වෙරළ ආරක්ෂක කලාපයේ යථාර්ථය

May 8, 2005
Publication:
Ravaya criticised the 100/200-metre buffer zone from the start, because such a law would ruin the survivors. The piece shows how it breaches eleven basic principles of two international covenants, then examines the roles of the JVP, of Ranil Wickremesinghe and a stagnant UNP, and of a President whose strategy may cost her only the executive presidency.

සුනාමියෙන් පසුව ආණ්ඩුව මීටර් 100/200 වෙරළ ආරක්ෂක කලාපයක් ප්‍රකාශ කළ විට, අපි එම ප්‍රතිපත්තිය විවේචනය කළෙමු. විපතට පත්ව සිටි ජනයා කුලප්පු කිරීමේ අරමුණෙන් නො ව, එවැනි නීතියක් ඔවුන්ට නැවත යථා තත්ත්වයට මාරුවීමට ඇති කරන බාධා සලකා ය. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ද මීටර් 100/200 නීතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් නො ව, ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික ප්‍රඥප්තියට හා ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික ප්‍රඥප්තියට ද පටහැනි බව ය.

ආණ්ඩුවේ මීටර් 100/200 ආරක්ෂක කලාප ප්‍රතිපත්තිය එම අන්තර්ජාතික ප්‍රඥප්තීන් දෙකේ එන මූලික මූලධර්ම 11 කට (1. වෙනස්කම් කරනු නො ලැබීමේ හා සමාන ලෙස සලකනු ලැබීමේ අයිතිය, 2. දේපළ ඇතිව සිටීමේ අයිතිය, 3. තම දේපළ කරා ආපසු පැමිණ නැවත ලබාගැනිමේ අයිතිය, 4. අත්තනෝමතික ලෙස තමාගේ දේපළ අහිමි කරනු ලැබීමෙන් ආරක්ෂාවීමේ අයිතිය, 5. තම මුල් වාසස්ථානයට ආපසු පැමිණීමේ අයිතිය, 6. තම නිවසෙන් හෝ ඉඩමෙන් අත්තනෝමතික ලෙස නෙරපනු ලැබීමෙන් ආරක්ෂාවීමේ අයිතිය, 7. සාධාරණ හා සමාන වන්දි ලැබීමේ අයිතිය, 8. ජීවිතය හා ජීවනෝපාය සඳහා වූ අයිතිය, 9. භුක්තියේ සුරක්ෂිතතාව සඳහා වූ අයිතිය, 10. ලබාගත හැකි හා දැරිය හැකි නිවාස සඳහා වූ අයිතිය, 11. තම වාසස්ථාන තෝරාගැනීම සඳහා වූ අයිතිය) පටහැනි ය.

සීත කාමරවල සිට මෙම ප්‍රතිපත්ති සකස් කළ ප්‍රතිපත්ති සම්පාදකයින් අන්තර් ජාතික ප්‍රඥප්තියේ තබා මෙවැනි ප්‍රතිපත්තියක් රටේ මූලික නීතියට එකග ද යන්නවත් සොයා බලා නැති බව පැහැදිලි ය.

දැන් ආණ්ඩුව ඒ ගැන කරන්නට යන්නේ කුමක් ද? නීතිය ආපස්සට ගන්නවා ද? නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අන්තර් ජාතික ප්‍රඥප්තීන් නො සලකා තවදුරටත් දරදඬු ලෙස එම නීති විරෝධී ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද?

නීතිය ආපස්සට ගතහොත් අවතැන්වූවනට අධිකරණය ඉදිරියට යා හැකි ය. දේශීය අධිකරණයෙන් පිළිගත හැකි විසර්මක් නො ලැබී ඔවුන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට යන තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ට විශාල වශයෙන් වන්දි ගෙවන තත්ත්වයකට මුහුණ දෙන්නට ආණ්ඩුවට සිදුවනු ඇත්තේ ය.

විය යුතු ව තිබෙන දේ හිතුවක්කාර නො වී තමන් පදිංචි වී සිටි ස්ථානවල ම පදිංචිවිමට කැමති අයට ඒ සඳහා ආධාර දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය. මීටර් 100 සීමාව ගාලු පාරට බලපා නැත. එය ඉතාමත් අවදානම් සහගත කලාපයක් නම්, ඒ පාරෙන් මහජනයාට ගමන් බිමින් යන්නට ඉඩ හැර ඇත්තේ ඇයි? අනෙක් අතට එම කලාපයට අයත් සුනාමියෙන් හානි නොවූ නිවෙස්වල ජනයා ද ජීවත් වන්නේ එම අනතුරුදායක කලාපයේ ය. ජනාධිපති මන්දිරය තිබෙන්නේ ද එම අනතුරුදායක කලාපයේ ය.

මිනිසුන්ගේ කැමැත්තට පටහැනිව මීටර් 100/200 කලාපයේ පදිංචි වී සිටින මිනිසුන් එම කලාපයෙන් ඉවත් කිරීම නීතියට පටහැනි වනවා සේ ම, එය ඔවුන්ගේ ජීවිත කෙරෙහි ද විනාශකාරි ලෙස බලපායි. වැරදි ප්‍රතිපත්තියක් ඉවත් කිරීමට ආණ්ඩුව ලැජ්ජා විය යුතු නැත. ඔවුන් සදාකාලික අනාථයින් බවට පත් නො කොට ඔවුන් පදිංචි වී සිටින ස්ථානවල නැවත තමන් කැමති නිවසක් තනාගැනීමට අවශ්‍ය ආධාර කරන ප්‍රතිපත්තියකට ආණ්ඩුව යා යුතු ය.

ජවිපෙ භූමිකාව

ජේවීපීය නැවත භීෂණ මගකට ගමන් ගනිමින් තිබේද යන ප්‍රශ්නය සමාජයේ විවිධ අංශවල කතාබහට ලක්වෙමින් තිබෙන මාතෘකාවක් බවට පත්වී තිබේ.

ජේවීපිය දැන් සිටින්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේදි සිටි තත්ත්වයට වඩා ශක්තිමත් තැනක නොව, දුර්වල හා අවිනිශ්චිත තැනක ය. රාජ්‍ය බලය අර්ධ වශයෙන් අල්ලා ගැනීමට සමත් වී ඇතත්, ජනතාවට දෙන ලද කාන්තිමත් පොරොන්දු කිසිවක් ඉටුකිරීමට සමත්ව නැත. ඔවුන්ට කළ හැකිව තිබෙන එකම දේ ආණ්ඩුව හිරකර තැබීම පමණය. අවසානයේ ඒ නිසා රටට ලැබී තිබෙන්නේ ඉදිරියට හෝ පස්සට යා නොහැකි එකතැන හිරවූ ආණ්ඩුවකි. සන්ධානය බලයට පත් කළ ජනතාව අතර පවා ආණ්ඩුව කෙරෙහි ඇති කරගෙන තිබුණු බලාපොරොත්තු හා විශ්වාසය ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතී.

ඉදිරියේදි තනිව පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන තත්ත්වයකට යන්නට සිදුවුවහොත් තම පක්ෂයේ විශාල ඇද වැටීමක් ඇතිවිය හැකි බව ජේවීපීය නොදන්නවා විය නොහැකිය. පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට ඉඩ නොතබා බලහත්කාරි ආකාරයකින් හෝ රාජ්‍ය බලයෙහි එල්ලී සිටීම ජනතා විමුක්ති පෙරමුණේ වුවමනාව වී තිබෙන බව පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ ජනාධිපතිවරණයකට ය. ජනාධිපතිවරණය තමන් ඇද වැටී සිටින දුර්වල තත්ත්වයෙන් ගොඩඒමට ශක්තිමත් අවස්ථාවක් කරගැනීම ජනතා විමුක්ති පෙරමුණේ උපාය මාර්ගික අරමුණ වී තිබෙන බව පෙනේ.

ජනාධිපතිනියට නැවත තරග කළ නොහැකිය. එම අවකාශය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන දැනට බාගෙට අල්ලාගෙන සිටින රාජ්‍ය බලය උපරිම තත්ත්වයකට ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වී තිබේ.

ජනාධිපතිවරණය ඊනියා දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් අතර කෙරෙන ලොමුදැහැගැන්වෙන දේශපාලන හටනක් බවට පත්කිරීම ජනතා විමුක්ති පෙරමුණේ උපක්‍රමික වැඩපිළිවෙළ වී තිබෙන බව ද පෙනේ. ඊට වාසිදායක අවිනිශ්චිත වටාපිටාවක් නිර්මාණය කරන සියුම් වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාවට නංවා තිබෙන බව ද පෙනෙන්නට තිබේ. තමන්ට පාලනය කළ හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරියට ගෙන, එම අපේක්ෂකයා හොඳින් හෝ නරකින් ජයග්‍රහණය කරවන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම මගින් පූර්ණ ලෙස රාජ්‍ය බලය පාලනය කළ හැකි තත්ත්වයක් දිනාගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. අවිනිශ්චිත වටාපිටාවක් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා පමණක් නොව, තම කඳවුරෙන් තමන් නොකැමති අපේක්ෂකයෙකු ඉදිරියට ඒම වළකා තමන් කැමති අපේක්ෂකයකු ඉදිරියට ගැනීම පිණිස අත්‍යාවශ්‍ය වේ යැයි ඔවුන් කල්පනා කරන බව ද පෙනේ. එවැනි පරිසරයක් තුළ නොමනා දේ බොහෝ සිදුවිය හැකිය. එක්තරා ප්‍රමාණයකට ලේ වැගිරෙන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. එය ප්‍රජාතන්ත්‍රවාදි වත් පිළිවෙත් හා භීෂණ වත් පිළිවෙත් එකට කැටිකළ මැතිවරණයක් බවට පත්විය හැකිය. දේශද්‍රෝහීන් ලෙස සලකන අයට අදිසි ආකාරයකින් දඬුවම් පමුණුවන ක්‍රමවේදයක් වුවද ක්‍රියාත්මක විය හැකිය.

රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රගපාමින් තිබුණු හා රගපාමින් තිබෙන දුර්වල භූමිකාව සන්ධාන ආණ්ඩුවේ ජයග්‍රහණය කෙරෙහි සේ ම එම ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කිරීම කෙරෙහි ද ප්‍රබල සාධකයක් ලෙස බලපා තිබේ. සන්ධාන ආණ්ඩුව ජනතාව අතර ශීඝ්‍ර පිරීහීමට ලක්වෙමින් තිබුණ ද ඊට සරිලන ප්‍රමාණයකින් තම තත්ත්වය ශක්තිමත් කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී නැත. විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් එකතු කරගැනීම සඳහා දියත් කර තිබෙන සටකපට ක්‍රියාමාර්ගය පරාජය කිරීමට තබා අඩුම වශයෙන් එවැනි දේවලට එරෙහිව ප්‍රබල ලෙස අභියෝග කරන තත්ත්වයක් පෙන්වීමටවත් එක්සත් ජාතික පක්ෂය සමත් වී නැත.

රටේ තිබෙන විශාලතම දේශපාලන පක්ෂය කිසිදු ප්‍රබෝධයක් නැති එකතැන පල්වෙන පක්ෂයක් බවට පත්වී තිබේ. රනිල්ට නම් බැහැ කියන මතය පාක්ෂිකයන්ගේ ඇට මිදුලු තුළට කාවැදුණු දෙයක් බවට පත්වී තිබෙන බව ද පෙනෙන්නට තිබේ. නායකයාගේ චාරිකා හා කතා පාක්ෂිකයන් ප්‍රබෝධමත් කරනවා වෙනුවට ඔවුන් තව තවත් උකටලී කිරීමට හේතුවී ඇත.

පක්ෂය තුළ තිබෙන එම අවිනිශ්චිත තත්ත්වය ජයගැනීමට නායකයා උත්සාහ දරමින් සිටින්නේ ද තමා වෙනස්වීමෙන් නොව, තමන්ට පක්ෂපාත පිරිස්වලට සංවිධායකකම් ලබාදිමෙනි. ඒ නිසා එම ප්‍රදේශවල සිටින දක්ෂ මිනිසුන් නොසලකා පක්ෂපාත දුර්වලයින් ඉදිරියට ගන්නා තත්ත්වයක් ගොඩනැගී තිබේ.

තම නායකයා පක්ෂයේ ඉදිරි ගමනට සම්බාධකයක් වී තිබෙන බව ප්‍රකට කරුණක් වී ඇතත්, දෙවැනි පෙළ නායකයින් තැන තැන චුරු චුරු ගාමින් සිටිනවා විනා සුදුසු නව නායකයකු වෙත මාරුවීමට ද සූදානම් නැත. පාක්ෂිකයින්ගේ ප්‍රබෝධයට, විශ්වාසයට හා ගෞරවයට හේතු නොවන නායකයකු සිටින පක්ෂයකට ජයග්‍රාහීවීමට තිබෙන හැකියාව සීමිතය.

මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය පාලකයකු වශයෙන් රගපාන්නට යන භූමිකාවේ සාර්ථක අසාර්ථකභාවය කුමක් වුවත්, ඔහු සන්ධානයෙන් තරග කරන පොදු අපේක්ෂකයා වේ නම් ළග ළග තරගයකින් ජයගැනීමේ වැඩි හැකියාව ඇත්තේ රනිල්ට නොව මහින්දටය. මහින්දට නව බලවේග ඒකරාශී කරගැනීමේ හැකියාව පවතී. මේ වන විට මළානික තත්ත්වයකට ඇද වැටී සිටින පාක්ෂිකයින් ප්‍රබෝධමත් කිරීමේ හැකියාව ද ඔහු සතු ය. එහෙත් රනිල්ට නව බලවේග ඒකරාශි කරගන්නවා තබා සිය පාක්ෂිකයින් ප්‍රබෝධමත් තත්ත්වයකට ගැනීමේ හැකියාවවත් නැත. මොන හේතුවක් නිසා හෝ රනිල් වික්‍රමසිංහ පිළිබඳ සැගවුණු සැකයක් පොදු මහජනතාව අතර පමණක් නොව, එක්සත් ජාතික පාක්ෂිකයින් අතර පවා පවතී.

චන්ද්‍රිකාගේ භූමිකාව

රටේ දැනට කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය අනුව අය වැයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ආණ්ඩුවට ඇති බවක් පෙනෙන්නට නැත. අය වැයක් වෙනුවට ඉදිරියට ආ හැක්කේ මැතිවරණයකි. එය ජනාධිපතිවරණයක් ද, නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ද යන්න තීරණය කරනු ඇත්තේ තමාට වඩා වාසිදායක වනු ඇත්තේ ඉන් කුමන මැතිවරණයකින් ද යන පදනම මත ජනාධිපතිනිය විසින් ය.

දැන් ජනාධිපතිනියට තමාගේ අවලංගුවීම වළකා ගත හැකි වන ආකාරයට ජනාධිපති ක්‍රමය අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට හැකියාවක් නැත. එම තත්ත්වය ඉදිරියේ ක්‍රමය වෙනස් නොකොට සිය පැවැත්ම රැකගන්නේ කෙසේද යන්න දැන් ඇය ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගය වේ යැයි කිව හැකි ය.

ඇය ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වූයේ කැමැත්තකින් නොවේ; තමාගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා එසේ කිරීම අත්‍යවශ්‍ය වේ යැයි ඇයට පෙනුණු නිසා ය. ඒ වෙනුවෙන් ඇයට සිය සැමියා ඝාතනය කිරීමේ වගකීමෙන් ද ඔවුන් නිදහස් කිරීමට සිදුවිය. බැලු බැල්මට අශෝභන විය හැකි වුවත්, ඔවුන් සමග එකට එකතු වී නැවත පාර්ලිමේන්තු බලය ලබාගැනීම සඳහා එකගතාවකින් වැඩ කරන තැනකට ඒමට ඇයට සිදුවූ අතර, ඒ වෙනුවෙන් තම පක්ෂයට අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවනු ඇතත්, තම අරමුණ ජයගත හැකි වෙතොත් පක්ෂයට අහිමි වූ සියල්ල පෙරළා ලබාගත හැකිවනු ඇතැයි ද ඇය විශ්වාස කළා විය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වී මැතිවරණයකට යෑමෙන් වැඩි වාසිය සැලසුණේ ජනතා විමුක්ති පෙරමුණට වුවත්, නැවත පාර්ලිමේන්තු බලය දිනාගැනීමට ඇය සමත් වූවාය. එහෙත් තමාගේ අවලංගුවීම වළකා ගැනීමේ අරමුණ ජයගැනීමට ඇය අද දක්වා අසමත් වී තිබෙනවා පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කරගත් හවුල් පාලනය ද ඉදිරියට ගෙනයා නොහැකි තත්ත්වයකට ඇය පත්ව සිටී.

ඊළග ජනාධිපතිවරණයේදි පරාජිත ජනාධිපතිවරයෙකුටත් වඩා ජයග්‍රාහී ජනාධිපතිවරයෙක් ඇයගේ අනාගත දේශපාලන පැවැත්ම දුර්වල කිරීමට හේතුවේ. ජයග්‍රාහි ජනාධිපතිවරයා බවට පත් වන්නේ තමාගේ කුක්කකු වුවත්, එම කුක්කා පවා ලොක්කකු බවට පත්වී තමා බක්කකු වන බව ජනාධිපතිනිය දනී. ඊළග ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ වේ නම් තමාට ජන්ම උරුමයෙන් හිමිව තිබෙන පක්ෂය ද ඔහුට දෙන්නට සිදුවී කිසිම බලයක් නැති නිකමකු වන්නට තමන්ට සිදුවන බව ඇය දනී. ඒ තැන ගන්නේ මහින්ද නොවී තමාට ඉතාමත් හිතෛෂී විශ්වාසවන්ත පුද්ගලයෙකු වුවත්, ඊළගට විය හැකි දේ ඊට වෙනස් නොවන බව ද ඇය දනී. මේ නිසා ඊළග ජනාධිපතිවරණය ජයග්‍රාහී ජනාධිපතිවරණයක් වනවා දැකීමේ ආශාවක් ඇය තුළ තිබිය නොහැකිය.

ඉක්මන් ජනාධිපතිවරණයක් ඉදිරියට ගතහොත් පක්ෂය පාලනය කළ නොහැකි තත්ත්වයකට මුහුණ දෙන්නට තමාට සිදුවිය හැකි බව ඇය නොදන්නවා විය නොහැකිය. එවැනි අවස්ථාවකදි දුෂ්කරම දේ වනු ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ යටපත් කිරීමය. තමාගේ ආශිර්වාදය නැතිව වුවත් යෂ්ටිය අතට ගැනීමට ඔහු සමත් වෙතොත්, සියලු දෙනා දපනේ දමාගෙන ජයග්‍රාහීවීමේ හැකියාව පවා ඔහු සතුව තිබෙන බව ඇය දනී. අනෙක් අතට ජනාධිපතිවරණයක් ඉදිරියට ගතහොත් ඒ තත්ත්වයෙන් උපරීම ප්‍රයෝජනය ගැනීමට ජේවීපීය උත්සාහ දරන බව ද ඇය දනී. එම තත්ත්වය තුළ ඉක්මන් ජනාධිපතිවරණයකට ඇය කැමති වනු ඇතැයි සිතිය නොහැකිය. ඒ වෙනුවට ඇයගේ පළමු තේරිම වනු ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකි.

අවශ්‍ය නම්, ජනාධිපති වශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනාධිපති ධුරයෙන් ඉවත් වී ශ්‍රීලනිපයේ අගමැති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ හැකිය. නැතිනම් ජනාධිපති ධුරයේ ඉඳිමින්ම පාර්ලිමේන්තු මැතිවරණයකට යමින් ජනාධිපති ධුරය අහිමිවීමෙන් පසුව වෙනත් කෙනෙකු ඉවත් කොට පාර්ලිමේන්තුවට ආ හැකිය.

විධායක ජනාධිපති ධුරය හෙබවූ පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම අගවිනිසුරු ධුරය හෙබවූවකු කම්කරු උසාවියක විනිශ්චයකාර ධුරයක් ලබනවාට වෙනස් නැත. එය බැලු බැල්මට අශෝභන විය හැකි වුවත්, නීති විරෝධී නැත.

ඒ අනුව රාජ්‍ය නායකත්වය අතහැර පක්ෂ නායකත්වය රැකගැනීම ඇයගේ අලුත්ම උපාය මාර්ගික වැඩපිළිවෙළ වනු ඇතැයි සිතිය හැකිය. ප්‍රධාන පක්ෂයක, පක්ෂ නායකත්වය දෙවැනි වනුයේ රාජ්‍ය නායකත්වයට පමණය. එය රටේ තිබෙන ප්‍රධාන බල උල්පත් දෙකෙන් එකක් වන අතර, තමන් අපේක්ෂා කරන කුමාරයා හෝ කුමාරිකාව කරළියට එන තෙක් පක්ෂ නායකත්වය තම අතේ තබාගැනීම එහි උපාය මාර්ගික අරමුණ වේ.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වැළකීමේ හැකියාවක් ශ්‍රීලනිපයට හෝ ජනතා විමුක්ති පෙරමුණට නැත. ජනතා විමුක්ති පෙරමුණ සමග වෙන්වී තරග කරන පාර්ලිමේන්තු මැතිවරණයක් ජයගැනීමේ හැකියාවක් ශ්‍රීලනිපයට නැත. එවැනි මැතිවරණයක් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුවේ දැන් තිබෙන සංඛ්‍යාත්මක බලය දුර්වල කොට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකත්වය තම පක්ෂයට ලැබෙන තත්ත්වයක් ඇති කරනු ඇතැයි ඇය විශ්වාස කරනවා විය හැකිය. එවිට ඇයට ශ්‍රීලනිපයේ නායිකාව ලෙස ක්‍රියාකරන අතර, විරුද්ධ පක්ෂයේ නායිකාව ලෙස ද ක්‍රියාකළ හැකිය. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව පවත්වන ජනාධිපතිවරණයකින් ජයගැනීමේ හැකියාවක් ශ්‍රීලනිපයට නැති නිසා එවැනි මැතිවරණයකට මහින්ද රාජපක්ෂ හෝ වෙනත් කෙනෙකු ඉදිරිපත් කිරීමේ හැකියාව ද ඇයට ලැබෙන්නේය.

මෙය රැවුලයි කැඳයි යන දෙකම ආරක්ෂා කරගත නොහැකි අවස්ථාවකදි රැවුල හෝ කැඳ පමණක් ආරක්ෂා කරගත හැකි උපාය මාර්ගයකි.

එම උපාය මාර්ගය තුළ ඇයට අහිමිවනු ඇත්තේ විධායක ජනාධිපතිකම පමණය. පක්ෂ නායකත්වය ඉතිරි වී අහිමිවූ විධායක ජනාධිපතිකම වෙනුවට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකත්වය හිමිවනු ඇත්තේය. එහෙත් එවැනි වැඩපිළිවෙළක් වෙනත් අයට බොහෝ දේ අහිමි කිරීමට ද හේතුවනු ඇත්තේ ය