාරණ නියෝගයට පෙර වෙන්නට යන දේ අනුර බණ්ඩාරනායක මහතාට පැහැදිලි කොට දි තිබුණු අතර, වෙන්න යන දේ කතානායක අනුර බණ්ඩාරනායක මහතා ද කල්තියා දැන සිටියේය. මේ නඩුව විමසු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා වූයේ ප්‍රියන්ත පෙරේරා මහතාය. මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනෙන් එකක් ඉදිරිපත් කර තිබුණේ සරත් නන්ද සිල්වාට එරෙහිව ජයසේකර විසින් පවරන ලද නඩුවේදි සරත් නන්ද සිල්වාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන ලේඛනගත කර තිබුණේ 2001 ජූනි 04 වැනිදා සවසය. 05 වැනිදා පෝය නිවාඩු දිනයකි. කරුණු ඉදිරිපත් කිරීම සඳහා විකල්ප දින තුනක් දිමේ සම්ප්‍රදායයක් ඇතත්, එවැනි කිසිවකින් තොරව නඩුව 6 වැනිදාම විභාගයට ගැනුණි. මේ නඩුවේ වගඋත්තරකරුවන් වූයේ කතානායක අනුර බණ්ඩාරනායක, පාර්ලිමේන්තු ලේකම් ධම්මික කිතුල්ගොඩ, නීතිපති කේ.සී. කමලසබේසන් හා ජනාධිපති ලේකම් කේ. බාලපටබැඳි යන සිව්දෙනාය. අතුරු වාරණ නියෝගයක් ඉල්ලා සිටින අවස්ථාවලදි පෙත්සම්වල පිටපත් කල්තියා වගඋත්තරකරුවන් අතට පත් කරන සම්ප්‍රදායක් ඇතත්, මොනයම් හේතුවක් නිසා හෝ ඒ සම්ප්‍රදාය ද මේ නඩුවට බලනොපෑවේය. පුදුමයකට මෙන් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ සිදුකරන්නට නියමිතව තිබූ ව්‍යවස්ථාමය කාර්යයට එරෙහිව පවරන ලද මේ නඩුවේදි සියලුම වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ද නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ පුද්ගලයෙකු නොවන සරත් නන්ද සිල්වා මහතාගේ සමීප ආධාරකරුවකු වූ නීතිඥ උදිත ඉහලහේවා මහතාය. ඔහු අනෙකුත් වගඋත්තකරුවන් දෙදෙනාට අතිරේකව පෙරකලාසි ගොනු කිරීමකින් තොරවම කතානායක හා පාර්ලිමේන්තු ලේකම් වෙනුවෙන් ද පෙනී සිටියේය. තමා පෙනී සිටින කතානායකට එරෙහිව අතුරු තහනමක් නිකුත් කරනවාට ද ඔහු විරුද්ධ නොවූයේය.

මේ සමස්ත නාටකය අගවිනිසුරු, ජනාධිපති, නඩුවේ විනිසුරුවරුන්, පැමිණිලිකරුවන් හා වගඋත්තරකරුවන් යන සියලු දෙනා එකට එකතු වී පාර්ලිමේන්තුවට එරෙහිවත්, ජනතා පරමාධිපත්‍යයට එරෙහිවත් රගදක්වන ලද අශෝභන බිහිසුණු නෛතික කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකිවුවත් ඊට එරෙහිව අද දක්වා පාර්ලිමේන්තුව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

ලෝක වාර්තාවක් තැබෙන ආකාරයට එසේ එක් දිනකදි 17 වැනි සංශෝධනය සම්මත කරගැනීමෙන් දින ගණනාවකට පසුව එජාප ආණ්ඩුවට එරෙහිව කල් දෙන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමෙන් තොරව ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.

ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාවක් පත්කර ගනිමින් ස්වාධීන මැතිවරණ කොමිසමක් පිහිටුවා නොතිබුණ ද යෝජිත ස්වාධීන මැතිවරණ කොමිසමේ සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී තිබුණු තත්ත්වයක් ඉදිරියේ මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ හා සම්පත් අයුතු ලෙස යොදා ගැනීම වළකා ගැනීම සඳහා එජාපයට අධිකරණය ඉදිරියට යන්න සිදුවුවත්, එහිදි අගවිනිසුරුවරයා කළේ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් සියලු මූලධර්ම අමු අමුවේ උල්ලංඝණය කෙරෙන ආකාරයට භාරකාර ආණ්ඩුව පවත්වාගෙන ගිය නීති විරෝධී වැඩපිළිවෙළ බාධාවකින් තොරව ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය පදනමක් ලබාදිමය. එහෙත් එවැනි තත්ත්වයක් යටතේ පවා පවත්වනු ලැබූ මැතිවරණයෙන් ජයගැනීමට පොදු පෙරමුණට හැකිවූයේ නැත.

ව්‍යවස්ථා සභාව ඇතිකර ගැනීම

ඒ සමග එජාප බලයට ඒමෙන් පසුව තරමක් කල්ගතවී හෝ ව්‍යවස්ථා සභාවක් ඇති කර ගත්තේය.

ඇති කරගන්නා ලද ව්‍යවස්ථා සභාවට සියලු සාමාජිකයන් තෝරා ගැනුණේ නීති සමාජයෙනි. විනිශ්චයකරුවන් හෝ නීතිඥයින් නොවන කිසිම පුද්ගලයෙකු ඊට ඇතුළත් වූයේ නැත. ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට අනුව විශිෂ්ට, කීර්තිමත් හා අවංක පුද්ගලයන් සිටිය හැක්කේ නීතිඥයන් හා විනිසුරුවරුන් අතර පමණමය. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, ගණකාධිකාරින්, කළමනාකරුවන්, කලාකරුවන් වැනි අය අතර විශිෂ්ට කීර්තිමත් හෝ අවංක පුද්ගලයන් සිටිය නොහැකිය.

ඊළග වැදගත්ම දේ මහජන පරික්ෂාවකට ලක්කිරීමකින් තොරව දේශපාලකයන් එකට එකතු වී තමන් කැමති පිරිසක් ව්‍යවස්ථා සභාවට තෝරාගැනීමය. තෝරාපත් කරගත් අය අතර එවැනි ගරු කටයුතු තනතුරක් හෙබවීමට නුසුදුසු අය සිටීද යන්න සොයා බලන ක්‍රමයක් නොවීය. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන විනිසුරුවරුන් පවා කොංග්‍රස් සභාවේ දැඩි පරික්ෂා කිරීමකට ලක් කෙරේ. එහෙත් අපේ ව්‍යවස්ථා සභාවට සියලු සාමාජිකයන් පත් කෙරුණේ එවැනි පෙරිමේ ක්‍රමයක් නැතිවය.

කොහේද යන්නේ මල්ලෙ පොල්

ව්‍යවස්ථා සභාව පත් කරගෙන දැන් බොහෝ කලක් ගතවී ඇතත්, තවමත් එයට පිහිටුවීමට හැකිවී තිබෙන්නේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම හා ස්වාධීන පොලිස් කොමිසම පමණය. ජනාධිපතිනිය විසින් පත් කළත් ඉතා ගරු කටයුතු පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි එච්.එල්. ද සිල්වා මහතා පුවත්පතක පළවූ විවේචනයක් නිසා ව්‍යවස්ථා සභාවෙන් ඉවත් විය. ඒත් තාමත් ඒ පුරප්පාඩුවට අන් අයෙකු පත්කර නැත. ව්‍යවස්ථානුකූලව ව්‍යවස්ථා සභාව යටතට වැටෙන තනතුරු සඳහා වැඩ බලන තත්ත්වයේ කෙනෙකු පත්කළ හැක්කේ දින 14ක කාලයක් සඳහා පමණය. එහෙත් දින 14 කෑලි බොහෝ ගණනක් ගෙවී ඇතත්, ප්‍රියානි විජේසේකර මහත්මිය තාමත් සිටින්නේ පාර්ලිමේන්තුවේ වැඩ බලන ලේකම් තත්ත්වයකය. ප්‍රියානි විජේසේකර පාර්ලිමේන්තුවේ ලේකම් ධුරයට පත් කරනවාට ජනාධිපතිනිය තරයේ විරුද්ධය. ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර තිබූ අවස්ථාවක ජනාධිපතිනිය තමන් කැමති පිටස්තර පුද්ගලයෙකු වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට ගෙනා ආකාරයටම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරයේ පුරප්පාඩුවක් ඇතිවූ විට ඊළගට ඒ තැනට පත් කළ යුතුව තිබුණු ප්‍රියානි විජේසේකර ඒ තැනට පත් නොකොට පිටස්තරින් ධම්මික කිතුල්ගොඩ මහතා ඒ තැනට ගෙනාවේය. ස්වාධීන මැතිවරණ කොමිසම තාමත් පිහිටුවන්නට නොහැකිවී ඇත්තේ ද එහි සභාපති ධුරයට නම් කළ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රංජිත් ධීරරත්න මහතා ඒ තනතුරට පත්කරනවාට ජනාධිපතිනිය තරයේ විරුද්ධ නිසාය. ජනාධිපතිනිය එකග නොවන කිසිවකු කිසිම ස්වාධීන කොමිෂන් සභාවකට පත් කළ නොහැකි තත්ත්වයක් දැන් ඇතිවී තිබේ. එහෙත් එය ව්‍යවස්ථා සභාව හෝ ආණ්ඩුව හෝ ඉක්මණින් විසඳ ගතයුතු බරපතළ ප්‍රශ්නයක් ලෙස සලකන බවක් ද පෙනෙන්නට නැත.

ව්‍යවස්ථා සභාව තමන් යටතේ ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් තෝරාපත් කරන ක්‍රමය ද තවමත් මහජනතාවට රහසක්ව පවතී. මේ තනතුරුවලට සුදුසු පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා ඒ අතර සිටින වඩාත්ම සුදුසු පුද්ගලයන් තෝරාපත් කරන ක්‍රමයක් වෙනුවට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ අප්‍රසිද්ධ හා නොපැහැදිලි ක්‍රමයකි.

ව්‍යවස්ථා සභාව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා පුද්ගලයන් නම් කළවිට ජනාධිපතිනිය කීවේ දැන් සිටින සාමාජිකයන්ගේ පස් අවුරුදු කාලසීමාව අවසන් වන තෙක් ඔවුන්ට එම තනතුරුවල ඉන්නට ඉඩ දිය යුතු බවය. කිසිදු විරෝධයකින් තොරව ව්‍යවස්ථා සභාව ජනාධිපතිනියගේ ඒ ස්ථාවරය බාරගත්තේය. අවසානයේදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවා පනතක් බල සහිත වී ඇති බව පෙනේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පෙර කාරක සභා අවස්ථාවේදි ඇති කරගත් පොදු එකගතාව ගැන දැන් ආණ්ඩු පක්ෂයට ද මතක නැත. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙනස් කිරීමක් නිසා කාටවත් රක්ෂා අහිමිවන තත්ත්වයක් ඇතිවන්නේ නැතත්, ව්‍යවස්ථා සභාව කිසිම වෙනසකින් තොරව එයට පිස්සු නටන්නට ඉඩදි බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.

ව්‍යවස්ථා සභාව යටතට වැටෙන කලින් පත්කරන ලද සියලු කොමිෂන් සභා තිබෙන්නේ ඉතාමත් පිරිහුණු හා පිස්සු නටන තැනකය. තමන් යටතේ තිබෙන ආයතන බරපතළ වැරදි කරන අවස්ථාවලදි පවා ඒවා නිවැරදි කිරිමේ හැකියාවක් ව්‍යවස්ථා සභාවට නැතිනම් එවැනි සභාවකින් රටට ඇති පලේ කුමක්ද? ව්‍යවස්ථා සභාවක් ඇති කරගත්තේ ඒ යටතට වැටෙන ආයතන කිහිපයේ ඉඳහිට ඇතිවන පුරප්පාඩු පිරවීමට පමණක් නම්, එවැනි සරල කාර්යයක් සඳහා වෙන්වූ ආයතනයක් සඳහා ගෙවන පඩි නඩි වෙනුවෙන් පමණක් මහජන වියදමින් වසරකට රුපියල් ලක්ෂ 47ක් වැය කළ යුත්තේ ඇයි? ව්‍යවස්ථා සභාව මතුවන ගැටලු පිළිබඳව මහජනතාවට කතා කරන්නේ නැත. මහජනයාට කතා කරන්න ප්‍රකාශකයකු ද ව්‍යවස්ථා සභාවට නැත. ව්‍යවස්ථා සභාව එසේ කරන්නේ මේ රටේ මහජනතාව ප්‍රවේණිදාසයන් පිරිසක් ලෙස සිතාගෙන විය හැකිය.