අධිකරණය, අපේ රටේ පවතින අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. හැරල්ඩ් ලැස්කි කියා ඇති පරිදි ඕනෑම ජාතික සමාජයක දේශපාලන ශීලාචාරභාවයේ තරම පිළිබිඹු කරන කැඩපත ලෙස සැලකිය හැක්කේ අධිකරණයයි.
ව්‍යවස්ථාදායකය ප්‍රතිපත්ති සම්පාදනය කරන විට ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ විධායකයටය. ඒ ක්‍රියාවලිය නීතියට අනුකූලව සිදුවන්නේද යන්න සොයා බැලීමේ වගකීම ඇත්තේ අධිකරණයටය. මීට අතිරේකව විවිධ පුද්ගලයන් අතරත්, රජය හා පුරවැසියන් අතරත් නැවත දේශපාලන පක්ෂ අතරත් ඇතිවන ආරාවුල්වලදී යුක්තිය පසිඳලන්නාගේ කාර්ය ඉටු කරන්නේ අධිකරණයයි.
රටක අධිකරණයක් ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන්නේ අධිකරණය තමන් වෙත පැවරී තිබෙන වගකීම නීතියට අනුකූලව හා යුක්තිසහගතව ඉටු කරන්නේ නම් පමණය. දේශපාලන වශයෙන් පක්ෂපාත අධිකරණයක් රටේ විනාශයට මිස යහපතට හේතුවන්නේ නැත. රටේ අධිකරණයක් රටේ තිබෙන ආණ්ඩු සමග ගැටුම් ඇතිකර ගන්නා තැනකට යායුතු නැතත්, ආණ්ඩුවට සම්බන්ධ නඩු හබවලදී අපක්ෂපාත සාධාරණ විනිශ්චයක් ලබාදීමේ හැකියාව තිබිය යුතුය.
ඇත්තටම අපට තිබුණේද එවැනි අධිකරණයකි. නිදහසට පෙර බ්‍රේස්ගර්ඩ්ල් අර්බුදයේදී ආණ්ඩුකාරයා දෙන ලද පිටුවහල් කිරීමේ නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැලිවූයේ නැත. එකල රටේ සිටි ලොකුම පුද්ගලයා ආණ්ඩුකාරවරයාය. ඔහුට තිබුණු බලය විධායක ජනාධිපති ක්‍රමය යටතේ දැන් ජනාධිපතිවරයකුට තිබෙන බලයටත් වඩා වැඩිය. එසේ තිබියදීත් ආණ්ඩුකාරයා බ්‍රේස්ගර්ඩ්ල් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට අධිකරණය මැලි නොවීය.
විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අධිකරණයේ ප්‍රධානියා බවට පත් කළේ ඔහුගේ පුද්ගලික මිතුරෙකි. එහෙත් අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා තනතුරට පත් මොහොතේ සිටම ජනාධිපතිගේ පුද්ගලික මිත්‍රයකු ලෙස ක්‍රියාකරනවා වෙනුවට ක්‍රියා කළේ අධිකරණයේ ගෞරවය සඳහා ක්‍රියාකරන අධිකරණ නායකයකු වශයෙනි. ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබියදීත් අධිකරණයේ ස්වාධීනත්වය ඔහු ආරක්ෂා කළේය. ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බලය අයථා ලෙස පාවිච්චි කරන්නට ආණ්ඩුව උත්සාහ කළ සෑම අවස්ථාවකදීම අධිකරණය එය වැළැක්වීමට උත්සාහ කළේය.
මෙම යහපත් සම්ප්‍රදාය අඩු වැඩි වශයෙන් 1994 සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වන තෙක්ම පවත්වාගෙන යෑමට අධිකරණය සමත් වූ බවද කිව යුතුය. ඒ සම්ප්‍රදාය කනපිට හරවන ලද්දේ සරත් නන්ද සිල්වා විසිනි. සරත් නන්ද සිල්වා විශ්‍රාම ගිය පසුත් ඒ තත්ත්වය නැවත ආපසු හැරවීමක් කර තිබෙන බවක් පෙනෙන්නට නැත. එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. අධිකරණය ස්වාධීන විය යුතුවා සේ ම සාධාරණ බව මහජනයාට පෙනෙන්නටද සැලැස්විය යුතුය. රටට ආණ්ඩුවට පක්ෂපාත අධිකරණයක් හෝ විරුද්ධ පක්ෂයට පක්ෂපාත අධිකරණයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නීතියට අනුකූලව සාධාරණව ක්‍රියාකරන අධිකරණයකි.
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමේ නියෝගය දෙන ලද්දේ ඉහළ අධිකරණයක් විසින් නොව පහළ අධිකරණයක් විසිනි. එහෙත් එය අධිකරණයට නැතිවී තිබුණු ගෞරවය කිසියම් ප්‍රමාණයකට හෝ යළි ලබාදෙන තීන්දුවක් ලෙස සැලකිය හැකිය. දුමින්ද සිල්වා ආශ්‍රයෙන් රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය මහජනයා අතර ලොකු විමතියක් ඇති කර තිබූ සිද්ධියක් ලෙස සැලකිය හැකිය. භේදයකින් තොරව රටේ ජනතාවට ඒ ගැන පැවතියේ අතෘප්තියකි. රටේ නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ඇතිවිය හැක්කේ අත්තනෝමතික තත්ත්වයක් හෝ අරාජිකත්වයකි. ඒ දෙකම භයානකය. එවැනි තත්ත්වයකට රට පත්වීම වැළැක්විය යුත්තේ අධිකරණයයි. අධිකරණය නැතිවී තිබෙන ගෞරවය ඇති කරගත යුත්තේද විශේෂයෙන්ම දේශපාලන පසුබිමක් ඇති නඩුවලදී සාධාරණව ක්‍රියාකිරීමෙන් හා ඒ සාධාරණ බව මහජනයාට පෙනෙන්නට සැලැස්වීමෙනි.