උතුරුමැද හා සබරගමුව යන පළාත් දෙකේ දැන් සිදු කෙරෙන්නේ පළාත් සභා මැතිවරණයක් ද, පළාත් බලය සඳහා කොල්ල කණ්ඩායම් තුනක් අතර කෙරෙන යුද්ධයක් ද?
මැතිවරණ, ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ජනතාව තම පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. එම වැදගත් කාර්ය සිදුවිය යුත්තේ නිදහස් හා සාධාරණ වටාපිටාවක් තුළ ය. මැතිවරණවල දී නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම සඳහා වන විශේෂ විධි විධාන හැම ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ම පොදුවේ දැකිය හැකි ය.
අසල්වැසි ඉන්දියාවේ නම් මැතිවරණ පැවැත්වීමේ බලය ලත් අධිකාරිය වශයෙන් මැතිවරණ කොමිසම ක්‍රියා කරයි. එය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ ඇති කරන්නට උත්සාහ කළ මැතිවරණ කොමිසම හෝ නොපිහිටුවූ එම කොමිසමේ බලය ඇතිව ක්‍රියා කරන මැතිවරණ කොමසාරිස් වැනි දුර්වල ආයතනයක් නොව, නීති නැතිවිට රීති ඇති කරගැනීමට පවා බලය ගැනීමේ ක්‍රියාකාරීත්වයේදී උපරිම ස්වාධීනත්වයක් හා උපරිම බලයක් පෙන්නුම් කර ඇති ඉන්දියාවේ ජනයාගේ වැඩිම විශ්වාසයට හා ගෞරවයට හේතුවී තිබෙන ආයතනයයි. මැතිවරණවලදී දේශපාලන පක්ෂ පමණක් නොව, රාජ්‍ය නිලධාරීන් ද, පොලිසිය ද එහි අධිකාරි බලයට යටත්ය. පාලක පක්ෂවලට හෝ විරුද්ධ පක්ෂවලට මැතිවරණ කොමිසම කෙරෙහි අයුතු ලෙස බලපෑමේ හැකියාවක් නැත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා වෙනත් අණපනත්වලින් මැතිවරණ කොමිසමට ලැබී තිබෙන බලය ආරක්ෂා කරන හා තවදුරටත් සංවර්ධනය කරන රැකවල් දූතයා ලෙස ක්‍රියා කරයි.
දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතා ඥානයකට හිමිකම් කියන අප රට (ශ්‍රී ලංකාව) මැතිවරණ විෂයයේ දී සිටින්නේ ඉතාමත් නො දියුණු හා අශීලාචාර තත්ත්වයක ය. එය රටේ පවතින අශීලාචාර දේශපාලන ක්රමයේ ඵලයක් ලෙස සැලකිය හැකි ය.
විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමෙන් පසු පවත්වන ලද කිසිම මැතිවරණයක් නිදහස් හෝ සාධාරණ වීයැ”යි කිව නො හැකි ය. ඒ හැම මැතිවරණයක් කෙරෙහි ම රාජ්‍ය බලය, ප්රචණ්ඩ බලය හා මුදල් බලය අඩු වැඩි වශයෙන් බලපෑවේ ය. හැම මැතිවරණයක දී ම බලයේ සිටින පාලක පක්ෂය සිය පක්ෂ අභිවෘද්ධිය සඳහා රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගත්තේ ය. ඒ කිසිම මැතිවරණයක දී ස්වාධීන භූමිකාවක් රඟපෑමට පොලිසිය සමත් නොවී ය. ඒ මොනම මැතිවරණයකදීවත් නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සමත් නොවී ය. එසේ මැතිවරණවල දී මතුවූ ආරාවුල්වල දී යුක්තිය ඉටු කිරීමට අධිකරණය සමත් නොවී ය.
පළාත් සභා බලයක් සඳහා කෙරෙන හැම තරගයක් ම පාහේ ගණන්කාරයන් අතර කෙරෙන අරගලයක් බවට පත්ව තිබේ. උතුරුමැද පළාත් සභා මැතිවරණවල දී ජේ.ආර්. ජයවර්ධන කරළියට ගෙනා මහින්දසෝම පරාජය කිරීම සඳහා අලුත් ගණන්කාරයෙකු කරළියට ගෙන ඒමට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිදුවූ අතර, එම ගණන්කාරයාගේ ආධිපත්‍යය පරාජය කිරීම සඳහා දැන් රනිල් වික්‍රමසිංහ මහතාට අලුත් පන්නයේ ගණන්කාරයෙකු කරළියට ගෙන ඒමට සිදුවී තිබේ. ඔහු දැන් කියන්නේ එල්ටීටීඊ මැරකම්වලට බිය නොවූ තමා බර්ටි ප්‍රේමලාල්ගේ මැරකම්වලට බිය නොවන බවය. කලක් තුණ්ඩු කැබලිවලින් රට බිය ගැන්වූ ජවිපෙ ලාල්කාන්ත කියන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ එකඟත්වයක් ලැබෙතොත් එය පැය කිහිපයක් තුළ බර්ටි ප්‍රේමලාල්ගේ හැම කාර්යාලයක්ම බිමට සමතලා කිරීමේ හැකියාවක් තම පක්ෂයට ඇති බව ය. බර්ටි ප්‍රේමලාල් කියන්නේ තමන්ට පහර දුන් හැම දෙනාට ම 23 වැනිදායින් පසු පහර දෙන බව ය. ගණන්කාරකමින් මේ කිසිවකු දෙවැනි නොවන බව පෙනේ. සබරගමුවේ රඟදැක්වෙමින් තිබෙන ජවනිකාව ද බොහෝ දුරට මීට සමාන ය.
මහජනයා කළ යුතුව තිබෙන්නේ හැම මැතිවරණයකදී ම එන ගණන්කාරයෙකුට එරෙහිව තවත් ගණන්කාරයෙකුට ආධාර කරන පිළිවෙතකට යමින් ගැලවීමට පහසු නැති විෂම චක්‍රයකට කොටුවීම නොව, මෙම අශීලාචාර දේශපාලන ක්‍රමය වෙනස් කොට ශීලාචාර දේශපාලන ක්‍රමයක් ඇති කරන්නේ කෙසේ ද යන ප්රශ්නය කෙරෙහි බැ?රුම් ලෙස අවධානය යොමු කිරීම ය.