දේශපාලන ලෝකයෙන් පිටමං කොට සිටි ගම්බද සිංහල සමාජයේ නිර්ප්රභූ තරුණ පරපුර සංවිධානය කොට ඔවුන් දේශපාලන බලවේගයක් ලෙස කරළියට ගෙන ඒමේ ගෞරවය ජනතා විමුක්ති පෙරමුණට හිමිවිය යුතුය. තමන් නියෝජනය කරන සිංහල ග්රාමීය සමාජයේ එම නිර්ප්රභූ සමාජ බලවේගය ජයග්රාහී ලෙස ඉන් ඔබ්බට ගෙනයා හැකි ඉදිරිගාමී ඉදිරි දර්ශනයක් එය සතු නොවීම එයට හැමදාමත් මුහුණ දෙන්නට සිදුවූ ප්රධාන පරස්පරය ලෙස ද සැලකිය හැකිය.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ශ්රී ලංකාවේ පවතින දේශපාලන ක්රමය විග්රහ කළේ තට්ටු මාරු ක්රමයක් ලෙසය. බෝතලේ වලව්වෙන් හොරගොල්ල වලව්වටත්, නැවත හොරගොල්ල වලව්වෙන් බෝතලේ වලව්වටත් බලය මාරුවන ක්රමයක් ලෙසය. ඔහු එවැනි විග්රහයක් මගින් අනියම් ලෙස රටට කීවේ ශ්රී ලංකාවේ දේශපාලන ආධිපත්යය සාම්ප්රදායික ප්රභූ පන්තියේ ඒකාධිකාරයක් වී තිබෙන බව හා එම ක්රමය තුළ නිර්ප්රභූ සමාජ බලවේගයන්ට තැනක් නැති බවය.
එහෙත් අවාසනාවකට මෙන් විජේවීර සම්ප්රදායික ප්රභූ පන්තිය සතු දේශපාලන ආධිපත්යය පරාජය කරන්නට උත්සාහ කළේ සමාජ දේශපාලනයේ ප්රජාතන්ත්රවාදි අවකාශ පුළුල් කිරීමට හේතුවන ප්රජාතන්ත්රවාදි දේශපාලන කැරැල්ලක් මගින් නොව, සමාජ දේශපාලනයේ ප්රජාතන්ත්රවාදි අවකාශ දුර්වල කිරීමට හේතුවන සන්නද්ධ කැරැල්ලකිනි. ඒ නිසා නිර්ප්රභූ සමාජයට නායකත්වය දිමේ පුරෝගාමී ශක්තියක් ඇති විශාල තරුණ පිරිසකගේ ජීවිත විනාශ වී රටේ සම්ප්රදායික ප්රභූ ආධිපත්යය ශක්තිමත් විය.
දැන් ජනතා විමුක්ති පෙරමුණට රෝහණ විජේවීර කෙනෙකු හෝ ඒ පන්නයේ නායකයකු නැත. ඒ වෙනුවට සිටින්නේ සෝමවංශ අමරසිංහ පන්නයේ, විමල් වීරවංශ පන්නයේ හා ටිල්වින් සිල්වා පන්නයේ නායකයන් පිරිසකි. ඔවුන් තමන් නියෝජනය කළ සමාජ බලවේගය සුපුරුදු කැරැල්ලේ මාවතෙන් ඉවත් කොට, ප්රජාතන්ත්රවාදි මාවතට ගැනීමේදි විජේවීරට නොතිබුණු ශක්තියක් පෙන්නුම් කර ඇතත්, ඔවුන් එතැන් සිට ඔබ්බට ගෙනයෑමේදි යොදාගනිමින් තිබෙන දර්ශනය විජේවීරගේ දර්ශනයටත් වඩා පසුගාමී හා ප්රතිගාමී වේ යැයි කිවහැකිය.
විජේවීර අඩුම වශයෙන් සමාජවාදි ශ්රී ලංකාවක් ගැන සිහින දැක්කේය. විජේවීර කතා කළ සමාජවාදයේ හා සම්භාව්ය මාක්ස්වාදි ඉගැන්වීම් අතර යම් නොගැලපීමක් තිබුණ ද, සමාජ පරිණාමය පිළිබඳ නොපැහැදිලි වුවත්, යම් ඉදිරිගාමී දැක්මක් විජේවීරට තිබුණේය. විජේවීරට ධනවාදය ප්රතිගාමී වූයේ සමාජවාදයට සාපේක්ෂව මිස වැඩවසම් වාදයට සාපේක්ෂව නොවේ. ඉදිරිය දකින ආකාරය පිළිබඳව පරස්පර විරෝධතා තිබුණ ද, ඔහු පෙනී සිටියේ සමාජ සංවර්ධනයේ ඉදිරි අවධියක් වෙනුවෙන් මිස, ධනවාදයටත් වඩා පසු අවධියක් වෙනුවෙන් නොවේ. ඔහු අදහස් කළ සමාජවාදය තුළ බැරැක්ක ගති ලක්ෂණ තිබුණ ද ඔහු ප්රවේණිදාස ක්රමය රජ කළ පැරණි රදළ වැඩවසම් ක්රමයකට රට ගෙනයෑමට උත්සාහ නොකළේය.
එහෙත් විජේවීරගෙන් පසුව ඒ උරුමය වෙනුවෙන් පෙනී සිටින අමරසිංහ, වීරවංශ, නායකත්වය තමන් නියෝජනය කරන නිර්ප්රභූ තරුණ පරපුර කැන්දා ගෙන යෑමට උත්සාහ කරමින් සිටිනුයේ නිර්ප්රභූ සමාජ බලවේගයන් ප්රවේණිදාස තත්ත්වයක බැඳ තබා ගත් පැරණි රදළ වැඩවසම් ක්රමයටය.
පෘතුගීසීන් ලංකාව අල්ලා ගන්නා අවස්ථාව වන විට උඩරට රාජධානියේ පැවති සමාජ දේශපාලන ක්රමය පිළිබඳව විග්රහයක් ලෝනා දේවරාජා විසින් ලියා ඇති “උඩරට රාජධානිය” නමැති කෘතියට හා රැල්ප් පීරීස් විසින් ලියා ඇති “සිංහල සමාජ සංවිධානය” නමැති කෘතියට ඇතුළත්ය.
උඩරට සිංහල සමාජ ක්රමය තුළ පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය තීරණය කළ ප්රධාන සාධකය වූයේ කුලයයි. උත්පත්තියෙන් ලැබෙන කුලය අනුව ඔහු උත්තම හෝ නීච ලෙස සලකන ලද අතර, එම බෙදිම් සියලු සමාජ සම්බන්ධතා කෙරෙහි බලපෑවේය. දෛනික ජීවිතයේ වැඩ කටයුතුවලදි “වැදගත් මිනිස්සු හෙවත් කුලීනයෝ හීන කුලවලට අයත් වූවන් ලවා පහත් මෙහෙකාර සේවා ඉටුකරවා ගත්හ” (රැල්ෆ් පීරීස්) රජුට පුද්ගලයෙකු උසස් කුලයෙන් පහත් කුලයකට දැමීමේ හැකියාවක් තිබුණ ද, ඊට ප්රතිවිරුද්ධ ලෙස ක්රියාකිරීමේ හැකියාවක් රජුට පවා නොතිබුණි. (ලෝනා දේවරාජා)
කුල අතර වූ සම්බන්ධතා, සිරිත් විරිත් හා සමාජ තරාතිරම අනුව තීරණය වූ අතර, විවිධ කුල අතර දක්නට තිබූ සමාජ පරතරය බෙහෙවින් වෙනස් විය. අන්තර් කුල රිති හා නියෝග පිළිබඳ අනුපිළිවෙළ ඉතා සියුම් ලෙස සැකසී තිබුණි. වහුම්පුර පවුල්වල උදවියට අයත් වූ කුඹුරුවල වැඩකිරීමට ගොවිගම උදවිය අදිමදි නොකළ නමුත්, හීන කුලයට අයත් ඉඩම් හිමියාගේ නිවසේදි කිසිම විටක ඔවුහු ආහාර අනුභව නොකළහ. ඇඳුම පැළඳුම ද සකස් වූයේ කුලය අනුවය. ඉගටියෙන් ඉහළට රෙදි ඇඳීම රොඩීනට තහනම් වූ අතර, දණහිසින් පහළට ඇඳීම කුඹලුන්ට තහනම් විය. කොණ්ඩය හෝ රැවුළ වැවීමට පදු හා බෙරවා කුලයේ අයට අනවසර වූ අතර, වහුම්පුර දුරාවේ සහ සලාගම කුලීනයනට දැළි රැවුළු වැවීමට හෝ ඔසරිය ඇඳීමට නුපුළුවන. එහෙත් කොණ්ඩය බැඳීමට අවසරය. (රැල්ෆ් පීරීස්) පුද්ගලයෙකුට ආමන්ත්රණය කළයුතු පද පවා කුලය අනුව වෙනස් විය. නුඹ හෙවත් ඔබ යන පදය සඳහා පවා කුලය අනුව වෙනස් වන වචන ගණනාවක් තිබුණි. එනම් තෝ, තොපි, උඹ, උඹලා, තමුන්නැහෙ, තමුසෙ, තමුන්නාන්සේ යනාදි වශයෙනි. මේ වචන අනුක්රමයෙන් එකකට වඩා එකක් උසස් විය. පුද්ගලයෙකුට තබන නම් කෙරෙහි පවා කුලය බලපෑ අතර, භාවිතා කරන නම අනුව කුලය හඳුනා ගැනීමේ හැකියාවක් තිබුණි. කුලය ඉපැරණි කාලයේදි නියම කරන ලද, වෙනස් කළ නොහැකි ඉරණමකැයි යන විශ්වාසය නිසා තමන්ට වඩා උසස් කුලීනයන්ට මෙහෙවර කිරීම තමන් වෙත පැවරි ඇති යුතුකමක් සේ හීන කුලීනයෝ නිහඬව පිළිගත්හ. (රැල්ෆ් පීරීස්)
පෘතුගීසි යුගයට පෙර පැවති සමාජ ක්රමය කවර මට්ටමකින් අද පවත්නා සමාජ ක්රමයට වඩා යහපත් ක්රමයක් ලෙස සැලකිය නොහැකිය. අද අප ජීවත්වන්නේ පෘතුගීසි යුගයට පෙර පැවති සමාජ ක්රමයක නම්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වැඩි පිරිසකට, සංස්කෘතික ඇමති විජිත හේරත්ට, පක්ෂ නායක සෝමවංශ අමරසිංහට පක්ෂ ලේකම් ටිල්වින් සිල්වාට හෝ ප්රචාරක ලේකම් විමල් වීරවංශට දේශපාලනයේ නිරත වන්නට හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට ඉඩ ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ කුලය අනුව නියම වී තිබූ සේවාවල යෙදෙන්නටය.
යටත් විජිත වාදයේ කොල්ලකාරි අංග ලක්ෂණ තිබෙනවා විය හැකි වුවත්, වැඩවසම් ප්රවේණිදාස සමාජ දේශපාලන ක්රමය වෙනස් කොට අද අපි ජීවත් වන නූතන දේශපාලන ක්රමය දක්වා වන පරිවර්තනයට අවශ්ය මූලික වෙනස්කම් සිදුවූයේ යටත් විජිතවාදයේ ප්රතිඵලයක් වශයෙනි. යටත් විජිතවාදය මල්, පහන් තබා වන්දනා කළ යුතු දේශපාලන ප්රපංචයක් නොවූවත්, ඓතිහාසික අර්ථයෙන් ගත්විට එය සමාජ දේශපාලන ක්රමයේ ඇති කළ වෙනස්කම්, තිබුණු රදළ වැඩවසම් ක්රමයට වඩා ඉදිරීගාමී හා ප්රගතිශීලී විය.
ජනාධිපතිනියගේ අලුත්ම සිංදුව
දැන් ජනාධිපතිනිය ගයන අලුත්ම සිංදුව වී ඇත්තේ, තමන් අතර සිටින කවුරු විරුද්ධ වුණත්, ඒකාබද්ධ යාන්ත්රණයට තමන් අත්සන් තබන බවය. ඒ නිසා තම පදවිය හෝ තම පක්ෂයට තිබෙන පාර්ලිමේන්තු බලය අහිමි විය හැකි වුවත්, ඒවා පෞද්ගලික ප්රශ්න ලෙස සලකා රටේ යහපත පිණිස තමන් ස්ථිර වශයෙන්ම ඒකාබද්ධ යාන්ත්රණයට අත්සන් තබන බව ද ඇය වැඩිදුරටත් ප්රකාශ කර තිබුණි.
ජනාධිපතිනිය ඇතුළු බලයට පත් දේශපාලන නායකයන් තමන්ට ඇතිවන අලාභ නොසලකා රටේ අභිවෘද්ධියට මුල් තැන දෙන ප්රතිපත්තියක පිහිටා ක්රියා කළේ නම්, ශ්රී ලංකාව මෙවැනි කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙන්නේ නැත. එහෙත් එම කල්පනාව රාජ්ය බලය අහිමි වන්නට ආසන්න මොහොතක ඇති නොවී පළමු පදවි ප්රාප්තිය ආරම්භයේදිම ඇතිවී නම් මේ රට ගොඩ දැමීමේ හැකියාව ඇයට ලැබෙන්නට ඉඩ තිබුණා සේ ම, ඇගේ නාමය අමරණීය වන්නට ද ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට ජීවිතයේ අනිත්යතාව මිනිසුන් අවබෝධ කරගන්නේ මරණමංචකයේදිය. දේශපාලකයන්ට හොඳ නුවණ පහළ වන්නේ ද විශ්රාම යන්නට ඔන්න මෙන්න කියන තත්ත්වයකට පත්වූ පසුවය. ප්රමාද වී හෝ ඒ පහළ වී තිබෙන නුවණ ක්රියාවට නැගීමට අවශ්ය ශක්තිය ඇයට ලැබේවායි කියා අපි ප්රාර්ථනා කරමු.
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ
රෝහිත බෝගොල්ලාගම නඩු තීන්දුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දරන මතය ප්රකාශ කළ පුවත්පත් නිවේදනයයක් පළකිරීම මගින් උසාවියට අපහාස කර ඇත්තේය යන පදනම මත උසාවි අපහාස නඩුවකට මුහුණදිමට “ලංකාදිප” කර්තෘට (සිරි රණසිංහ) සිදුවී තිබේ. ප්රවෘත්ති නිවේදනය එක්සත් ජාතික පක්ෂයේය. එම නිවේදනයෙන් උසාවියට අපහාසයක් වී ඇත්නම්, චෝදනා ඉදිරිපත් විය යුතුව තිබුණේ එය පළ කළ “ලංකාදිප” පුවත්පතට පමණක් නො ව, එවැනි නිවේදනයක් නිකුත් කළ එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධවය. එහෙත් පුදුමයකට මෙන් මේ නඩුව ඇසෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය අතහැර, නිවේදනය පළකළ පුවත්පතේ කතුවරයාට විරුද්ධවය.
අධිකරණයට නඩු අසා තීන්දු දිමේ බලයක් ඇතත්, පටු දේශපාලන අරමුණු මත පිහිටා නඩු අසා තීන්දු දිමේ බලයක් අධිකරණයට නැත. එවැනි අගතිගාමී තීන්දු විවේචනයට ද, විචාරයට ද ලක්විය යුතුය. “ලංකාදිප” කර්තෘට එරෙහිව ඇසෙන එම අපූරු නඩුවෙන් අධිකරණය සංකේතාත්මකව රටට දෙන පණිවුඩය වනුයේ අප දෙන තීන්දු කුමන පදනමක පිහිටා දෙනු ලැබූවත්, ඒවා විවේචනය කිරිමේ අයිතිය කිසිවකුටත් නැති බවය.
පසුගිය සඳුදා නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදි අගවිනිසුරුවරයා ඇමති බෝගොල්ලාගමගෙන් සමාව ගන්නා ලෙස ලංකාදිප කර්තෘවරයාගෙන් ඉල්ලා සිටියේය. කර්තෘවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆියිස් මුස්තාපා මහතා කියා සිටියේ අධිකරණයට අපහාසයක් වී ඇත්නම්, අධිකරණයෙන් සමාව ගැනීමට තම සේවාදායකයා සූදානම් නමුත්, බෝගොල්ලාගම මහතාගෙන් සමාව ගන්නට සූදානම් නැති බවය. එය අගවිනිසුරුවරයාගේ කෝපයට හේතුවූ අතර, “ලංකාදිප” කර්තෘවරයාට එරෙහිව චෝදනා පත්රයක් සකස් කොට 9 වැනිදාට පෙර උසාවියට ඉදිරිපත් කරන ලෙස බෝගොල්ලාගම මහතාගේ නීතිඥ ඉක්රම් මොහොමඩ් මහතාට නියම කළේය. එය ද සාමාන්ය ක්රමයට වෙනස්ය. සාමාන්යයෙන් මෙවැනි නඩුවක චෝදනා පත්රය සකස් කිරීමේ වගකීම පැවරෙන්නේ නීතිපතිටය. එහෙත් මේ නඩුවේදි නීතිපති නොසලකා ඒ වගකීම භාරදුන්නේ සිය සමීප මිත්ර පැමිණිල්ලේ නීතිඥ ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඩ් මහතාටය.
ආධාර හොරු කව්ද?
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්රමසිංහ මහතා පසුගිය කාලයේ සුනාමියෙන් අනාථවූ ජනයා සිටින ප්රදේශවල පැවති සම්මන්ත්රණ වලදි ආණ්ඩුවට බිහිසුනු චෝදනාවක් එල්ල කළේය. සුනාමි ආධාර වශයෙන් ලැබී ඇති කෝටි ගණන් සල්ලි පිල්ලි ගොස් ඇති බවය. ඒ කතාවලදි ඊසොප්ගේ භාෂාවෙන් කියන්නට උත්සාහ කර ඇත්තේ පිල්ලි ගැහිල්ල ඉහළම තැන්වලින් සිදුවන දෙයක් බවය.
කෝටි ගණන් සුනාමි සල්ලි ඇත්තටම පිල්ලි ගොස් ඇත්නම්, විපක්ෂ නායකයා වශයෙන් ඔහු කළ යුතුව තිබෙන්නේ ඒ ගැන ජනතාවට කතා කරන්නට පෙර, පාර්ලිමේන්තුවේ කතා කිරීමය. ඒ ගැන විධිමත් ලෙස පාර්ලිමේන්තුවේ ප්රශ්න කිරීමය. අවශ්ය තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමය. එහෙත් විපක්ෂ නායකතුමා ඒ ගැන කිසිවක් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැත. ඒ වෙනුවට කතා කරන්නේ මහජන රැස්වීම්වලදි පමණය.
කොහේද යන්නෙ? මල්ලෙ පොල්
ජනාධිපති විමර්ශන ඒකකය විදුහල්පතිවරුන්ට එරෙහිව ක්රියාත්මක වී ඇත්තේ නීතියට පටහැනිව බව දැන් සනාථ වී තිබේ. එසේම අධ්යාපන ලේකම්වරිය විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ ද නීතියට පටහැනිවය.
රට පාලනයවෙමින් තිබෙන්නේ මූලික නීතිය පවා නොසලකා බව ඉන් පෙනී යයි. 17 වැනි ව්යවස්ථා සංශෝධනයෙන් පසුව රාජ්ය නිලධාරින්ගේ විනය පාලන බලය තමන්ට නැති බව ජනාධිපතිනිය නොදැන සිටියේ නම්, එයින් පෙනෙන්නේ ජනාධිපතිනියට හරි උපදෙස් ලබාදෙන ක්රමයක්වත් නැති බවය. අධ්යාපන ලේකම්වරියගේ ක්රියාකලාපයෙන් පෙනී යන්නේ ද තම විෂයට අදාළ මූලික නීතිය ගැන අවබෝධයක්වත් ඇයට නැති බවය. රට ඉබාගාතේ යන ගමන ගැන පුදුමවිය යුත්තේ ඇයි?