විමල් වීරවංශ පළකර තිබෙන මෙම කෘතියට ජනාධිපතිවරණයට පෙර හා ඉන්පසු 2007 පෙබරවාරි 05 වැනිදා දක්වා පක්ෂය ගත යුතු මග පිළිබඳව පක්ෂ නායකයන් හතරදෙනෙකු විටින් විට පක්ෂය වෙත ඉදිරිපත් කරන ලද ලිපි ඇතුළත්ය. ඊට ඇතුළත් ලිපි 13න් 6 ක්ම සෝමවංශ අමරසිංහගේය. 4 ක් විමල් වීරවංශගේය. 2 ක් ටිල්වින් සිල්වාගේය. එකක් නන්දන ගුණතිලකගේය. නන්දන ගුණතිලකගේ ලිපිය පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කරන ලද ලිපියයි. මෙම ලියවිලි 13 ට අමතරව එම ලියවිලි ආශ්රයෙන් විමල් වීරවංශ ලියන ලද දීර්ඝ හැඳින්වීමක් ද පොතට ඇතුළත්ය. ලිපි 13 වෙනුවෙන් පිටු 217ක් වෙන් වන විට විමල් වීරවංශගේ පෙරවදනේ දිග පිටු 21 කි.
පොත කියවූ පසු මට එකවිට සතුටක් ද දුකක් ද ඇතිවිය. සතුටක් ඇතිවූයේ ජවිපෙ අභ්‍යන්තරයේ සිදුවී ඇති වාද විවාද ගැනය. අද දේශපාලන පක්ෂවල අභ්‍යන්තර වාද විවාද නැත. තිබෙන්නේ එදිනෙදා කෙරෙන බොරු සාකච්ඡා පමණය. ජවිපෙ තුළ අභ්‍යන්තර වාද සම්ප්රදායක් තිබීමෙන් පෙනී යන්නේ අන් පක්ෂවල දක්නට නැති හොඳ ලක්ෂණයක් ඒ පක්ෂය තුළ තිබෙන බවය. දුකක් ඇතිවූයේ දෘෂ්ටිමය වශයෙන් 1971 මට්ටමෙන් එක අඩියක්වත් ඉදිරියට යෑමට ඔවුන් අසමත් වී තිබෙන බව මෙම වාද ලිපි ආශ්රයෙන් පෙනුණු නිසාය. ඔවුන් තාමත් ජීවත්වන්නේ වර්තමානයේ නොව අතීතයේය. ඔවුන් ජීවත්වන්නේ ඉතාමත් පටු ලෝක දෘෂ්ටියකය. තාමත් ඔවුන්ගේ දේශපාලන ඉලක්කය වී ඇත්තේ සමාජවාදයයි.
පළමු කැරැල්ලේදී හා දෙවැනි කැරැල්ලේදී තමන් අතින් සිදුවූ විනාශකාරී සාහසික ක්‍රියා පිළිබඳව අබමල් රේණුවක හෝ කණගාටුවක් ඔවුන් තුළ ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන් නැවත පාර්ලිමේන්තු මාවතට පැමිණ ඇතත්, 1987-90 කාලයේදී මාතෘ භූමිය ආරක්ෂා කරගැනීමේ නාමයෙන් දියත් කරන ලද ඊනියා දේශප්‍රේමී යුද්ධය පිළිබඳ අදහස් අත්හැර නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. නැවත එවැනි සාහසික වැඩපිළිවෙලක් දියත් කිරීමට වාසිදායක අවස්ථාවක් ලැබෙන ඕනෑම මොහොතක එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමේ සූදානමක් හා වුවමනාවක් ඔවුන් තුළ තිබෙන බව ද පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
ජවිපෙ රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම රටේ ද, මහජනතාවගේ ද රාජපක්ෂ ආණ්ඩුවේ ද, විරුද්ධ පක්ෂවල ද, අවසාන වශයෙන් ජවි පෙරමුණේ ද වාසනාවකට සිදුවූවක් ලෙස පෙනේ. ජවිපෙ නායකයා (සෝමවංශ අමරසිංහ) අදහස් කරගෙන සිටි වැඩපිළිවෙල ක්‍රියාවට නගන්නට ඔවුන්ට ඉඩ ලැබුණේ නම් නැවත මේ රට බිහිසුණු ලේ විලක් බවට පත්වන්න ඉඩ තිබුණු බව කිව හැකිය.
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගැනීමෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුවට එකතු වී රටේ බලය ලබාගැනීමේ අරමුණ ජයගැනීම සඳහා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යායුතු බව විමල් වීරවංශ ඇතුළු මධ්‍යම කාරක සභිකයන් 07 දෙනෙකුගේ මතය වී තිබේ. එහෙත් මධ්‍යම කාරක සභිකයන් වැඩි පිරිසක් ඒ මතය පිළිගෙන නැත. එහිදී පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සිටියේ ද රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවකු නොවිය යුතුයි කියන මතයේය. එහෙත් 2006 මැයි මාසයේදී ඔහු එතෙක් දරන ලද මතය වෙනස් කර තිබේ. එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ තත්ත්වයක් අත්පත් කරගෙන සිටින බව ප්‍රකාශ කරමින් ඉක්මන් විදේශීය මැදිහත්වීමක් ඇතිවන්නට යන බව ප්‍රකාශ කරමින් වහාම පක්ෂය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග සන්ධාන ආණ්ඩුවක් ඇති කරගත යුතු බව ඔහු පක්ෂයට නිර්දේශ කරයි. ඒ මතුවී තිබෙන තර්ජනය පරාජය කොට ඒ මගින් ජවිපෙ බලය ලබාගැනීමේ අරමුණ ජයගැනීම සඳහාය. ඔහු ඒ සඳහා අදියර දෙකකින් යුතු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි.
ඒ ගැන ඔහු මෙසේ කියයි.
“පළමු අදියර සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීම හා බැඳී පවතී. දෙවැනි අදියර පක්ෂය බලය අත්පත් කරගැනීම පිළිබඳ අදියරයි.”
එහෙත් පක්ෂයට බලය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල විමල් වීරවංශ විසින් පොතෙන් ඉවත් කර ඇත්තේ, ““කරුණු පිටතට අනාවරණය වීම අනවශ්‍යයැ”යි සිතන බැවින් එම වැඩපිළිවෙල”” පොතට ඇතුළත් නොකරන ලද බව කියමිනි.
එහෙත් බළලා මල්ලෙන් එළියට එන්නේ පොතට ඇතුළත් සෝමවංශ අමරසිංහගේ ඊළඟ ලියවිල්ලෙනි.
ඔහු එම ලිපිය ආරම්භ කොට ඇති ඕස්ට්‍රේලියාවේ ABC රේඩියෝවේ වෙබ් අඩවියට 2006 මැයි 2 වන දින යසුෂි අකාෂි කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමිනි. ABC වාර්තාකරු එක්සත් ජාතීන්ට ශ්‍රී ලංකාව සඳහා පුළුල් භූමිකාවක් තිබේදැ”යි අකාෂිගෙන් ප්‍රශ්න කරයි. ඊට අකාෂි දෙන පිළිතුර වන්නේ ““තවම නැහැ යන්න””යි.
ඒ ගැන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණයේ යුද්ධයක් ආරම්භ වුවහොත් මිස සාම හමුදාවක් අවශ්‍ය නොවන බව අකාෂි ප්‍රකාශ කළේය.
අකාෂිගේ මෙම ප්‍රකාශය පදනම් කොටගෙන සෝමවංශ අමරසිංහ දේශපාලන මණ්ඩල සාමාජිකයන්ගේ ඇඟ කිළිපොලා යන විග්රහයක යෙදේ. මෙය අතිශයින්ම බරපතළ තත්ත්වයක් බව ප්‍රකාශ කරන ඔහු එය 1986 මැයි පැවති තත්ත්වයට සමාන කරයි.
ඔහු මෙසේ කියයි.
““එය හරියටම 1986 දී පැවති තත්ත්වයට සමාන තත්ත්වයකි. ඉන්දීය හමුදාව ඉක්මණින් ම ශ්‍රී ලංකාවට කඩා වදින බව එදා පක්ෂය නිවැරදි ලෙස තේරුම් ගන්නට සමත් විය. ඉන්දියාව පළ කළ ඉඟි අනුව පක්ෂය එවැනි නිවැරදි අවබෝධයක් කරා පැමිණ තිබුණි.””
““එදා ශ්‍රී ලංකාවට එරෙහිව සිටියේ ඉන්දියාවත්, බෙදුම්වාදී සංවිධානත්, එජාප ආණ්ඩුවත්ය. එහෙත් අද ශ්‍රී ලංකාවට එරෙහිව ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට පැමිණ ඇත. ඒ නිසා අභියෝගය බරපතළය. එහෙත් මේ මොහොතේ සිට ජනතා විමුක්ති පෙරමුණ එයට පැවරී ඇති කාර්යය ද ඉටු කළ යුතුය. එසේ නොකිරීම මගින් එය ශ්‍රී ලංකාව තවත් සයිප්රසයක්, සුඩානයක්, කොටි සංවිධානය ඒකපාක්ෂිකව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමේ තත්ත්වයක් කරා තල්ලු වීම නොවැළැක්විය හැකිය.””
ඒ ගැන තවදුරටත් කරන කෙටි විවරණයකින් පසු ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.
““වර්තමානයේදී බලවේග පෙළ ගැසී ඇති ආකාරයත්, ජන විඥානය තුළ යම් දුරකට ජනතා විමුක්ති පෙරමුණ මෙම තත්ත්වය තුළදී මහින්ද සමග එක්වී දේශප්‍රේමී අරගලයට නායකත්වය දිය යුතුය යන අදහස ජයග්‍රහණය කර තිබීමත් අනුව ජාතික විමුක්ති සටනට නායකත්වය දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මහින්ද සමග එක්විය යුතුය. එය ප්‍රමාද කරන හැම මොහොතකම රටට සිදුවන හානිය රටේ ස්වෛරීභාවය ඛාදනය වීම, භෞමික අඛණ්ඩතාව දියවී යෑම, ස්වාධීනත්වය අහිමිවී යෑම වේගවත් වනු ඇත. එම වගකීම මහින්ද රාජපක්ෂ මත පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ මත ද පැටවේ. එසේම ජනතා විමුක්ති පෙරමුණට, ජනතාවට නිසැක ජයග්‍රහණය හිමිකර දෙන ඉතිහාසයේ තවත් මහඟු අවස්ථාවක් දැනුවත්ව අත්හැර දැමූ ද්‍රෝහීන් බවට අප පත්වීම ද වැළැක්විය නොහැකිය. අද අපේ පක්ෂයේ භූමිකාව කුමක්ද යන ප්රශ්නය තවදුරටත් පැවතිය යුතු නැත. අපේ පක්ෂය එයට අද ඓතිහාසිකව පැවරී ඇති වගකීම, භූමිකාව ඉටු කළ යුතුය. එයට හිමි එකම භූමිකාවත්, මහින්ද රාජපක්ෂ අඳුරේ අතපත ගාමින් රට කරගෙන යෑම වෙනුවට දැනුවත්ව රට මෙහෙයවීමේ වගකීම අපි කැමැත්තෙන් පවරා ගත යුතු වෙමු.
මෙම වගකීම ඉටුකිරීමේදී දැනට මහින්ද රාජපක්ෂ ඉන්න තැනම තවදුරටත් තබා ගැනීම ප්‍රශ්නයක් නොවේ.””
සෝමවංශ අමරසිංහ මේ සියල්ලෙන් අදහස් කරන්නේ කුමක්ද? ආණ්ඩුවට එකතු වී ආණ්ඩුවෙන් පිටස්තරව එදා (1987-90 දී) මව්බිම බේරා ගැනීමේ නාමයෙන් ඉදිරියට ගෙනගිය මිනීමරු වැඩපිළිවෙල අලුත් ආකාරයකින් ඉදිරියට ගෙනයෑමයි.
ඔහු කියන දේට අපි නැවත සවන් දෙමු.
““මහින්ද රාජපක්ෂට අපි එක්වූ විට ඒ එක්වන මොහොතේම අපි රටට දෙන ආස්වාදය සුළුපටු නැත. ආරක්ෂක හමුදාවල අවංක මිනිසුන්ට දෙන ආස්වාදය සුළුපටු නැත. එය ගුණාත්මක වශයෙන්ම වෙනස් තත්ත්වයකි. එතැන් සිට දිග හැරිය යුත්තේ විදේශීය ඇඟිලි ගැසීමට, රට තුළ ප්රතිගාමීත්වයට, බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහිව, දියත් කළ යුතු දේශප්‍රේමී (යුද්ධයයි) අරගලයයි.””
එහි පැහැදිලිව ඔහු කියන්නේ, විදේශ ඇඟිලි ගැසීම්වලට එරෙහිව, රට තුළ ප්රතිගාමීන්ට එරෙහිව, බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහිව දේශප්‍රේමී යුද්ධයක් ආරම්භ කළ යුතු බවය. අරගළය යන වචනය ඉදිරියට වරහන් තුළ යුද්ධය යන වචනය ඇතුළත් කොට ඇත්තේ සෝමවංශ අමරසිංහය. ඔහු යුද්ධ කළ යුතු පළමු සතුරා ලෙස දකින්නේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන විදේශ බලවේගයන්ය. දෙවැනි සතුරා ලෙස දකින්නේ රටේ ප්රතිගාමී බලවේගයන්ය. රටේ ප්රතිගාමී බලවේගයන් යන්නෙන් ඔහු අදහස් කරන්නේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ප්රතිගාමීන් ලෙස දකින සියලු දෙනා හා ආණ්ඩුවේ නොවන සංවිධානයන්ය. අනුපිළිවෙල අනුව බෙදුම්වාදී ත්රස්තවාදයට ඔහු දී ඇත්තේ තුන්වැනි තැනය.
දෙවැනි කැරැල්ලේ ප්‍රධාන නායකයන් අතුරින් අද ජීවතුන් අතර සිටින්නේ සෝමවංශ අමරසිංහ පමණය. දැන් ඔහු තරුණ නැත. තරමක් මහලුය. එහෙත් දෙවැනි කැරැල්ලේදී පවත්වාගෙන ගිය මිනීමරු ක්‍රියාමාර්ග විසින් ඇති කරන ලද ආශ්වාදය තවමත් ඔහු තුළින් දියවී ගොස් නැති බව පෙනේ. එදා සිදුවූ බිහිසුණු හා කෘෘර සිද්ධීන් ගැන ඔහු තුළ ඇත්තේ කණගාටුවක් නොව ආස්වාදයකි. අපිට ඔහුට නැවත සවන් දෙමු.
“අද අපේ පක්ෂය පවතින්නේ එක තැන නැවතුණු තැනකය. තවත් ප්‍රමාද නොකර පක්ෂය අලුත් විය යුතුය. එය අලුත් තත්ත්වයට මුහුණදිය හැකි සේ අලුත් කළ යුතුය. ඒ සඳහා අලුත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය යුතුය. අපේ පක්ෂය තුළට නව තත්ත්වය පිළිබඳවත්, දේශප්‍රේමී අරගළයේ අලුත් වලංගුභාවය පිළිබඳවත් දැනුවත් කර ඒ තුළ ඇතිවන ආස්වාදජනක තත්ත්වය දැන් දකින්න. මේ මොහොතේ පක්ෂයෙන් ඈත් වූවන් නැවත ළංවන හැටි දකින්න. ඈලිමෑලි ගතිය තුළ හිරවී සිටියවුන් කඩිසර වන සැටි දකින්න. පක්ෂ යන්ත්‍රයේ වේගය කිහිප ගුණයකින් වැඩිවන හැටි දකින්න. දේශප්‍රේමීන් මෙන් කුළු ගැන්වෙන ජනතාවගේ සටන්කාමී හැසිරීම දැන් අපි දකින්න ඕනේ.”
ඒ කොටස කියවන විට 1987, 88, 89 ලේ වැකුණු පැරණි ජවනිකා ඇස් ඉදිරියේ මැවෙන්නට ඇතැ”යි සිතිය හැකිය. ජවිපෙ නිකුත් කරන තුණ්ඩු කෑලිවලට කඩ සාප්පු වැසුණු ආකාරය, නගර අඩපණ වූ ආකාරය, දේශපාලන සතුරන් ජීවිතාරක්ෂාව සඳහා බැනර් එල්ලා තමන් අයත් පක්ෂවලින් ඉල්ලා අස්වූ ආකාරය මැවී පෙනෙන්නට ඇතැ”යි සිතිය හැකිය. සෝමවංශගේ අරමුණ ඒ ආස්වාදය ඔවුන්ගේ හදවත්වලට ආරෝපණය කිරීමය.
ඉන්පසු ඔහු මෙසේ කියයි (
““අද දේශප්‍රේමී අරගළය කුළු ගැන්වීමේදී අප ඉන්නේ එදා 1985, 86, 87 අපි හිටපු තැනට වඩා වැඩි වාසිදායක තැනකය.””
““එදා අපි රහසිගත පක්ෂයක් හතුරු පන්තියේ දැඩි මර්දනකාරී ආණ්ඩුවක් පවතිද්දී අපි ක්‍රියාත්මක වූයේ විශාල අභියෝගකාරී තත්ත්වයක් තුළයි. එදා අපට ජනතා සහයෝගය පැවතියේ අදට වඩා බොහෝ සෙයින් අඩු මට්ටමකය. එහෙත් අද අපට එදාට වඩා සැලකිය යුතු ජනතා සහයෝගයක් ඇත. මධ්‍යම පන්තික කොටස් පවා අද අපේ පක්ෂයට ළංවී සිටිති. ළංවී නැති කොටස් අපට ගරු කරති. අපට විශ්වාසය පළ කරති. සතුරන් පවා අප කෙරෙහි දක්වන්නේ ගෞරව සම්ප්‍රයුක්ත විරෝධයකි.””
ජවි පෙරමුණේ සියලු නායකයන් කෙසේ වෙතත් ප්‍රධාන නායකයා (සෝමවංශ අමරසිංහ) තාමත් ජීවත්වන්නේ දෙවැනි කැරැල්ලේය. අවස්ථාවක් ලැබෙන ඕනෑම මොහොතක ඒ වැඩපිළිවෙල නැවත වඩා සාර්ථක ලෙස ක්‍රියාවට නැගීම මගින් රටේ පාලන බලය අල්ලාගත යුතු බව ඔහුගේ විශ්වාසය වන බව ඔහුගේ රචනය හොඳින් ඔප්පු කරයි.
මෙම පොතට ඇතුළත් ලියවිලි අනුව ජනාධිපතිවරණය හා ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලද ජයග්‍රහණය ඒකාග්ර තත්ත්වයක තිබූ පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට හේතුවී තිබේ. ජනාධිපතිවරණයේදී පක්ෂය අනුගමනය කළ යුතු පිළිවෙත් තුනක් ඉදිරිපත් වී තිබේ.
1. පක්ෂය ජනාධිපතිවරණයට තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය.
2. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ආධාර කොට ගොඩනැගෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවකු විය යුතුය.
3. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ආධාර කළයුතු වුවත් එහි කොටස්කරුවකුවීමෙන් වැළකී සිටිය යුතුය.
තනිව තරග කළ යුතුයි කියන අදහසට පක්ෂය තුළ කවරම මට්ටමක හෝ පිළිගැනීමක් ලැබී නැත. එසේ කළහොත් එය රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයට හේතුවක් වනු ඇත. අනෙක් අතට තනිව තරග කළහොත් පක්ෂයට මහජනතාව අතර තිබෙන පිළිගැනීමේ ප්‍රමාණය රටට හෙළිදරව් වනු ඇත. අවසානයේ සාකච්ඡාවට ලක්වී ඇත්තේ දෙවැනි හා තුන්වැනි යෝජනාය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ආධාර කරන අතර, එම ජයග්‍රහණයත් සමග ගොඩනැගෙන ආණ්ඩුවේ කොටස්කරුවකු වෙමින් 2010 ජනාධිපතිවරණයට තනිව තරග කොට එය ජයගත හැකි ආකාරයට ශක්තිය ගොඩනගා ගත යුතුය යන්න විමල් වීරවංශ ඇතුළු දේශපාලන මණ්ඩල හා මධ්‍යම කාරක සභිකයන් හත්දෙනෙකු දරන ලද මතය වී තිබේ. එහෙත් බහුතර මතය වී ඇත්තේ මහින්ද රාජපක්ෂට ආධාර කොට ගොඩනැගෙන ආණ්ඩුවේ කොටස්කරුවකුවීමෙන් වැළකී සිටිය යුතුය බවය.
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලබාගන්නා ජයග්රහණයෙන් පසු ද මෙම විවාදය නැවත කරළියට විත් තිබෙන අතර, පක්ෂය තුළ දෙකඩවීමක් ඇති කිරීමට හේතුවී තිබෙන්නේ එම විවාදයයි.
මෙම විවාදයේදී පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මත දෙක අතර දෝලනය වන තැනක සිටි බව ද පෙනේ. ආරම්භයේදී විමල් වීරවංශගේ මතයට විරුද්ධ තැනක සිටියද මහින්ද රාජපක්ෂගේ ජයග්රහණයෙන් පසුව ආණ්ඩුවට එකතු විය යුතුයි කියන මතයට පක්ෂව ඔහු කරුණු ඉදිරිපත් කර තිබේ. එහෙත් පසුව ඒ මතය අතහැර වැඩිදෙනාගේ මතය සමග එකතු වී තිබේ. මෙම විවාදයේදී විමල් වීරවංශ සේ ම, ටිල්වින් සිල්වා ද එකිනෙකාට එරෙහිව තරගකාරී ලෙස ලෙනින් උපුටා දක්වන ආකාරය කියවන්නා තුළ ලෙනින් කෙරෙහි පවා යහපත් හැඟීමක් ඇති කරන්නේ නැත. සමාජවාදීවීම අවශ්‍ය වුවත් අනවශ්‍ය ලෙස එය ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී දේශප්‍රේමීත්වය වැඩියෙන් ඉදිරියට ගනිමින් දේශප්‍රේමීත්වය තුළ ලබන ජයග්‍රහණයක් සියුම් ලෙස සමාජවාදී අරමුණු සාධනය සඳහා යොදාගත යුතු බව විමල් ඉදිරිපත් කරන තර්කවල හරය වී තිබෙන බව ද පෙනේ. මෙම ප්රවනතා දෙකම තමන්ට දාර්ශනික ප්‍රවේශයක් තිබෙන බව පෙන්නුම් කිරීමට උත්සාහ කර ඇතත්, ඒ මගින් මේ දෙපිරිසම තම තමන්ගේ දාර්ශනික දුගීභාවයේ තරම ප්‍රදර්ශනය කර තිබෙන බවද පෙනේ. එක්තරා ප්‍රමාණයක ශක්තිමත් පෙළගැස්මක් සඳහා අවශ්‍ය පසුබිම හා අධිෂ්ඨානය තිබියදීත් ශක්තිමත් ඉදිරි දැක්මක් නැතිකම තුළ දේශපාලන වශයෙන් අතරමංවූ ව්‍යාපාරයකට ඔවුන් හොඳ නිදර්ශනයක් වී තිබෙන බව ද පෙනේ.
මෙම විවාදයේදී දෙපාර්ශ්වයම අවංක විය යුතු තරමට අවංකවීමට සමත්ව නැති බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ. පළමු හා දෙවැනි කැරැල්ල පිළිබඳව අවංක විශ්ලේෂණයක යෙදීමට ඔවුන් සමත්ව නැත. විටෙක එජාපය හා තවත් විටෙක ශ්රීලනිපය තෝරා ගැනීමට සිදුවීම පිළිබඳ ප්රශ්නයේදී ද එම අත්දැකීම් අවංකව විචාරයට ලක් කිරීමට සමත්ව නැත. 71 කැරැල්ලෙන් පසු කැරැල්ල මර්දනය කළ ශ්‍රීලනිපයට ජවිපෙ කලක් යන තෙක් වෛර කළේය. එජාපයේ ආධාර ලබාගනිමින් ශ්‍රීලනිපයට පහර දුන්නේය. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කරන වැඩපිළිවෙලේ උද්යෝගිමත් කොටස්කරුවකු ලෙස ක්‍රියා කළේය. අවසානයේදී එජාප ආණ්ඩුවේ කිහිලිකරුවක් ලෙස ක්‍රියා කළ ජවිපෙට එජාප ආණ්ඩුවෙන්ම බැට කන්නට සිදුවිය. මහා විනාශයක් ඇතිවීමෙන් පසු එජාපයට වෛර කරන තැනකට තල්ලුවෙමින් ශ්‍රීලනිපයට නැවත ප්‍රේම කරන්නට ආරම්භ කළේය. ඒ ප්‍රේමය ද පවත්වාගෙන යෑමට හැකිවූයේ එක්තරා කාලයක් පමණය. දැන් නැවත ශ්‍රීලනිපයට වෛර කරන තැනකට තල්ලු වී සිටී. ක්‍රමයෙන් නැවත එජාපයේ දේශපාලන කිහිලිකරුවන් ලෙස ක්රියාකරන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. මෙම අන්ධකාර ගමන දාර්ශනික දූගීභාවයේ නොවැළැක්විය හැකි ඵලයක් ලෙස සැලකිය හැකිය. ලෝක බලතුලනය පිළිබඳව ජවිපෙ කරන විග්‍රහය ද විකාරයකි. ඔවුහු එහිදී ඉන්දියාවට එරෙහිව චීනය වෙනුවෙන් පෙනී සිටිති. ඉරානයට එරෙහිව ඉරාකයේ කුලී හේවායින් පිරිසක් ලෙස ක්‍රියා කළා සේ ඇමරිකාවට හා ඉන්දියාවට එරෙහිව චීනය වෙනුවෙන් පෙනී සිටීම මගින් ඉරාකයෙන් ලබාගත් ද්‍රව්‍යමය ඵල ප්‍රයෝජන චීනයෙන් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව ද පෙනේ.