විද්‍යුත් කැලෑ පත්තර විශේෂයක් බවට පත්වී තිබෙන ප්රවෘත්ති වෙබ් අඩවි පිළිබඳව පසුගිය කලාපයට ලියන ලද ලිපිය නිසා ඒ ලිපියෙන් මා චෝදනා එල්ල කළ විදේශ රටක සිට ප්රවෘත්ති වෙබ් අඩවියක් පවත්වාගෙන යන පුද්ගලයකු සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව මට ලැබුණි.
ඔහු ව්‍යාජ ඔප්පු ලිවීමේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඔහු විසින් ලියන ලද හිමිකම් ඔප්පුවක් සඳහා නඩුවක් තිබෙන බව පිළිගත්තේය. ඔහු ඒ සඳහා දෙන ලද විශේෂ අර්ථකථනයක්ද තිබුණේය. එය හිමිකරුගේ ඉල්ලීම අනුව ලියන ලද්දක් බවත්, පසුව හිමිකරු සිය වගකීමෙන් නිදහස්වීම සඳහා එය තමා විසින් ලියන ලද ව්‍යාජ හිමිකම් ඔප්පුවක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලද බවත්, එම නඩුව එම පදනම මත පවරන ලද්දක් බවත් කියා සිටියේය. එය බොරු නඩුවක් නම් ඊට මුහුණ නොදෙන්නේ ඇයිද යන ප්රශ්නය මා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුව තිබුණද ඊට පෙර එම තත්ත්වය ගැන අදහස් පළකිරීමට රාවයෙන් අවස්ථාවක් අවශ්‍යදැ”යි මා ඇසූ විට තමා ඒ ගැන අදහස් පළකිරීමට අපේක්ෂා නොකරන බව කීවේය. ෆිනෑන්ස් සමාගම් පිළිබඳව එහි පළවූ කතාව ගැන විමසූ විට ඔහු කීවේ එම සමාගම් තුන පිළිබඳව ප්රවෘත්ති පළකිරීම සත්‍යයක් වුවත් කප්පම් කතාව සත්‍යයක් නොවන බවය. මට කතා කරන්නට පෙර ඔහු ජීවක එදිරිසිංහට කතා කළ බවත්, තමා කප්පමක් ලබා දුන් බව ඒ ලිපියේ සඳහන් නොවන බව ඔහු කී බවත් කියා සිටියේය. කප්පමක් දුන්නාද නැද්ද යන්න ඒ ලිපියේ සඳහන් නොවුණද කප්පමක් ඉල්ලා සිටි බව ලිපියේ සඳහන් වුණ බවත් ඒ ගැන ඔහු කියන්නේ කුමක්දැ”යි විමසූ විට එය සත්‍යයක් නොවන බව කියා සිටියේය. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඔහුගේ හා ඔහුගේ නඩුව පිළිබඳව පළවූ වාර්තාවෙන් පසු එය වැරදි නම් එය නිවැරදි නොකළේ ඇයිදැ”යි මා ප්‍රශ්න කළ විට ඔහු ඊටද සාධාරණ පිළිතුරක් දුන්නේ නැත. එක්කෝ ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තා වැරදි නම් එය සන්ඩේ ටයිම්ස් පුවත්පතට යවන ලිපියක් මගින් එය නිවැරදි කරවාගත යුතුව තිබුණි. එම පුවත්පත ඔහුගේ නිවැරදි කිරීම පළ නොකළේ නම් සිය වෙබ් අඩවිය මගින් හෝ ඒ ගැන සිය අදහස් පළකළ යුතුව තිබුණේය. තමන් එක්සත් රාජධානියට පලා ආවා නොව දැන් තමා අවුරුදු 11ක් තිස්සේ එහි පුරවැසියෙකු වන බවද ඔහු කීවේය. ඔහුට අවුරුදු 11ක් තිස්සේ පුරවැසිකම තිබෙන්නේ නම් ඔහු ඊට පෙර තවත් අවුරුදු 05ක්වත් එහි ජීවත් වී තිිබිය යුතුය. ඒ සමග ඔහු මෙහි නීතිඥයකු වශයෙන් වැඩ කර තිබෙන බවද පෙනීයයි. ඔහුට ඔහු කියන හිමිකම් ඔප්පුව සඳහා නඩු පවරා තිබෙන්නේ 2006දීය. ෆිනෑන්ස් සමාගම් තුන පිළිබඳව පුවත් පළවීමෙන් පසුව එජාප නායකයා (රනිල් වික්‍රමසිංහ) තමන් ඔහු වෙත කැඳවා බෞද්ධ ව්‍යාපාරිකයන්ට පහරදීම ගැන තමාට දොස් තැබූ බවත් ඒ අවස්ථාවට කරු ජයසූරියද සහභාගි වූ බවත් ඔහු කීවේය. මෙම වෙබ් අඩවිය මගින් එය පවත්වාගෙන යන්නා විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල පිළිගැනීමක් ලබාගෙන ඇති බවට මාගේ ලිපියේ පළවූ නිරීක්ෂණයද ඔහු කියන ලද එම හමුවෙන් හොඳින් තහවුරු වන්නේයැ”යි කිව හැකිය. එජාප නායකයා ඔහු කැඳවීය කියන කතාව සත්‍යයක් නම් මෙම පුද්ගලයාට එජාප නායකයා සමග හොඳ සම්බන්ධයක් තිබී ඇති බව පෙනීයයි. එජාප නායකයා තමන් නොදන්නා පුද්ගලයකු තමන් වෙත කැඳවනු ඇතැ”යි සිතිය නොහැකිය.
ආචාර ධර්ම
මෙම වෙබ් අඩවි හිමිකරුවා මෙම දුරකතන කතාබහේදී මා සමග කතා කිරීමට වැඩි උනන්දුවක් දැක්වූයේද ඔහුට පුද්ගලිකව එල්ල කර තිබුණු බරපතළ චෝදනා ගැනට වඩා ප්රවෘත්ති වෙබ් අඩවි වගකීමෙන් තොර සදාචාරයට හා නීතියට පටහැනිව ක්‍රියාකරන බවට මා කර තිබූ චෝදනාව ගැනය. මූලාශ්‍ර උපුටා දැක්වීමකින් තොරව ප්රවෘත්ති පළකිරීම නිවැරදි නොවන දෙයක් බව ඔහු ද පිළිගත්තේය. එම සදාචාරය ගැන සංවාදයක් ඇති වනවා දකින්නට ඔහුද කැමති බවද කීවේය. එහිදී තමා වැඩ කරන්නේ තනිව නොවන බවද අනෙක් අය මේ ක්‍රමය වැරදි බව පිළිගන්නා තෙක් මේ සම්ප්‍රදායෙන් වෙන්වීමේ හැකියාවක් තමන්ට නැති බවද තමන් කරන්නේ අලුත් අත්හදා බැලීමක් බවද කියා සිටියේය. මෙම අත්හදා බැලීමේ කතාව, මෙම දුරකතන සංවාදයට පෙර මාගේ එම ලිපිය ගැනම කතා කළ විදේශ රටක සිට වෙබ් අඩවියක් පවත්වාගෙන යන තවත් අයකුද දුරකතනයෙන් මා සමග කරන ලද කතාබහකදී එදිනම ප්‍රකාශ කර තිබුණි. ඕනෑම අලුත් අත්හදා බැලීමක් කළ යුත්තේද තිබෙන ආචාර ධර්ම හා නීති ආරක්ෂා කැරෙන ආකාරයටය. ප්රවෘත්ති පළකැරෙන්නේ කුමන මාධ්‍යයක වුවද ප්රවෘත්ති පළකිරීමේදී සැලකිල්ලට ගත යුතු ආචාර ධර්ම සේ ම නීතිද ඇත්තේය. විද්‍යාත්මක පරීක්ෂණයකදී විද්‍යාඥයන් අලුත් අලුත් පරීක්ෂණ සිදුකරන්නේද ආරක්ෂා කරගත යුතු ආචාර ධර්ම හා නීති ආරක්ෂා කැරෙන ආකාරයටය. ජනමාධ්‍යවේදීන් අලුත් අත්හදා බැලීම් කළයුත්තේද ඊට සමාන ආකාරයකටය. ප්රවෘත්ති පළකැරෙන්නේ කුමන මාධ්‍යයක වුවද ප්රවෘත්ති පළකිරීමේදී සැලකිල්ලට ගතයුතු ආචාර ධර්ම සේ ම නීතිද ඇත්තේය. ප්‍රවෘත්තියක් පළ කළ විට කිසියම් පුද්ගලයකුට හානියක් සිදුවේ නම් ඒ හානියට පත් පුද්ගලයාට වගකියන පුද්ගලයකු එම ප්‍රවෘත්තිය පළකරන ප්රකාශනය තුළ සිටිය යුතු බවත් එහෙත් මෙම කැලෑ පත්තර ගණයට වැටෙන වෙබ් අඩවි තුළ පළකරන දේවලින් පුද්ගලයකුට වරදක් ඇතිවූ විට ඒ වරදට වගකියන කෙනකු නැති බව මා කී විට එවැනි වරදක් එහි ඇති බව තමා පිළිගන්නා බවත් ඒ වරද නිවැරදි කළයුතුව තිබෙන්නේද සමාජ සංවාදයකින් බවත් ඒ ගැන කැරෙන සංවාදයකට මුලපිරීමක් වශයෙන් මාගේ ලිපිය ඔහුගේ වෙබ් අඩවියේ පළකරන බවත් කියා සිටියේය.
ඔහු මේ කතාබහ කැරෙන අතරතුරේදී රාවයේ පළවෙන තෝරාගත් ලිපිද සිය වෙබ් අඩවියේ පළකරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන බව කීවේය. ඒ සංවාදය තුළ මට ඒ ගැන මගේ අදහස් පළකිරීමට අවස්ථාවක් නොලැබුණද ඒ මගින්ද ඔවුන් කරන්නේ නීති විරෝධී වරදක් බව කිව යුතුය. ඔහු ඒ මගින් තමන් පවත්වාගෙන යන විද්‍යුත් කැලෑ පත්තරයකට ගම්භිර පෙනුමක් ලබාදෙයි. එසේ කරන්නේද රාවයෙන් ලබාගන්නා නිසි අවසරයකින් තොරවය. සති අන්තයේ රාවයේ පළ කැරෙන ප්රවෘත්ති පසුදින ඔවුන්ගේ වෙබ් අඩවියේ පළකරන්නේ රාවයෙන් ලබාගත් බවට සඳහන් කිරීමක් පවා නැතිවය. හරියටම ඔවුන් සොයා ගත් ප්රවෘත්ති ලෙසය. එයද සැලකිය යුත්තේ නීති විරෝධී ක්‍රියාවක් ලෙසය.
ඒකපාක්ෂික බුද්ධිමතුන්
මෙම විද්‍යුත් කැලෑ පත්තර ගණයෙහිලා සැලකිය හැකි වෙබ් අඩවි ලංකාවේ ලියාපදිංචි වියයුතු බවට ප්රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පනවන ලද නියෝගයට එරෙහිව බුද්ධිමතුන් ගණයෙහිලා සැලකිය හැකි පුද්ගලයන් කණ්ඩායම් වශයෙන් හෝ තනි තනි වශයෙන් කරන ලද අදහස් පළකිරීම් ගණනාවක් මම උනන්දුවෙන් කියවීමි. පළමුවෙන්ම, සිදුකර තිබූ අවහිර කිරීමට එරෙහිව එතෙර රටවල ජීවත්වන ශ්‍රී ලංකාවේ ඩයස්පෝරාව නියෝජනය කරන්නන් ලෙස සැලකිය හැකි කිහිපදෙනකු විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි. ඊට සිංහල පාර්ශ්වයෙන් සුනන්ද දේශප්‍රිය හා ලයනල් බෝපගේද අත්සන් කර තිබුණු අතර දෙමළ පාර්ශ්වය වෙනුවෙන්ද කිහිපදෙනෙකු අත්සන් කර තිබුණි. ඉන්පසු ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන 06ක් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක්ද, ඊටත් පසුව පුද්ගලයන් හා සංවිධාන 58 නමින් පළ කළ ඒකාබද්ධ නිවේදනයක්ද ඊට අතිරේකව විවිධ පුද්ගලයන් පුවත්පත්වලට ලියා තිබුණු අදහස් පළකිරීම් ද කියවීමි.
මෙම ඒකාබද්ධ නිවේදනවලට අත්සන් කළ සංවිධානවල හා පුද්ගලයන්ගේ නම් ඉතා ගම්භිර වුවත් වෙබ් අඩවිවලට අවහිර කිරීම ගැන හෝ ලියාපදිංචි විය යුතු බවට ආණ්ඩුව පවරන ලද කොන්දේසියට ඔවුන් විරුද්ධ වී තිබුණා මිස මේ ධාරාවලට වැටෙන වෙබ් අඩවි වැඩි හරියක් පවත්වාගෙන යන සදාචාර විරෝධී හා නීති විරෝධී, පාදඩ ප්‍රතිපත්තිය කවර මට්ටමකින්වත් සැලකිල්ලට ගෙන නොතිබුණි. මේ නිවේදන පළවන අවස්ථාව වනවිට ඒවායින් පහර කා තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පමණක් නොවේ. ඒවා පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ චරිත ඝාතනය කොට තිබුණි. පුද්ගලයකුට තවත් පුද්ගලයකුට පහරදීමට අවශ්‍ය වූ විට ඒ සඳහා යොදා ගැනෙන ජනප්‍රියම මාර්ගය වූයේ මෙම වෙබ් අඩවි ඒ අරමුණ සඳහා යොදා ගැනීමය. මෙම ප්‍රවණතාව කොතරම් විනාශකාරී අන්තවාදී තැනකට ගොස් තිබුණේද කියතොත් භාරත ලක්ෂ්මන් ඝාතනය කැරුණු අවස්ථාවේදී ඔහුගේ දුව තියුණු හා නින්දාසහගත චරිත ඝාතනයට ලක් කැරෙන අසික්කිත ගණයේ ලිපියක්ද වෙබ් අඩවියක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි. එය මේ ආකාරයේ දෙයක් සිදුවූ පළමු අවස්ථාව නොවන අතර පළවූ දහස් ගණනක් වාර්තා අතුරින් එකක් ලෙස සැලකිය හැකිය. මට තිබෙන ලොකුම ප්රශ්නය මෙම නිවේදනවලට අත්සන් කළ වියතුන් මෙම විනාශකාරී ප්‍රවණතාව දැන නොසිටියේද? නැතිනම් එවැනි ජුගුප්සාජනක කැලෑ පත්තර කියවීමෙන් ඔවුන්ද මානසික තෘප්තියක් ලබන තැනක සිටියේද? නැත්නම් මෙම වෙබ් අඩවි ගැන නිසි අවබෝධයක් නැතිව ආණ්ඩු විරෝධී පෙනුම ප්‍රකාශ කරවා ගැනීම සඳහා කවුරුන් හෝ ලියන ලද නිවේදනයකට අත්සන් තබන ප්‍රතිපත්තියක් අනුගමනය කළේද? ලියාපදිංචි කිරීමේ නීතිය හැම ප්‍රකාශනයටම අදාළය. සියලු පුවත්පත් ලියාපදිංචි කළ යුතුය. සඟරා ලියාපදිංචි කළ යුතුය. පළකරන පොත්පත් ලියාපදිංචි කළ යුතුය. පුංචි පත්‍රිකාවක් ගසන විට පවා පළකරන්නාගේ නම, ලිපිනය හා මුද්‍රණාලය සඳහන් කළ යුතුය. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ හැම රටකම පවතින තත්ත්වයකි. වෙබ් අඩවිවලට පමණක් එය බලනොපෑ යුත්තේ ඇයි? වේදිකාවක කරන කතාවක් පවා කළයුත්තේ අපහාස නීතියට යටත්වය. ඒ නීතිය මෙම වෙබ් අඩවිවලට පමණක් අදාළ නොවිය යුත්තේ ඇයි?
විද්‍යුත් කැලෑ පත්තර ගණයේ ලා සැලකිය හැකි වෙබ් අඩවි ඒකාබද්ධව දියත් කළ දේශපාලන වැඩසටහනක් නිදර්ශනය කොට ගෙන මෙම ප්රවණතාවේ සමාජ විරෝධී, ජනතා විරෝධී හා වංචාකාරී ස්වරූපය පෙන්වාදිය හැකිය.
2010 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලය පරිගණක වංචාවක් ලෙස සමාජගත කිරීමට මෙම වෙබ් අඩවි විශාල උත්සාහයක් දැරුවේය. ශ්‍රී ලංකාවේ සමහර උගත්තුද දැන හෝ නොදැන මෙම බොරුව සමාජ ගතකරන එම සාහසික උත්සාහයට දායක වූහ. ඒ මගින් ඔවුන් අපේක්ෂා කළේ සමාජය තුළ දේශපාලන ව්‍යාකූලභාවයක් වර්ධනය කොට මහජනයා වීදි සටන් කරන තැනකට තල්ලු කිරීමය.
මැතිවරණ ප්‍රතිඵල ගණන් කැරුණේ කොළඹ මැතිවරණ ලේකම් කාර්යාලයේ නොව ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානවලය. ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානවල ගණන් කිරීම් සිදුවූයේ ජයග්රාහකයාගේ නියෝජිතයන් ඉදිරියේ පමණක් නොව පරාජිතයන්ගේ ඡන්ද නියෝජිතයන්ද ඉදිරියේය. ප්‍රාදේශීය ප්‍රතිඵල කොළඹට යවන්නට පෙර එම ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛනයේ පිටපත්, ගණන් ගැනීමේ ක්‍රියාවලියක් නිරීක්ෂණය කිරීමට සහභාගි වූ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ලබාදී තිබුණි. කොළඹදී සිදුකැරෙන්නේ ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබුණු ප්‍රතිඵල එකට එකතු කොට අවසන් ප්‍රතිඵලය නිවේදනය කිරීම පමණය. ඒ ක්‍රියාවලිය කොළඹදී සිදුවූයේද තරග කළ අපේක්ෂකයන්ගේ නියෝජිතයා ඉදිරියේය. අවසාන ප්‍රතිඵලයේ වංචාවක් සිදුවී ඇත්නම් එය ප්‍රාදේශීය වශයෙන් ලබාදී තිබෙන ප්‍රතිඵල ලේඛන ආශ්රයෙන් සොයාගත හැකිය.
අවසාන ප්‍රතිඵලය පරිගණක වංචාවක් බව ප්‍රකාශ වූ විට එය මගේ කුතුහලයට හේතුවන කරුණක් විය. ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛන ලැබුණු නියෝජිතයන් මගින් ඒවාහි පිටපත් ලබාගෙන සමස්ත ප්‍රතිඵලය තුළ තිබුණු ප්‍රාදේශීය ප්‍රතිඵල නිවැරදි ලෙස සටහන් වී ඇත්තේද යන්න සොයා බැලීමි. එම ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛන 10කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත හැකිවිය. ලබාගත් ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛනවලින් වැඩි කොටසක් විරුද්ධ පක්ෂ නියෝජිතයන්ගෙන් ලබාගත් ඒවා විය. ඒවාහි තිබූ ප්‍රතිඵල අවසන් ප්‍රතිඵලය සමග හොඳින් ගැළපුණි. මාගේ එම නිරීක්ෂණ මම රාවයෙන් ප්‍රකාශයට පත් කළෙමි.
මේ කාරියේ යෙදෙන අතරතුර ඒ ගැන විවිධ අය සමගද කතා කළෙමි. එහිදී දැනගන්නට ලැබුණු අපූරු දෙයක් මෙසේය. එජාපයේ මන්ත්‍රීවරයකු වූ කබීර් හසීම් ඡන්ද පෙට්ටි කෘත්‍රිම ලෙස වෙනස් කිරීමක් සිදුවන්නේද යන්න දැනගැනීම සඳහා ඔහුගේ බලප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටිවලට රුපියල් දහයේ නෝට්ටුවක් ඇතුළත් කරන ලෙස සිය ප්‍රාදේශීය සංවිධායකයන්ට උපදෙස් දුන්නේය. එම බලප්‍රදේශයේ ඡන්ද පෙට්ටි ගණන් ගැනීමේ මධ්‍යස්ථානයට ගෙනවිත් ඒවාහි තිබුණු ඡන්ද පත්‍රිකා මේසවලට හලන විට ඒ පෙට්ටිවල තිබූ රුපියල් දහයේ නෝට්ටුද ඡන්ද පත්‍රිකා සමග මේසයට හැලුණේය. ඒ මගින් ඡන්ද පෙට්ටි මාරු කිරීමක් සිදුවී නැති බව කබීර් හසීම් මන්ත්‍රීවරයා සැක හැර දැනගත්තේය. මට එම කතාව එදා අසන්නට ලැබුණේ වර්තමාන කොළඹ නගරාධිපතිවරයාගෙනි.
ඡන්ද කාලයේ දිසාපතිවරයකුගෙන් ඇමරිකන් තානාපතිවරියට අසන්නට ලැබුණු කතාවක් ඇතුළත් කේබල් පණිවුඩයක් විකිලීක්ස් වෙබ් අඩවියේ පළවී තිබී ඒ ගැන විවරණයක් මේ මෑතකදී වෙබ් අඩවියක් පවත්වාගෙන යන පුද්ගලයකු විසින් ලියා තිබුණි. එය සන්ඩේ ලීඩර් පුවත්පතේද පළවී තිබුණි. එම කේබලයේ එන තොරතුරු අනුව ප්‍රාදේශීය ප්‍රතිඵල ජනාධිපතිවරයාට යැවිය යුතු බවට සහකාර තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දී තිබුණි. එම කේබලය උපුටා දක්වමින් වෙබ් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා කියා තිබුණේ 2010 මැතිවරණ ප්‍රතිඵලය ගැන සාධාරණ පරීක්ෂණයක් කළයුතු බවය. ඒ මගින්ද අනියම් ලෙස කියන්නට උත්සාහ දරා තිබුණේ අවසාන ප්‍රතිඵලය සැකකටයුතු බවය.
මෙම කේබල් පුවතේ එන කරුණ සත්‍යයක් ලෙස ගත්තද අවසාන ප්‍රතිඵලය වෙනස් කිරීමේ හැකියාවක් ජනාධිපතිට නොතිබුණේය. එයින් කළහැක්කේ වෙන්න යන දේ කල්තියා දැනගැනීම පමණය. එවැනි නියෝගයක් තිබුණේ නම් සමහර තේරීම් භාර නිලධාරීන් සිය ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රතිඵල ලේඛනයේ පිටපත් ජනාධිපති හෝ වෙනත් කෙනකු වෙත ඔවුන්ගේ දැනගැනීම සඳහා යැව්වා විය හැකිය. එහෙත් ඊට පෙර ප්‍රතිඵල ලේඛනයේ පිටපත් ගණන් ගැනීමේ මධ්‍යස්ථානයේ නියෝජිතයන්ටද ලබාදිය යුතුය. ඊට අතිරේකව මැතිවරණ මහ ලේකම් කාර්යාලයට වාචිකව හා ලිඛිතවද දැනුම් දිය යුතුය. වාචිකව ලබාදෙන ප්‍රතිඵලය මහ ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා පුද්ගලයා නැවත තේරීම් භාර නිලධාරියාට කතා කොට දත්ත නිවැරදිව සටහන් වී තිබේද යන්න දැනගත යුතුය.
94 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රාදේශීය ඡන්ද ප්‍රතිඵලය ඉක්මනින් දැනගැනීමේ වැඩපිළිවෙළක් අපටද තිබුණි. ඒ සමග වඩා ශක්තිමත් විකල්ප වැඩපිළිවෙලක් ආණ්ඩුවටද තිබුණු බව අපි දැන සිටියෙමු. ප්‍රාදේශීය ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස්වරයාට යවන අතර ඒ පිළිබඳ විස්තර තමන්ට ලබාදිය යුතු බව බලවත් ඇමතිවරයකු සමහර තේරීම් නිලධාරීන්ට දැනුම් දී තිබුණි. දෙපක්ෂයට අවශ්‍ය වූයේ අවසාන ප්‍රතිඵලය කල්තියා දැනගැනීමය. එවැනි දෙයක් 2010 ජනාධිපතිවරණයේදීද සිදුවූවා විය හැකිය. ඒ තොරතුරු කල්තියා දැනගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩු පක්ෂයට පමණක් නොව, විපක්ෂයටද තිබුණා විය යුතුය. එහෙත් එසේ වූ පමණකින් අවසාන ප්‍රතිඵලය පරිගණක වංචාවක් වීයැ”යි කියන්නේ කෙසේද? පරිගණක වංචාව පිළිබඳ කතාවට එජාප නායකයා දායකවීමෙන් වැළකී සිටියේය. එවැනි බරපතළ දෙයක් සිදුවීමට ඉඩක් නැති බව ඔහු පළපුරුද්දෙන් දැන සිටියා විය යුතුය.
අවසාන ප්‍රතිඵලය මහජන මතය කනපිට හරවන පරිගණක වංචාවක් නම් එය සමාව දිය නොහැකි බිහිසුණු අපරාධයක් බව අමුතුවෙන් කිවයුතු නැත. අනෙක් අතට එවැනි වංචාවක් සිදු නොවී මහජන මතය පිළිබිඹු කරන ඡන්ද ප්‍රතිඵලය පරිගණක වංචාවක් ලෙස සමාජගත කිරීමට දරන වියරු උත්සාහයක් සැලකිය යුත්තේද මහජන මතය කනපිට හැරවීමට දරන ලද සමාව දිය නොහැකි බිහිසුණු අපරාධයක් ලෙසය. විද්‍යුත් කැලෑ පත්තරකාරයන් එවැනි වරදකට යොමුවීම තේරුම් ගත හැකිය. එහෙත් රටේ බුද්ධිමතුන් ලෙස සැලකිය හැකි පිරිස් එවැනි සාහසික අපරාධයක ආධාරකරුවන් බවට පත්වීම අර්ථකථනය කළයුත්තේ කෙසේද?
ලයනල් බෝපගේ හා රෝහණ කුමාර
ලයනල් බෝපගේට හිතවත් විදේශ ජනමාධ්‍යවේදියකු විසින් ලයනල් බෝපගේගේ ජීවිතය නමින් ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් ලියා පළකර තිබෙන අතර ඒ පොතේ සිංහල හා දෙමළ පරිවර්තනයක්ද පළකිරීමට නියමිතය. මෙම පොත් ව්‍යාපෘතියේ ප්‍රකාශකයා ලෙස ක්‍රියාකරන්නේ මගේ හිතවත් මිත්රයෙකි. ඔහු ලයනල් බෝපගේගේ මිත්‍රයකු ලෙසද සැලකිය හැකිය. මෙම කෘතියේ අගට විවිධ පුද්ගලයන් හඳුන්වාදීම සඳහා ලියන ලද සටහනක මා ගැන ලියා තිබෙන හැඳින්වීමක මා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය උපදේශකයා බව වශයෙන් හඳුන්වා තිබෙන බව මට දැනගන්නට ලැබුණි. මා එම ව්‍යාපෘතියේ ප්රකාශකයාට දුරකතනයෙන් කතා කොට මා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය උපදේශකයකු වේය යන කරුණ සත්‍යයක් නොවන බවත්, ඒ වරද නිවැරදි නොකොට පොත වෙළෙඳපොළට නිකුත් කළහොත් ඔහු, ලයනල් බෝපගේ හා පොතේ කර්තෘ වගඋත්තරකරුවන් කරමින් නඩු පවරන බව ප්‍රකාශ කළෙමි. ඒ වනවිටත් පොත මුද්‍රණය කොට අවසන් කොට තිබුණි. ඔහු පොත වෙළෙඳපොළට නිකුත් කිරීම ප්‍රමාද කොට මා කරන ලද දැනුම්දීම ලයනල් බෝපගේට කියා තිබුණි. ලයනල් බෝපගේ ඔහුට දී තිබෙන පිළිතුර වී ඇත්තේ මා ජනාධිපතිගේ මාධ්‍ය උපදේශක බව වෙබ් අඩවියක පළවී තිබුණු නිසා එය සත්‍යයක් ලෙස සලකා පොතේ මා ගැන ලියන සටහනට එය ඇතුළත් කළ බවය. මහා සමාජ විචාරකයන් ලෙස පෙනී සිටින උගතුන් පවා මෙම විද්‍යුත් කැලෑ පත්තර පළකරන තොරතුරු කෙරෙහි තබා තිබෙන විශ්වාසයේ තරම එයින් පෙන්නුම් කරයි.
මෙම විද්‍යුත් කැලෑ පත්තරවලට ඇබ්බැහිවූ මා දන්නා උගතුන් කිහිපදෙනෙක් සිිටිති. ඔවුහු ජනාධිපති මහින්ද රාජපක්ෂට අකමැතිය. මහින්ද රාජපක්ෂ ගැන කැරෙන විචාරයන්ට වඩා ඔහු ගැන ලියවෙන ඕපාදූප කතා කියවන්නට ඔවුහු කැමතිය. ඔවුන්ගෙන් කෙනෙක් ඒවා ආසාවෙන් කියනවා පමණක් නොව, ඒවා මටද රසකර කර කියන්නට උත්සාහ කරන්නේය. මා ඔහුට සවන් දෙන අතර ජුගුප්සාජනක පහත් දේවල් කියවන්නට ඔහු තුළ ඇති කෑදරකම විවේචනයටද ලක් කරන්නෙමි. එක් අවස්ථාවකදී මෙම වෙබ් අඩවි රසිකයාටද වෙබ් අඩවියක් මගින් පහර දී තිබුණේය. ඔහු මෙම වෙබ් අඩවිවල යථාර්ථය තේරුම්ගත්තේ එදාය. එය පළවූ පසු ඔහු මට කතා කොට කීවේ මෙම වෙබ් අඩවිවල නියම යථාර්ථය තේරුම් ගත්තේ තමා ගැන බොරු පුවතක් පළවූ එදා බවය. මාගේ උගත් මිත්‍රයාට සිදුවූ වැරැද්ද තවත් බොහෝ උගතුන්ට සිදුවිය හැකිය. මේ උගතුන් මර්වින් සිල්වා, දුමින්ද සිල්වා වර්ගයේ දේශපාලනඥයන්ට තරයේ විරුද්ධය. එහෙත් ඔවුන් ආරක්ෂා කරන විද්‍යුත් කැලෑ පත්තර ගණයට වැටෙන වෙබ් අඩවි නියෝජනය කරන ජනමාධ්‍ය කලාව අයත් වන්නේද සම්භාව්‍ය ගණයට නොව පාදඩ ගණයටය.
සටන කර්තෘ රෝහණ කුමාර ඝාතනය කැරුණු අවස්ථාවේදී එම අමානුෂික ක්‍රියාව හෙළා දැකීම සඳහා මා විසින් ලියා පළ කරන ලද කතුවැකියේදී ඔහු ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකින අතර රෝහණ කුමාර අයත්වන්නේ සම්භාව්‍ය පුවත්පත් කලාවට නොව, පාදඩ පුවත්පත් කලාවට බවද සඳහන් කිරීමට අමතක නොකළෙමි.
ඔහු සිය පුවත්පත පාවිච්චි කරනු ලැබුවේ මැරවර නායකයකු මැර බලය පාවිච්චි කරන ආකාරයටය. එහි බාහිර පෙනුම වෙනත් පුවත්පතකට වෙනස් නොවීය. ආර්ථික වාසි සලකා එක්කෝ බලයේ සිටින ආණ්ඩුවලට වාසිදායක පුවත් පළ කළේය. නැතිනම් විරුද්ධ පක්ෂයෙන් ලැබෙන ආර්ථික වාසි සලකා බලයේ සිටින ආණ්ඩුවට පහරදෙන පුවත්පත් පළ කළේය. ඒ සමග කිසියම් පුද්ගලයකුට තවත් පුද්ගලයකු පහරදෙන කතාවක් පළකරවා ගැනීමට අවශ්‍ය වී නම් ඒ කතාවේ ඇත්ත නැත්ත නොසලකා සුදුසු මිලක් අය කොටගෙන කතාව පළ කළේය. මේ පුද්ගලයා පිළිබඳ කිසිදු ප්‍රසාදයක් මා තුළ නොතිබුණද ඔහු ඝාතනය කිරීමෙන් පසු ඊට වගකිවයුතු අය කව්ද යන්න සොයා බලන තැනකට මා ගිය අතර ඒ පිළිබඳව සැඟවුණු බොහොමයක් කරුණු හෙළිදරව් කිරීමටද මට හැකිවිය.
මාගේ මතය අනුව පුවත්පත්, සඟරා, ගුවන්විදුලි හා රූපවාහිනී වැනි ජනමාධ්‍ය සඳහා යොදා ගැනෙන ආචාර ධර්ම හා නීති රීති වෙබ් අඩවි සඳහාද යොදා ගත යුතුය. ප්රවෘත්ති පළකිරීමේදී එම ජනමාධ්‍ය සඳහා ක්‍රියාත්මක ආචාර ධර්ම හා නීති ප්රවෘත්ති පළකරන වෙබ් අඩවි සඳහාද අදාළ විය යුතුය. වෙබ් අඩවිවල අයිතිකරු ප්‍රකාශකයා හා කර්තෘ වෙබ් අඩවියේ පළවන දේවල් සඳහා නීතිමය වගකීම භාරගත යුතුය. වෙබ් අඩවි ලියාපදිංචි කොට ඇත්තේ කුමන රටක වුවද ඒ මගින් හානි ඇතිවූවකුට දේශීය අධිකරණය මගින් සහන ලබාගත හැකි, දේශීය අධිකරණය දෙන තීන්දු වෙබ් අඩවියේ අයිතිකරු ප්‍රකාශකයා හා කර්තෘ විදේශීය රටක සිටියදී වුවත් ඔවුන් කෙරෙහි බලපාන ආකාරයේ ක්‍රමයක් ඇති කළ යුතුය. එවැනි ක්‍රියාමාර්ගයක් අදහස් පළකිරීමේ නිදහසට හානියක් ඇති කරන්නේ නැත.
##