පළාත් දෙකක පැවති පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට සේ ම විරුද්ධ පක්ෂවලට ද තීරණාත්මක මැතිවරණයක් විය. එය එක දිගට පවත්වන්නට නියමිත මැතිවරණ වැලක ආරම්භක තරගය වීම නිසා එහි ලබන ජය පරාජය අනෙක් මැතිවරණ කෙරෙහි ද හොඳට හෝ නරකට හෝ බලපාන්නේය.
මැතිවරණ දිනයට පෙර දින දක්වාම වෙනත් මැතිවරණවලදී සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන තරම් ප්රචණ්ඩ වාතාවරණයක් දක්නට ලැබුණි. එය වෙනදා මෙන් පාලක පක්ෂයට පමණක් සීමාවූ ප්රචණ්ඩත්වයක් නොවීය. එජාපය හා ජනතා විමුක්ති පෙරමුණ ද වෙනදා මෙන් නොව, ප්රචණ්ඩත්වයේදී එකට එක කරන පිළිවෙතක් අනුගමනය කළේය. ගැහැව්වොත් ගහන බව ඔවුන් ද ප්‍රසිද්ධියේ කියා සිටියා පමණක් නොව, ප්රචණ්ඩත්වය හෝ ප්‍රතිප්‍රචණ්ඩත්වය අවශ්‍ය හැම අවස්ථාවකදීම ප්රචණ්ඩ ලෙස ක්‍රියාකළ බවක් ද පෙනෙන්නට තිබුණි.
ජානක හා රන්ජන්
පිටස්තරයන් වුවද එජාප ඉදිරිපත් කළ මහ ඇමති අපේක්ෂකයෝ දෙදෙනාම පාක්ෂිකයන් තුළ ජයග්‍රහණයක් පිළිබඳ විශ්වාසයක් ඇති කරන වර්ගයේ අය වූහ. ඒ අර්ථයෙන් ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ මහ ඇමති අපේක්ෂකයන් දෙදෙනාට වැඩි ආකර්ශනයක් ඔවුන්ට තිබුණේය.
උතුරු මැද පළාත හා යුද්ධය අතර පැවති සමීප සම්බන්ධය තුළ යුද්ධ හමුදාවේ හිටපු නමගිය වීරවරයෙකු ලෙස සැලකුණු ජානක පෙරේරා එජාපයෙන් මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම එජා පාක්ෂිකයන් තුළ ආස්වාදයක් ඇති කිරීමට හේතුවිය. එම පළාතේ හමුදා පවුල්වලට සම්බන්ධ විශාල පිරිසක් සිටියහ. ඒ සියලු දෙනා භේදයකින් තොරව මෙම හිටපු හමුදා නායකයාට සහාය දෙනු ඇති බව එජාපයේ විශ්වාසය වී තිබුණි. යුද හමුදාවේ සේවයේ නිරත පිරිසක් ජානක පෙරේරාට ක්‍රියාකාරී ලෙස ආධාර කරන බවක් ද පෙනෙන්නට තිබුණි. මේ නිසා ආණ්ඩු පක්ෂයේ හිටපු මහ ඇමතිගෙන් එල්ල වන ඕනෑම අභියෝගයට මුහුණදීමේ හැකියාවක් එජාපයට ලැබී තිබෙන බවක් ද පෙනෙන්නට තිබුණි.
රන්ජන් රාමනායක සාධකය ද සබරගමු පළාත කෙරෙහි බලවත් ලෙස බලපෑ බවක් පෙනෙන්නට තිබුණි. ඔහු ප්‍රදේශයේ තරුණ ජනයාගේ ආකර්ශනයට හේතුවූ අපේක්ෂකයකු වූවා පමණක් නොව, ආණ්ඩු පක්ෂයෙන් එල්ල වන ඕනෑම මැර බලයකට එරෙහිව නැගී සිටීමේ ශක්තියක් ඇති පුද්ගලයෙකු බවද පෙනෙන්නට තිබුණි.
මෙම මැතිවරණයේදී විරුද්ධ පක්ෂයට තිබුණු තවත් ලොකුම වාසිදායක සාධකයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව අනුකම්පා විරහිතව සටන් කරන තැනකට යොමුවී සිටීමය. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළ ජවිපෙ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන මිනීවල කපන්නාගේ භූමිකාව රඟපාමින් සිටියේය. ජවිපෙ මෙම භූමිකාව ආණ්ඩු පක්ෂයට තිබෙන ඡන්දවල සැලකිය යුතු බෙදීමක් ඇති කිරීමට හේතුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසය වී තිබුණි. ජවිපෙ ද ආණ්ඩු පක්ෂයේ මැර බලයට එරෙහිව එකට එක කරන ප්රතිපත්තියකට යොමුවී සිටීම ද විරුද්ධ පක්ෂයට ශක්තිය ගෙන දුන් තවත් අතිරේක සාධකයක් විය. එජාපය හා ජවිපෙ අතර නිල වශයෙන් පොදු සන්ධානයක් ගොඩනැගී නොතිබුණ ද, ආණ්ඩුව පරාජය කිරීම සඳහා එම පක්ෂ දෙක අතර, නොනිල සන්ධානයක් ගොඩනැගී තිබුණි. විරුද්ධ පක්ෂයේ එම නොනිල මහා සන්ධානය තුළ අනෙක් විරුද්ධ පක්ෂ කණ්ඩායම් ද එකතු වී සිටියේය.
මහින්ද චෝදනාලාභියෙකු ලෙස
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට තිබුණු අලුත් හෝ නැවුම් බව මෙම මැතිවරණයේදී නොතිබුණි. ඔහු සිය නිල ධුර කාලයෙන් අඩකට ආසන්න කාලයක් රටේ පාලකයා වශයෙන් ක්‍රියාකර තිබුණේය. ඔහුට ජනමතය උරගා බලන්නට සිදුවී තිබුණේ විරුද්ධ පක්ෂය ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ මහා චෝදනාවලියක් ද කර තබාගෙනය.
විරුද්ධ පක්ෂ මහින්ද රාජපක්ෂ රටට හඳුන්වා දී තිබුණේ පවුලේ සහෝදරයන් හා ඥාතීන් සමග එකතු වී රටේ සාරය උරා බොන රාජපක්ෂ පවුල් සමාගමක් වශයෙනි. අයවැයෙන් වෙන් කරන මුදලින් 60% ක් පමණ මෙම පවුල් සමාගම පාලනය කරන බව ද කියැවුණි. සියයකට වැඩි කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීම ගැන ද, තම නමින් ගුවන් සමාගමක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුන්දහක පමණ මුදලක් කාබාසිනියා කළ බවට ද, රටේ සිදුවූ අතුරුදහන්වීම්වලට වගකිවයුතු බවට ද, මානව හිමිකම් උල්ලංඝනය කරමින් හා ජනමාධ්‍ය නිදහස මර්දනය කරමින් දුෂ්ට පාලනයක් පවත්වාගෙන යන බවට ද චෝදනා එල්ල වී තිබුණි. මේ සියලු චෝදනා එකට ගත්විට මෙම මැතිවරණයේදී ජනාධිපතිවරයා සිටියේ ප්‍රියජනක අහිංසකයෙකුගේ තත්ත්වයක නොව බරපතළ චෝදනා එල්ල වූ චෝදනාලාභියෙකුගේ තත්ත්වයකය.
පූර්ණ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවල මට්ටම දෙස බලන විට මෙම මැතිවරණ දෙක ද වයඹ සිදුවූ මැතිවරණ කොල්ලය මෙන් මහා කොල්ලයක් වනු ඇති බව විරුද්ධ පක්ෂවල පොදු මතය වී තිබුණි. පළාත් දෙකේම ආණ්ඩුව සිටින්නේ පරාජිත තත්ත්වයක නිසා මැතිවරණ දිනයේදී වයඹ මෙන් ආයුධ සන්නද්ධව ඡන්ද පොළවලට කඩා වැදී පෙට්ටි පුරවන තත්ත්වයක් ඇතිවිය හැකි බවට පක්ෂ දෙකම රටට අනතුරු අඟවනු ලැබීය.
එහෙත් මැතිවරණ දිනයේදී මැතිවරණය නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවති බව මැතිවරණය පැවති දිනයේ සවස් වන තෙක් සියලු විරුද්ධ පක්ෂ දරන ලද පොදු මතය විය. මොනම ඡන්ද පොළකින්වත් විරුද්ධ පක්ෂවලට අයත් පෝලිම් ඒජන්තවරුන් පළවා හැරීමක් සිදු නොවීය. ආයුධ සන්නද්ධව ඡන්ද පොළවල්වලට කඩා වැදී බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පිරවීමක් ද සිදු නොවීය. මෙම තත්ත්වය තුළ ආණ්ඩුව නියත වශයෙන්ම පරාජයට පත්වනු ඇති බව විරුද්ධ පක්ෂ මැතිවරණ දිනයේදී දරන ලද පොදු මතය විය.
ජනතා විමුක්ති පෙරමුණ
එහෙත් පුදුමයකට මෙන් පළාත් සභා දෙකෙහි මැතිවරණ ප්‍රතිඵල ආණ්ඩු පක්ෂයේ වාසියට හේතුවූවා මිස විරුද්ධ පක්ෂවල වාසියට හේතු නොවීය. පළාත් සභා දෙක ජයගන්නවා තබා දිස්ත්‍රික්ක හතරේම එකම මැතිවරණ කොට්ඨාසයකවත් ජය ලැබීමට එජාප අසමත් විය. ලොකුම පරාජිතයා බවට පත්ව තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මිනීවල හාරන්නාගේ භූමිකාව රඟපෑ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන්ට මෙම පළාත් සභා දෙකේ මන්ත්‍රීන් 18 දෙනෙකුගේ නියෝජනයක් තිබුණි. ඒ උතුරුමැද 8 ක් හා සබරගමුවේ 10 ක් ලෙසය. උතුරුමැද අට, එකක් දක්වාත්, සබරගමුවේ 10 දෙකක් දක්වාත් අඩු වී තිබුණි. උතුරුමැද පළාත් සභාවේ පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 545,440 ක් වන විට ජවිපෙට ඉන් ලබාගත හැකිවී තිබුණේ 4.90%ක් හෙවත් ඡන්ද 26738 ක් පමණය. සබරගමුව පළාතේ පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 854,376 ක් වන විට ජවිපෙට ඉන් ලබාගත හැකිවී තිබුණේ 2.23% ක් හෙවත් ඡන්ද 19,068 ක් පමණය. පළාත් දෙකේ ජවිපෙ ලබාගත් ඡන්ද අනුපාතිකය මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 3.56% කි.
එක ඇසිල්ලකින් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 39 ක් සිටින තට්ටු අටක පක්ෂ මූලස්ථානයකට හිමිකම් කියන පක්ෂයක් ත්‍රීවිල් පක්ෂයක් බවට පත්විය. රාජපක්ෂ ආණ්ඩුව වැළලීම සඳහා ජවිපෙ විසින් කපමින් සිටින මිනීවලේම ජවිපෙ මරණය භූමිදානය කරන්නට සිදුවීම කෙතරම් ඛේදජනකද? මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඉදිරි පළාත් සභා මැතිවරණවලින් ලබන ප්‍රතිඵලය මීටත් වඩා නරක හා පරාජිත ප්‍රතිඵලයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. මේ ප්‍රතිඵලය අනුව බලන විට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙට දිනාගත හැකි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 05 කට වැඩි නැත.
එක්සත් ජාතික පක්ෂය
එජාප පළාත් සභා මැතිවරණ දෙක පරාජය වුවත්, මෙම පළාත් සභා දෙකේම මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩිකර ගැනීමට (සබරගමුවේ තිබූ ආසන 15, 17 දක්වාත්, උතුරුමැද තිබූ ආසන 10, 12 දක්වාත්) සමත් වී තිබේ. ඒ සමග සබරගමුවෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පසුගිය පළාත් සභා මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද 111089 කින් ද, උතුරුමැද පළාතේ පසුගිය පළාත් සභා ඡන්දයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද 61,584 කින් ද වැඩි කරගැනීමට සමත් වී තිබේ. එජාප ලබාගෙන ඇති එම වර්ධනය කෙරෙහි ඉදිරිපත් කළ මහ ඇමති අපේක්ෂකයන් දෙදෙනාට තිබූ ආකර්ශනය සේ ම, ආණ්ඩුව කෙරෙහි පවතින කලකිරීම ද බලපෑවා විය හැකිය.
පොදු පෙරමුණ
පොදු පෙරමුණ මන්ත්‍රී ආසනවලදී ලබාගෙන තිබෙන ජයග්‍රහණය වඩා කැපී පෙනෙන සුළුය. උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රී ආසන 22 ක් පොදු පෙරමුණට ලැබී තිබුණි. ඉන් 8 ක් ජවිපෙට අයත්ව තිබුණි. ඒ අර්ථයෙන් පොදු පෙරමුණට එම පළාත් සභාව තුළ තිබුණේ මන්ත්‍රී ආසන 14 ක් පමණය. එහෙත් මෙම පළාත් සභා මැතිවරණයෙන් එම සංඛ්‍යාව 20 ක් දක්වා මන්ත්‍රී ආසන 06 කින් වැඩි කරගැනීමට සමත් විය.
අනෙක් අතට සබරගමුවේදී පසුගිය පළාත් සභා මැතිවරණයෙන් පොදු පෙරමුණට මන්ත්‍රී ආසන 28 ක් ලැබී තිබුණ ද, ඉන් 10 ක් ම අයත්ව තිබුණේ ජවිපෙට ය. ඒ අනුව පොදු පෙරමුණට සිටි ඇත්ත මන්ත්‍රීන් සංඛ්‍යාව 18 කි. එහෙත් මේ මැතිවරණයෙන් 18 සංඛ්‍යාව 25 දක්වා 07 දෙනෙකුගෙන් වැඩිකර ගැනීමට හැකිවිය.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජවිපෙ සමග එකට එකතු වී තරග කොටත්, සබරගමුවෙන් පොදු පෙරමුණ ලබාගැනීමට සමත් වී තිබුණේ ඡන්ද 398,731 ක් පමණි. ජවිපෙ වෙන්වීම නිසා මෙවර පොදු පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ අඩුවීමක් සිදුවී නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ වැඩිවීමකි. සබරගමුවෙන් වැඩිවී තිබෙන ඡන්ද සංඛ්‍යාව 14,058 ක් වන විට උතුරු මැදින් වැඩිවී තිබෙන ප්‍රමාණය 28,546 කි.
මෙම පළාත් සභා දෙකේ මැතිවරණ ප්‍රතිඵල ඊළඟ පළාත් සභා මැතිවරණ කෙරෙහි සේ ම එම පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කෙරෙහි බලපායි. එජාපයට මේ හැම මැතිවරණයකටම ජානක පෙරේරා හෝ රන්ජන් රාමනායක වැනි ආකර්ශනීය මහ ඇමති අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැ”යි සිතිය නොහැකිය. අනෙක් අතට මෙම පළාත් සභා මැතිවරණයේදී මුහුණ දුන් තරම් ආත්ම විශ්වාසයකින් අනෙක් මැතිවරණවලට මුහුණ දිය හැකිවනු ඇතැ”යි ද සිතිය නොහැකිය. තමන්ට ඉක්මණින් බලයට ඒමට ඉඩක් නැති බව තේරෙන විට එම පක්ෂයේ තිබෙන අභ්‍යන්තර ආරාවුල් උග්‍ර විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ තත්ත්වය ද ඉදිරි මැතිවරණවලදී මීට වඩා ඛේදජනක තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
පාර්ලිමේන්තු මැතිවරණය
ආණ්ඩුවට තිබුණු ලොකුම අභියෝගය වී තිබුණේ අනුපාතික ඡන්ද ක්‍රමයක් තුළ හා ජවිපෙ වෙනම තරග කරන තත්ත්වයක් තුළ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකින් ජය ලබන්නේ කෙසේද යන ප්රශ්නයයි. ජවිපෙ තමන්ට එරෙහිව තරග කරන තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණයකින් බහුතර බලයක් ලබාගත හැකිද යන ප්‍රශ්නයක් මතුවී තිබුණි. ජවිපෙ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුවෙන් වෙන්වී තරග කරන තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණයකින් ජය ලබාගැනීමේ හැකියාව තමන්ට ලැබෙනු ඇතැ”යි කියන විශ්වාසයක් එජාපය තුළ ද ඇතිවී තිබුණි. එහෙත් මෙම පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකින් පවා පහසු ජයක් ලබාගැනීමේ හැකියාව ආණ්ඩුවට ඇති බවය.
මෙම පළාත් සභා මැතිවරණ දෙකේදී ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය කෙරෙහි යුද්ධය සේ ම, මහින්ද සාධකය ද බලපා තිබෙන බව පැහැදිලිය. එය එක් අතකින් යුද්ධයට පක්ෂපාතව ලැබුණු ඡන්දයක් ලෙස සේ ම, මහින්දට ද පක්ෂපාතව ලැබුණු ඡන්දයක් ලෙස ද සැලකිය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව විරුද්ධ පක්ෂ කොතරම් බරපතළ චෝදනා එල්ල කර තිබුණ ද, ඔහුට මහජනතාව අතර තිබෙන පිළිගැනීමේ බිඳ වැටීමක් ඇතිවී තිබෙන බවක් පෙනෙන්නට නැත. තිබෙන මහජන මතය උඩ යට පෙරළීමට හේතුවන තරම් මහා සිද්ධීන් ඇති නොවෙතොත් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහු පහසු ජයග්‍රහණයක් ලබනු ඇති බව ද පෙනී යයි.
එජාපයේ සේ ම ජනතා විමුක්ති පෙරමුණේ ද ඉදිරි දේශපාලන අනාගතය යහපත් නැත. එම පක්ෂ දෙකටම මහජනයාගේ පිළිගැනීමට හේතුවන ඵලදායී විකල්පයක් වීමට හැකිවී නැති බව පැහැදිලිව පෙනී යයි.
එජාප තමන් අනුන්ට අටවන ලද උගුලට හසුවී ඉන් ගොඩ ආ නොහැකි තත්ත්වයක සිටින බව පෙනේ. විධායක ජනාධිපතිට පරම බලය ලබාදෙන ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස ක්‍රියා කළේ එම පක්ෂයයි. ඔවුන් මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කළේ තමන්ගෙන් කාටවත් බලය ලබාගත නොහැකි ආකාරයටයි. එහෙත් අනපේක්ෂිත ලෙස එක දිගට ගිය අවුරුදු 17 ක පාලනයකින් පසුව බලය තමන් වෙත උදුරා ගැනීමට පොදු පෙරමුණ සමත් වූ අතර, දැන් තමන්ට අහිමි වූ පාලන බලය නැවත උදුරා ගැනීමට නොහැකිව දත් මිටි කන තත්ත්වයකට පත්වීමට එජාපයට සිදුවී තිබෙන බව පෙනේ. විරුද්ධ පක්ෂවලට බලයට පත්වීමට සාධාරණ ඉඩක් නැති ක්‍රමයක් නිර්මාණය කළ එජාප දැන් ඒ ක්‍රමය තුළ බලරහිත පක්ෂයක් බවට පත්වී තිබේ. පරම බලයට ඇති කෑදරකම නිසා මේ ක්‍රමය වෙනස් කරනවාටද ඔවුහු කැමති නොවූහ.
එජාපයට නැවත කවදා හෝ බලයට පත්වීමට අවශ්‍ය නම්, ආණ්ඩු බලය වෙනස් කරන්නට පෙර තමන් ඇති කළ දුෂ්ට හා දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ වැදගත්කම එම පක්ෂය අවබෝධ කරගත යුතුය. මේ රටේ පවතින බොහොමයක් මූලික ප්‍රශ්නවලට හේතුවී ඇත්තේ මෙම දේශපාලන ක්‍රමයයි. එජාප මෙම ක්‍රමය නිර්මාණය කළ අතර, අවුරුදු 17 ක පාලනයකින් පසුව දැන් ඒ ක්‍රමය තුළ පොදු පෙරමුණ එක දිගට අවුරුදු 15 ක් තරම් කාලයක් රජ කරයි. පොදු පෙරමුණේ යුගය අවුරුදු 24 ක් තරම් දීර්ඝ විය හැකිය.