ෆෙඩරල් ක්රමයකට ජනතාව අතර තිබෙන කැමැත්ත හෝ අකමැත්ත කොතරම්ද යන්න පැහැදිලි නැතත් පෙඩරල් ක්රමයකට කැමති දේශපාලන පක්ෂෂ මොනවාද අකමැති දේශපාලන පක්ෂෂ මොනවාද යන්න හඳුනා ගැනීම පහසු ය.
ජනතා විමුක්ති පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, සිහළ උරුමය හා භූමිපුත්ර යන පක්ෂෂ පෙඩරල් ක්රමයකට විරුද්ධ ය.
එක්සත් ජාතික පක්ෂෂය, ශ්රීලනිපය, ජවිපෙ හැර අනෙකුත් සියලුම වාමාංශික පක්ෂෂ, සියලුම මුස්ලිම් දේශපාලන පක්ෂෂ හා සියලුම දෙමළ දේශපාලන පක්ෂෂ පෙඩරල් ක්රමයකට පක්ෂෂ ය.
රටේ අතිවිශාල බහුතරයක් දේශපාලන වශයෙන් ක්රියාකරන්නේ තමන් සම්බන්ධ දේශපාලන පක්ෂෂ දරන අදහස් අනුව ය. පෙඩරල් ක්රමයට පක්ෂෂපාත පක්ෂෂවලට තිබෙන ජනපදනම අනුව මේ විවාදයේ දි ජනතාවගෙන් විශාල බහුතරයක් පෙඩරල් ක්රමයකට කැමති වනු ඇතැයි උපකල්පනය කළ හැකි ය.
එහෙත් පෙඩරල් ක්රමයට කැමති අය අතර පවා ශ්රී ලංකාවට සුදුසු මාදිලිය කුමක්ද යන ප්රශ්නය නොවිසඳී පවතී. තවමත් රටට සුදුසු පෙඩරල් මාදිලිය ගැන කථා කරන තත්ත්වයක් ආරම්භ වී නැත.
ශ්රී ලංකාව සඳහා සුදුසු යැයි තමන්ට පෙනෙන විශේෂ ආකෘතියක් පිළිබඳ දළ අදහසක් මහාචාර්ය ගල්ටුන් විසින් ප්රකාශ කර තිබේ. ඔහු එම අදහස ඉදිරිපත් කරන අවස්ථාවේ දි ඊට සවන් දුන් පිරිස අතර ජනවර්ග තුනටම අයත් පුද්ගලයින් සිටියා සේ ම එක්සත් ජාතික පක්ෂෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂෂය, මුස්ලිම් කොංග්රසය, ජාතික සමගි පෙරමුණ හා දෙමළ සන්ධානය යන පක්ෂෂවලට අයත් පිරිසක් ද ඔවුන් අතර සිටියේ ය. මහාචාර්ය ගල්ටුන් ඉදිරිපත් කළ දළ ආකෘතිය ඒ සියලු දෙනාගේ පිළිගැනීමට හේතු වූ බවක් ද පෙනෙන්නට තිබුණ.
මහාචාර්ය ගල්ටුන් ද්වි මණ්ඩල ක්රමයක් :ඊසජ්පැර්ක) සහිත පෙඩරල් ව්යවස්ථාදායකයක් ද ඒ සමාන ද්වි මණ්ඩල ක්රමයක් සහිත පාලනයක් හෝ ප්රාන්ත ව්යවස්ථාදායක කිහිපයක් ද යෝජනා කරමින් එම ද්වි මණ්ඩල ක්රමයට ආවේණක සෙනෙට් මණ්ඩලය හෝ උත්තර මණ්ඩලය සකස්විය යුතු විශේෂ ආකාරයක් පෙන්වා දුන්නේ ය.
ඔහු යෝජනා කරන ද්වි මණ්ඩල ව්යස්ථාදායකයට සෙනෙට් මණ්ඩලයක් හා පාර්ලිමේන්තුවක් ඇතුළත් ය. පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරාපත්කර ගැනීම අතීතයේ පැවති ඡන්ද කොට්ඨාශ ක්රමයට, දැන් පවතින අනුපාතික ක්රමයට හෝ අනුපාත ක්රමයේ හා ඡන්ද කොට්ඨාශ ක්රමයේ මිශ්රණයක් ඇති වන ලෙස ඇති කරගන්නා ක්රමයකට හෝ විය හැකි ය.
එහෙත් සෙනෙට් මණ්ඩලයට හෝ උත්තර මණ්ඩලයට නියෝජිතයන් තෝරාගත යුත්තේ වාර්ගික පදනමක් මත, ඒ හැම වාර්ගික කණ්ඩායමකට ම ඔවුන්ගේ ලොකු කුඩා බව නොසලකා එක සමාන නියෝජිත සංඛ්යාවක් ලැබෙන ක්රමයකට ය.
එම සෙනෙට් මණ්ඩලයට (මධ්යම හා ප්රාන්ත) වාර්ගික ජන කණ්ඩායම් කෙරෙහි බලපාන කාරණාවල දි නිශේධ බලය පාවිච්චි කිරිමේ අයිතිය ලබාදිය යුතු ය. එවිට ඕනෑම වාර්ගික කණ්ඩායමකට තමන්ට පීඩාකාරි ලෙස බලපාන ක්රියාමාර්ග හෝ නීති සම්පාදනයන් අත්හිටුවීමේ හැකියාව ලැබෙන්නේ ය.
මෙවැනි විශේෂ ක්රමයක් දකුණේ සිංහල ජනතාව අතර ජීවත්වන දෙමළ, මුස්ලිම් ජනයා අතර සිංහල පීඩනයක් හෝ ආධිපත්යයක් පිළිබඳ බිය ඇතිවීම වැළැක්වීමට හේතුවනවා සේ ම උතුරු-නැගෙනහිර ප්රදේශවල දෙමළ ජනතාව අතර ජීවත්වන මුස්ලිම් හා සිංහල ජනතාව අතර දෙමළ පීඩනයක් හෝ ආධිපත්යයක් පිළිබඳ බියක් ඇතිවීම වැළැක්වීමට හේතුවනු ඇතැයි මහාචාර්ය ගල්ටුන්ගේ මතයයි.
පෙඩරල් රටවල ඇත්තේ ද්වි මණ්ඩල ව්යවස්ථාදායකයක් ය. එහෙත් ඒවාහි පවතින සෙනෙට් මණ්ඩල ආකෘති හා ඒවාට ලැබී තිබෙන බලතලවල විශාල වෙනස්කම් පවතී.
ඇමරිකානු සෙනෙට් මණ්ඩලය (කොංග්රසය) එහි තිබෙන නියෝජිත මන්ත්රී මණ්ඩලයට වඩා බලවත්ය. සෙනෙට් මණ්ඩලයේ සාමාජික සංඛ්යාව 100කි. ලොකු කුඩා බව නොසලකා සෑම ජනපදයකටම ලැබී තිබෙන නියෝජිත සංඛ්යාව එක සමාන ය. එක් ජනපදයක් සඳහා ලැබී තිබෙන නියෝජිතයන් ගණන දෙකකි. ඇමරිකානු සෙනෙට් මණ්ඩලය ජනපද රාජ්ය නියෝජිත මණ්ඩලයක් ලෙස සැලකිය හැකි ය.
ස්විට්සර්ලන්තයේ ඇත්තේ ද ද්වි මණ්ඩල ව්යවස්ථාදායකයකි. රාජ්ය සභාව (Council of States) එක් සෙනෙට් මණ්ඩලයක් ලෙස ක්රියා කරයි.
ඇමරිකාවට වෙනස්ව ස්විස් සෙනෙට් මණ්ඩලයට නියෝජිත මන්ත්රී මණ්ඩලයට සමාන බලයක් ලබා දි තිබේ. කැන්ටනයකින් නියෝජිතයින් දෙදෙනෙකු බැගින් ද අර්ධ කැන්ටනයකින් එක් නියෝජිතයකු බැගින් ද සෙනෙට් මණ්ඩලය නියෝජනය කරයි. සෙනෙට් මණ්ඩලයේ මුළු නියෝජිතයින් සංඛ්යාව 46කි. ස්විස් සෙනෙට් මණ්ඩල ක්රමය කැන්ටනවල ස්වාධිපත්යය හා පෞරුෂත්වය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස ක්රියා කරයි.
ස්විස් සෙනෙට් මණ්ඩලයට නියෝජිතයන් තෝරන ක්රමය ඇමරිකන් සෙනෙට් මණ්ඩලයට නියෝජිතයන් තෝරන ක්රමයට වඩා වෙනස් ය. ඇමරිකාවේ ජනපද නියෝජිතයන් දෙදෙනා ජනපද වැසියන්ගේ ඡන්දයෙන් තේරි පත් වේ. එහෙත් ස්විට්සර්ලන්තයේ කැන්ටන්වලින් යවන නියෝජිතයන් තේරිමේ ක්රමය තීන්දු කිරිමේ බලය ලැබී ඇත්තේ කැන්ටන්වලට ය. සමහර කැන්ටන් සිය නියෝජිතයන් දෙදෙනා කැන්ටන් ව්යවස්ථාදායකය විසින් ම නම් කරන අතර සමහර කැන්ටන් නියෝජිතයන් තෝරාපත්කරන්නේ මහජන ඡන්දයෙනි. සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන සිය නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ද කැන්ටන් සතු ය.
ඉන්දියානු ක්රමය ඇමරිකානු ක්රමයට හා ස්විස් ක්රමයට වෙනස් ය.
ඉන්දියාවේ රාජ්ය සභාව සෙනෙට් මණ්ඩලය ලෙස ක්රියා කරයි. එය පෙනී සිටින්නේ ප්රාන්ත රාජ්යයන්ගේ නියෝජන සභාව ලෙස ය. එහි මන්ත්රී සංඛ්යාව 250ක් වන අතර ඉන් 238ක් පත් කෙරෙන්නේ ප්රාන්ත මන්ත්රීවරුන්ගේ ඡන්දයෙනි. ඉතිරි12 දෙනා කලා, විද්යාව වැනි විශේෂ අංශවලින් තෝරාගන්නා අතර ඔවුන් ජනාධිපති විසින් පත් කරනු ලබයි.
ඉන්දියාවේ රාජ්ය සභාව ඇමරිකන් සෙනෙට් මණ්ඩලය මෙන් පාර්ලිමේතුවට වඩා බලවත් වන්නේ වත්, ස්විට්ර්ලන්තයේ සෙනෙට් මණ්ඩලය මෙන් පාර්ලිමේන්තුවට සමාන බලතල දරන්නේවත් නැත. එය පාර්ලිමේන්තුව ලෙස ක්රියා කරන ලෝක් සභාවට වඩා අඩු බලතල දරන ආයතනයකි.
මහාචාර්ය ගල්ටුන් ශ්රී ලංකාව සඳහා යෝජනා කරන මට්ටම් දෙකේ (මධ්යම ආණ්ඩුව හා පළාත් හෝ ජාතික ආණ්ඩු සඳහා) ද්වි මණ්ඩල ව්යවස්ථාදායකයට ඇතුළත් වන සෙනෙට් මණ්ඩලවල කවර බලතල දිය යුතුද යන්න නිශ්චිතව විග්රහ කරන්නේ නැතත්, ඔහු යෝජනා කරන ක්රමය ඇමරිකන් ස්විස් හෝ ඉන්දියානු ක්රමයට වඩා වෙනස් ය. ඇමරිකන් ක්රමය ජනපද රාජ්යයන්ගේ නියෝජන මණ්ඩලයට සමාන ය. ස්විස් ක්රමය කැන්ටන්වල ස්වාධිපත්යය හා පෞරුෂත්වය වෙනුවෙන් පෙනී සිටින මණ්ඩලයකි. ඉන්දියානු ක්රමය තරමක් සීමිත ආකාරයකට හෝ ජනපද ආණ්ඩු වෙන් වෙන්ව පවත්නා ආයතනයකි. එහෙත් මහාචාර්ය ගල්ටුන් ශ්රී ලංකාවට යෝජනා කරන ක්රමය රටේ ජීවත් වන සියලුම වාර්ගික කණ්ඩායම්වල ස්වාධිපත්යය හා පෞරුෂත්වය වෙනුවෙන් පෙනී සිටින ආයතන ක්රමයක් ලෙස සැලකිය හැකි ය. රටේ ජීවත්වන සියලුම වාර්ගික කණ්ඩායම්වලට සමාන පිළිගැනීමක් ලබාදෙමින් ජාතික හෝ ප්රාදේශීය මට්ටමෙන් ඒ ඒ ජනවර්ගවලට ලැබෙන විශාලත්වය හෝ බහුතර බලය අනුව සුළුතර කණ්ඩායම් යටපත් කිරීමට හෝ පීඩාවට පත් කිරීමට හැකියාවක් හෝ ඉඩක් ලබානොදෙන ක්රමයක් ලෙස සැලකිය හැකි ය.
එහෙත් එහි දි වාර්ගික කණ්ඩායම් යන්නෙන් ලොකු කුඩා බව නොසලකා, සියලුම වර්ග ලෙස සැලකිය හැකි සියලුම කණ්ඩායම්වලට නියෝජනයක් ලබාදිය යුතුද යන ප්රශ්නයක් ඇතිවිය හැකි ය.
අද බර්ගර්වරුන් වශයෙන් සැලකිය හැකි ජන කණ්ඩායමක් ඇත්තේ ම නැති තරම් ය. ආදිවාසීන් වශයෙන් සැලකෙන වැදි ජනයා සම්බන්ධයෙන් කුමන ප්රතිපත්තියක් අනුගමනය කළ යුතුද? පාරම්පරික දෙමළ ජනයා හා උඩරට දෙමළ ජනයා එක කණ්ඩායමක් ලෙස සලකනවාද නැත්නම් දෙකක් ලෙස සලකනවාද යන ප්රශ්න එහි දි මතුවිය හැකි ය. එහෙත් එවැනි ගැටලු විසඳ ගැනීමට බැරි තරම් අමාරු ප්රශ්න වන්නේ නැත.
මහාචාර්ය ගල්ටුන් යෝජනා කරන මේ ක්රමයට ආවේණික විශිෂ්ටතම ලක්ෂෂණය වනුයේ සිංහල ජනතාව අතර ජීවත් වන වෙනත් වර්ග තුළ සිංහල ආධිපත්යයක් හෝ පීඩනයක් පිළිබඳ බියක් සේ ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර ජීවත්වන වෙනත් වර්ග තුළ ද දෙමළ ආධිපත්යය පිළිබඳ බියක් හෝ පීඩනයක් පිළිබඳ බියක් ඇතිවීමට ඉඩක් නොලැබෙන තත්ත්වයක් ඇති කිරීම ය.
ගල්ටුන් යෝජනා කරන අනෙකුත් කරුණු ඕනෑම පෙඩරල් ක්රමයක් සඳහා බේරුම් කරගත යුතු මූලික කාරණා ය. පළාත් හෝ ප්රාන්ත ආණ්ඩුවල භෞමික සීමා තීරණය කර ගැනීම මධ්යම හා පළාත් ආණ්ඩුවල බලතල තීරණය කිරීම, ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇතිකරගැනීම යනාදි කරුණු ය.
මහාචාර්ය ගල්ටුන්ගේ මතය වන්නේ පළාත් ආණ්ඩුවල භෞමික සීමා ඉතා ලිහිල් (මිනිසුන්ට නිදහසේ යා හැකි) ආකාරයක් ගත යුතු බව ය. ශ්රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය මධ්යම ආණ්ඩුව යටතේ ද ඊට පහළින් තිබෙන අධිකරණ ආයතන පළාත් ආණ්ඩුවේද යටතට වැටෙන ක්රමයක් සුදුසු බව ය. ආරක්ෂෂක විදේශ කටයුතු, මුදල්, ගුවන් සේවා, අන්තර්ජාතික වරායන් හා ගුවන් තොටුපොළවල් වැනි විෂයයන් මධ්යම ආණ්ඩුව යටතේ තබාගෙන අධ්යාපනය සෞඛ්යය, ප්රවාහනය, පොලීසිය වැනි විෂයයන්හි බලතල ප්රාන්ත හෝ පළාත් ආණ්ඩුවලට ලබාදිම සුදුසු බව ය.