නීති ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය

November 13, 2011
Publication:
The much-argued bill for the revival of underperforming enterprises and underutilised assets passed its first reading by a majority of 76 — 122 for and 46 against, with two parties in the government abstaining. That shows there is no common agreement about this law even inside the government, and the vote against was well short too.

මහත් විවාදයට හේතුවී තිබුණු ඌන කාර්ය සාධක ව්‍යාපාර හා ඌන උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීමේ පනත පළමුවර කියවීමේදී වැඩි ඡන්ද 76කින් සම්මත විය. පක්ෂව ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය ඡන්ද 122කි. විපක්ෂව ඡන්ද 46කි. ආණ්ඩුවේ කොටස්කාර පක්ෂ දෙකක් ලෙස සැලකිය හැකි ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී තිබේ. ආණ්ඩුව තුළ පවා මෙම නීතිය ගැන පොදු එකඟතාවක් නැති බව ඉන් පෙනීයයි. විපක්ෂව ඡන්දය දී තිබෙන ප්‍රමාණයේද ලොකු අඩුවක් ඇති බව පෙනීයයි. එයින් හරියටම පෙන්නුම් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත.

ආණ්ඩුවට මෙවැනි පනතක් මගින් විසඳා ගැනීමට ප්‍රශ්න තිබෙනවා විය හැකිය. එහෙත් පනත කරළියට ගෙනා ආකාරය අවලස්සනය. හදිසි පනත් පිළිබඳ විෂය දීර්ඝ කාලයක් තිස්සේ විවාදයට හේතුවී තිබුණු විෂය ක්ෂේත්‍රයකි. ජේ.ආර්. ජයවර්ධන 77 බලයට පත්වූ විට අගමැති බලතල සමග ජනාධිපති ධුරයටද පත් කැරෙන ආකාරයට පැරණි ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවේද හදිසි පනතක් ලෙසය. ඒ ක්‍රියාව ගැන ඇන්.ඇම්. පෙරේරා දීර්ඝ විවේචනයක් පුවත්පතකට ලීවේය.

ඊට සමාන ආකාරයකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හදිසි පනතක් ලෙස ගෙනා මෙම පනත ඒ ආකාරයෙන් නීතිගත කැරුණු දෙවැනි නීතිය නොවන අතර අවසන් නීතිය වනු ඇතැ”යි ද සිතිය නොහැකිය.

මෙය හදිසි පනතක් ලෙස සලකා ක්‍රියාකළ යුතුව තිබුණේම නැති තරම්ය. ඒ ප්‍රතිපාදනය ලබාදී තිබෙන්නේ ඇත්ත හදිසි දේවල් සඳහා මිස මෙවැනි පනත් සඳහා නොවන්නේය. කෙටුම්පත උනන්දුවක් දක්වන අයගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතුව තිබුණි. ඊට එරෙහිව නෛතිකව කරුණු ඉදිරිපත් කරන්නට කැමති අය සිටිත් නම් පනත ව්‍යවස්ථාවට එකඟද යන්න තීන්දු කරන අධිකරණ ක්‍රියාවලියට ඔවුන්ටද සම්බන්ධවීමට අවස්ථාවක් දිය යුතුව තිබුණි. ඉතාමත්ම නරකම දේ මෙම පනතින් ආණ්ඩුව අපේක්ෂා කරන දේ මහජනයාට පැහැදිලි නොකිරීමය. දින හත අටක ප්‍රමාදයක් මෙම විෂයෙහි බරපතළ අලාභයක් ඇති කරන බවක් පෙනෙන්නට නැත. මෙවැනි පනතක් සම්මත කරගැනීමට ඕනෑවටත් වැඩි පාර්ලිමේන්තු බලයක් තිබියදීත් මේ ආකාරයෙන් ක්‍රියාකිරීම නරකය. මෙය පළිගැනීමේ අරමුණින් කෙරෙන්නක් නොවන බව ආණ්ඩුව සනාථ කළ යුතුය.

ආණ්ඩුවට ලොකු සන්නිවේදන අවුලක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙම පනතට යොදා තිබුණු ශීර්ෂය වෙනස් කරන්නට සිදුවීමෙන් පෙනෙන්නේද එයයි. ආණ්ඩුව නරක දේවල් පමණක් නොව, සමහර හොඳ දේවල් පවා කරන්නේ මහජනයා අතර නරක හැඟීමක් ඇති කරන ආකාරයටය. මේ පනත පිළිබඳ ඇත්ත මහජනයාට විස්තරාත්මක ලෙස ප්‍රකාශ කරමින් සාමාන්‍ය ක්‍රමයට ගෙන ආවේ නම් මෙවැනි බරපතළ ව්‍යාකුලභාවයක් ඇති නොවන්නට ඉඩ තිබිණි.

මෙම පනත පිළිබඳ ප්‍රශ්නයේදී රටේ විකල්ප නායකයා ලෙස සැලකිය යුතු රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීමද විශ්වාසයට හා ගෞරවයට හේතු නොවන බව කිව යුතුය. ඔහු ආණ්ඩුවේ මේ ක්‍රියාවට ආගම්වාදී හා වර්ගවාදී මානයක් ලබාදෙන්නට උත්සාහ කළේය. සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර පවරා ගන්නවා වෙනුවට එල්ටීටීඊ ව්‍යාපාර පවරා ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ජේ.ආර්. ජයවර්ධන 1957දී කරන්නට උත්සාහ කළේද ඒ දේය. ඇතිවූ විශාල විනාශයකින් පසුත් රටේ ජාතික නායකයන් හැසිරෙන්නේ මේ තරම්ම වගකීමෙන් තොර තත්ත්වයකින් නම් යහපත් අනාගතයක් ගැන අපේක්ෂා කරන්නේ කෙසේද?

මේ රටේ පාලකයන් සේ ම පාලකයන් වෙන්නට සිහින දකින අයද අමතක නොකළ යුතු වැදගත් කරුණක් වන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නොතිබී ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයක් තිබුණේ නම් 1947න් පසු අද දක්වා මේ රටේ රාජ්‍ය නායකයන් බවට පත්වූ කිසිදු පුද්ගලයකුට රාජ්‍ය නායකයන්වීමට හැකි නොවන බවය. ඔවුන්ට රාජ්‍ය නායකයන්වීමට පුළුවන්කම ලැබුණේ උරුමයෙන් තේරී පත්වන ක්‍රමයක් වෙනුවට මහජනයා තෝරාපත් කරන ක්‍රමයක් ඇතිවූ නිසාය. ඒ උරුමය ආරක්ෂා කිරීම සේ ම ඒ උරුමයට ගැළපෙන ලෙස ක්‍රියාකිරීම බලයේ සිටින නායකයන්ගේ සේ ම බලයට එන්නට සිහින දකින නායකයන්ගේද වගකීම හා යුතුකම වන්නේය.