අධිකරණය, බලයේ සිටින ආණ්ඩුවේ ඍජු දේශපාලන අතකොලුවක් ලෙස ක්රියාකරන තත්ත්වයකට පත්වූ විට “නීතියේ පාලනය” පිළිබඳ සංකල්පය ද මුළුමනින් මරණයට පත්වන තත්ත්වයක් ඇතිවන්නේය. දැන් රටේ පවතින නීතියේ පාලනයක් නැති තත්ත්වයට බලපා තිබෙන එක් ප්රධාන හේතුවක් වී තිබෙන්නේ ද එයයි.
පවතින දේශපාලන ක්රමය අනුව මන්ත්රීකම අහිමි කරගැනීමෙන් තොරව මන්ත්රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකි ය. එහෙත් පුදුමයකට මෙන් විරුද්ධ පක්ෂය අතහැර ආණ්ඩු පක්ෂයට එකතු වී සිටින කිසිවකුගේ මන්ත්රීකම් අහිමි වී නැත. ඒ සියලු දෙනාට ඒ රැකවරණය ලැබී ඇත්තේ අධිකරණයේ පිහිටෙනි. අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විරුද්ධ පක්ෂය අතහැර ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්රීවරුන්ගේ මන්ත්රීකම් ආරක්ෂා කර දෙන රැකවල් දූතයා ලෙස ක්රියාකරමින් සිටී. ඒ සියල්ල එසේ සිදුවෙමින් තිබෙන්නේ ද විරුද්ධ පක්ෂයෙන් එල්ල වන බලවත් විරෝධයකින් තොරව ය. විරුද්ධ පක්ෂය ඒ ගැන රහසේ කෙඳිරි ගානවා විනා ඉන් ඔබ්බට ගිය බලවත් විරෝධයක් එල්ල කරන්නේ නැත. අඩුම වශයෙන් පාර්ලිමේන්තු විවාදයකට යන්නට වත් ඔවුන් සූදානම් නැත. එවැනි විැරද්ධ පක්ෂයක් සැලකිය යුත්තේ විරුද්ධ පක්ෂයක් ලෙස නොව නිවට පක්ෂයක් ලෙසය.
මේ වන විටත් පුද්ගලයින් ගණනාවක් මන්ත්රීකම් අහිමි කරගැනීමකින් තොරව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වී තිබේ. හෙළ උරුමයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවූ අපරැක්කේ හිමියන්ට වෙනත් බොහෝ දේවලට අතිරේකව ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 25ක් ගෙවන්නට පොරොන්දු වී ඉන් ලක්ෂ 10ක් දැනටමත් ලබාදි තිබෙන බව තහවුරු වී තිබේ. ආණ්ඩු පක්ෂයට එකතුවී සිටින අනෙක් අයට ද ඔවුන්ට ලැබී තිබෙන තනතුරුවලට අතිරේකව තවත් බොහෝ දේවල් ලැබෙන්නට ඇති බවට සැකයක් නැත.
විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන සියලු දෙනාට ආරක්ෂාව ලබාදෙන විශේෂ ක්රමයක් ද අධිකරණය විසින් ක්රියාවට නගා ඇති බව ද පැහැදිලිව දැකිය හැකි ය.
රෝහිත බෝගොල්ලාගම මහතාගේ පක්ෂ මාරුවට ආරක්ෂාව ලබාදෙමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව විවේචනයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය ප්රකාශ විසින් කරන ලද නිවේදනයක් සිය පුවත්පතේ පළකිරීම නිසා දැන් “ලංකාදිප” කර්තෘ සිරි රණසිංහ මහතාට ද අධිකරණ අපහාස නඩුවකට මුහුණ දෙන්නට සිදුවී තිබේ. පළකළ නිවේදනය එක්සත් ජාතික පක්ෂයේ ය. එහෙත් අපහාස නඩුව පැවරි ඇත්තේ නිවේදනයේ කර්තෘ වූ එජාපය අතහැර එම නිවේදනය පළකළ පුවත්පතේ කර්තෘට එරෙහිව පමණ ය.
බෝගොල්ලාගම මහතාගේ ආරක්ෂාවට ලබාදි තිබෙන මෙම නඩු තීන්දුව පමණක් නොව, විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වූ අයගේ මන්ත්රීකම් ආරක්ෂා කිරීමට හේතුවන ලෙස ලබාදි තිබෙන සියලු නඩු තීන්දු විචාරයට ලක්විය යුතු ය. අධිකරණයක් ආණ්ඩුවක දේශපාලන අතකොලුවක් ලෙස ක්රියා නොකළ යුතු ය. එසේ ක්රියාකරන්නේ නම් අධිකරණය අනුකම්පා විරහිතව විවේචනයට ලක්විය යුතු ය. අධිකරණයට පැවරි තිබෙන්නේ අම්පයර්ගේ කාර්යයයි. එහිදි අධිකරණය අපක්ෂපාත විය යුතු ය. එය දේශපාලන බල අරගලයේ කොටස්කරුවකු නොවිය යුතු ය. අපක්ෂපාතීත්වය හා ස්වාධීනත්වය අහිමි වූ විට අධිකරණය ජනතාවගේ ගෞරවයට හේතුවන්නේ නැත. අධිකරණය කිසියම් පක්ෂයක දේශපාලන ශාඛාවක් ලෙස ක්රියාකරයි නම් එම පක්ෂයට කැමති නැති අන් සියලු පක්ෂවල ජනයා අධිකරණය කෙරෙහි ගෞරවයකින් තොරව ක්රියාකරන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකි ය. දැන් අපේ අධිකරණයට සිදුවී තිබෙන්නේ ද එයයි.
අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා රගපාමින් තිබෙන දේශපාලන රංගනයේදි අවාසනාවකට මෙන් ඒ මහතාගෙන් වඩාත්ම බැටකන්නට සිදුවී තිබෙන්නේ ද ඒ මහතාගේ සමීප හිතවතුන්ට ය. එජා පෙරමුණ බලයට පත්වීමෙන් පසුව පළමු දෝෂාභියෝගය විවාදයට ගැනීමෙන් වැළකී තිබුණේ එම ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස ක්රියාකරමින් තිබුණු මුස්ලිම් කොංග්රස් පක්ෂය, විශේෂයෙන්ම එහි නායකයා අගවිනිසුරුගේ ආරක්ෂාව පිණිස තරයේ පෙනී සිටි නිසාය. ඉන්පසු මුස්ලිම් කොංග්රස් මන්ත්රීවරුන්ගේ පක්ෂ මාරු නඩුවලදි සිය මිත්රයාගේ ආරක්ෂාව නොසලකා ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා පක්ෂ මාරුකළ මන්ත්රීවරුන්ගේ පැවැත්ම ආරක්ෂා කරදිමට අගවිනිසුරුට සිදු විය.
ජාතික හෙළ උරුමය ද අගවිනිසුරුට ආරක්ෂාව ලබා දුන් ප්රධාන ආයතනයක් විය. එහෙත් අපරැක්කේ හිමියන්ගේ නඩුවේදි හෙළ උරුමයට තිබුණු යාළුකම නොසලකා නැවත ආණ්ඩුවේ ආරක්ෂාව පිණිස එම පක්ෂ මාරුව ආරක්ෂා කරදිමට අගවිනිසුරුට සිදු විය.
එස්.බී. දිසානායක මහතා ද අගවිනිසුරුට සිටි ගජ මිතුරෙකි. සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කරන්නට නියමිතව තිබුණු අවස්ථාවේදි ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි එවැනි පුද්ගලයෙකු එම තනතුරට පත් කිරීම නුසුදුසු බවට ජනාධිපතිනියට සමීප ජනාධිපති නීති උපදේශක ඇතුළු නීතිඥ පිරිසක් කියා සිටින්නට වූ විට ජනාධිපතිනිය ඒ ගැන අන්දමන්ද තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවක ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට නම් සරත් නන්ද සිල්වා මහතා එම තනතුරට පත් කළ යුතු බවට ජනාධිපතිනියට බලකරන ලද්දේ එස්.බී. දිසානායක මහතා විසින් ය. එස්.බී. දිසානායක මහතාගේ පක්ෂ මාරුවෙන් පසුත්, මේ දෙදෙනා අතර පැවති මිත්රත්වය නොබිඳී පැවතුණි. එස්.බී. දිසානායක මහතාගේ දෙවැනි අපහාස නඩුව කරළියට ආවේ අගවිනිසුරුගේ “දියවන්නා ඔය අන්දරය” කරළියට පැමිණ තිබූ අවස්ථාවක ය. ඒ ගැන සොයා බැලීම සඳහා එජාප යෝජනා කළ තේරිම් කාරක සභා යෝජනාව යටපත් කිරීමට අගවිනිසුරුවරයා ප්රයෝජනයට ගත්තේ ද එස්.බී. දිසානායක මහතා ය. “මගේ ප්රශ්නය ඔයා බලාගන්න, මම ඔයාගෙ ප්රශ්නය බලාගන්නම්” කියන පදනම යටතේ ය. එහෙත් අවසානයේදි ඒ ගනුදෙනුව කෙළවර වූයේ ද එස්.බී.ට අවුරුදු දෙකක සිරදඬුවමක් ලැබෙන ආකාරයකට ය.
අලුත්ම චෝදනාලාභියා බවට පත්ව සිටින “ලංකාදිප” කර්තෘ සිරි රණසිංහ මහතා ද අගවිනිසුරුගේ මිත්රයෙකි. මොන මොන හේතු නිසා හෝ අගවිනිසුරුට විටෙක ඍජු ලෙසත්, තවත් විටෙක අනියම් ලෙසත් ආධාර කළ ආධාරකරුවෙකි. සිරි රණසිංහගේ නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ද අගවිනිසුරුගේ හිටපු ආධාරකරුවෙකි. අගවිනිසුරුගේ දෝෂාභියෝගයට එරෙහිව අතුරු තහනමක් ලබාගත් නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ ඒ මහතා ය.
මෙය “ලංකාදිප“ කර්තෘ සිරි රණසිංහ පිළිබඳ ප්රශ්නයකට වඩා අදහස් ප්රකාශ කිරීමේ නිදහසට අදාළ ප්රශ්නයකි. “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කර්තෘ ඇතුළු ජනමාධ්යවේදින් තිදෙනෙකුට එරෙහිව උසාවි අපහාස නීතිය යටතේ නඩු 07ක් පවරා තිබෙන අතර, එම පෝලිමට අලුතෙන්ම එකතු වී තිබෙන පුද්ගලයා වී ඇත්තේ සිරි රණසිංහය.
රෝහිත බෝගොල්ලාගම තීන්දුව විවේචනය කරමින් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය සිය පුවත්පතේ පළකිරිමෙන් සිරී රණසිංහ නීති විරෝධී වරදක් කර නැතිවා සේ ම මෙවැනි නිවේදනයක් පළකිරිමෙන් එජාපය ද නීති විරෝධී වරදක් කර නැත. එහිදි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ එන මූලධර්මවලට එරෙහිව ක්රියාකොට ඇත්තේ අධිකරණයයි. අධිකරණයක් විසින් එවැනි වැරදි සිදුකරන විට දේශපාලන පක්ෂ සේම ජනමාධ්යය ද ඒවා නොබියව විවේචනය කළ යුතු ය. තවදුරටත් එවැනි වැරදි සිදුකිරීම වළකාගත හැකිවනු ඇත්තේ එසේ කිරිමෙන් මිස, නිහඬව බකන් නිලාගෙන සිටීමෙන් නොවේ.