උතුරුමැද හා සබරගමුවේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය ඡන්දයකට වඩා මංකොල්ල කණ්ඩායම් තුනක් අතර කෙරෙන බලහත්කාරී අරගලයකට සමාන කළ හැකිය. තරග කරන ප්‍රධාන පක්ෂ තුනම එක ආකාරයක හෝ තවත් ආකාරයක චණ්ඩි වාදයක් වෙනුවෙන් පෙනී සිටිති. හැම පක්ෂයක්ම කියන්නේ ගැහැව්වොත් ගහන බවය. ප්‍රධාන ප්රතිවාදියාගෙන් එල්ල වන අභියෝගයේ ස්වරූපය අනුව හොඳින් හෝ නරකින් යන ඕනෑම ක්‍රමයකින් මුහුණ දෙන්නට සූදානම් බව හැම පක්ෂයක්ම පාහේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.
මෙය මෙම පළාත් සභා මැතිවරණ දෙකේදී පමණක් දකින්නට ලැබුණු තත්ත්වයක් නොව, විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමෙන් පසු (ඊට පෙර පැවති ක්‍රමය තුළ ද ඒ ලක්ෂණය අඩු වැඩි වශයෙන් දකින්නට තිබුණත්, 1977 න් පසුව මෙන් මහජන කැමැත්ත මුළුමනින් වෙනස් කිරීමට තරම් එම ප්රවනතාව විශාල නොවීය.) පවත්වන ලද හැම මැතිවරණයකදීම මෙම ලක්ෂණය අඩු වැඩි වශයෙන් දක්නට ලැබුණි. මැතිවරණයකදී රජයේ සම්පත් දේශපාලන පක්ෂයක වුවමනාවන් සඳහා යොදා ගැනීම නීතියට පටහැනි වුවත්, හැම පාලනයක් තුළම බලයේ සිටින පක්ෂය මැතිවරණවලදී සිය පක්ෂ වුවමනාවන් සඳහා රජයේ සම්පත් යොදා ගනු ලැබීය. මැතිවරණවලදී පොලිසියේ භූමිකාව අපක්ෂපාත නොවීම ද මෙම පළාත් සභා මැතිවරණවලදී සහ අන් හැම මැතිවරණයකදීම පොදුවේ දක්නට ලැබුණු ලක්ෂණයකි. පොලිසිය පමණක් නොව මැතිවරණ නිලධාරීහු පවා අපක්ෂපාතව ක්‍රියා නොකරති. බලය දරන පක්ෂයේ පළිගැනීමට තිබෙන බිය නිසා හෝ ආණ්ඩු බලය දරන පක්ෂයෙන් ලබාගත හැකි ද්‍රව්‍යමය වාසි සලකා පොලිසිය හා රජයේ නිලධාරීන් එසේ ක්‍රියාකරන බව පැහැදිලිව දැකිය හැකිය. මැතිවරණ දූෂණවලට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් යුක්තිය ඉටු කරගත් අවස්ථා ද ඇත්තේම නැති තරම්ය.
මැතිවරණවල තේරුම කුමක්ද?
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් තුළ පරමාධිපත්‍යය බලය උසුලන්නේ මහජනයාය. මහජනයා එම පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන්නේ ප්‍රධාන කොට මැතිවරණවලදීය. මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණ (ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන මැතිවරණ) නිදහස් හා සාධාරණ තත්ත්වයක නොපවතී නම් ඒ රටේ පවතින දේශපාලන ක්‍රමය ද ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය.
ශක්තිමත් ප්රජාතන්ත්රවාදී ඉදිරි දර්ශනයකින් යුතුව ගොඩනගා තිබෙන ඕනෑම දේශපාලන ක්‍රමයක් තුළ මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීම සඳහා ශක්තිමත් විධිවිධාන දැකිය හැකිය.
ඉන්දියාවේ මැතිවරණ කොමිසමට නීති නැති අවස්ථාවලදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා අවශ්‍ය නියෝග පැනවීමේ බලය ද හිමිය. රටේ මැතිවරණ පැවැත්වීමේ අධිකාරී බලය උසුලන ඉන්දියාවේ මැතිවරණ කොමිසම මැතිවරණ කාලවලදී අතිවිශාල බලයක් දරන ආයතනයක් වනවා පමණක් නොව, මීට වසර කිහිපයකට ඉහතදී (1996දී) පවත්වන ලද සමීක්ෂණයක් අනුව ඉන්දියාවේ වඩාත්ම මහජන ගෞරවය හා විශ්වාසය දිනා ගත් ආයතනය ලෙස ද ක්‍රියා කරයි. එම සමීක්ෂණය අනුව මහජන විශ්වාසයේදී හා ගෞරවයේදී දෙවැනි ස්ථානය හිමි කරගත් ආයතනය වනුයේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයයි.
ජනතාවගේ පරමාධිපත්‍යය බලය විකෘති කිරීමට හෝ දූෂ්‍ය කිරීමට හේතුවන්නේ මැතිවරණවලදී බලයේ සිටින පාලක පක්ෂය රාජ්‍ය බලය යොදා ගැනීම පමණක් නොවේ. මුදල් බලයෙන් ද මහජන මතය විකෘති කළ හැකිය.
මැතිවරණ අරමුදල්
ශිෂ්ටසම්පන්න බොහෝ රටවල පක්ෂවලට හා අපේක්ෂකයන්ට මැතිවරණවලදී කළ හැකි වියදම්වලට පනවන ලද සීමාවන් පවතී. ලබාගත හැකි ආධාරවල ද සීමාවක් පවතී. ඉන්දියාවේ මැතිවරණවලට තරග කරන සෑම අපේක්ෂකයකුමත්, මැතිවරණයෙන් පසු මැතිවරණ වියදම් පිළිබඳ ලේඛනයක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය. මැතිවරණවලට තරග කරන දේශපාලන පක්ෂ ද පක්ෂ අරමුදල් හා මැතිවරණ වියදම් පිළිබඳ වාර්තාවක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. පෞද්ගලික සමාගමකට හා ව්‍යාපාරික ආයතනයකට දේශපාලන පක්ෂවලට දිය හැකි මුදල් ආධාරවල ප්‍රමාණය පිළිබඳව ද උපරිම සීමාවක් පවතී. පෞද්ගලික ව්‍යාපාරයකට හෝ සමාගමකට මැතිවරණයකදී දේශපාලන පක්ෂයකට දිය හැක්කේ සිය සමාගම උපයන ලද ශුද්ධ වාර්ෂික ලාභයෙන් 5%ක් හෝ ඉන්දියානු රුපියල් 25,000 ක් පමණ ය.
අපේ රටේ ද පෙර පැවති ක්‍රමය අනුව මැතිවරණයකට තරග කරන අපේක්ෂකයෝ වියදම් ලේඛනයක් ඉදිරිපත් කිරීමට නීතියෙන් බැඳී සිටියෝය. එහෙත් නව ක්‍රමය තුළ එවැනි බැඳීමක් නැත. මැතිවරණවලදී ලබාගත හැකි මුදල් ආධාර සඳහා ද කිසිම සීමා නියමයක් නැත. දේශපාලන පක්ෂ සිය අරමුදල් පිළිබඳව හා මැතිවරණ වියදම් පිළිබඳව ගණන් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ ද නැත.
උතුරුමැද පළාත් සභාවේ එජාප මහ ඇමති අපේක්ෂකයාට මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය දෛනික වියදම රුපියල් ලක්ෂ 3 ක් බව “සන්ඩේ ටයිම්ස්” දේශපාලන ලියුම්කරු ලියා තිබුණි. මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා නිරත වන කාලය මාස දෙකක් ලෙස ගණන් ගතහොත් මහ ඇමති අපේක්ෂකයාගේ වියදම රුපියල් ලක්ෂ 180කි. ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් සඳහා ප්‍රධාන පක්ෂයකට අවශ්‍ය වියදම රුපියල් කෝටි 100ත් 200ත් අතර විය හැකිය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දෙවැනි ධුර කාලයෙන් පසුව ඊළඟ ජනාධිපතිවරණය සඳහා රණසිංහ ප්‍රේමදාස මහතා තෝරා පත් කරගත් අවස්ථාවේදී රන්ජන් විජේරත්න මහතා සිය නිවසට ගෙන්වා ගෙන සිය අල්මාරියක තිබූ රුපියල් මිලියන 35ක මුදලක් ඒවා පක්ෂ අරමුදල් බව ප්‍රකාශ කොට රන්ජන් විජේරත්න මහතාට භාර දෙන ලද බව මා අසා තිබේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ අවස්ථාවේදී රුපියල් 1000 නෝට්ටුවලින් මිලියන 35ක මුදලක් ට්‍රන්ක් පෙට්ටියක බහා තිබූ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. මෙම අරමුදල් පක්ෂ නායකයන් රැගෙන ගිය බව ද අසන්නට ලැබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන්ගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරවා ගැනීම සඳහා දියත් කෙරුණු මෙහෙයුමේදී එජාප මන්ත්‍රීවරුන් තෝරාගත් පිරිසක් මිලදී ගැනීම සඳහා තමන් වෙත රුපියල් ලක්ෂ 800 ක මුදලක් එවන ලද බව එස්.බී. දිසානායක පසුකලෙක ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් විරුද්ධ පක්ෂයට එකතුවීම තුළ 2001 වසරේදී සිදුවූ ආණ්ඩු පෙරැළියේදී විරුද්ධ පක්ෂයට එකතු වූ ඇතැම් අයට විශාල ලෙස මුදල් ගෙවන්නට එජාපයට සිදුවිය. එක් පක්ෂ නායකයකුට පමණක් ගෙවන ලද මුදල රුපියල් මිලියන 30 ක් විය.
පවතින මෙම දේශපාලන ක්‍රමය තුළ මහජන මතය තීරණය කිරීමේදී කළු සල්ලි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දේශපාලනයේදී කළු සල්ලිවල බලපෑම පාලනය කරන නීති රීති අපේ රටේ නැත. ව්‍යාපාරිකයන්ගෙන් දේශපාලන පක්ෂ ලබාගන්නා මහා පරිමාණයේ මුදල් වෙනුවෙන් ඔවුන්ට දේශපාලකයන් ආපසු ගෙවන්නේ පොදු සම්පත්වලිනි.
අපරාධකරණය
අපරාධකාරී පසුබිමක් ඇති පුද්ගලයින් ශ්‍රී ලංකා දේශපාලනයේදී වැදගත් හා ප්රමුඛ භූමිකාවක් රඟපායි. දේශපාලකයන් තමන්ට විශාල වශයෙන් අරමුදල් ලබාදෙන ව්‍යාපාරිකයන්ගේ සහාය අවශ්‍ය සේම, බලහත්කාරී ආකාරයෙන් ඡන්දය ජයගැනීම සඳහා ගණන්කාරයන්ගේ සහාය ද අත්‍යවශ්‍යය. හැම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම පාහේ දිස්ත්‍රික් සංවිධාන ලැයිස්තුවට ගණන්කාරයන් කිහිපදෙනෙකු ද එකතු කරගෙන සිටිති. සබරගමුව පළාත් සභා මැතිවරණයේදී සේ අන් හැම මැතිවරණයකදීම සර්පයා, චොකා මල්ලී වර්ගයේ අය ඉතා වැදගත් භූමිකාවක් රඟපායි. එකට එක කිරීම සඳහාත්, ඡන්දදායකයන් බිය ගැන්වීමට අවශ්‍ය අවස්ථාවලදීත් ඔවුහු දේශපාලන පක්ෂ වෙනුවෙන් ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන්ගෙන් දේශපාලන පක්ෂවලට ලැබෙන දායකත්වය සලකා ඔවුන් කරන අපරාධවලදී කොන්දේසි විරහිතව ඔවුන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමට දේශපාලන පක්ෂවලට සිදුවී තිබේ.
ඉන්දියානු මැතිවරණ දේශපාලනයේදී අපරාධකරුවන් රඟපාන භූමිකාව පාලනය කිරීම සඳහා මැතිවරණ තරගවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් තමන්ට අපරාධ නඩු තිබේ නම් හා අපරාධ වැරදිවලට තමන්ට දඬුවම් ලබාදී ඇති නම් ඒ පිළිබඳ විස්තර නාමයෝජනා සමග දිවුරුම් පෙත්සමක් මගින් ඉදිරිපත් කළ යුතුයි කියන කොන්දේසියක් ඉන්දියානු මැතිවරණ කොමිසම 2002 වසරේ මාර්තුවලදී ඉදිරියට ගෙනාවේය. මැතිවරණ කොමිසම පනවන ලද එම කොන්දේසියට එරෙහිව පැවති නඩුවකදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව වූයේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය අභ්‍යාස කෙරෙන මැතිවරණවලදී ඒවා තරග කරන අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඡන්දදායකයන්ට තිබෙන බවය. ඒ නිසා ඡන්දවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට එරෙහිව අපරාධ චෝදනා හෝ නඩු ඇති අවස්ථාවලදී ඒ පිළිබඳ විස්තරද, ඔවුන්ගේ උගත්කම හැකියාව හා වත්කම් හා බැරකම් පිළිබඳ විස්තර ද ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් නාමයෝජනා පත්‍ර සමග බාරදිය යුතු බවට අධිකරණය තීන්දු කළේය. එම දිවුරුම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීමේ අයිතිය මහජනතාවට ඇති බව ද ප්‍රකාශ කළේය.
ජනතාවගේ පරමාධිපත්‍ය බලය පිළිබඳ විෂයේදී දියුණු යුරෝපීය රටවල් අමතක කරන්න. අසල්වැසි ඉන්දියාව සමග සැසඳුවද අප ඉන්නේ දේශපාලන වශයෙන් ශීලාචාර තත්ත්වයක නොව, අශීලාචාර තත්ත්වයකය. ඉන්දියාවේ දේශපාලන ක්‍රමය ගොඩනගා ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පිළිබඳ පැහැදිලි හා ශක්තිමත් ඉදිරි දැක්මක් ඇතිව හා එය ආරක්ෂා කෙරෙන ආකාරයටය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන මෙම දේශපාලන ක්‍රමය ගොඩනගා ඇත්තේ ජනතාවට පරමාධිපත්‍ය බලය ලැබෙන ආකාරයට නොව විධායක ජනාධිපතිට පරම බලය ලැබෙන ආකාරයටය. ඉන්දියානු දේශපාලන ක්‍රමය වඩා වැදගත් වන්නේ පුරවැසියා වුවත්, අපේ රටේ තිබෙන දේශපාලන ක්‍රමය තුළ ඒ වැදගත්කම ලැබී තිබෙන්නේ පුරවැසියාට නොව, පරම බලය ඇති ජනාධිපතිටය. මේ ක්‍රමය තුළ ජනාධිපතිට ලැබී තිබෙන පරම බලය පාලනය කළ හැකි ක්‍රමයක් නැත. මෙම දේශපාලන ක්‍රමය තුළ ජනාධිපතිගේ පරම බලය පාලනය කිරීමට දරන ඕනෑම උත්සාහයක් වාෂ්ප කිරීමේ හැකියාව ජනාධිපතිට ඇත්තේය. මැතිවරණ කොමිසමක් ඇති කරගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක වී ඇති අතර, මැතිවරණ කොමිසමේ සියලු බලතල මැතිවරණ කොමසාරිස් වෙත ලැබී ඇතත්, සිදුවන මැතිවරණ දූෂණ ඉදිරියේ නිහඬව බලා සිටිනවා හැරෙන්නට ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරගැනීමට බලවත් භූමිකාවක් රඟපෑමේ හැකියාව ඔහුට නැත.
පරමාධිපත්‍ය බලය කොල්ලකෑම
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙම දේශපාලන ක්‍රමය සකස් කර ඇත්තේ ද, ඔහුගේ අනුප්රාප්තිකයන් එම දේශපාලන ක්‍රමය පවත්වාගෙනයමින් සිටින්නේද පාලක පක්ෂයට පොදු වස්තුව පමණක් නොව, ජනතාවගේ පරමාධිපත්‍ය බලය කොල්ල කෑ හැකි ආකාරයටය.
1981 දී දිස්ත්‍රික් සංවර්ධන සභා පනත සම්මත වීමෙන් පසුව උතුරේ වර්ධනය වෙමින් තිබූ ප්රචණ්ඩ ක්‍රියාකාරකම්වලට යාපනය මැදිවී තිබියදී රට පුරා දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කළේය. ප්‍රධාන ශ්රීලනිපය හා සාම්ප්‍රදායික වමේ පක්ෂ එම මැතිවරණය වර්ජනය කළේය. එජාප, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ පමණක් එම මැතිවරණයට තරග කළේය. යාපනයේ එජාප ඡන්ද කටයුතු මෙහෙයවීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ගාමිණී දිසානායක හා සිරිල් මැතිව් යන ඇමතිවරුන් දෙදෙනාට බාර දුන්නේය. එක්සත් ජාතික පක්ෂ ඡන්ද ලැයිස්තුවේ මුලටම සිටි අපේක්ෂකයා වූ ඒ. තංගරාජා සන්නද්ධ කණ්ඩායම් විසින් මරා දමනු ලැබීය. ඉන්පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක රාජකාරි කටයුතුවල යෙදී සිටි පොලිස් භටයන් දෙදෙනෙකුට ද වෙඩි තබා මරා දමනු ලැබීය.
ජුනි 4 වැනිදා පැවති යාපනයේ දිස්ත්‍රික් සභා මැතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් තෝරා ගත් ඡන්ද නිලධාරීන් 150 දෙනා වෙනුවට ඇමතිවරුන් දෙදෙනා ඡන්ද කටයුතු සඳහා යාපනයට රැගෙන ගොස් සිටි එජා පාක්ෂිකයන් 150 දෙනෙකු මැතිවරණයට පෙර දින මැතිවරණ කොමසාරිස්වරයාගේ නිලධාරීන් වෙනුවට යොදාගෙන ඇති බව මැතිවරණය අවසානයේ හෙළිදරව් විය. ඡන්දයට පෙර දින ඡන්ද මධ්‍යස්ථානවල සිටි ඡන්දපොළ භාර නිලධාරීන් සියලුදෙනා ඉවත් කොට ඒ වෙනුවට කොළඹෙන් රැගෙන ගිය එජා පාක්ෂිකයන් යොදා ගෙන තිබුණේ ජනාධිපතිවරයා විසින් දෙන ලද නියෝගයක් මත ආරක්ෂක ලේකම්වරයා තේරීම් භාර නිලධාරියාට දෙන ලද විධානයක් අනුවය. ඡන්දයක් පැවැත්වීමේ බලය බලයලත් අධිකාරියෙන් ඉවත් කොට පාලනය පක්ෂය අතට ගත් ප්‍රථම අවස්ථාව එය විය. මෙම නින්දාසහගත දේ සිදු කෙරුණේ ද ආණ්ඩුව සර්වජන ඡන්දයේ ස්වර්ණ ජුබිලි මහා මංගල්‍යය සමරමින් තිබූ අවස්ථාවකදීය.
මැතිවරණය අවසානයේදී ““මැතිවරණය නිසි අයුරින් නොපැවති බව”” තේරීම් භාර නිලධාරියා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය. මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා සිටි විට මැතිවරණය අවලංගු කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට නැති බව දැනුම් දීම නිසා යාපනයේ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවිය. ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා (එම්.ඒ. ජයසේකර) සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහුගේ කට වසා තැබීමට අත්‍යවශ්‍ය වූ නිසා ඉල්ලා අස්වූ මැතිවරණ කොමසාරිස්වරයා රෝමයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කෙරිණි.
කලවාන මගඩිය
1977 මැතිවරණයේදී කලවාන ආසනයට තේරී පත්වී සිටියේ එජාපයේ අබේරත්න පිලිපිටිය මහතාය. ඔහු තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමති විය. ඔහුගේ තේරී පත්වීමට එරෙහිව සරත් මුත්තෙට්ටුවගම ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් විභාගවෙමින් තිබියදී පිලපිටිය මහතා දරුණු රිය අනතුරකට ගොදුරු වී ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණියේය. ආණ්ඩු පක්ෂයේ සංවිධායකයා විසින් ඔහු වෙනුවෙන් නිවාඩු ලබා ගැනීමක් ද සිදු නොවීය. එක දිගට මාස තුනක් නිවාඩු ලබානොගෙන පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා පිලපිටියගේ පාර්ලිමේන්තු අසුන 1989 ජනවාරි 5 වැනිදා හිස්විය. පුදුමයකට මෙන් ආණ්ඩු පක්ෂය ජනවාරි 10 වැනිදා ඔහු පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත් කළේය.
ඒ වනවිට මැතිවරණ පෙත්සමෙන් ඔහුට පාර්ලිමේන්තු අසුන අහිමි වී තිබුණි. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. 1980 ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව ලබාදී තිබූ තීන්දුව අනුමත කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුවෙන් පසුත් ඔහු පත්කළ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණියේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා කලවාන ආසනය සඳහා අතුරු මැතිවරණයක් සූදානම් කළේය. 1979 ජනවාරි 10 වැනි දින පිලපිටිය කතානායකවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පත් කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් මිස, තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු වශයෙන් නොවන බව ප්‍රකාශ කරමින් ඒ නිසා කලවාන ඡන්ද පෙත්සමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව තමාට අදාළ නොවන බව ප්‍රකාශ කළේය. දෙසැම්බර් 9 වැනිදා කතානායක බාකිර් මාකාර් මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් පිලපිටිය මහතා කලවාන ආසනයේ නීත්‍යනුකූල මන්ත්‍රීවරයා බව ප්‍රකාශ කළේය. මැතිවරණ කොමසාරිස්වරයා කලවාන ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමේ වැඩසටහන අත්නොහැරීම නිසා කලවාන ආසනයට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුන්වැනි සංශෝධනයක් ඉදිරිපත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළේය. තුන්වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සලකා බැලුණු අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 168 දෙනාට අතිරේකව තවත් එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට ඇතුළත් කරගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මේ නිසා තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කිරීම සඳහා තුනෙන් දෙකක ඡන්දයකට අතිරේකව ජනමත විචාරණයක් ද පැවැත්වීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.
1981 ජනවාරි 12 වැනිදා පැවති අතුරු මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙටුවේගම කලවාන ආසනයට තේරී පත්විය. එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළේය. කලවාන අතුරු මැතිවරණ දිනයේ පිලපිටිය මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවන්නට ගිය මහා අර්බුදය විසඳුණි.
ජනාධිපතිවරණය හා ජනමත විචාරණය
ඊළඟට ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හතරක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති ඕනෑම අවස්ථාවක දෙවැනි ධුර කාලය සඳහා වන ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ඒ සඳහා වන තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලය පිළිබඳව වගන්තිය සමග නොගැලපෙන බව ප්‍රකාශ කරමින් සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියද ශ්‍රේෂ්ඨාධිකරණය එම සංශෝධනය අනුමත කළේය. එම සංශෝධනයෙන් පසුව පැවති ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු තමන්ට හයෙන් පහක බලයක් තිබුණු පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයක් දීර්ඝ කරගැනීම සඳහා හතරවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුව ඉදිරියට ගෙනාවේය. මෙම සංශෝධනයට එරෙහිව ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියත්, එය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හත්දෙනාගෙන් 4 දෙනෙකු සංශෝධනයට පක්ෂවීම නිසා එම අරුම පුදුම සංශෝධනය ද නීතිගත විය. ඉන්පසු පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයකට ගියේ ද එජාපයෙන් තේරී පත්වී සිටි සියලු මන්ත්‍රීවරුන්ගෙන් දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ලබාගනිමිනි. මෙය ලෝක මට්ටමෙන් ගත්තද දූෂිත ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගනු ලැබූ ප්‍රථම අවස්ථාව එය විය. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව (එවැනි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් දෙනු ලැබුවේ කෙසේද යන්න තේරුම් ගත නොහැකිය.) අදටත් හෙටටත් වලංගුය. ඒ තීන්දු මත පිහිටා වෙනත් ඕනෑම ජනාධිපතිවරයෙකුට ද නැවත නැවතත් ඒ දේම කළ හැකිය.
82 ජනමත විචාරණය පැවති දූෂිත ආකාරය ගැන මම කතා නොකරමි. ජනමත විචාරණයට එරෙහිව හඬ නගන්නට සූදානමින් සිටි පුවත්පත් දෙකක් සීල් තැබුවේය. විජය කුමාරණතුංග ඇතුළු විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් බොරු චෝදනා මත රඳවා තබාගෙන සිටියේය.
පක්ෂ භේදයකින් තොරව ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු බලයට පැමිණි සියලු ජනාධිපතිවරු ජේ.ආර්. ජයවර්ධන ඇති කළ එම කොල්ලකාරී සම්ප්රදාය ඉදිරියට පවත්වාගෙන ගියහ. චන්ද්‍රිකා පාලන යුගයේ සිදුවූ වයඹ මංකොල්ලය ඡන්ද විෂයේදී එජාපයෙන් පසු සිදුවූ දැවැන්තම ඡන්ද මංකොල්ලය ලෙස සැලකිය හැකිය. වයඹ ඡන්ද කොල්ලය සේම මෙම දේශපාලන ක්‍රමය තුළ ඊට පෙර හා පසුව සිදුවූ ඡන්ද මංකොල්ල හෝ ඡන්ද දූෂණ බලරහිත කිරීමට අධිකරණය හෝ කවර ආයතනයක්වත් සමත් නොවූ බව අප අමතක නොකළ යුතුය.
මෙම දූෂිත දේශපාලන ක්‍රමය සකස් කර ඇත්තේ පාලක පක්ෂයට තම පාලන කාලය තුළ පවත්වන මැතිවරණ හොඳින් හෝ නරකින් ජය ලබාගත හැකි ආකාරයටය. ඡන්ද මංකොල්ල වයඹ මෙන් ඉතා ගොරහැඩි ආකාරයට සේ ම 1999 ජනාධිපතිවරණයේදී මෙන් නොපෙනෙන හා සියුම් ලෙස ද සිදුවිය හැකිය. මෙම දේශපාලන ක්‍රමය තුළ මැතිවරණවලදී සිදුවන බලහත්කාරය හෝ දූෂණය පාලනය කළ හැකි ක්‍රමයක් නැත. දූෂණයට එරෙහිව අධිකරණය ඉදිරියට ගිය එකම ඡන්ද පෙත්සමක්වත් ජයගෙන නැත. එහි තේරුම මෙම ක්‍රමය තුළ වැදගත්වන්නේ හොඳින් හෝ නරකින් ජයගැනීමය. වැදගත් කොට සැලකෙන්නේ ජයග්‍රහණය මිස ජයගත් ආකාරය නොවේ. මෙවැනි දූෂිත දේශපාලන ක්‍රමයක් තුළ විටින් විට පැවැත්වෙන මැතිවරණ කෙරෙහි බලාපොරොත්තු ඇති කරගැනීම තරම් විහිළුවක් තවත් තිබිය හැකිද?