වාර්ගික අර්බුදය ගැන

October 29, 2026
Publication:
A column in four parts. It opens on Major General Janaka Perera — the officer who let the LTTE into the Weli Oya camp in 1995 and destroyed all 503 of them, and whom the Hela Urumaya wanted as its presidential candidate — then turns to Janadasa Peiris's repentance, to cognac, and to the price of goods, and to a first lady checking prices for the cameras that never published the pictures.

ජානක පෙරේරා

ජර් ජනරාල් ජානක පෙරේරා ක්‍රියාන්විත යුද සේවය තුළ සිටි වර්ණවත් හමුදා නිලධාරියෙකි. ඔහු 1995 වසරේදී වැලිඔය හමුදා කඳවුරට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයේදී ඔවුන්ට හමුදා කඳවුරට එන්නට ඉඩදී ප්‍රහාරයට පැමිණි සියලු එල්ටීටීඊ සෙබළුන් විනාශ කළේය. එම ප්‍රහාරයේදී ප්‍රතිප්‍රහාරවලින් මරණයට පත් එල්ටීටීඊ සෙබළුන් ගණන 503කි. ඉන්පසු අලිමංකඩ අහිමිවීමෙන් පසු යාපනය ආරක්ෂා කරගැනීම සඳහා කෙරුණු අරගලයේදී ද ඔහු කැපී පෙනෙන හා කීර්තිමත් කාර්ය භාරයක් ඉටු කළේය.

හෙළ උරුමය වැනි අන්තවාදී ව්‍යාපාර ජානක පෙරේරා දැක්කේ කලාතුරකින් පහළ වන වර්ගයේ වීරයෙකු ලෙසය. පසුගිය ජනාධිපතිවරණයේදී හෙළ උරුමය ඔහු සිය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ කළත්, ජානක පෙරේරා ඔවුන්ගේ ඒ ඇරයුම බාර නොගත්තේය.

ජානක පෙරේරා වැනි යුද්ධයේ කෙළපැමිණියකු යුද්ධය ගැන සිතන ආකාරයත්, කටින් පමණක් යුද්ධ කරන විමල් වීරවංශ, චම්පික රණවක වැනි නායකයන් යුද්ධය ගැන සිතන ආකාරයත් අතර අහසට පොළොව වැනි පරතරයක් පවතී.

ඔහු පසුගිය ඉරිදා පුවත්පත් කිහිපයකට දී තිබෙන සම්මුඛ සාකච්ඡාව අනුව එල්ටීටීඊය වැනි ව්‍යාපාරයක් යුදමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ඔහුගේ මතය වී තිබේ. ඒ සමග රටේ ජනවාර්ගිකක අර්බුදයක් ඇති බව ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැත. යුද්ධය ඉටු කරන කාර්ය භාරය ගැන ඔහු සිතන ආකාරය ඩෙන්සිල් කොබ්බෑකඩුව ඒ ගැන කල්පනා කළ ආකාරයට සමානය.

ඔහු කියන්නේ යුද්ධය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ කැරැල්ල අක්‍රීය කරන්නට යොදාගත හැකි එක් ක්‍රමයක් පමණක් බවය. කාසියේ අනෙක් පැත්තේ ඇති දේශපාලන හා මානුෂික කාරණාවලට දේශපාලන විසඳුමක් දිය යුතු බවය. ඔහු දෙමළ නිජබිම පිළිබඳ සංකල්පය පිළිගන්නේ නැත. එහෙත් බලය බෙදාහැරෙන ක්‍රමයක් මගින් ප්‍රශ්නය විසඳා ගත යුතු බව කියයි. තමන් කොන් කරන බව හා තමන්ට අසාධාරණ ලෙස සලකන බව ඔවුන්ට දැනෙන තාක් මේ ප්‍රශ්නය නොවිසඳී අඛණ්ඩව පවතිනු ඇති බව ඔහුගේ මතයයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.

““අපි මේ යුද්ධය අවුරුදු 30ක් තිස්සේ කරනවා. එය ඉතාමත් දීර්ඝ කාලයක්. දෙපැත්තේම මිනිසුන් මැරෙනවා. මං විශ්වාස කරන හැටියට දෙපැත්තෙන්ම මියගිය හැම කෙනෙක්ම මෙරට පුරවැසියෝ. ඒ අය අපේ දරුවෝ. අපේ පොළොවේ පුතුන්.””

ඇත්තටම අප පිළිගත යුත්තේ යුද්ධය ගැන කෙළපැමිණි ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජානක පෙරේරා වැනි අය කරන විග්‍රහයන් ද, නැතිනම් යුද බිමක පස් පාගාවත් නැති විමල් වීරවංශ, චම්පික රණවක, නලින් ද සිල්වා වැනි අය කියන සුරංගනා කතාද?

ජනදාස පීරිස්ගේ පශ්චාත්තාපය

නදාස පීරිස් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ හා ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිවරයෙකු වනවා සේ ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේ අවසාන යුගයේදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ද විය. ඔහු හිටපු ජනාධිපතිනිට හිතවත් හා සමීප පුද්ගලයෙකු ලෙස සැලකිය හැකිය.

ඔහු ““ජාතික ගැටලුව – ගෝත්‍රික රාජ්‍යයේ සිට ගෝලීය රාජ්‍යය දක්වා”” යන තේමාව යටතේ දැවැන්ත කෘතියක් ලියා පළ කොට තිබෙන අතර, එම විෂයයට අදාළව චන්ද්‍රිකා පාලන යුගය තුළ සිදුවූ ක්‍රියාකාරකම් දෙස සන්සුන් මනසකින් යුතුව ආපසු හැරී බැලීමක් කිරීමට ඔහු මෙම කෘතියෙන් උත්සාහ දරා තිබෙන බව ද පෙනේ.

ජනදාස පීරිස් එහි ලියා තිබෙන ආකාරයට ශ්‍රීලනිපය ජවි පෙරමුණ සමග සන්ධානයක් ඇති කරගත්තේ සන්ධානයක් සඳහා වන ගිවිසුමකට අත්සන් තැබුණේ 2004 ජනවාරිවලදී නොව එජා පෙරමුණ මැතිවරණය ජයගත් 2001දීය. අඩුම වශයෙන් වසර දෙකක් තුළ නැවත රාජ්‍ය බලය අල්ලා ගත යුතුය කියන න්‍යාය ඉදිරිපත් කර ඇත්තේ මංගල සමරවීරය. ඒ සඳහා වන පළමු සාකච්ඡාව පවත්වා ඇත්තේ උණවටුන ප්‍රදේශයේ සංචාරක නිවහනකය. පක්ෂ දෙක වෙන වෙනම තරග කොට පසුව එක්වීම තේරුමක් නැති බැවින් පක්ෂ දෙක එකට එකතු කොට සන්ධානයක් ගොඩ නගා ගත යුතු බව තීරණය වී ඇත්තේ ද එහිදීය. මේ අදහස පිළිගැනීමත් සමග ජවිපෙ ප්‍රතිපත්තිවලට ගැලපෙන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ද ක්‍රමානුකූලව වෙනස් වූ බව ඔහු කියයි. අවසානයේදී ජනාධිපතිනිය ද අන්තවාදීන්ගේ සිරකාරියක් බවට පත්වූ බව ඔහු කියයි. ජනාධිපතිනිය පමණක් නොව, විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් හා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර වැනි අය පවා ජවිපෙ සිරකරුවන් බවට පත්ව සිටි බව ඔහු කියයි. කදිරගාමර් මහතාගේ සමහර හැසිරීම් තමාගේ විමතියට හේතුවූ බව ද ඔහු කියයි. ජනාධිපතිනිය ඇගේ ඕනෑඑපාකම් බලා ගැනීමට ඇය විසින්ම පත් කළ පී.බී. ජයසුන්දර ජවිපෙට දක්වන ලද අවිවේචනාත්මක සහාය ජනාධිපතිනියගේ ද පුදුමයට හේතුවී තිබුණු බවද කියයි. එහිදී රාජපක්ෂ මහතා හා කදිරගාමර් මහතා අතර ඇතිවූ අගමැති පොරය හා එහිදී ජවිපෙ රඟපෑ භූමිකාව පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම කෘතියට ඇතුළත්ය. අමාත්‍යාංශ තුනක් පවරාගෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අඩපණ කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පරාජය කිරීමේ ඵලවිපාක දැන් රටට විඳින්නට සිදුවී තිබෙන බව ද ඔහු කියයි.

කොඤැක් හා

බඩු මිල

ටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇගේ පැමිණීම අරභයා ජනමාධ්‍ය අපූරු වාර්තා දෙකක් පළකොට තිබුණි.

එක් වාර්තාවකින් කියවුණේ ගුවන් තොටුපළේ තීරුබදු රහිත සාප්පුවේදී ඇයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අකරතැබ්බයකි. අනෙක් වාර්තාවෙන් කියවුණේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඇය බඩු මිල සොයා බැලීමේ අරමුණින් කළේ යැයි කියන සමීක්ෂණයක් ගැනය.

ඇය තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට ගොස් බ්ලැක් ලේබල් විස්කි, බ්‍රුන්ඩි හා චොක්ලට් (ලබා ගත් ප්‍රමාණයන් කොතරම් ද යන්න පැහැදිලි නැත.) ලබා ගත්තාය. එහෙත් ඒ භාණ්ඩවලට අයවිය යුතු මිල ගෙවීමට ඇය ළඟ මුදල් නොතිබුණි. ඇගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ද ඊට අවශ්‍ය මුදල් නොතිබුණි. අවසානයේ ඇයට ගුවන් තොටුපළේ ප්‍රධාන පෙළේ නිලධාරියෙකුගේ මැදිහත්වීම මත නැවත ආපසු ගෙවීමේ පදනම මත මිලදී ගත් මත්පැන් හා චොක්ලට් ආපසු ගෙනයෑමට ඉඩ ලැබුණි.

තේරුම් ගැනීමට අමාරු කාරණය වනුයේ බඩු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් නැතිව ඒ භාණ්ඩ සමග මුදල් ගෙවන කවුන්ටරයට යෑමය. මුදල් නොතිබුණත්, ක්‍රෙඩිට් කාඩ්පතින් ඒ බිල ගෙවිය නොහැකි වූයේ ඇයි? එක්කෝ අප හිතනවාට වඩා ඇය දුප්පත්ය. නැතිනම් ඈ ඉතාමත් කෙටි කාලයක් තුළ රාජ්‍ය පාලනයේ සිටි කාලය තුළ කෑදර හරිහම්බ කරගත් ධනස්කන්ධය නැති නාස්ති කරගෙන තිබේ.

ඒත් නැත්නම් මෙම කණගාටුදායක සිද්ධිය ජනමාධ්‍ය වාර්තා කළ ආකාරයේ වරදක් තිබෙනවා විය හැකිය.

තමන් මිලදී ගන්නා භාණ්ඩවලට තම සාක්කුවෙන් මුදල් ගෙවීමේ පුරුද්දක් ඇයට නොතිබුණු නිසා ඒ පුරුද්ද එහිදීත් එසේම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරුවා විය හැකිය. අතීතයේදී නම් ඇය තෝරා ගන්නා භාණ්ඩ සඳහා මිල අය කිරීමක් සිදු නොවීය. නැතිනම් එවැනි බිල් ගෙවීමට වෙනත් අය සිටියහ. මේ ක්‍රමය ජාත්‍යන්තර සවාරිවලදී පවා සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. ඉන්දියන් සංචාරවලදී තොග ගණනින් මිලදී ගත් වටිනා සාරි සඳහා එක්කෝ ඉන්දියානු ආණ්ඩුව මිල ගෙව්වේය. නැතිනම් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ මිල ගෙව්වේය.

අනෙක් අතට කටුනායක තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ බදුකරුවා ලෙස ක්‍රියා කරන ඔරියන්ට් සමාගමට ඉතාමත් වාසිදායක කොන්දේසි මත එම බද්ද දීර්ඝ කර දුන්නේ ද ඇයයි. සමහර විට ඒ නිසා තමන් ලබා ගන්නා භාණ්ඩ සඳහා මිලක් ගෙවීම අවශ්‍ය නැතැයි ඇය කල්පනා කළ විය හැකිය.

හිටපු ජනාධිපතිනිය පිළිබඳව වූ ඊළඟ වාර්තාව ඊටත් වඩා අපූරුය. ඇය මෙරටට පැමිණීමෙන් පසුව ඇමතිවරු, මන්ත්‍රීවරු, මහ ඇමතිවරු හා පළාත් සභිකයෝ තොර තෝංචියක් නැතිව ඇයට දුරකතනයෙන් කතා කළහ. ඔවුන් බොහෝ දෙනෙක් රටේ පවතින ඉහළ ජීවන මිල ගැන ඇයට පැමිණිලි කළහ. ඇය නැතිව රටේ ජනතාවට විඳින්නට සිදුවී තිබෙන දුක ගැන ඇය තුළ මහත් කම්පාවක් ඇතිවූවා විය යුතුය. ඇය පවතින ඇත්ත තත්ත්වය සොයා බැලීම සඳහා එක්සයිස් පොතක් හා පෑනක් ද රැගෙන බම්බලපිටියේ සිල්ලර බඩු කඩගානේ ගියාය. වෙළෙඳුන් සමග කතා කොට භාණ්ඩ මිල ලියා සටහන් කර ගත්තාය. භාණ්ඩ මිලදී ගැනීමට ඒ කඩවලට ආ පාරිභෝගිකයන් සමග ද බඩු මිල ගැන අදහස් හුවමාරු කර ගත්තාය.

මෙම වාර්තාව අපට ලබා දෙන ඇඟවීම් තුනක් ඇත්තේය. එක ඇය මහජන ප්‍රශ්න ගැන කැක්කුමක් ඇති නායිකාවකි. දෙක ආරක්ෂාව ද නොසලකා එවැනි චාරිකාවක යෙදෙන ඇය නිර්භීත නායිකාවකි. තුන මහින්ද රාජපක්ෂ ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීමට තමන් තුළ ඇති අධිෂ්ඨානය ඇය ඉන් පෙන්නුම් කරයි.

පුදුමයකට මෙන් එක්සයිස් පොතක් හා පැන්සලක් ද රැගෙන ඇය බම්බලපිටියේ සිල්ලර කඩ සාප්පු ගානේ යමින් භාණ්ඩ මිල ගැන සමීක්ෂණයක යෙදුණේ නම්, හා ඒ සඳහා පැයක තරම් කාලයක්වත් ගතවී නම් ඒ ආරංචිය ඇසිල්ලකින් ජනමාධ්‍ය අතට පත් නොවීමට හේතුවක් තිබිය නොහැකිය. එය එසේ වී නම් එම වාර්තාව පළවන්නට ඉඩ තිබුණේ ඇය බඩු මිල සොයා බලන ආකාරය පෙන්නුම් කෙරෙන ඡායාරූප ද සමගය. එහෙත් පුදුමයකට මෙන් එවැනි ඡායාරූප විද්්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යවල පළ නොවීය. •