දේශපාලකයන්ගේ සිහින දැකීම හා රටේ යථාර්ථය

October 29, 2026
Publication:
Mangala Samaraweera has unveiled his dream of a new Sri Lanka, as the JVP and the Hela Urumaya did before him, and the president and the opposition leader dream too. Ivan observes that every country caught in a crisis like this has come out of it by government and opposition setting their differences aside long enough to change the structure — and that no other way has yet been found.

මංගල සමරවීර මහතා ශ්‍රීලනිප අභ්‍යන්තරයෙන් මතුවූ නව දේශපාලන ප්‍රවණතාවක් ලෙස නව ශ්‍රී ලංකාවක් පිළිබඳව තමන් දකිමින් සිටින සිහිනය එළිදක්වා තිබේ. මීට පෙර තවත් එවැනි සුන්දර සිහින දෙකක් ජවිපෙ හා හෙළ උරුමය යන ව්‍යාපාර දෙක විසින් ද එළිදක්වනු ලැබූ බව අපට මතක ය. රටේ පාලකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සේ ම විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් ක්‍රියා කරන රනිල් වික්‍රමසිංහ මහතා ද සිහින දකින්නේ රට ගැනය. රට ගොඩනැගිය යුතු ආකාරය ගැන ය. සියලු දේශපාලකයන් රට ගැන තමන් දකින සුන්දර සිහින ගැන කොතරම් කතා කළ ද රට තිබෙන්නේ සුන්දර තැනක නො ව අවලස්සන තැනක ය. නොකඩවා අවුලෙන් අවුලට යන තත්ත්වයක ය. කෙළවරක් නැතිව ලේ වැගිරෙන තත්ත්වයක ය. දූෂණයෙන් කුණුවූ තත්ත්වයක ය.

දේශපාලන ක්‍රමය උසුලාගෙන සිටින එක ම කුළුණක්වත් පිරිසිදු හා ශක්තිමත් තත්ත්වයක නො පවතී. සමස්ත දේශපාලන ක්‍රමයම තිබෙන්නේ එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි ගරා හැලුණු තත්ත්වයක ය. මෙවැනි අර්බුදයකට හසුවූ ඕනෑම රටක් ජයගෙන ඇත්තේ මොහොතකට තමන් අතර තිබෙන වෙනස්කම් අමතක කොට ආණ්ඩු පක්ෂයට හා විපක්ෂය එකට එකතු වී දේශපාලන ක්‍රමයේ ව්‍යුහයේ වෙනස්කම් ඇති කරගැනීම මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමෙනි. මෙවැනි අර්බුදයන්ට ඊට වෙනස් විසඳුමක් තවමත් සොයාගෙන නැත. අපට ද අප රට මුහුණ දී තිබෙන අර්බුදය ජයගත හැකිවනු ඇත්තේ එවැනි පොදු වැඩපිළිවෙළකට යොමුවීමෙන් පමණ ය.

ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් වන්නට ඉඩ නො තබන බව මීට පෙර ජවිපෙ විමල් වීරවංශ මහතා වහසි බස් දෙඩුවේ ය. දැන් රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ද ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් වන්නට ඉඩ නො තබන බව ය. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් වී හමාර ය. දැන් උච්චතම තත්ත්වයකට යමින් තිබෙන එම ක්‍රියාවලිය දීර්ඝ කාලයක් තිස්සේ විටෙක හෙමින් හෙමින් ද තවත් විටෙක වේගයෙන් ද සිදුවූ ඓතිහාසික ක්‍රියාවලියක් වන අතර, ඒ තත්ත්වයට රට ගැන විවිධ සිහින දකිමින් සිටින සියලු දේශපාලන පක්ෂ හා නායකයන් ද, අධිකරණ නිලධරතන්ත්‍රය, ජනමාධ්‍ය, බුද්ධිමතුන්, ආගමික නායකයන්, වෘත්තීය සමිති හා පුරවැසියන් යන සියලු දෙනා වගකිව යුතු ය.

දැන්වත් මේ සියලු දෙනා පටු වාද භේදවලින් අත්මිදී දේශපාලන ක්‍රමයේ ව්‍යුහමය වෙනසක් ඇති කිරීම මගින් මේ අර්බුදය විසඳා නො ගන්නේ නම් රට වඩ වඩා අන්ත කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙනු නො වැළැක්විය හැකි ය.

ආණ්ඩු පක්ෂයට හෝ විරුද්ධ පක්ෂයට පමණක් දේශපාලන ක්‍රමය වෙනස් කළ නො හැකි ය. දේශපාලන ක්‍රමය වෙනස් කළ හැකිවනු ඇත්තේ එම අරමුණ සඳහා පමණක්වත් එකට එකතු වී ක්‍රියාකරන තැනකට මෙම ප්‍රති ව්‍යාපාර දෙක යන්නේ නම් පමණ ය. •